විශේෂාංග

ක්‍රිබ් එකේ බ්ලැක් ලිස්ට් කරන කතාව බොරු

ඇතැම් බැංකු ක්‍රිබ් වාර්තා පෙන්වමින් ගනුදෙනුකරුවන් බියට පත් කිරීම නීති විරෝධී ක්‍රියාවක් බව ‘සති අග අරුණ’ දිගටම පෙන්වා දුන්නේය. මේ අතරේ මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ ක්‍රිබ් වාර්තාවේ නම තිබුණත් ඉන් ණය ගැනීමට බාධාවක් නැති බවය. මේ ගැන ක්‍රිබ් හෙවත් ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී නන්දිමිත්‍ර ඇන්තනි සමග කළ සාකච්ඡාවක් ඇසුරෙන් සකස් කළ ලිපියකි.

‘‘සර්ගෙ හවුසින් ලෝන් එකේ වාරික දෙකක් ඇරියස්. තුන්වෙනි එකත් ඇරියස් වුණොත් අපිට ක්‍රිබ් එකට දාන්න වෙනවා.’’

‘‘කනගාටුයි, ඔයා ක්‍රිබ් එකේ. ඒ නිසා ලෝන එක පාස් කරන්න බැහැ.’’

‘‘අපි ක්‍රිබ් එකෙන් නම අයින් කරලා දෙන්නම්. හැබැයි ක්‍රෙඩිට් කාඩ් එකේ සම්පූර්ණ මුදල පොලියත් එක්කම මේ මාසෙ ඉවර වෙන්න කලින් ගෙවන්න ඕනෙ.’’

‘‘ලෝන් එක සෙට්ල් කළත් ක්‍රිබ් එකෙන් නම අයින් කරන්න මාස තුනක් යනවා.’’

අද වනවිට මේ රටේ ජනගහනය මිලියන 21 කුත්, තවත් ලක්ෂ දෙකක් ඉක්මවා ඇත. ඉන් මිලියන අටකටත් වඩා පිරිසක් අද වනවිට රටේ බැංකු හෝ මූල්‍ය ආයතනවලින් කවර ආකාරයේ හෝ ණයක් ලබාගත් ණයකරුවෝය. මුලින් සටහන් කර ඇත්තේ මේ ණයකරුවන්ය. ඔවුන්ගෙන් බහුතරයකට මෙන්ම ඔවුන්ගේ ඇපකරුවන්ටද කවදා හෝ දිනයක අසන්නට ලැබුණු කතාවලින් කිහිපයකි. ඒ කතා සෑම එකකටම ‘ක්‍රිබ් එක’ සම්බන්ධව ඇත. බැංකු සහ මූල්‍ය ආයතන මෙලෙස සිය ගනුදෙනුකරුවන් බිය ගන්වන්නේ ‘ක්‍රිබ් එක’ නමැති ‘ගෝනි බිල්ලා’ පෙන්වාය. ඇත්තෙන්ම බැංකුවේ ‘මහත්තුරු’ මූල්‍ය නීතිය පිළිබඳව මෙළෝ හසරක් නොදත් සිය ගනුදෙනුකරුවන්ව බිය ගන්වන මේ ගෝනි බිල්ලා කවුද?

ක්‍රිබ් (CRIB) යන කෙටි නාමයෙන් හඳුන්වන්නේ ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයයි. (Credit Information Bureau). එය පිහිටා ඇත්තේ කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරය ආසන්නයේය. එය රජයට අයත් ස්වාධීන ව්‍යවස්ථාපිත ආයතනයක් ලෙස 1990 අංක 18 දරන පනත යටතේ පිහිටුවා ඇත. 1980 දශකයේ රට තුළ උද්ගත වූ ණය අර්බුදයට (ණයකරුවන් බැංකුවලට ණය ආපසු නොගෙවීම හේතුවෙන්) එක් පිළියමක් ලෙස මෙම කාර්යාංශය පිහිටුවා ඇති අතර රටේ සමස්ත ණය සංස්කෘතිය වැඩි දියුණු කිරීම ඊට ලබාදී ඇති ඉලක්කයයි.
එලෙස පිහිට වූ ‘ක්‍රිබ් එකේ’ ප්‍රධානම කාර්යභාරය වන්නේ කුමක්දැයි ‘සති අග අරුණ’ ණය තොරතුරු කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී නන්දිමිත්‍ර ඇත්තනිගෙන් විමසීය. මේ ඔහුගේ පිළිතුරයි.

