විශේෂාංග

කස මෝරාගේ අවසානය 

ශ්‍රී ලංකාව ලොව ඉහළ ජෛව විවිධත්වයක් ඇති රටක් වීම ගැන ආඩම්බර වන අපට මෙරට ජෛව විවිධත්ව උණුසුම් තැනක් බවට පත් වී ඇතැයි අසන්නට ලැබීම කනගාටුවට කාරණයක් විය.

සත්ත්ව ලෝකයේ දැනට ගොඩබිම සිටින දැවැන්තම ක්ෂීරපායි සත්ත්වයා වන අලියා මෙන්ම මහ සයුරේ සිටින ක්ෂීරපායි දැවැන්තයා වන තල්මසාද මෙරටදී වැඩි අපහසුවකින් තොරව දැකගත හැකි වීම ඉහළ සංචාරක ආකර්ෂණයක් ඇති වීමටද ප්‍රධාන කාරණයකි. කරුණු සිදු වෙමින් ඇති අන්දමට ඒ ආකර්ෂණය අපේ පරිසරයට මෙන්ම ජීවීන්ගේ පැවැත්මටද තර්ජනාත්මකව බලපෑම් එල්ල කරන්නට පටන්ගෙන තිබේ.

ලෝකයේ දක්නට ලැබෙන කස මෝර විශේෂ 03 ම මෙරට මුහුදු තීරයේදී හමුවේ. එය විශේෂ කාරණයකි. තර්ජනයට ලක්වීම හේතුවෙන් කස මෝරන්ට මෙරට නීතියෙන් ආරක්ෂාව සැලසී තිබේ. එසේ තිබියදී එම නීතිමය විධිවිධාන සම්මත කර වසර 5 ක් ගතවීමටත් පෙර කස මෝරන්ගේ ආරක්ෂාවට නව අභියෝගයක් එල්ල වී ඇති බව පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා පෙන්වා දෙයි. පර් යේෂණයක මුවාවෙන් විදේශීය සංචාරකයන්ට කසමෝරුන් අල්වා ගැනීමේ වාණිජ ව්‍යාපාරයක් යම් පාර්ශ්ව විසින් ක්‍රියාවට නැංවීමේ ප්‍රයත්නය එම නව අභියෝගයයි.

‘‘කස මෝරන් අයත් වෙන්නේ ඇලෝපිඩේ කුලයට. මේ සත්ත්වයාට ඒ නම ලැබෙන්නේ ඔවුන්ගේ වල්ගයේ එනම් පෞච්ඡ වරලේ ඉහළ කොටස ශරීර දිගට ආසන්න තරම් දිගකට විශාලවන නිසා. මේ වන විට කස මෝරන් අන්තර්ජාතික රතු දත්ත ලේඛනයේ වඳවී යාමට ලක් වූ යන වර්ගීකරණයට අයත් කර සිටිනවා. ඒ නිසා මේ මත්ස්‍ය සම්පත ආරක්ෂා කර ගැනීමට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක් දැනටමත් පියවර ගෙන තිබෙනවා…’’

ධීවර හා ජලජ සම්පත් ආඥා පනතේ 29 වැනි වගන්තිය යටතේ පනවා ඇති නියෝගයක් මගින්, කස මෝරුන්ට පළමුවරට ආරක්ෂාව සැලසුණේ, 2012 වසරේදීය. ඉන්පසුව නැවතත් එම සතුන්ට ආරක්ෂාව සැලසුණේ 2015.10.26 දිනැති අංක 1938/2 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය ප්‍රකාරවය.

‘‘2015 මෝර මත්ස්‍ය කළමනාකරණ නියෝග මගින් මේ සතුන්ට ආරක්ෂාව සැලසුණා. එම නියෝගවලට අනුව, කස මෝරකු පර් යේෂණ කාර්යයක් සඳහා හෝ කෞතුකාගාරයට එකතු කිරීම සඳහා හැරුණු විට අල්ලා ගැනීම තහනම්…’’

විනෝදය සඳහා කස මෝරුන් අල්ලා ගැනීමේ නිරත පුද්ගලයන් ලොව සිටී. ඔවුන් කරන්නේ කස මෝරන්ට නීතිමය ආරක්ෂාවක් ලැබී නැති රටවලට ගොස් එම සතුන් අල්වාගෙන, ඡායාරූපවලට පෙනී සිට ඒවා ප්‍රචාරණය කිරීමය. ශ්‍රී ලංකාවේ පවතින නීතිමය තත්ත්ව යටතේ මෙවැනි පුද්ගලයන්ට කස මෝරුන් අල්වා ගැනීමට නොහැක්කේ එය නීති විරෝධී ක්‍රියාවක් වන බැවිනි.

