News

කළු කොටියා මියගියේ පෙණහැල්ලක තැල්මකින් හාඅභ්‍යන්තර රුධිර වහනයකින්

ශ්‍රී පාද රක්ෂිතයේ ජීවත් වූ කළු කොටියා මද්දකට හසුවීමෙන් අනතුරුව, අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට හානි සිදුවීමෙන් මියගොස් ඇති බව පේර​ාදෙණිය විශ්වවිද්‍යාලයේ, පශු වෛද්‍ය පීඨයේදී සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත.

කළු කොටියාගේ එක් පෙණහැල්ලක බරපතළ තැල්මක් නිරීක්ෂණය වී තිබෙන අතර, කොටියා මද්දට හසු වී දඟලද්දී සිරුර අභ්‍යන්තරයේ රුධිර වහනයක්ද සිදු තිබේ.

මිනිසුන්ගේ නොමනා කටයුතු නිසා ශ්‍රීපාද රක්ෂිතයේ ජීවත්ව සිටියදී මද්දකට හසුවූ කළු කොටියාටත් ඉකුත් සිකුරාදා (29 වැනිදා) පෙරවරුවේදී සිදුවූයේ සිය ජීවිතයෙන් වන්දි ගෙවන්නටය. කැලෑ ආශ්‍රිත ප්‍රදේශවල දිගින් දිගටම මදු අටවා තිබීම නිසා කොටින්ට නරක දසාවක් උදාවී ඇතැයි පරිසරවේදීහු කියා සිටිති.

නල්ලතන්නිය, ලක්ෂපාන වතුයායේ වාලමලෙයි කොටසේ වතු කෝවිල අසල එළවළු වගා බිමක් සහිත ප්‍රදේශයක මද්දකට අසු වී සිටි ශ්‍රී පාද රක්ෂිතයේ දිවි ගෙවූ කළු කොටියා වැඩිදුර ප්‍රතිකාර කටයුතු සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය නිලධාරීන් ඉකුත් 27 වැනිදා අලුයම උඩවලව ඇත් අතුරු සෙවණට රැගෙන එන ලදී.

අටවා තිබූ මද්ද කළු කොටියාගේ ගෙල ප්‍රදේශයේ සිරවී තිබූ අතර, මේ නිසා කොටියා පැය කීපයක් දඟලමින් සිට ඇත. රන්දෙණිගල වනජීවී කාර්යාලයේ පශු වෛද්‍ය නිලධාරී අකලංක පිණිදෙණිය සහ උඩවලව ඇත්අතුරු සෙ​වණේ පශු වෛද්‍ය නිලධාරී මාලක අබේවර්ධන යන නිලධාරීන් පැමිණ මද්ද කපා කළු කොටියා මුදා ගත්හ.

රන්දෙණිගල පශු වෛද්‍ය කාර්යාලයේ පශු වෛද්‍යවරුන් අදාළ ස්ථානයට පැමිණීමට පැය දෙකකට ආසන්න කාලයක් ගත වූ අතර, ඊට හේතුව වූයේ රන්දෙණිගල සිට නල්ලතන්නිය දක්වා ඇති දුර ප්‍රමාණයයි.

කොටියාගේ සෞඛ්‍ය තත්ත්වය දුර්වල වීම නිසා උඩවලව ඇත් අතුරු සෙවණේ වායු සමනය කරන ලද විශේෂිත ස්ථානයක රඳවා කළු කොටියාට ප්‍රතිකාර කටයුතු සිදු කරනු ලැබීය.

නමුත් කළු කොටියාගේ තත්ත්වය එන්න එන්නම දුර්වල වීම නිසා ඉකුත් සිකුරාදා (29 වැනිදා) මියගියේය.

උඩවලව පශු වෛද්‍ය ඒකකයේදී මෙම කළු කොටියා භාරව කටයුතු කළේ පශු වෛද්‍ය මාලක අබේවර්ධනය. කළු කොටියාගේ මියයාම සම්බන්ධව ඔහු මෙසේ කීවේය.