‘‘රටේ බැංකු, මූල්‍ය සහ ලීසිං ආයතනවලින් ණයා ලබාගන්නා පුද්ගලයන්ගේ තොරතුරු රැස්කරගෙන එම තොරතුරු අවශ්‍ය උදවියට ඔවුන්ගේ ඉල්ලීමක් මත වාර්තා වශයෙන් ඉදිරිපත් කිරීම තමයි ක්‍රිබ් එකේ මූලිකම කාර්යභාරය. තමන් අරගෙන තියෙන ණය මොනවද? ඉඩමකටද? පෞද්ගලික ණයක්ද? ක්‍රෙඩිට් කාඩ් (ණයවර පත්) එකක්ද? කුමන ආයතනයෙන්ද ගත්තෙ? කොච්චර ණයක් අරගෙන තියෙනවද? ඒක ගෙවිලා යන්නේ කොහොමද? ගෙවීම්වල ප්‍රමාදයක් තියෙනවද? කියන කාරණා තමයි අපි හොයන්නේ. ඒ විස්තර හැම මාසෙකම බැංකු හා මූල්‍ය ආයතනවලින් අපට එවනවා. මාත් එක්ක විසිහය දෙනයි මෙතන වැඩ කරන්නේ. හැබැයි රටේ මේ ආයතනවලින් ණය ලබාගත්තු හැම පුද්ගලයකුගේම ණය පිළිබඳ තොරතුරු අපි ළඟ තියෙනවා.’’

අප දන්නා තරමට ක්‍රිබ් එකේ ඇත්තේ ණය ඇරියස් වූවන්ගේ (නොගෙවූවන්ගේ) තොරතුරුය. එහෙත් සාමාන්‍යාධීකාරිවරයා පවසන ආකාරයට එම දැනුවත්වීම වැරදිය.

‘‘ඔව්, අපි එකතු කරන්නේ ණය නොගෙවූ පුද්ගලයන්ගේ තොරතුරු විතරක් නෙවෙයි. මේ රටේ සියලුම වාණිජ බැංකු, මූල්‍ය ආයතන හා ලීසිං ආයතනවලින් උකස් ණය හැර වෙනත් සියලුම ආකාරයේ ණය ලබාගත් ලක්ෂ අසූවක් ඉක්මවූ සියලුම පුද්ගලයන්ගේ ණය පිළිබඳ තොරතුරු අපි ළඟ තියෙනවා. අපේ පනතට අනුව බැංකු සහ මූල්‍ය ආයතන තමන්ගේ ණය ගැනුම්කරුවන්ගේ සියලුම තොරතුරු මාස්පතා අපිට එවන්න ඕනේ. ඒක නීතිමය බැඳීමක්. ඒ තොරතුරු රැස්කරලා වාර්තා වශයෙන් සකස් කරලා ඒවා ඉල්ලන උදවියට නිකුත් කරනවා.’’
ඒ අනුව මෙම ක්‍රිබ් වාර්තා ලබාගන්නා බැංකු සහ මූල්‍ය ආයතන මෙම වාර්තා ලබාගෙන සිය ණය අපේක්ෂිත පුද්ගලයන්ට ණය නිකුත් කිරීම පිළිබඳව තීරණ ගනු ලබයි. එහෙත් ගැටලුව වී ඇත්තේ එම ආයතන මේ වනවිට ණය නිකුත් කිරීම සඳහා ක්‍රිබ් වාර්තාව පමණක්ම උපයෝගී කරගෙන තිබීමයි. සාමාන්‍යාධිකාරීවරයා පවසන්නේ දැන් බැංකු හා මූල්‍ය ආයතන පුද්ගලයන්ගේ වත්කම් සහ ආදායම් තත්ත්ව කිසිවක් පරීක්ෂා නොකර ක්‍රිබ් වාර්තාව මත පමණක්ම පදනම්ව ණය නිකුත් කිරීමට කටයුතු කරන තැන දක්වා සීමා වී ඇති බවයි.

