ක්‍රීඩා

ක්‍රිකට් ක්‍රීඩාව බුකියාගේ ජොකියා වූ හැටි

අද වන විට රටේ ක්‍රීඩා මාතෘකාව ක්‍රිකට් තරග පාවදීමය. නැතිනම් ‘මැච් ෆික්සිං’ ය. 2011 ලෝක කුසලාන අවසන් මහා තරගයේ පරාජය යනු අස්වාභාවික වූවකැයි එවක ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රකාශයෙන් එම මාතෘකාව බිහිවිය. නමුත් ක්‍රිකට් තරග පාවාදීම යනු අපට නුහුරු නුපුරුදු මාතෘකාවක් නොවේ. තරග පාවාදීම පසුපස ඇත්තේ ඔට්ටුය. නැතිනම් බුකිකරුවන්ය. ඉස්සර අප දැනගෙන සිටි පරිදි ඔට්ටු ඇල්ලීම රැඳී තිබුණේ තුරග තරග හෙවත් අශ්ව රේස් වටාය. ‘රේස් බුකිය’ අප ව්‍යවහාරයට එන්නේ එසේය. නමුත් අද වන විට ලෝක රූ රැජින තේරීමේ තරගයට පවා ඔට්ටු දැමෙන තරමට ඔට්ටුදැමීමේ ක්ෂේත්‍රයේ විෂය මාලාව පුළුල් වී තිබේ. ඒ අතර ඇති ක්‍රීඩා සැලකූ විට, ක්‍රිකට් ක්‍රීඩාවට සුවිශේෂී තැනක් හිමිවෙයි. මේ වන විට එක්දින ක්‍රිකට් සහ පන්දුවාර 20 ක්‍රිකට් අංශවල පන්දුවක් පන්දුවක් ගානේ මෙන්ම ටෙස්ට් පිටියේද බරටම ඔට්ටු දැමෙයි. ක්‍රිකට් ක්‍රීඩාව මේ සා සක්‍රියව බුකිය තුළට යෑමට හේතුවූ කරුණු කවරේද? එහි ඉතිහාසය කුමක්ද? අද වන විට බුකිය හා ක්‍රිකට් ක්‍රීඩාව අතර ඇත්තේ කවරාකාරයේ සම්බන්ධයක්ද? එය පෙර තිබුණු තැනට වඩා සංකීර්ණද? නැතිනම් මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාව පෙරට සාපේක්ෂව බුකියේ ග්‍රහණයෙන් මිදී ඇත්තේද? මේ ඒ පිළිබඳවය.

තරග පාවාදෙනවා?

තරගයක ඒ ඒ මොහොතේදී සිදුවිය හැකි දෙයක් හෝ තරගයේ සමස්ත ප්‍රතිඵලය වශයෙන් සිදුවිය හැකි දෙයක් පාදක කරගනිමින් ඔට්ටු දැමීම සිදුවේ. ඒ අනුව එය සිදුවීමේ හෝ සිදුනොවීමේ සම්භාවිතාව මත ඔට්ටු අල්ලන්නා හො බුකිකරුවාට දිනීමේ අවස්ථාව හිමිවේ. තරගය සම්බන්ධයෙන් මීළඟට සිදුවිය හැකි දෙය කල්තියා බුකිකරුවා දනීනම් එයට අනුව තමන්ට උපරිම වාසි ලැබෙන සේ ඒ ඒ අනුපාතයෙන් යුක්තව ඔට්ටු සඳහා නිමිති සැපයීමට බුකිකරුවාට හැකිය. මේ සඳහා බුකිකරුවාගේ තෝරාගැනීම වනුයේ එක්කෝ ක්‍රීඩකයෙකි. නැතිනම් කණ්ඩායමට සම්බන්ධ වෙනත් අයෙකි. බුකිකරුවාගේ උවමනාව අනුව ක්‍රීඩා කිරීම හෝ බුකිකරුවාට වාසිදායක වන අන්දමට ඔට්ටු නිමිති සකසාගැනීමට හැකිවන සේ කණ්ඩායමේ තරග සැලසුම් එම පාර්ශ්වයන් වෙත සැපයීම යන මේ සියල්ලම තරග පාවාදීම් ගනයට වැටෙයි.

