අතන මෙතන

කළුතර පානීය ජල ගැටළුව උග්‍ර අර්බුදයක් වෙයි

පවතින වියළි කාලගුණයත් සමගම කළුතර දිස්ත්‍රික්කයට බලපා තිබෙන පානීය ජල ගැටලුව තව තවත් උග්‍ර අර්බුදයක් බවට පරිවර්තනය කරමින් මේ වනවිට දිස්ත්‍රික්කයේ ස්වාභාවික දිය උල්පත් සහිත ළිං රැසක් සිඳී යෑමේ තත්ත්වයක් මතුවී තිබේ. විශේෂයෙන්ම පානයට සුදුසු ජලය තිබෙන බවට තහවුරු කරගෙන තිබෙන බේරුවල, පයාගල, හොරණ, බුලත්සිංහල, මතුගම, බදුරලිය, දොඩංගොඩ,අගලවත්ත, මග්ගොන, කාලවිල හා කළුතර නගරයට තරමක් දුරින් පිහිටි ප්‍රදේශ කීපයකම පිහිටි ළිං මෙලෙස සිඳීයෑමේ තර්ජනයට ලක්වී තිබේ. මේ තත්ත්වය හමුවේ කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාමසේවා කොට්ඨාස ගණනාවක වෙසෙන ලක්ෂ දහයකට අධික ජනතාවක් ඉදිරියේදී උග්‍ර පානීය ජල අර්බුදයට මුහුණදීමේ අවදානමක පසුවෙයි.

කළුතර දිස්ත්‍රික්කයේ පානීය ජලයට ලවණ මිශ්‍ර වීමත් සමගම ප්‍රාදේශීය සභා හා නගරසභා හරහා නගරවල ස්ථාපිත කළ ජල ටැංකි සඳහා ජලය සපයාගනු ලැබුවේද මෙම ළිංවලිනි. ළිං සිඳීයෑම නිසා තැන තැන ස්ථාපිත කළ ජල ටැංකිවලට ජලය ලබාදීමද මේ වනවිට එම සභාවලට ගැටලුවක් බවට පත් වී ඇති බව පසුගියදා කළුතර දිස්ත්‍රික්කයේ පැවැති සම්බන්ධීකරණ කමිටු රැස්වීම් කීපයකදීම අනාවරණය විය. කෙසේ වෙතත් මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා පිට පළාත්වලින් ජලය රැගෙන ඒමට ජල බවුසර් හා අනෙකුත් පහසුකම් කඩිනමින් ලබාදීමට අදාළ අංශවලට උපදෙස් ලබාදී ඇතැයි කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත ද සිල්වා පැවසීය.

කළුතර දිස්ත්‍රික්කයේ මෙවැනි පානීය ජල අර්බුදයක් පවතින පසුබිමක ලීටර් දොළොස්දහසක ජල ධාරිතාවකින් යුතු ජල බවුසරයක් සුළු කාර්මික දෝෂයක් නිසා කළුතර දිස්ත්‍රික් ජල සම්පාදන මණ්ඩල ප්‍රධාන කාර්යාලයෙහි මුලුගන්වා ඇති බව පසුගියදා බේරුවල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී අනාවරණය විය. මාස ගණනාවක් පුරා එකම තැන ගාල්කර ඇති මෙම බවුසරය අලුත්වැඩියා නොකරන්නේ මන්දැයි කමිටුව විමසා සිටි අවස්ථාවේදී ජල සම්පාදන මණ්ඩල නිලධාරියෙකු ප්‍රකාශ කර සිටියේ බවුසරයේ දෝෂය සම්බන්ධයෙන් ලිඛිතව අදාළ අංශ දැනුවත් කර ඇති බවත් ඉක්මනින් එය පිළිසකර කරන බවත්ය.

වසර ගණනාවක සිට වියළි කාලයේදී ලවණ මිශ්‍ර පානීය ජල ගැටලුව හමුවේ පීඩා විඳින කළුතර ජනතාවට මෙවර ළිං ජලයද අහිමිව ගොස් ඇත්තේ පවතින ගැටලුව තව තවත් උග්‍ර පැතිකඩකට යොමුකරවමිනි.නල ජලය නොමැති වූ විට ළිං ජලයෙන් පවා බෝග වගාවන් සිදුකරගෙන ගිය ගොවීන් මේ වනවිට දැඩි අසරණභාවයකට පත්වී සිටින අතර වෙරළාසන්නව ජීවත්වන පිරිස් දුර බැහැර ප්‍රදේශවලට ජලය සොයා යෑමටද පටන්ගෙන තිබේ.

බේරුවල-ප්‍රසාද් ධර්මප්‍රිය