විශේෂාංග

කහ ගැන කැහිල්ල

‘ඌරන්ට මොන කහ ද?’ යන්න, අපේ ගැමි ජන වහරේ එන කියමනකි. එහෙත් එය එතරම් ප්‍රසිද්ධ එකක් නොවේ. ලංකාවේ දේශීය ආහාර සහ සෞඛ්‍ය සංස්කෘතිය අනුව, ‘කහ’ යනු ඖෂධීය ගුණයෙන් පිරිපුන් ‘පිරිසුදු කාරකයකි’. මිනිසුන්ට ලෙඩ දුක් සාදා දෙන නොයෙකුත් විෂබීජ එයින් නසා දමයි. එක්කෝ අක්‍රිය කරයි. ‘කුණු ජරාව’ හෙවත් ‘මිනිස් මල සහ අපද්‍රව්‍යවල’ පටන් මිනිසුන් වවන බව භෝග දක්වා ඉවක් බවක් නැතිව කා දමන, සුව යහන් සේ සිතා පල් ගඳින් පිරි මඩ වළවල ලගින ඌරු ගණයා සැලකෙන්නේ අතිශයින් ම, අපිරිසුදු සත්ත්ව කොට්ඨාසයක් වශයෙනි. ඉතින් පිරිසුදු කාරකයක් වන ‘කහවලින්’ උන්ට ඇති ප්‍රයෝජනයක් නැත. මිනිසුන් ගෙවතුවල වවන මංඤ්ඤොක්කා සහ කිරි අල ආදිය හාරා කා දැමුව ද, ඌරු ගණයා ‘කහ අල’ නම් නො කති. ඒ, උන්ට පිරිසුදුකමෙන් වැඩක් නැති නිසා ය. ‘ඌරන්ට මොන කහ ද?’ යන ගැමි කියමන ඔස්සේ ඉඟි කෙරෙන්නේ මේ කාරණයයි!

ඌරන්ට කෙසේ වෙතත්, විෂබීජ හරණයට සහ පිරිසුදුකමට කැමති මිනිසුන්ට නම් ‘කහ’ කොතෙකුත් වටින්නේ ය.

‘කහ’ පිළිබඳව විශාල කතිකාවක් මේ දිනවල ජන සමාජය පුරා පැතිර තිබේ. එයට හේතුවවී ඇත්තේ වෙළෙඳපොළෙහි විශාල ‘කහ’ හිඟයක් හට ගෙන තිබීමයි. ආහාරවලට එක් කරන වර්ණ කාරකයක්, රස කාරකයක් සහ පිරිසිදු කාරකයක් වන කහ අපේ ආහාර සංස්කෘතියේ එන වැදගත් ම කුළුබඩු වර්ගයකි. කහවල ඇති ‘කකරියුමින්’ (Cur cumin) නම් සංඝටකය පිළිකා වර්ධක සෛල විනාශ කිරීමේ ගුණයෙන් පොහොනේය. කහ ලංකාවේ ද සාර්ථකව වගා කෙරේ. එහෙත් දැනට සති කිහිපයක සිට ම වෙළෙඳපොළේ කහ හිඟ ය.

අපේ රටේ දේශීය පරිභෝජනයට වසරකට වියළි කහ මෙට්‍රික් ටොන් 6800ක් පමණ අවශ්‍යය. එසේ වුව ද දේශීය අමු කහ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 7747ක් පමණ වේ. එය රටේ කහ ඉල්ලුම සපුරන්නට ප්‍රමාණවත් නො වන බැවින්, වසරකට වියළි කහ මෙට්‍රික් ටොන් 4700ක් පමණ පිට රටින් ආනයනය කරන්නට සිදු වේ. අපේ රටට කහ ආනයනය කෙරෙන්නේ අසල්වැසි ඉන්දියාවෙනි.