බුකිකරුවා ක්‍රිකට් වලට පෙරේත වුණේ ඇයි?

ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වභාවය ඒ තෝරාගැනීම සඳහා විශේෂයෙන් හේතු වී තිබේ. මූලික වශයෙන්ම එය එක මොහොතක පිටියේ පැවරෙන කාර්යය අනුව ප්‍රධාන චරිත දෙක තුනකට පමණක් ඉලක්ක වන කණ්ඩායම් ක්‍රීඩාවක් වීමය. එනම් අදාළ මොහොතේදී ක්‍රීඩාව ක්‍රියාත්මකවීමට ප්‍රධාන වශයෙන් හේතුවන්නේ පන්දු යවන්නා හෝ පිතිකරු වීමය. මේ ප්‍රධාන චරිත දෙකෙන් එකකට තම ‘රූකඩ නූල’ දැමීමෙන්ම බුකිකරුවාට සිය අවශ්‍යතාව සපුරාගත හැකිය. නමුත් පාපන්දු වැනි ක්‍රීඩාවක් ගත්විට පන්දුව ක්‍රීඩකයන් අතර දෝලනය වන ආකාරය ගත්විට එසේ කළ නොහැකිය. එවැන්නක් කිරීමට නම් කණ්ඩායමේ සිටින මහා පිරිසක් බුකිකරුවෙත නංවාගත යුතුය. ඒ අනුව ක්‍රිකට් වැනි ක්‍රීඩාවකදී බුකිකරුවාට අවශ්‍ය පරිදි ඔට්ටු ඇල්ලීමේ ක්‍රියාව හසුරුවාගැනීම පහසුය.

අනෙක් කරුණ වන්නේ ක්‍රිකට් යනු පන්දු වාරයෙන් පන්දු වාරයට කොටස් වශයෙන් ගලායන ක්‍රීඩාවක් වීමය. එහිදී පන්දුවෙන් පන්දුවට හෝ පන්දු වාරයෙන් පන්දු වාරයට හෝ නැතහොත් එක්තරා පන්දු වාර ප්‍රමාණයක් ඇතුළත් වන සේ හෝ මදි නැතිව ඔට්ටු නිමිති සපයාගැනීමට බුකිකරුවාට අවස්ථාව ලැබේ. (ඒ අතුරින් එක නිමිත්තක් තමන්ට වාසිය ලැබෙන සේ ඇඟට පතට නොදැනී අවශ්‍ය දෙසට හරවා ගැනීමටද බුකිකරුවාට හැකියාව ඇත) අනෙක් ක්‍රීඩාවක් ක්‍රියාත්මක ස්වභාවය දෙස බැලීමේදී එවැනි අවස්ථා අල්පය. ඒවායේදී සමස්ත තරග ප්‍රතිඵලය හෝ තරගයේ එක් අර්ධයක ප්‍රථිඵලය ආදී කරුණු හැරුණු විට ඔට්ටු නිමිති නැත.

චීනයේත් ක්‍රිකට් ඔට්ටු

ලෝකයේ ක්‍රිකට් ඔට්ටු දැමීමේ වෙළෙඳපොලේ වැඩි අගයක් පවතිනුයේ ආසියාව ආශ්‍රිතවය. විශේෂයෙන්ම ඉන්දියාව තුළ එය දැවැන්ත වෙළෙඳපොළකි. අශ්ව රේස් හැරුණු විට ක්‍රීඩාව සම්බන්ධයෙන් වෙනත් ඔට්ටු සඳහා ඉන්දියාවේ නීතිමය අවසරයක් නැති වුවද එය දවැන්ත ලෙස එළිපිටම එරට ක්‍රියාත්මකය. නමුත් එයට අදාළ තරගපාවාදීමට එරෙහි දඬුවම් ඇතුළත් නීති පනත් ඉන්දියාවේ අදටත් නැත. (ලංකාව එවැනි පනතක් සම්මත කළ දකුණු ආසියාවේ පළමු රටයි) ඒ නිසා ඉන්දියාව ‘බුකි රිළවුන්ට’ ඉනිමං බැඳ ඇති දේශයකි. ක්‍රිකට් රටවල් නොවූවද සිංගප්පූරුව සහ චීනය ආශ්‍රිතවද සුවිශාල ක්‍රිකට් ඔට්ටු ව්‍යාපාර ක්‍රියාත්මකය.