‘‘ණයක් දෙන්න නම් ක්‍රිබ් වාර්තාවක් ගන්න ඕනේ කියලා කිසිම නීතියක් නැහැ. ​මොකද අපි ගාව ණය නොගෙවන ප්‍රමාද පුද්ගලයන්ගේ තොරතුරු විතරක් නෙමෙයි නිසි ආකාරයෙන් ණය ගෙවාගෙන යන සියලුම පුද්ගලයන්ගේත් විස්තර තියෙන නිසා.’’

එසේ නම් ණය වාරිකයක් ප්‍රමාද වූ විට ‘බැංකුවේ මහත්තුරු’ ණයකරුවන් අමතා ‘ක්‍රිබ් එකට දමන’ බවට කරන තර්ජනය කුමක්ද? ඊට ඇති පදනම කුමක්ද? ඊට සාමාන්‍යාධිකාරිවරයාගේ පිළිතුර මෙයයි.

‘‘එහෙම ක්‍රිබ් කරනවා කියලා එකක් නැහැ. ඒක සම්පූර්ණ වැරදියි. ඔබ අද ගිහින් ක්‍රෙඩිට් කාඩ් එකක් (ණයවරක්) ගත්තොත් ලබන මාසේ ඉඳන් ඔබ ඒකේ වාරික ගෙව්වත්, නැතත් අපිට ගිණුම් වාර්තාවක් එනවා. ණයක් අරන් තියෙන ඕන කෙනෙක්ගේ තොරතුරු ක්‍රිබ් එකේ තියෙනවා. එහෙම වාර්තා වුණේ නැත්නම් ලොකු ප්‍රශ්නයක්. ඔබ කවදාවත් ණයක් අරගෙන නැති පුද්ගලයෙක් කියලා හිතමු. එතකොට ඔබ අලුතින්ම ණයක් ලබාගන්නකොට ඔබට ඒ ණය ගෙවන්න තියෙන හැකියාව මොකක්ද කියලා බැංකු දන්නේ නැහැ. එතකොට ඔබට අලුතින්ම කියන්න වෙනවා තමන්ගේ ආදායම් සහ වත්කම් පිළිබඳව නමුත් ක්‍රිබ් එකේ වාර්තා තියෙන පුද්ගලයකුට ඒ කිසිදෙයක් අවශ්‍ය නැහැ අලුතින් ණයක් ගන්න. මොකද ණය හොඳින් ගෙවාගෙන යනවා නම් ක්‍රිබ් වාර්තාව පදනම් කරගෙන ඉතා පහසුවෙන් අලුත් ණයක් ලබාගන්න පුළුවන්.’’

ඒ අනුව පෙනී යන්නේ බැංකු ණය නොදීම සඳහා ක්‍රිබ් වාර්තා ගෝනිබිල්ලකු බවට පත්කළද ක්‍රිබ් වාර්තාව සැබැවින්ම ණය නිකුත් කිරීම පහසු කෙරෙන නිර්ණායකයක් බවයි.

එසේනම් බැංකු මීළඟට ගනුදෙනුකරුවන්ව බිය ගන්වන ‘ක්‍රිබ් එකේ බ්ලැක් ලිස්ට් එක’ (අසාදු ලේඛනය) කුමක්ද?
සාමාන්‍යාධිකාරිවරයා එම ‘බ්ලැක් ලිස්ට්’ පිළිබඳව මෙසේ පැහැදිලි කළේය.