‘‘තත්ත්වය එසේ වුවත්, එවැනි පුද්ගලයන් මෙරටට ගෙන්වා ආදායම් ඉපැයීමට උත්සාහ කරන ඇතැමුන් මෙරට මුහුදේ කස මෝරන් මෑත කාලයේ වැඩිවීමක් පෙන්නුම් කරන්නේද යන්න සොයා බැලීමේ මුවාවෙන් කස මෝරන් අල්වා ගැනීමේ ව්‍යාපාරික කටයුත්තක් දියත් කිරීමට මාන බලමින් සිටිනවා…’’

විද්‍යාත්මක පර් යේෂණයකදී වුවද එය හේතුවෙන් කිසියම් ජීවී විශේෂයකට හෝ පරිසර පද්ධතියකට හානිදායක බලපෑමක් ඇති වන්නේ නම් එම පර් යේෂණය සිදු නොකිරීම වඩාත් ප්‍රතිඵලදායකය. එසේ වුවද මෙහිදී සිදුවන්නට යන්නේ කස මෝරුන්ට කිසිදු තර්ජනයක් ඇති නොවන බව අඟවා තම ව්‍යාපාරික අභිලාෂ ඉටුකර ගැනීමට යාමකි. ඇත්තටම මෙහිදී පර් යේෂණයක් සිදුවේද යන්න පවා ඉතා සැක සහිතය.

‘‘පර් යේෂණයකට බව කියමින් මේ සතුන් අල්වාගෙන නැවත මුහුදට දැම්මත් ඔවුන්ගෙන් 90% ක් පමණ මිය යා හැකි බව තමයි පිළිගත් මතය. මොකද කස මෝරාට ගොඩබිමදී හෝ ජලයේ පිහිනා යාමට ඉඩ නොලැබෙන තත්ත්වයකදී අශ්වාස කිරීමට නොහැකි නිසා මේ සතුන් හුස්ම ගන්නේ වේගයෙන් ජලයේ පිහිනා යන විටයි. එ් නිසා රාත්‍රී කාලයේදීත් ඔවුන් ජලයේ පිහිනමින්ම ගත කරනවා.’’

ජලය ආශ්‍රිතව මෙවැනි ව්‍යාපාරවල යෙදී සිටින අයගෙන් ඇතැමෙක්, ලංකාවට පැමිණ මෙලෙස කසමෝරකු අල්වා බලන්න යනුවෙන් කර තිබූ වෙළෙඳ ප්‍රචාරණයක් ඔස්සේ කරුණු සොයා බැලූ විට මේ කාරණා හෙළිදරව් කර ගැනීමට හැකි වූ බව ජගත් ගුණවර්ධන මහතා පවසයි.

‘‘අපට මේ හෝඩුවාව ලැබුණේ ගිය අවුරුද්දේ අන්තිමදී වගේ. ඒ ඔස්සේ අපි මේ ගැන තරමක් දුරට සොයා බැලුවා. එතකොට තමයි අපට පර් යේෂණයක මුවාවෙන් මෙය කිරීමට යනවාය කියන කතාව හමුවෙන්නේ, කස මෝරන් සම්බන්ධයෙන් පනවා ඇති නියෝගවල පර් යේෂණ කටයුතු සඳහා අල්ලන්න ඉඩ දෙන බව සඳහන් වෙනවා. එය සිදුරක් කරගෙන එතැනින් රිංගන්න තමයි මේ හදන්නේ. මේ සතුන් කොපමණ සංඛ්‍යාවක් ජලයේ සිටිනවාද කියලා බලන්න පර් යේෂණ කරන්න අවශ්‍ය නෑ. මේ සත්තු මාස 9 ක ගැබ් කාලයකට පසුව අවුරුද්දට පැටවුන් තුන් දෙනෙක් නැත්නම් හතර දෙනෙක් පමණ බිහිකරනවා.

එතකොට අවුරුදු 5 කදී මේ සතුන්ගේ විශාල ගහන වර්ධනයක් වෙන්න බෑ. ඒක හරි පැහැදිලියි. එහෙම බලන්න නම් අවම වශයෙන් අවුරුදු 10 ක්වත් මේ තහනමට පසු ඉන්න වෙනවා. එහෙම කළත් අල්ලන්න ඉඩ දෙන්න හොඳ නැ. අල්ලන කිසිම ක්‍රමවේදයකට ඉඩ නොදිය යුතුයි කියන එකයි අපේ නම් අදහස…’’

සද්භාවයෙන් කෙරෙන පර්යෙෂණයක් සඳහා වුවද කසමෝරුන් මුහුදෙන් ගොඩට ගැනීම සිදු නොවිය යුත්තකි. එමෙන්ම කිසියම් පර් යේෂණයක් සිදු කළ ද එය විධිමත් ආයතනික ව්‍යුහයක් යටතේ සිදුවිය යුතුව තිබේ.
‘‘පර් යේෂණයක් සිදුවනවා නම් පර්යේෂකයන් කවුරුන්ද, යාත්‍රාව කුමක්ද වගේ කාරණා පැහැදිලි විය යුතුයි.

