brand logo

ක්‍රිකට් නිසා පුතා නැති වෙයි කියන බය තාත්තාට තිබුණා

13 November 2022

ක්‍රිකට් උපකරණ අරගත්තෙත් බොහොම අමාරුවෙන්

ලොකු වුණාම හමුදාවට යන්නයි උන්නේ

පාසලේ ක්‍රිකට් තිබුණේ වයස 15න් පහළ වෙනකම් විතරයි

පසුගිය ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැති තරගයේදී විරාත් කෝලිට උන්හිටි තැන් අමතක කළ පන්දු යවන්නා ඔහුය. ඒ ඔහු කෝලිගේ කඩුල්ල ගැලවී යන්නටම සුපිරි පන්දුවක් යොමුකරමින් ඔහුව දවාගත් නිසාය. විස්තර විචාරකයන් පවා එදා එම පන්දු යැවීම හැඳින්වූයේ ‘සුපිරි පන්දු යවන්නකුගේ ආගමනයක්’ ලෙසිනි. මෙකී කෝඩුකාර පන්දු යවන්නා වෙන කවුරුත් නොව වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංකය. පසුගියදා පුහුණුවීම් අතරතුර සිදුවූ ආබාධයක් නිසා ඩිල්ෂාන්ට තමන්ගේ මංගල ලෝක කුසලානය අහිමි විය. එවන් මොහොතක අප ඩිල්ෂාන්ගේ මව වන කේ.ජී. නිලන්තිට කතා කළේ ආදරණීය පුතා ගැන ඇගෙන් දැනගැනීම සඳහායි... ඩිල්ෂාන් පුතා ගැන අම්මට මොකද හිතෙන්නේ? ආසියා කුසලාන තරගාවලියෙන් පස්සේ එයා අපේ ක්‍රිකට් කණ්ඩායමට නැතුවම බැරි ක්‍රීඩකයෙක් වුණා. ඒ ගැන ලොකු සතුටක් තියෙනවා. ඒත් පුතා ගොඩාක් ආසාවෙන් ක්‍රීඩා කරන්න බලාගෙන හිටපු විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ආබාධ තත්ත්වයක් නිසා එයාට අහිමිවුණු එක නම් දරාගන්න හරි අමාරුයි. මොකද ලෝක කුසලානයේදි ඩිල්ෂාන් පුතාගේ වැඩ බලන්න අපි ගොඩාක් ආසාවෙන් හිටියේ. ඩිල්ෂාන් ජාතික කණ්ඩායමට තේරුණා කියන ආරංචිය ලැබුණ දවස අම්මට මතකද? ඒ දවස නම් මට කවදාවත් අමතක වෙන්නේ නෑ. ඇත්තටම මට හිතාගන්න බැරිවුණා. අනික ආසියා කුසලානය වගේ තරගාවලියකට කැඳවද්දි තවත් සතුටු හිතුණා. මොකද අපි කවදාවත් හිතුවේ නෑ එයා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරයි කියලා. ඩිල්ෂාන්ට ක්‍රිකට්වලට යොමුවෙන්න බලපෑ මොකක් හරි හේතුවක් තිබුණාද? පොඩි කාලේ ඉඳන්ම එයා ක්‍රිකට්වලට ආසයි. ඒ කාලේ ඉඳන්ම ගමේ ළමයි එක්ක කණ්ඩායමක් හදාගෙන ක්‍රිකට් තරගවලට යනවා. එහෙම ගිහින් හැමදාම දිනලා තමයි එන්නේ. ගෙදර කබඩ් පුරවලා කුසලාන තියෙනවා. එහෙම ක්‍රිකට් ගහන්න ගිය පුතා ජාතික කණ්ඩායමට තේරෙයි කියලා අම්මා හිතුවද? ඇත්තටම හිතුවේ නෑ. මොකද මෙයාගේ පාසලේ 15 න් පහළ වෙනකල් විතරයි ක්‍රිකට් තිබුණේ. 19 න් පහළ එහෙම තිබුණේ නෑ. දවසක් හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රිකට් පුහුණුකරු මංජුල සර් මෙයාට කියලා තිබුණා හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේ පන්දු යවන්නන් තෝරාගන්න වැඩසටහනක් තියෙනවා එන්න කියලා. පුතා ඒකට ගියා. එදා ඒකට ඇවිත් තිබුණේ චමින්ද වාස්. පස්සේ වාස් සර් පුතා බෝල් කරන විදිහ දැකලා එයාගේ දුරකථන අංකය ඉල්ලගෙන කොළඹට එන්න කිව්වා. පුතා ජාතික කණ්ඩායමට එන්න