කතුවැකි

ක්‍රිකට් ගහන්න වහල්ලු ඇවිත්!

ක්‍රිකට්, ශ්‍රී ලාංකිකයන් බහුතරයකගේ ආගම බඳුය. ඒ බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්ලාම් කවුරුත් එකට එක් වී එකම ප්‍රාර්ථනාව කරන්නේ ක්‍රිකට්වලදී නිසාය.

එහෙත් දැන් කාලෙක සිට මේ ක්‍රිකට් දේවාලය ගරා වැටෙන්නට පටන්ගෙන තිබේ. පරදින පරදින තරගයක් පාසා වැරදි අඩුපාඩුකම් හදාගෙන ඉදිරි තරගයට මුහුණ දෙන බව අප ක්‍රිකට් නායකයෝ නිතරම කීහ. එහෙත් එකම ප්‍රකාශය නිතර නිතර කීමෙන්, එය ඇති වෙන අවස්ථාවක් එන්නේය. පසුගිය එංගලන්ත සංචාරයට පෙර ඒ අවස්ථාව උදා විය. ඒ නිසා එංගලන්තයට යාමට පෙර ක්‍රිකට් නායකයා මෙසේ කීවේය.

‘‘අපිට දැන් නැති වෙන්න දෙයක් නෑ. අපිට වාගේ නෙවෙයි එංගලන්තයට නැති වෙන්න දෙයක් තියෙනවා. එංගලන්ත කණඩායම මේ තරගෙ පරාද වුණොත් ඒගොල්ලෝ පහළට වැටෙනවා. ඒ නිසා නැති වෙන්න දෙයක් නැති අපි මේ තරගාවලිය හොඳට කරනවා.’’ එංගලන්තයත්, ලංකාවත් විස්සයි විස්ස තරග තුනකට මුහුණ දී එංගලන්තය තරග තුනම බේරාගෙන ඇති අතර අපේ කණඩායමේ තුනම ගිලිහී ගොසිනි. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ආර්ථිකය, මානව හිමිකම් එන්නත් කිරීම, මළමිනී වැළලීම ආදී මෙකී නොකී හැමදේටම හොට දාන යස්මින් සුකාද දැන් ලංකාවේ අපකීර්තිය ගැන කතා කරන්නේ ක්‍රිකට් ඉදිරියට දමමිනි.

‘‘ලංකාව ක්‍රිකට්වලට වාගේම මානව හිමිකම්වලටත් ප්‍රසිද්ධයි,’’

ඇය ක්‍රිකට් ගැන සඳහන් කළේ කුසල් මෙන්ඩිස්, දික්වැල්ල ආදී ක්‍රීඩකයන් මහ රෑ එංගලන්ත නගර මධ්‍යයේ අයාලේ ගිය ගමන ගැන සිහි කරමිනි.

එදා කීර්තිය ගෙනා ක්‍රීඩාව අද ලංකාවට අපකීර්තියද, එදා දක්ෂතාවට නම රැන්දූ ක්‍රීඩාව අද ලංකාවේ බෙලහීනකමද විනය විරෝධී හැසිරීමද පෙන්වන තැනක් වූයේ කෙසේද?

අතීතයේ ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වා ගත්තේ මහත්වරුන්ගේ ක්‍රීඩාව වශයෙනි. එසේ ක්‍රිකට් හැඳින්වූයේ එහි යෙදෙන උන්ගේ ගුණ යහපත්කම, සාධු චර්යාව නිසා නොව එහි යෙදෙන උන්ම එය ඒ නමින් හඳුන්වාගත් නිසාය.

ඉතිහාසයේ ක්‍රීඩාවකට කළ හොඳම සන්නාමකරණය වනුයේ ක්‍රිකට් මහත්වරුන්ගේ ක්‍රීඩාව කිරීම ය. එංගලන්තයේ ක්‍රිකට් පිටියට වත්කම් ඇති වුන්ට පිවිසෙන්නට එක දොරටුවකුත්, නැතිවුන්ට පිවිසෙන්නට තවත් දොරකුත් අරින උන් මොන මහත්වරුද? ලංකාවේ ජාතික කණ්ඩායමට කොළඹ පාසල් කිහිපයකින් පමණක් ඇතුළත් කර ගන්නා පිටස්තර ප්‍රදේශවලින් ක්‍රීඩකයන්ට එන මග ඇසිරූ උන් මොන මහත්වරුන්ද? අද කුසල් මෙන්ඩිස් මැදියම් රෑ වෙරි වී වාහන පැද පාරේ යන මිනිහෙක් යට කළ විට කියන්නේ අද මහත්තුරුන්ගේ ක්‍රීඩාව වෙනස් නිසා එසේ වන බවය. එදා සුප්‍රසිද්ධ මිනීමැරුමක් වූ සතාසිවම් මිනී මැරුම් නඩුවේ විත්තිකාරයා වූයේ ජාතික කණ්ඩායේම සිටි ක්‍රිකට් ක්‍රීඩක සතාසිවම් ය. එබැවින් එදා ක්‍රිකට් මහත්වරුන්ගේ ක්‍රීඩාවක් යැයි කීම බ්‍රෑන්ඩික් වැඩකි.