‘‘ඒක බොරුවක්. ක්‍රිබ් එකේ බ්ලැක් ලිස්ට් නැහැ. අපි ගාව අසාදු ලේඛනයක් නැහැ. කොටින්ම කිව්වොත් ක්‍රිබ් වාර්තාවලින් කිසිදු ආකාරයකට ණය ගැනුම්කරුවෙක් පිළිබඳව තීරණයක් ලබාදෙන්නේ නැහැ. මෙයාට ණය දෙන්න, මෙයාට දෙන්න එපා කියලා අපි කියන්නේ නැහැ. ණයක් දෙන්න නම් ක්‍රිබ් රිපෝට් එකක් ගන්න ඕනේ කියලා කිසිම නීතියක් නැහැ.’’

එසේ නම් ‘ක්‍රිබ් එකට දානවා’ යැයි කියා මිනිසුන්ව බිය ගැන්වීමට බැංකු, මූල්‍ය ආයතන හෝ ලීසිං ආයතන කටයුතු කරන්නේ කුමන බලයකින්ද? ණය එකතු කිරීමේ නිලධාරීන් ණයකරුවන්, ඇපකරුවන් තබාගෙන නිවාසවලට, රාජකාරි ස්ථානවලට ගොස් ‘ක්‍රිබ් එකට දානවා’ යැයි බිය ගන්වන්නේ කවර පදනමකින්ද?

‘‘ක්‍රිබ් එකට දානවා කියලා මිනිස්සුන්ව අපිට බය කරන්න බැහැ. එහෙම කියනකොට ගනුදෙනුකරුවෝ කියන්න ඕනේ මම ඔයගොල්ලන්ගෙන් ණය අරගෙන තියෙන නිසා කොහොමත් මගේ නම ක්‍රිබ් එකේ තියනවනේ කියලා. ඒක අලුතින් ක්‍රිබ් එකට යන්න දෙයක් නෑ. ඕන කෙනෙකුව බය කරන්න පුළුවන්. හැබැයි අපි මිනිස්සුන්ට කියන්නේ ඒ කතාවලට බයවෙන්න එපා කියලයි.’’

මෙහිදී ණය තොරතුරු කාර්යාංශය මගින් සාමාන්‍ය ජනතාවට සිය ණය තොරතුරු පිළිබඳ තොරතුරු ලබාගැනීමට පැවැති නොහැකියාවද මෙම ගැටලුකාරීත්වය උද්ගතවීමට යම් පමණකට බලපා ඇත. එතෙක් එම තොරතුරු ලබාගත හැකිවූයේ බැංකු සහ මූල්‍ය ආයතනවලට පමණි. එසේ ප්‍රයෝජනයට ගනිමින් වසර 20 ක පමණ කාලයක් ණය තොරතුරු කාර්යාංශය පිළිබඳව බියකරු ප්‍රතිරූපයක් මවාපාමින් එම ආයතන ඉන් ප්‍රයෝජන ලබාගෙන ඇත. එහෙත් 2008 දී පනතට ගෙන ආ සංශෝධනවලට අනුව ඕනෑම පුද්ගලයකුට තමාගේ ණය පිළිබඳව ක්‍රිබ් වාර්තාවක් ලබාගත හැකි බැවින් එම තත්ත්වය යම් පමණකට සීමාවී තිබේ. කෙසේ වෙතත් දශක දෙකක පමණ කාලයක් කියමින් පැමිණි එකම බොරුවට සාමාන්‍ය ජනතාව අතර ලැබී තිබුණු පිළිගැනීම හේතුවෙන් අදටද ක්‍රිබ් වාර්තාව පිළිබඳව ජනතාව අතර ඇත්තේ වැරදි ආකල්පයකි. කෙසේ වෙතත් සාමාන්‍යාධිකාරීවරයා මේ සම්බන්ධයෙන් දක්වන්නේ මෙවැනි අදහසකි.

