විශේෂාංග

ක්ෂුද්‍රයාගේ කඳුළු

අන්තිම සිංහල රජ්ජුරුවන්ටත් පෙර කාලයේ සිට ලංකාවට පැමිණ සිටි නායක්කාර්වරු උඩරට ප්‍රභූන්ට ගිනි පොලියට ණයට දුන්හ. මොල්ලිගොඩ දිසාවේ පමණක් මේ නායක්කාර්වරුන්ගෙන් පගෝදි දහස් ගණනක් ණය ගෙන තිබුණ බව අතීත ලංකා පුවත්වල කියැවේ. ණයට දී ඇත්තේ රජ්ජුරුවන්ගෙ සනුහරේ ඇත්තන්ට වූ හෙයින් ණයගත් නිලමේවරුන්ට ණය නොගෙවා සිටීමටද බැරි විය. අන්තිමට උඩරට ප්‍රභූන් රජ්ජුරුවන් අල්ලා දී උඩරට රාජ්‍යය පාවා දීමටද මේ ණය වීම තවත් එක් හේතුවක් විය.

සුද්දන් සටන් කර ගත්තාට පසුව මේ රටේ ජනතාවට ණයට දුන්නේ ඉන්දියාවෙන් ආ හෙට්ටීන්ය. ඔවුන් ණය දීමත්, ණය අය කර ගැනීමටත් කෙතරම් සාහසික වූයේද යත් සිංහලයන් ඔවුන් හැඳින්වූයේ හෙට්ටි හැත්ත කියාය. ජේ.ආර්. ජයවර්ධන 1930 එදා මෙරට ජනතාව නියෝජනය කළ ජාතික සංගමය වෙනුවෙන් ඉන්දියාවට ගිය ගමනේදී ඉන්දියාවෙන් ආ හෙට්ටින් ඇතුළු ව්‍යාපාරිකයන් ණය දී ලක්වැසියන් ගසා කන තරම ගැන මහත්මා ගාන්ධිට පෙන්වා දුන් බව ඔහුගේ ජීවිත කතාවේ එයි. එහෙත් එදා ලොවටම මෙත් පැතිරූ මහත්මා ගාන්ධිගේවත් හදවත ණය බරින් පෙළෙන ලාංකිකයන් වෙනුවෙන් උණු වී ගිය බවක් කොතැනකවත් සඳහන් නොවේ.

අධිරාජ්‍යවාදීන්ගේද, නැගී එන ධනේෂ්වරයේද, ගම්මුලාදෑනි ආදී රදල ප්‍රජාවගේ පීඩාවට පත් වූ කාලයේ ලක්වැසියා එසේ අවිධිමත් වූ පිළිසරණක් නැති, අයුක්ති සහගත ණය උගුල්වල වැටුණත් දැන් එසේ නොවිය යුතු යැයි සිතේ. මක්නිසාද යත්, අධ්‍යාපනය, මහ බැංකුව මුල්කරගත් රාජ්‍ය ආර්ථික කළමනාකරණය, නූතන සන්නිවේදනය, රාජ්‍ය හා පෞද්ගලික බැංකු ආදී වූ නහුතයකුත් එකක් දෑ වලින් නූතන මිනිසා ආඪ්‍යව ඇති බැවිනි.
අදෝමැයි,
මේ මොහොතේ ගමට ගියත් ඇසෙන්නේ එක්දහස් නවසිය විසි, තිස් ගණන්වල ගමෙන් ඇසුණ කෙඳිරියමය. දැන් ඇසෙන කෙඳිරිය ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල ණය පොලී බරෙන් හෙම්බත් වූ ලක්වැසියන්ගේ කෙඳිරියය. ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ණය දීම අරඹන්නේ රුපියල් 3000 කිනි. මාසයකදී රුපියල් 3300 ක් සමග ඒ ණය ගෙවිය යුතුය. එහි වසරක පොලිය සියයට එකසිය විස්සකි. මාසයකදී රුපියල් 3300 ගෙවන ණයගැතියා ඊළඟට 5000ට යයි. පන්දහස දසදහසද ආදී වශයෙන් මහ මුදල්වලට යයි. මේ ණය ගන්නේ සුළු පරිමාණ ව්‍යාපාරික කටයුතුවලටය. ඇතැම් දුප්පත් ගැමි කාන්තාවන් ණය අරගෙන තිබෙන්නේ පාර අයිනේ පලා විකුණන තැනක බිමට එලා තිබෙන ගෝනිය පෙන්නා ඒ ව්‍යාපාරය දියුණු කර ගන්නටය. තවත් අම්මලා ණය අරන් තිබෙන්නේ තෙත හාල් කොටා පිටිකර ඉඳිආප්ප තම්බා කඩේට දාන ව්‍යාපාරවලටය. ඇතැමුන් මිදුලේ ඇහිඳන් කකා ඉන්නා කිකිළියන් දෙතුන් දෙනා පෙන්නා ණය ගත් අවස්ථාද අපමණය.