ක්‍රිකට් ඔට්ටු ඉතිහාස කථාව සහ මට්ටු වූ තැන්

ක්‍රිකට් ආශ්‍රිත ඔට්ටු දැමීමේ කතන්දරයේ ඉතිහාසය වඩාත් සක්‍රියව ඇත්තේ 2000 වසරට පෙරය. එහි ඇරුඹුම 1990 වසරේ එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේ තිබූ සාජා තරගවලිය යැයි කියැවේ. එතැනින් ඇරැඹුණු ක්‍රිකට් ඔට්ටු කථාව පුපුරා යන්නේ වර්ෂ 2000 දී දකුණු අප්‍රිකාවේ හැන්සි ක්‍රොන් යේ, පකිස්තානයේ සලීම් මලීක් සහ ඉන්දියාවේ මොහොමඩ් අසරුදීන් යන කණ්ඩායම් නායකත්වය දැරූ ක්‍රීඩකයන් තිදෙනා බුකිකරුවන්ගේ උවමනාවට අනුව තරග ප්‍රතිඵල ලැබෙන සේ ක්‍රියා කළ බව හෙළිවීමෙනි. එනම් බුකිකරුවන්ට අවශ්‍ය සේ තරග පැරදීම විය හැකිය. මෙය හෙළිවීමෙන් පසු එම ක්‍රීඩකයන්ව ජීවිතාන්තය දක්වාම ක්‍රීඩාවෙන් එලවාදමා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තරග පාවාදීමට එරෙහිව බැඳි වැට ශක්තිමත් කළේය. එනම් බුකිකරුවට අවශ්‍ය තරග ප්‍රතිඵලය ලබාගැනීමේ අවස්ථාව උපරිමයෙන් අහුරන ලදී.

එහිදී එම වැටේ හිල් අතරින් රිංගා යමින්, ‘ස්පොට් ෆික්සිං’ හෙවත් ඒ ඒ මොහොත් තරගය තුළ සිදුවිය හැකි සිදුවීමක් නිමිති කරගනිමින් බුකිකරුවෝ ක්‍රියාත්මක වීමට පටන්ගත්හ. 2010 එංගලන්ත – පාකිස්තාන තරගාවලියක් අතරතුර පකිස්තානු ක්‍රීඩකයෝ කිහිපදෙනෙක් පොලිස් ප්‍රශ්නකිරීම්වලට ලක්වීමත් සමග මෙම ‘ස්පොට් ෆික්සිං’ රහසද පුපුරා ගියේය.

එයින් පසුව ඒ අන්දමේ තරග පාවාදීම්ද පහසු දෙයක් නොවීය. ජාතික කණ්ඩායම සමග රැඳෙමින් වසර ගණනාවක අත්දැකීම් සහිත චරිතයක් ඒ ගැන අපට පැවසුවේ මෙසේය.