‘‘අපි නිතරම බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සිට කළමනාකරුවන් දක්වා ඉහළ නිලධාරීන්ට කියනවා ක්‍රිබ් එකට දානවා, ක්‍රිබ් එක නිසා ඔයාට ණයක් දෙන්න බැහැ කියලා කියන්න එපා කියලා. නමුත් සමහර වෙලාවට ක්‍රෙඩිට් ඔෆිසර්ස්ලා (ණය රැස්කිරීමේ නිලධාරීන්) තමන්ගේ ලේසියට මේක කියනවා. නමුත් මේක වැරදි දෙයක්. ඒ අය අපිව තමන්ගේ ලේසියට බිල්ලෙක් කරනවා නම් අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි ජනතාව දැනුවත් කරන එක. අනිත් එක තමන් ණයක් ගෙවන්න ප්‍රමාද වුණා කියලා ණය දෙන්න බෑ කියලා කියන්න ණය දෙන ආයතනවලට බැහැ. මොකද මහා පරිමාණයෙන් ණය අරගෙන නොගෙවා පැහැර හැරපු පුද්ගලයන්ට ණය දීපු අවස්ථා ගැන වාර්තා වෙලා තියෙනවා.’’
ණය තොරතුරු කාර්යාංශයට අනුව මෑතක් වනතුරුම ශ්‍රී ලංකාවේ ණය ගැනුම්කරුවන්ගේ ණය නොගෙවා පැහැර හැරීමේ ප්‍රතිශතය 5% කි. එහි අදහස වන්නේ ණය ලබාගන්නා 95% ක් දෙනාම කිසිදු ගැටලුවකින් තොරව සිය ණය ආපසු ගෙවමින් සිටින බවයි. ඒ අනුව පෙනී යන්නේ සැබෑ සෙලම ණය පැහැර හරින 5% ක් දෙනා වෙනුවෙන් බැංකු සහ මූල්‍ය ආයතන ගත යුතු දැඩි පියවර බැංකු හා මූල්‍ය ආයතන විසින් විවිධ සාධාරණ හේතු මත ණය ගෙවීමට ප්‍රමාද වන සෑම ගනුදෙනුකරුවකු සම්බන්ධයෙන්ම ගන්න බවයි.

අනෙක් අතට මෙහි පවත්නා තවත් බරපතළ ගැටලුවක් වන්නේ බැංකුවේ මාණ්ඩලික ණය අයකර ගැනීමේ නිලධාරීන් හරහා දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගෙන අයකර ගත නොහැකි ණය අයකර ගැනීම සඳහා තෙවන පාර්ශ්වය, එනම් නැවත අයකර ගැනීමේ පෞද්ගලික ආයතන වෙත පැවැරීමයි. සාමාන්‍යයෙන් ක්‍රෙඩිට් කාඩ් පතක ගෙවීම් දින 90 ක් පමණ ප්‍රමාදවීමෙන් අනතුරුවත් පෞද්ගලික ණය ගෙවීම් මාස 6 ක් පමණ ප්‍රමාද වීමෙන් අනතුරුවත් බැංකු විසින් මෙලෙස අදාළ ගනුදෙනුකරුවන්ගේ ගිණුම් ණය අය කරගන්නා නියෝජිත ආයතන (Recovery Agents) වෙත ලබාදෙයි. ඒවායේ සේවය කරන නිලධාරීන් අතුරින් සැලකිය යුතු පිරිසක් ආරක්ෂක අංශවලට සම්බන්ධව සිටි පුද්ගලයන්ය. ඔවුන්ව විශේෂ කොට බඳවාගෙන ඇත්තේ ණය අයකර ගැනීමේදී ණය ගැතියන්ට තර්ජනය කිරීමේ පහසුව සඳහාය. ඒ අනුව එම ‘තෙවන පාර්ශ්වයේ’ ණය අයකර ගැනීමේ නිලධාරීන්ද ණය ගැතියන්ගේ හා ඇපකරුවන්ගේ නිවාස, රාජකාරි ස්ථාන වෙත මෙන්ම, ඥාති හිතමිත්‍රාදීන්ගේ නිවාස වෙත ගොස්ද එම පුද්ගලයන් බිය ගන්වන්නේ සාමාන්‍ය සමාජය පැහැදිලිව නොදන්නා ‘ක්‍රිබ් එකට’ ණය ගැත්තන්ගේ පරම්පරාවම ඇතුළත් බව පවසමිනි.