ලංකාවට කහ ආනයනය කිරීමට වැට බැඳුණේ කාරණා දෙකක් නිසා ය. ඉන් එකක් වන්නේ, 2019 වසරේ දෙසැම්බර් 05 වැනි දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි පැන වුණු නීතියක් සමගිනි. එයින් දේශීයව වගා කළ හැකි ආහාර සහ කුළු භෝග ගණනාවක් පිටරටින් ගෙන්වීම තහනම් කෙරිණි. ගම්මිරිස්, කරුංකා, සියඹලා, කුරුඳු, සාදික්කා සහ වසාවාසි, ඉඟුරු, කහ, කරාබුනැටි ආදිය ඒ අතර විය. රජය මෙවන් තීරණයකට එළැඹුණේ දේශීය නිෂ්පාදනය වැඩිකර ගැනීමේ අරමුණෙනි. එසේ ම, මෙරට තුළ වගා කළ හැකි බව භෝග ආනයනය කරන්නට යන ඩොලර් වියදම පිරිමසා ගැනීමේ පිළිවෙතක් හැටියට ය.

ජනාධිපති ලේකම් කාර්යාලය මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයට අනුව, සීනි. කිරිපිටි, තිරිඟු, කුළුබඩු, එළවළු තෙල්, ධාන්‍ය, සත්ත්ව ආහාර, අර්තාපල්, ලොකු ලූනු, වියළි මිරිස්, රතුලූනු, මුං ඇට, උඳු, කුරක්කන්, කහ, සියඹලා, කොමඩු, උම්බලකඩ සහ හාල්මැස්සන් ආදී ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 1781ක් පමණ වැය වේ. ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවල දැක්වෙන අන්දමට රුපියල්වලින් නම් මේ මුදල මිලියන 2,89,532කි. මේවායින් බොහොමයක් ම, අපේ රටේ නිපදවා ගත හැකි බව භෝග ය. වාර්ෂිකව ආනයනය කෙරෙන කහ ප්‍රමාණය ද මෙට්‍රික් ටොන් 4000ක් පමණ වේ. ඒ සඳහා වැයවන මුදල ඩොලර් මිලියන 7.1 (රුපියල් මිලියන 1154ක් පමණ) කි. කහ, අපේ රටේ ඉතා හොඳින් වගා කළ හැකි ය.

අනෙක් කාරණය, කොරෝනා වෛරස් වසංගතයයි. එබැවින් කහ පමණක් නොව, අනෙකුත් බඩු භාණ්ඩ පවා ඉන්දියාවෙන් ආනයනය කිරීමට වැට බැඳිණි. එයින් රට තුළ කහ හිඟයක් නිර්මාණය විය.

කහ ශාකය (Curcuma Domestica) උද්භිද විද්‍යාත්මකව ‘සින්ජිබරේසියේ’ ශාක කුලයට අයත් වේ. එය ‘රයිසෝම’ මාදිලියේ හෙවත්, අල දරන ශාකයකි. පිරිසුදු කාරකයක්, විෂබීජ නාශකයක්, රූපලාවණ්‍ය ද්‍රව්‍යයක් සහ ආයුර්වේද ඖෂධයක් සේ භාවිතා කෙරෙන කහ, පිළිකා වර්ධක සෛල විනාශ කිරීමේ ගුණයෙන් ද පොහොනේ ය. ඉන්දියානු කහවල පිළිකා වර්ධක සෛල විනාශ කිරීමේ ගුණය සියයට දෙකකි. ලංකාවේ කහවල සියයට හතරකි. මේ කාරණය නිසා ලංකාවේ වැවෙන කහවලට (ඇලිපේ සහ මදුරාසි යන කහ වර්ග) ඇත්තේ ඉහළ ඉල්ලුමකි.

අපේ රටේ කහ වගාව ආරම්භ කෙරෙන්නේ මාර්තු සහ අප්‍රේල් යන මාසවල ය. එතැන් පටන් මාස අටක නමයක කාලයේ දී ඒවායෙහි අස්වනු නෙළිය හැකි ය. සාමාන්‍යයෙන් බීජ කහ කිලෝග්‍රෑමයකට, කිලෝග්‍රෑම් 10-15ක පමණ අස්වනු ඵලදාවක් නෙළා ගැනීමට හැකි බව ගොවීන්ගේ අත්දැකීමයි.