බුකියට දැන් ලේසි නැහැ

‘2000 වර්ෂය වන තුරු තරග පාවාදීමේ අවස්ථාව තිබුණා. නමුත් 2000න් පස්සේ තරගයක තීරණය වෙනස් කරන මට්ටමේ පාවාදීමක් කරන්න අවස්ථාව නැතිවෙන විදිහට වටපිටාව සකස් වුණා. ඉන් පසුව කරනවා නම් කරන්න පුළුවන් දේ තමයි තනි ක්‍රීඩකයෙක්ව දැලට දාාගෙන ඔහුගේ ක්‍රීඩා කිරීමේ ස්වභාවය ඔට්ටුකරුවාට අනුව මෙහෙයවීම. උදාහරණයක් විදිහට කිව්වොත්, පිතිකරුවෙක් නම් පිටපිටම පන්දුවාර දෙකක් නිලකුණු වන හැටියට පිතිහරඹයේ යෙදීම, පන්දුයවන්නෙක් නම් පිට පිටම නිපන්දු දෙකක් හෝ වයිඩ් පන්දු යැවීම වගේ දේවල්. මේවාට කියන්නේ ස්පොට් ෆික්සිං කියලා. ඒත් මේ කාලෙ ඒකත් ලෙහෙසි නෑ. මොකද ඔට්ටුකරුවන් දාන ඔට්ටු ගැන අයි.සී.සී ය ඇහැ ගහගෙනයි ඉන්නේ. රටක පිළිගත් ඔට්ටු දැමීමේ ආයතන වගේම බ්ලැක්මාර්කට් එකේ සිද්ධවෙන ඔට්ටුදැමීම් ගැනත් අයි.සී.සී ය අවධානයෙනන් ඉන්නේ. බුකි කාරයෙක් අමුතු ඔට්ටුවක් දාලා, ඒක බුකිකාරයට වාසි වෙන විදිහට වුනොත් අයි.සී.සී ය ඒ ඔට්ටුව පස්සේ පන්නනවාමයි. උදාහරණයක් විදිහට හතරවෙනි ඕවරයේ තුන්වැනි බෝලේ නිපන්දුවක් වෙනවා කියලා බුකියා(ඔට්ටු දමන්නා) කියලා ඒක ඒ විදිහටම වුනොත් අයි.සී.සී ය ඒ පස්සේ පන්නවාමයි’

බුකියාට අහුවුණොත් කම්මුතුයි

‘අනික එකවතාවක් බුකියෙකුට අහුවුනෝතින් ආයේ ගැලවීමක් නැහැ. එතැන ඉඳලා හොඳින් හරි නරකින් හරි බුකියාට ඕනි විදහට වැඩකරන්න ක්‍රීඩකයට සිද්ධවෙනවා. මොකද බුකියා ක්‍රීඩකයාව බ්ලැක්මේල් කරනවා. ක්‍රීඩකයගේ ගෙදර අයට පවා තර්ජනය කරන තැනට බුකියා එනවා. එහෙම නැතිනම් පාවාදීම ගැන හැමෝටම කලින් නීති අංශ දැනුවත් කරන්නේ බුකියාමයි. හැන්සි ක්‍රොන් යේ ට වුනෙත් ඒකමයි. මිනිහා ෆික්සින් වලට සම්බන්ධවෙලා ඉඳලා එක තැනක කිව්වා ‘මම මේ තරම් කාලයක් ඒ දේ කළා. මට තවත් ඒක කරන්න බැහැ’ කියලා. එතැනදි මුලින්ම පොලිසියට හැන්සි ගැන කිව්වෙ ඒ බුකියාමයි. අනික මේ බුකිකාරයෝ ඔක්කොම පාතාල කාරයො. ඒ අයට සල්ලිබලය විතරක් නෙමෙයි, අපරාධ කරන්නත් පුළුවන්. සමහර විට බුකියෙක්ට අහුවෙන ක්‍රීඩකයෙක් විතරක් නෙමෙයි ඒ ක්‍රීඩකයගෙ පවුලේ උදවියට පවා ජීවිත අවදානමත් දරාගන්න වෙනවා. මැච් ෆික්සිං කියන්නේ ඒ තරම් දරුණු සෙල්ලමක්. මේ සෙල්ලමේ දරුණුකම වගේම මේ සෙල්ලම ලේසි නොවෙන්න අයි.සී.සී ය දමලා තියෙන දැල කොයි වගේද කියන එක අයි.සී.සී දූෂණ විමර්ශන අංශයේ ලොක්කා ඇලෙක්ස් මාර්ෂල් අවුරුද්දකට වතාවක්ම ලෝක ක්‍රිකට් කමිටුව ඉස්සරහට ඇවිත් මේ ගැන ඉදිරිපත්කිරීමක් කරනවා. එතැනදි රටෙන් රට අරගෙන උදාහරණ පෙන්වා දෙනවා’