පලා විකුණන තැන එලූ ගෝනියත්, පිටි කොටන වංගෙඩියත්, මෝල්ගහත්, ඉඳිආප්ප වංගෙඩියත්, ව්‍යාපාර හැටියට මවා පා ණය ගෙන ඇත්තේ එදාවේල පා කර ගන්නටය. වැඩි වශයෙන්ම ගමේ පොලියට දෙන එකෙකුගෙන් ගත් අතමාරුව ගෙවා දමා ගමේ එකාගේ කන්දොස්කිරියාවෙන් බේරී ඉන්නටය. මෙබඳු දෑවලට ගමට පිටින් ආ ඒ නම්බුකාර මූල්‍ය ආයතනවලින් ගත් ණය ගෙවා ගන්නට බැරි වූ විට මේ ගැමි ණයගැතියන් කර ඇත්තේ අපූරු වැඩකි. ගමට එන තවත් ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයකින් ණය ගෙන පෙර සමාගමෙන් ගත් ණය අයකර ගැනීමට එන කරදරයට ගෙවා ණය කරදරයෙන් ගැලවීමය. අවසානයේ කොම්පැනි දෙක තුනකට ණය වෙන එකා කරන්නේ ණය අයකර ගන්නට එන විට අඹුදරුවන් ගෙදර දමා පැන යාමය. ඇතැම් තැනක ණය ගෙවා ගත නොහැකිව මළල එකාගේ මළ ගෙදරට පිං පිණිස එකතුවන මුදලද පැහැරගෙන උදුරාගෙන යාම කළ ක්ෂුද්‍ර මූල්‍ය කාරයෝ වෙත්. දැන් මේ රටේ පිටිසර පළාත්වලට ගිය විට ඇසෙන්නේ මේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් යක්කු ගැමියාගේ රීරි මාංස උලාකෑමේ අඳෝනාවය.
මේ සියල්ල සිදුව තිබෙන්නේ රටේ බැංකු මූල්‍ය සමාගම් ඇතුළු බැංකු පද්ධතියම අධීක්ෂණය කරන්නට මහ බැංකුවක් මේ රටේ තිබියදීය.

ගමේ දුප්පත්කම දුරලන්නට ඇරඹූ ජනසවිය, සමෘද්ධිය, සමෘද්ධි බැංකුව ආදියෙන් මේ රටේ දුප්පතා ණය බරෙන් මුදා ගැනීමට සිදුව ඇති සේවය කුමක්ද? රටේ ගැමි ජනතාව මූල්‍ය වශයෙන් නගා සිටුවන්නට පටන් ගත් බැංකු සේවාවලට සිදුව ඇත්තේ කුමක්ද?

මේවා ගැන නොසිතා මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ආණ්ඩුව විසින් ගෙවා දමන බව ප්‍රකාශ කර තිබේ. ගැමියාට බලෙන් මෙන් ඇගේ ගැසූ ගිනි පොලී ණය ගැමියා වෙනුවෙන් අදාළ සමාගම්වලට ගෙවීමෙන් පාඩු පියවෙන්නේ ගැමි දුප්පතාගේ, නැතිනම් ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයේද? මේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ගමට කඩා පැන ගිනි පොලියට ණය දී ඇත්තේ ගැමියාට සේවාවක් කිරීමටද? ඔවුන් දුප්පත්කමෙන් මුදා ගැනීමටද?

රජය ගැමියා වෙනුවෙන් ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලට මේ ණය ගෙවා දැමීම ගෙවීම යනු කුරුල්ලන් අල්ලා කූඩු කරන් ඉන්නා කුරුළු වෙළෙන්දාගෙන් නිදහස් කිරීමට කුරුල්ලන් මිලදී ගැනීම වැනි වැඩකි. එයින් සිදුවන්නේ කරුළු දඩයක්කාරයා තව තවත් අහිංසක කුරුළු කොබෙයියන් අල්ලා හිරේ දමා විකුණා ලාභ ලැබීමය.

මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය දුන් මූල්‍ය ආයතන අතරේ මේ ආණ්න්ඩුවේ ඇමැතියකුගේ මූල්‍ය ආයතනයක්ද තිබෙන බව සඳහන් කිරීමෙන් මේ වෙන්න යන වැඩේ උක්ත අාඛ්‍යාත ගළපා ගත හැකි යැයි සිතමු.