ලෝකයේ ලොකු ම කහ නිෂ්පාදකයා අපේ අසල්වැසි ඉන්දියාවයි. ලෝක කහ සැපයුමෙන් සියයට 75ක්ම, සපයන්නේ ඔවුන් ය. ඉන්දියාවට අමතරව, ජැමෙයිකාව, හයිටි සහ පේරු රාජ්‍යය ද ලෝක කහ සැපයුමේ කොටස්කාරයන් වෙති. මැද පෙරදිග රටවල්, උතුරු අප්‍රිකානු රටවල්, ඉරානය, ජපානය සහ ශ්‍රී ලංකාව කහ සපයා ගන්නේ ඔවුන් ගෙන් ආනයනය කිරීමෙනි.

අපේ රටේ ද ගෙවතු වගාවක් වශයෙන් ද, වාණිජ පදනමින් ද කහ වගා කෙරේ. දේශගුණිකව රටේ තෙත් කලාපයේ මෙන් ම, වියළි කලාපයේ ද කහ සරුවට වගා කළ හැකිය. කුරුණෑගල, මහනුවර, මාතලේ, ගම්පහ, කොළඹ, කෑගල්ල, මාතර සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල වාණිජ මට්ටමේ කහ වගා බිම් ව්‍යාප්තව පවතී. නිෂ්පාදන ක්‍රියාවලියේ දී ‘කහ’ නන් වැදැරුම් ය. ඒවා, අමු කහ, වියළි කහ, කහ පෙති, කහ කුඩු සහ කහ තෙල් ආදී වශයෙන් නිෂ්පාදනය කෙරේ.

කළුතර දිස්ත්‍රික්කයට අයත් හොරණට නුදුරු ‘මෙනේරිගම’ ප්‍රදේශයේ ගොවීහු කලක් තිස්සේ ම අක්කර 400ක පමණ කහ වගා කරමින් උන්හ. ඔවුහු සිය පෞද්ගලික ඉඩම්වල කහ වගාව අතර ඉඟුරු ද වගා කළහ. හොරණට නුදුරු ගෝනපොළ, කුඹුක, ඔලබොඩුව යන ප්‍රදේශවල ද කහ සහ ඉඟුරු වගා කෙරිණි. ගම්පහ දිස්ත්‍රික්කයට අයත් මිනුවන්ගොඩ, වටිනාපහ ප්‍රදේශයේ ද කහ සහ ඉඟුරු වාණිජ පදනමින් වගා කෙරිණි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගණය සහ මාතලේ දිස්ත්‍රික්කයේ දේවහූව ප්‍රදේශයේ ද වාණිජ පදනමින් කහ වගා කෙරිණි. එහෙත් පසුගිය කාලයේ මේ ගොවීහු සිය වගාවන් අත්හැර දැමූහ. කහ සහ ඉඟුරු ආදී කුළුබඩු වර්ග පිටරටින් (ඉන්දියාවෙන්) ආනයනය කරන්නට වීම ඊට හේතුවයි. එයින් දේශීය නිපැයුම්වල මිල පහත වැටිණි. ගොවීහු සිය වගාවන් අත්හැර දැමූහ.

උවමනාවටත් වඩා කහ තොග ඉන්දියාවෙන් ආනයනය කරන්නට වීමත් සමගම, ලංකාවේ කහ නිෂ්පාදන ක්ෂේත්‍රය එහැමපිටින් ම බිඳ වැටුණේ ය.

‘මේ පැත්තේ ගොවියෝ කලක පටන් ම කෙසෙල්, කවුපි, මුංඇට, කහ, ඉඟුරු, කුරක්කන් ආදී ගොඩ භෝග වගා කරලා අතිරේක ආදායමක් සොයා ගත්තා. ඒත් හැම දෙයක් ම ඉන්දියාවෙන් ගෙන්වන්න ගත්තාට පස්සේ ඔවුන්ගේ නිෂ්පාදනවලට මිලක් නැතිව ගියා. තමන්ගේ බව භෝග ටික විකුණා ගන්න බැරිව ගියා. අමු කහ කිලෝව රුපියල් හතළිහටවත් විකුණා ගන්න බැරිවයි හිටියේ. මේවා ආනයනය තහනම් කළාට පස්සේ තත්ත්වය හොඳයි. පහුගිය දවස්වල වියළි කහ කිලෝව රුපියල් 1500ට ගියා. තන්තිරිමලේ පැත්තේ කුරක්කන් කිලෝව රුපියල් 160ට ගියා. උඳු කිලෝව රුපියල් 300ට ගියා. රජය ගොවීන්ට පොරොන්දුවක් වෙනවා නම් ඉඟුරු, කහ, මුංඇට, කවුපි වගේ දේවල් ඉන්දියාවෙන් ගේන්නේ නෑ කියලා, අපේ ගොවීන්ට ඒවා නිපදවා දෙන්න පුළුවන්. කොච්චර කිව්වත් ඉතින් කුළුබඩු පැකට් ගහන කොම්පැනි කැමති ඉන්දියාවෙන් ගේන්නයි’, එසේ කියන්නේ මහවැලි එච් කලාපයේ (රාජාංගණය) ගොවි නායකයෙකු වන ටෙරන්ස් ද සිල්වා ය.