ක්‍රීඩයෙක් තමන්ටත් නොදැනි බුකිකරුවකුගෙ අවශ්‍යතාව පිරිමහන තැනට පත්වෙන්න පුළුවන්දැයි අපි ඔහුගෙන් අසුවෙමු.

ඔය කව්රුත් බබ්බු නෙමෙයි

‘කොහොත්ම බැහැ. තමන්ට නොදැනි තමන් බුකිකාරයෙක්ගෙ අවශ්‍යතාව අනුව මෙහෙය වුණා කියලා කව්රු හරි කියනවා නම් ඒක බොරුවක්. ක්‍රීඩකයා දැනුවත්වමයි එහෙම වෙන්නේ. එක්කෝ සල්ලිවලට තියෙන කෑදරකමටම මේක කරනවා. එහෙම නැතිනම් ගෑනු කේස් එකකට වගේ පටලවලා බ්ලැක්මේල් කරලා ඒ ක්‍රීඩකයා ලවා මේක කරවනවා. කොහොම වුනත් ක්‍රීඩකයෙක්ගේ තියෙන දුර්වලතාවයකින් තමයි බුකිකාරයා රිංගගන්නේ. තනි තනි ක්‍රීඩකයා අල්ලගෙන කරන ඒ දේවල් කොහොම වුනත් තරගයක තීරණය අනිත්පැත්ත ගහන තැනට වැඩ කරවන එක නම් ලේසි වැඩක් නෙමෙයි. එහෙම කරන්න නම් කණ්ඩායමෙන් භාගයක්වත් ඒ වැඩේට නම්මගන්න වෙනවා. ඒක ප්‍රායෝගිකව හරිම අමාරු වැඩක්. රටක් නියෝජනය කරන තැනට ක්‍රීඩකයෙක් එන්නෙ සෑහෙන කැපකිරීමක් කරලා. රට නියෝජනය කරද්දි දැනෙන හැඟීමත් ඒ වගෙයි. එහෙම තැනක ඉන්න ක්‍රීඩකයන් කණ්ඩායමක් එවැනි දේකට එකඟ කරගැනීම කොහෙත්ම ලෙහෙසි වැඩක් කියලා මම නම් හිතන්නෙ නැහැ’

බුකියාගේ අලුත්ම ගොදුර

ඔහුට අනුව අද වන විට ප්‍රධාන ජාත්‍යන්තර තරගවලට බලපෑම් කිරීමේ අවස්ථාව බුකිකාරුවාට ලැබෙනුයේ අල්ප වශයෙනි. නමුත් ඒ වෙනුවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තියුණු ලෙස ඇස නොගැටෙන අනෙකුත් තරගාවලි බුකි කරුවන්ගේ ග්‍රහණයට හසුව තිබේ. දැන් හඳුන්වාදී ඇති ටී10 නමින් හැඳින්වෙන තරග අංශය ගොඩනගා ඇත්තේම ඔට්ටු වෙනුවෙන්ය යනු ප්‍රසිද්ද ‘කසුකුසුවකි’. ඉකුත් සමයේ මෙරට ක්‍රීඩකයන් කිහිපදෙන්කද ඇතුළුව ලොව බොහෝ ක්‍රීඩකයන් තරග පාවාදීමේ චෝදනාවට ගොදුරු වූයේ එම තරග අංශය ඇසුරිනි. අවසාන වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ පන්දුව සහ පිත්ත අතර තරගය යම්සේද බුකිකරුවා සහ ජීවගුණය අතර සටනද එසේමය.

ඉන්ද්‍රජිත් සුබසිංහ