හැරවුම් ලක්ෂ්‍යය වුණේ ඒක තමයි. ජාතික ක්‍රිකට් කණ්ඩායමට එන්න ඩිල්ෂාන් මොන තරම් කැපකිරීම් කළාද? අපි සල්ලි තියෙන මිනිස්සු නෙවෙයි. ඉතින් පුතාට ක්‍රිකට් බඩු ගන්න එහෙම අමාරුකම් තිබුණා. සමහර දවස්වලට යාළුවන්ගෙන් ඉල්ලගෙන ගියේ. හැබැයි අපි අපිට පුළුවන් විදිහට එයාගේ ගමනට උදව් කළා. ඩිල්ෂාන් ක්‍රිකට් ගහනවට එයාගේ තාත්තා නම් පොඩ්ඩක්වත් කැමැති වුණේ නෑ නේද? ඒක ඇත්ත. එයා බයෙන් හිටියේ ක්‍රිකට් ගැහිල්ල නිසා පුතා නැතිවෙයි කියලා. මොකද ක්‍රිකට් හින්දා සමහර දවස්වලට එයා ගෙදර නෑ. එතකොට පන්ති යන්නේ නෑ. එතැනින් ගියාම ඉස්කෝලේ වැඩ කරන්නේ නෑ. මට මතකයි දවසක් එයාගේ තාත්තා පුතාව ළඟට ගෙන්නගෙන ඇහුවා ක්‍රිකට් ගහ ගහ හිටියම හරියයිද කියලා. එදා පුතා කිව්වා ලොකුවුණාම හමුදාවට යනවා කියලා. දැන් නම් එයාගේ තාත්තා පුතා නිසා අපටත් වඩා සතුටු වෙනවා. ඩිල්ෂාන් කියන්නේ පාසල් කාලේ එහෙම මොන වගේ දරුවෙක්ද? අපි ඉන්නේ හුංගම. ඒක නිසා එයා පාසල් ගියෙත් හුංගම විජයබා ජාතික පාසලට. ඒ කාලේ ගත්තොත් ඩිල්ෂාන් කියන්නේ ඉගෙනීමේ වැඩ ටික හොඳට කරගෙන හිටපු ළමයෙක්. එයා දඟ වැඩ එහෙමත් නොකෙරුවාම නෙවෙයි. ඒත් අහිංසක පැත්තට ටිකක් වැඩිපුර බරයි. පසුගිය ආසියානු කුසලානයේදි ඉන්දියාව එක්ක තරගයේදි පුතා විරාත් කෝලිගේ කඩුල්ල ගන්නකොට අම්මට මොකද හිතුණේ? එදා පුතා කෝලිගේ විකට් කණු තුන ගලවද්දි අපි ගේ හෙල්ලෙන්න කෑ ගැහුවා. මොකද කෝලිගේ කඩුල්ල ගන්න එක ලේසි වැඩක් නෙවෙයිනේ. ඒත් මගේ පුතා අන්තිමේදි ඒක කළා. එදා තරගයෙන් පස්සේ පුතා කාටද මන්දා ‘කෝලි නම් ගේමක් නෑ බබා’ කිව්වා කියන්නේ ඇත්තද? ඒක අපේ ක්‍රිකට් කණ්ඩායමේ ළමයි විහිළුවට කිව්ව කතාවක්. අර ටීවී ප්‍රෝගෑම් එකකදිනේ ඔය කතාව චරිත් අසලංක පුතා කිව්වේ. හැබැයි අපි දැනුවත්ව එයාට ගෑනු ළමයෙක් නම් ඉන්නවා. ආසියා කුසලානය ජයග්‍රහණය කරලා එද්දි ගමෙනුත් ඩිල්ෂාන්ට ලොකු ප්‍රතිචාරයක් ලැබුණා නේද? අනේ ඔව්. එයා ආසියා කුසලානෙට යද්දි ගමේ ගොඩාක් අය දන්නෙත් නෑ. අනික එහෙම ගියාට අපි වුණත් හිතුවේ නෑ කණ්ඩායමට ක්‍රීඩා කරයි කියලා. හැබැයි එයා ආයෙත් ගමට ආවේ වීරයෙක් වෙලා. එයාගේ ඉස්කෝලෙන් වගේම ගමෙන් ලොකු පිළිගැනීමක් ලැබුණා. ආබාධ තත්ත්වයක් නිසා විස්සයි විස්ස ලෝක කුසලානය මගහැරුණා නේද? එයා ටිකක් බයෙන් හිටියේ. මොකද ආසියානු කුසලානය ඇරුණම එච්චර ලොකු තරගාවලියක් එයා ක්‍රීඩා කරලා නෑනේ. හැබැයි එයා ලෝක කුසලානය වෙනුවෙන් ගොඩාක් මහන්සි වුණා. ඒත් අවාසනාවට ඒ අවස්ථාව එයාට අහිමි වුණා. අම්මා කැමැති ඩිල්ෂාන් ක්‍රිකට්වලින් කොයි වගේ තැනකට යනවටද? පුතාට තාම අවුරුදු 22 යි. හොඳම වයසේ තමයි එයාට කණ්ඩායමට එන්න ලැබුණේ. මං ආසයි දවසක එයා ලෝකයේ හොඳම පන්දු යවන්නා වෙනවා දකින්න. එදාට නම් මට ඊට වඩා සතුටක් නැතිවෙයි. රුවන් එස්. සෙනෙවිරත්න
 

More News..