මාතලේ දිස්ත්‍රික්කයේ දේවහූව ප්‍රදේශයේ ගොවීන්ට ද කහ පිළිබඳ ප්‍රශ්නයක් තිබේ. ඒ, කහ බීජ හිඟයයි. දේවහූව ගොවි සංවිධානයේ සභාපති ඒ.ජී. ගුණදාස, ඒ ගැන මැසිවිලි කියන්නේ මෙසේ ය.

‘මෙහේ ගොවියෝ කලින් ඉඳලම කහ වගා කළා. ඒත් මෙදා සැරේ අපට කහ බීජ හිඟයි’

ඉකුත් ඔක්තෝබරයේ ඇද හැලුණු මහ වැසිවලට හසුව දේවහූව ප්‍රදේශයේ ඉඟුරු සහ කහ වගාවන් සෑහෙන තරම් විනාශ විය. යාන්තම් ඉතිරිවූ අස්වැන්නට ද මිලක් ලැබුණේ නැත. ඉඟුරු කිලෝවේ මිල රුපියල් පනහට බැස්සේ ය.

වස විසෙන් තොරව වී ඇතුළු දේශීය බව භෝග වගා කිරීමේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන, පාරම්පරික බීජ හා ගොවි උරුමයන් සුරැකීමේ ව්‍යාපාරයේ, පී. ගුරුසිංහ ද කහ වගාව ගැන උනන්දු ය.

‘අපි කොරෝනා වසංගතේ හොඳයි කියනවා නෙමෙයි. ඒත් ඒක හින්දා දේශීය බව භෝග සහ ආහාර ගැන උනන්දුවක් ඇති වුණා. ඒක බොහොම වටිනවා. වස විසෙන් තොරව දේශීය බව භෝග වගා කරලා ආහාරයට ගත්තාව මිනිසුන්ගේ නිරෝගිකම රැකෙනවා. මේ බස්නාහිර පළාතේ, කොළඹ දිස්ත්‍රික්කයේ පවා කහ හොඳින් ම වගා කරන්න පුළුවන්. ඒකට ඌරන් ගෙන් හානි වන්නෙත් නෑ. අපි ළඟ කහ බීජ තියෙනවා. අපි අපේ ගොවීන්ට ඒවා බෙදලා දෙනවා’, ඔහු කියන්නේ ය.

‘කහ’ යනු විවිධ අරුතින් අපේ ජන වහරට වචනයකි. ‘හරියට කහ කෑල්ල වගේ’, ‘කහ අත්තට පැහිලා’, ‘කහ සිවුරක් වගේ’ ආදී වචන මගින් හැඟ වෙන්නේ ‘වර්ණය’ හෝ ‘රූප සම්පත්තිය’ ගැන ය. යම් දෙයක් සම්බන්ධයෙන් ලැජ්ජාවට පත් වන්නට සිදු වීම, ‘කහ වෙනවා’ ය. ‘කසානා’ හෝ එබඳු කැසීමක් ‘කහනවා’ හෝ ‘කහ කහ යනවා’ යයි හැඳින් වේ. ‘පිට කැහීම’ වෙන ම කලාවකැයි කියන්නෝ ද වෙති. ගැටවර වයසේ දාංගලයට ද ‘කැහිල්ල’ යයි කියති. මේවා කෙසේ වෙතත්, දේශීය කහ සම්පත සම්බන්ධයෙන් මෙවන් ‘කැහිල්ලක්’ හට ගැනීම, සෞඛ්‍ය සම්පන්න සමාජයකට මග විවර වීමකි.

ක්‍රිෂ්ණ විජේබණ්ඩාර