මේ සම්බන්ධයෙන් අදහස් පළකරන ණය තොරතුරු කාර්යාංශයේ සාමාන්‍යාධිකාරීවරයා පවසන්නේ එලෙස තර්ජනය කිරීම මුළුමනින්ම වැරදි සහගත කටයුත්තක් වුවත් බැංකුවලට හෝ මූල්‍ය ආයතනවලට ඒවායේ ණය අයකර ගැනීමේ ක්‍රියාදාමයන් වෙනස් කිරීම සම්බන්ධයෙන් බලපෑම් කිරීමේ හැකියාවක් සිය ආයතනයට නොමැති බවයි.
‘‘බැංකු හෝ මූල්‍ය ආයතනවලට අණ දීමට හෝ ඒවා නියාමනය කරන්න අපිට බැහැ. එහෙම නියාමනයක් කරන්න පුළුවන් ශ්‍රී ලංකා මහ බැංකුවට විතරයි. අපිට කරන්න පුළුවන් ජනතාව දැනුවත් කිරීමක් පමණයි. මොකද ක්‍රිබ් එකේ ප්‍රයෝජන ඔය දෙපාර්ශ්වයටම තියෙනවා. ණය දෙන ආයතනවලට වගේම ණය ගන්න ආයතනවලටත් ලොකු ප්‍රයෝජනයක් තියෙනවා. මේ දෙගොල්ලන්ගෙන් කවුරු හරි අපේ නම වැරදි විදිහට පාවිච්චි කරනවා නම් අනෙක් පැත්ත දැනුවත් කිරීමක් විතරයි අපිට කරන්න පුළුවන්.

විශේෂයෙන්ම ණය දෙන ආයතනවලට අපෙන් ලොකු ප්‍රයෝජනයක් තියෙනවා. අපි මේ සියලුම ණයකරුවන්ගේ තොරතුරු රැස් කරන්නේ නැත්නම් කවදාවත් ණයක් නොගත්ත යම් පුද්ගලයෙක් ණයක් ගන්න මේ ආයතනවලට ගියහම ඔවුන්ට රටේ තියෙන බැංකු විසිහයකටයි මූල්‍ය ආයතන හතළිස් ගණනකටයි කතා කර කර බලන්න ඕනේ මේ පුද්ගලයා කලින් ණය අරගෙන තියෙනවද කියලා. ඒ වගේම ඔහුගේ වත්කම්, ආදායම් මාර්ග සහ ණය ආපසු ගෙවීමේ හැකියාව පිළිබඳව මුල ඉඳලා හොයන්න ඕනේ. නමුත් අපේ වාර්තා නිසා ඒ සියලුම කාර්යයන් පහසු වෙනවා.’’

උකස් ණය හැරුණු විට අනෙක් සියලුම ණය පිළිබඳ තොරතුරු සිය කාර්යාංශය විසින් රැස්කර ගන්නා ආකාරය හෙතෙම වැඩිදුරටත් පැහැදිලි කළේ මෙසේය.