මේ සතාව උඩවලවට ගෙනාවේ ඉකුත් 27 වැනිදා. එදින සිට අපි මේ සතාට ප්‍රතිකාර කළා. 29 දා පෙරවරුවේ මේ සතාට අසාධ්‍ය වුණා. එදින පෙරවරු 10.45ට පමණ මියගියා. මද්දකට හිර වුණ නිසා බෙල්ලේ මාංශපේශී හා අවට පටකවලට සිදුවුණු හානි නිසා ඇතිවුණු සංකූලතා නිසා තමයි මෙහෙම වෙන්න ඇත්තේ. සාපේක්ෂව බැලුවම මේ සතා විශේෂ සතෙක්. බර කිලෝ 70ක් පමණ තිබුණා දිග අඩි අටයි. සාමාන්‍යයෙන් පිරිමි සත්තු සමග සන්සන්දනය කරල බලද්දි හොඳ ශරීරයක් තියෙන සතෙක්. අපේ ​ජෛව විවිධත්වයට රටේ පරිසර පද්ධතියට සෑහෙන පාඩුවක්.

මේ සත්තු හරි සංවේදීයි. ශරීර වේදනාවන්ට සහ මේ වගේ තැති ගැනීම්වලට. මේ වගේ සතෙක් අහු වුණාම අපි කරන්න ඕන ඒ සතා ඉන්න තැනට එකතු වන එක නෙවෙයි ඒ සතාට නිස්කලංක පරිසරයක ඉන්න ඉඩ සලසන එක. ඒ අවස්ථාවේදී ඇති වුණ කලබලකාරී තත්ත්වයන් හේතුවෙන් මේ සතා තැතිගෙන සිටියා. හුඟක් දඟලල තිබුණා මද්දෙන් බේරෙන්න. ඒ නිසා එයාගේ ශරීරයට සිදුවූ හානි වැඩියි. අපි මේ ස්ථානයට ගෙනත් අඳුරු කාමරයක තියල තමයි ප්‍රතිකාර කළේ. අත්‍යවශ්‍ය අවස්ථාවන්වල හැරෙන්න අපි ඒ සතාට නිස්කලංක පරිසරයක ඉන්න අවස්ථාව ලබාදුන්නා. මේ තිබුණු සංකූලතා එක්ක මේ සතාව අපිට බේරගන්න බැරි වුණා. ඒක කනගාටුදායක තත්ත්වයක්.

මගේ පෞද්ගලික විශ්වාසය මේ වගේ සතුන් තව ඉන්නවා. ඒත් මේක තව ඉන්නවා කියලා හිත හදාගන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. කළු කොටි ආරක්ෂා කරගන්න විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන්න ඕනෑ. ඒක අපිට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක මුළු සමාජයේම වගකීමක් යැයි වෛද්‍යවරයා පැවසුවේය.

මෙවැනි සිද්ධීන් අවම කර ගැනීම සඳහා වතුකරයේ තේ සමාගම්වල සහයෝගයද අවශ්‍ය බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් සී. සූරියබණ්ඩාර පවසන්නේය.

මියගිය කළු කොටියාගේ සම ජාතික කෞතුකාගාරයට ලබාදීමට බලාපොරොත්තු වන බවද වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

යටියන්​තොට, සීපොත්, නාගස්වත්ත ප්‍රදේශයේදීත් කොටියකු මද්දකට හසුවී සිටියදී වනජීවී නිලධාරීන්, පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ඉකුත් 30 වැනිදා බේරාගත් අතර එම මෙහෙයුමට පැය හතක පමණ කාලයක් ගත වී තිබිණි.

සාලිය කුමාර ගුණසේකර

•ප්‍රගීත් ජනක – කොළොන්න

•සුනිල් හරිස්චන්ද්‍ර – ඇඹිලිපිටිය

•ඒ.ඩී.ඒ. නිශාන්ත – දැරණියගල