එහෙත් එදා වෘත්තීය ක්‍රීඩකයන් යැයි අද හඳුන්වන ව්‍යාපාරික පන්තියේ ක්‍රීඩකයන් සිටියේ නැත. ක්‍රිකට් ගහන්නට යනවා නම් රැකියාවෙන් නිවාඩු දමා ඊට යා යුතුය. 1975 පළමු ලෝක කුසලාන තරගාවලියට සරවනමුත්තු ක්‍රීඩා පිටියේ සිට කටුනායකට ලංකා කණ්ඩායම ගියේ ලංගම බසයකින් බව බසය ඉදිරිපිට හිඳ ගත් ඡායාරූපයක් සාක්කි කියයි. එදා පළමු පෙළ වුව ක්‍රිකට් ගසන්නට එන අය පිත්ත, පෑඩ්ස් මතු නොව ගාඩ් එකද තමන් සපයාගත යුතුය.

ක්‍රිකට් සමාජයේ තිබෙන ගාඩ් එක ලේන්සුවෙන් ඔතා කලිසම යටින් ඇඳගන පිට්ටනියට බැස්ස ක්‍රීඩකයන් සිටි බව අතීතයේ ක්‍රිකට් ගැසූවෝ අද කියති. එදා ක්‍රීඩා සමාජයේ පිත්ත අරගෙන ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ පොදුවේ තියෙන පෑඩ්ස්, ග්ලව්ස්, ගාඩ් ඇඳගෙන පිට්ටනියට බැස්ස ක්‍රීඩකයා කාගේවත් ණයකාරයෙක් වූයේ නැත. දිනා දෙන්නට ක්‍රිකට් සමාජයක්, රටක්, තරගයක් ඔහුට තිබිණ. අද වෙළෙඳ නාමය, තඩි අකුරෙන් පිටේද, පපුවේද ලියූ ටී ෂර්ටයද, තොප්පියද සමාගම් වෙනුවෙන් ඇඳගෙන පිට්ටනියට බහින්නේ වහලෙකි. ඒකා රෝමයේ ක්ලෝසියම් නම් පිටියට වහල් හිමියන් රැස්වී බලා සිටියදී සිංහයන් හා සටනට යෙදූ වහලෙක් බඳුය. ඌ ලකුණක් ගැසූ විට, පන්දුවක් දැමූ විට කුරුසය ලකුණු කර කර දෙවියන් වහන්සේට ස්තුති කරයි. රටක් සමාජයක් නැත. කළමනාකරුවෙක්, කොන්ත්‍රාත් ගිවිසුමක් ඇත.

එහෙත් මේ එංගලන්ත සංචාරයට ලංකා කණ්ඩායම විශේෂ පහසුකම් සහිතව ගෙන යාමේ වියදම මිලියන 69 කි. ඒ මුදල කෝටි හතකට ආසන්නය. ඔවුන් ගෙන ගියේ වෙනම විශේෂ ගුවන් යානයකිනි.

ක්‍රීඩාව වෘත්තීයභාවයකින් පැවතීම ඉතා වැදගත්ය. එහෙත් ඒ වෘත්තීය භාවයෙන් රටකට වැඩක් විය යුතුය. රටේ කීර්තිය ලොව පුරා පැතිර විය යුතුය. රටේ ප්‍රතිරූපය නැංවීමට එය ඉවහල් විය යුතුය. එහෙත් සිදු නොවන්නේද එයමය.

මාළුවා කුණු වෙන්නේ ඔළුවෙන් බව කියැවේ. ක්‍රිකට්ද කුණු වෙන්න ගත්තේ ඔළුවෙනි. එදා හැත්තෑව දශකයේ ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති කවුරුන්දැයි කවුරුත් නොදනී. ඇන්. ඇම්., රොබට් ගුණවර්ධන ආදීන්ද මේ ක්‍රිකට් මුල් පුටුව හෙබවූහ. එහෙත් අද එසේ නොවේ. අද ක්‍රිකට් පාලක මණ්ඩලයට රිංගීමට තිබෙන සටන මේ රටේ තිබෙන ජනාධිපතිවරණය බඳුම තරගයකි.

2015 ලංකාවේ පළමු පෙළ ක්‍රිකට් තරග පැවැත්විය හැකි ක්‍රීඩා සමාජ තිබුණේ 13 කි. ක්‍රිකට් සංගම් නිලවරණයේ ඡන්ද ලැබුණේ මේ සංගම් මගිනි. එහෙත් අද නිලවරණයේදී ඡන්ද 147ක් ක්‍රීඩා සමාජ 85 හරහා ගන්නට සිදුවෙයි. ක්‍රිකට් උපන් එංගලන්තයේ ක්‍රිකට් සංගමය තේරෙන්නේ ඡන්ද දහඅටකිනි. මහද්වීපයක් වූ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්‍රිකට් සංගමයට සභාපති තේරෙන්නේ ඡන්ද 22 කිනි. ඒ අනුව ලංකාවේ ක්‍රිකට් සංගම් තිබෙන්නේ සභාපති පත්කර ගැනීමේ ඡන්ද ගොඩ වැඩිකර ගැනීම සඳහා මිස ක්‍රිකට් වෙනුවෙන් නොවන බව දන්නෝ දනිති.

ක්‍රිකට් සංගමයට වාර්ෂිකව මිලියන දහස් ගණනක් ලැබෙයි. මේ මහා මුදල විගණනය වන්නේ නැත. මේ සංගමය කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේ එම මුදල් කන්දරාවට වූ දේ පැහැදිලි කරන්නට සමතෙක් සිටියේ නැත. ඉදින් මාළුව කුණු වී තිබෙන්නේ ඔළුවෙන් බව නොපෙනේද?