‘‘දැන් අපි දන්නවනේ ක්‍රිබ් වෙනවා කියලා එකක් නැහැ කියලා. දැනට අපි එකතු කරන්නේ නැත්තේ උකස් ණය පිළිබඳ තොරතුරු විතරයි. ඒ හැර රුපියලකට වැඩි ඕනෑම ණයක්, ඒකට සීමාවක් නැහැ. ගෙව්වත් නැතත්, ලීසිං එකක් වුණත්, ක්‍රෙඩිට් කාඩ් එකක් වුණත් අපේ සාමාජිකයන් වෙන සියලුම ආයතන නීතියෙන් බැඳිලා ඉන්නවා තමන්ගේ සියලුම ණය පිළිබඳ තොරතුර දින තිහක් ඇතුළත අනිවාර්යයෙන් අපේ කාර්යාංශයට ලබාදෙන්න.’’
බැංකු නිලධාරීන් ණයගැතියන් බිය ගැන්වීමට භාවිත කරන තවත් උපක්‍රමයක් වන්නේ ක්‍රිබ් වාර්තාවේ විවිධ වර්ණවලින් ණය සීමාවන් සටහන් කර තිබීමයි. එහි සත්‍ය තත්ත්වයද සාමාන්‍යාධිකාරීවරයා පැහැදිලි කළේය.

‘‘යම් ණයකරුවෙක්ගේ ණය ගෙවීම් ප්‍රමාදවීම් දින එකසිය අසූවට වැඩි නම් අපි ඒක වාර්තාවේ රතු පාටින් සටහන් කරනවා. ඊට අඩු නම් කහ පාටින් සටහන් කරනවා. හොඳට ගෙවීම් සිදුවෙලා නම් කොළ පාටින් සටහන් කරනවා. ඒ විදිහට වර්ණ භාවිත කරලා තියෙන්නේ වාර්තාව පරිහරණය කරන පුද්ගලයන්ට පහසුවෙන් ඒ අවස්ථාව හඳුන ගන්න විතරයි. ඒකෙන් කිසිම තීරණයක් ලබාදෙන්නේ නැහැ. කවුරු හරි වඩාත් හොඳයි කියලා යෝජනා කරනවා නම් අපිට ලබන මාසේ ඉඳන් රතු පාට වෙනුවට වෙනත් වර්ණයක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැතුව වර්ණ භාවිත කරන්නේ මිනිස්සු බය කරන්න නෙමෙයි.’’

ලිපියේ මුලින් සටහන් කර ඇති ආකාරයට බැංකු සහ මූල්‍ය ආයතන පවසන තවත් කරුණක් නම් ණය ගෙවා අවසන් කළද ක්‍රිබ් එකෙන් නිදහස් කිරීමේ ලිපියක් ලබාදීමට මාසයක් හෝ මාස කිහිපයක් හෝ (යම් කාලයක්) ගතවන බවයි. එම ‘ක්‍රිබ් ලිපියේ’ කතාව පිළිබඳව සාමාන්‍යාධිකාරී පැහැදිලි කළේ මෙලෙසිනි.

‘‘ණය දීලා තියෙන්නෙත් එයාලා නම් (බැංකු), ණය අයකරගෙන තියෙන්නෙත් එයාලා නම්, අපිට ඒ පිළිබඳ තොරතුරු එවලා තියෙන්නේත් එයාලා නම් අපි ලියුම් දෙන්නේ මොකටද? ඔබ ණයෙන් නිදහස්, වෙනත් ණයකට යනවා නම් ඒකට අවශ්‍ය ණය ගෙවා අවසන් කියන ලියුම ගන්න ඕනේ අදාළ ණය ලබාදුන් ආයතනයෙන්ම පමණයි. ඔබ මාසේ මුලදී අවසන් වාරිකයත් ගෙවලා ණය අවසන් කරලා තියෙනවා නම් මාසේ අන්තිමට අපිට ඒ පිළිබඳව තොරතුරු එවනකම් ඉන්න ඕනේ නැහැ අලුත් ණයකට යන්න. ඔබට පහුවෙනිදාම ණය ලබාදුන් ආයතනයෙන් තමා​ගේ ණය මුදල හෝ හිඟ මුදල ගෙවා අවසන් කියලා ලියුමක් ගන්න. ඒ සඳහා අපිට ලිපි නිකුත් කරන්න බැහැ. හැබැයි මෙහෙම වෙන්න පුළුවන්. ඔබ මාසේ මුලදී හිඟ මුදල ගෙවලා පහුවෙනිදට ක්‍රිබ් රිපෝට් එකක් ගත්තොත්, එතකොට ඔබ සටහන් වෙලා තියෙන්නේ තවමත් අදාළ මුදල නොගෙවූ පුද්ගලයෙක් විදිහට. මොකද ඔබේ ගෙවීම පිළිබඳ තොරතුරු අදාළ ආයතනය අපිට එවන්නේ මාසේ අන්තිමට. ඒ නිසා අපි හැම තිස්සෙම තොරතුරු යාවත්කාලීන කිරීම අතින් ඉන්නේ දින 30 ක් පිටුපසින්.’’

සාමාන්‍යාධිකාරීවරයා පැහැදිලි කර දෙන ආකාරයට ණය ලබාගත් පුද්ගලයන්ට මෙන්ම ඔවුන් වෙනුවෙන් ඇපයට අත්සන් කළ පුද්ගලයන් සඳහාද බලපාන්නේ මෙම එකම ක්‍රියාවලියයි. කෙසේ වෙතත් ණය පැහැර හැරි පුද්ගලයකුට ඇපකරුවකු ලෙස අත්සන් කළ පමණින් එම පුද්ගලයාට අලුතින් ණය නිකුත් කිරීමෙන් වැළකී සිටින්නට ‘එපා’ යැයි මහ බැංකුව විසින් බැංකු හා මූල්‍ය ආයතනවලට මේ වන විට දිගින් දිගටම උපදෙස් ලබාදෙමින් සිටින බවද හෙතෙම සඳහන් කළේය. ඇපයකට අත්සන් කළ පමණින් ණයක් නිකුත් නොකර සිටින ලෙස කියැවෙන කිසිදු නීතියක් නොමැති බවද ඔහු පෙන්වා දුන්නේය.

අප අවසන් වශයෙන් ණය තොරතුරු කාර්යාංශයෙන් විමසා සිටියේ ණය ගැතියන් වඩාත්ම පීඩාවට පත්වන ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල ණය සමග කාර්යාංශයේ පවත්නා බැඳීම පිළිබඳවයි.

‘‘බැංකුවලින් නිසි පරිදි ණයක් ගන්න බැරි අඩු ආදායම්ලාභී පිරිස් බහුතරයක් යොමුවෙන්නේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලට. ඒවායේ තියෙන්නේ සීයට අනූවකට වඩා වැඩි පොළියක්. එත් ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ලබාගත් ණය පිළිබඳ කිසිම තොරතුරක් ලබාගැනීමේ නීතිමය හැකියාවක් ක්‍රිබ් එකට නැහැ. ඒ නිසා එම ආයතනවලට කොහෙත්ම බැහැ ක්‍රිබ් එකේ නම තියෙනවා කියලා ණයගැතියන්ව බය කරන්න. මොකද ඔවුන්ගේ කිසිම තොරතුරක් අපි ළඟ නැහැ. ඒ වගේමයි අන්තර්ජලය ඔස්සේ ණය ලබාදෙන සමාගම්වලින් ණය ලබාගන්න කිසිදු පුද්ගලයෙක් පිළිබඳ තොරතුරුත් අපි ළඟ නැහැ’’ යැයි පැවැසූ සාමාන්‍යාධිකාරීවරයා අවසන් වශයෙන් රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඉහත කියූ ඕනෑම කරුණක් පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීමට අවශ්‍ය නම් වහාම සිය කාර්යාංශය අමතන ලෙසයි. එමෙන්ම ණයක් ලබාගත් ඕනෑම පුද්ගලයකු තමන්ගේ ක්‍රිබ් වාර්තාව තමන්ම ලබාගෙන ඒ පිළිබඳ අවබෝධයක් ලබාගෙන එම වාර්තාවත් සමග බැංකු හෝ මූල්‍ය ආයතන වෙත යෑම වඩාත් සුදුසු බවද හෙතෙම අවධාරණය කළේය.

නයන තරංග ගමගේ