ලංකාවේ සතුන් පිළිබඳ පර් යේෂණ කරනවා නම් වනජීවී හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසරය ලබාගත යුතුයි. මෙතැන යම් ව්‍යතිරේඛයක් තියෙනවා. කස මෝරා ධීවර ආඥා පනත යටතේ ආරක්ෂික සත්ත්වයකු නිසා ධීවර දෙපාර්තමේන්තුවෙන් පමණක් මේ අවසරය ලබා ගන්නවා විය හැකියි.

මෙවැනි සාගර ජීවියකු ගැන පර්යෙෂණයක් කෙරෙනවා නම් ‘‘නාරා’’ (NARA) ආයතනය මගින් හෝ එහි මූලිකත්වය යටතේ එය සිදුවිය යුතු බවයි අපේ අදහස’’

කස මෝරුන් රැකගැනීම සම්බන්ධයෙන් රජයෙන් විය යුතු කාර්යය සපුරා තිබේදැයි යන්න ගැනද අපේ අවධානයට ලක්විය.

‘‘ඇත්තටම, රජයෙන් විය යුතු දේවල් වෙලා තියෙන්නෙ. මේ සතුන් රැක ගැනීමට අවශ්‍ය නීති සකස් කරලා, ඒවා ක්‍රියාත්මක කිරීමත් වෙනවා. අපට කියන්න තියෙන්නේ ඒ නීති දුර්වල කිරීමට ව්‍යංගාර්ථයෙන් හෝ ඉඩ දෙන්න එපා කියලයි. පසුගිය දිනකත් කසමෝරකුව අල්ලා කෑලි කපා විකිණීමට තැත් කළ ධීවරයකු අත්අඩංගුවඩට ගෙන උසාවියට ඉදිරිපත් කරල තිබුණා. නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා. මෙතැනදීත් කිසිදු තුන්වැනි පාර්ශ්වයකට මේ පර් යේෂණ කරන්න අවසර නොදිය යුතුයි. විශේෂයෙන් කස මෝරුන් සම්බන්ධයෙන් එය ඉතාමත් වැදගත්…’’

කස මෝරුන්ගේ විශේෂත්වය නම්, ඔවුන් එක්වරම ජලයෙන් ඉහළට පැන යළි වතුරට පැනීමය. එය අලංකාර දසුනකි. මේ සතුන් ගැවසෙන සමුදුරු පරිසරයට හානි නොවන අන්දමින් ඒ දසුන් දැකගත්තද, ඉන් එහාට යාමට ඉඩදිය යුතු නොවේ. කස මෝරා යනුවෙන් මේ මසුන් හැඳින්වෙන්නේ කසයක් වැනි විශේෂිතව වර්ධනය වූ පෞච්ඡ වරල හේතුවෙනි. මත්ස්‍යා එම කසය ආකාරයෙන් උගේ ආහාරය වන කුඩා මසුන් එක් තැනකට රැස් කර ගැනීම සිදු කරයි.

‘‘මේ වැඩේට සූදානම් වන අයගේ තර්කය වෙන්නේ ඔවුන් මාළුවාට කිසිදු හානියක් නොකරනවා කියන එක. ජලයෙන් ගොඩට අරගෙන අල්ලලා, අත්හරිනවා නම් හානියක් වෙන්නේ නෑ කියන එකයි ඔවුන් කියන්නේ. ඒත් කස මෝරුන් සම්බන්ධයෙන් ඒ කතාව වලංගු නැති බව හරි පැහැදිලියි.’’

ලෝකයේ රටවල් 185 ක පමණ සහභාගිත්වයෙන් මැයි මාසයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන CITES පාර්ශ්වකරුවන්ගේ සම්මේලනයේ නිල ලාංඡනයට ඇතුළත් සතුන් අතර කස මෝරා ද සිටී. ඒ, මේ මත්ස්‍යයා තර්ජනයට ලක්ව අැති සත්ත්වයකු වන බැවිනි. එලෙස එම ලාංඡනයට ඇතුළත් කිරීම මගින් ලබාදෙන පණිවුඩයද කසමෝරා සංරක්ෂණය කළ යුතු සත්ත්වයකු බවය. තත්ත්වය එසේ තිබියදී ඇඟිලි කපා මුදු හැදිය යුතු දැයි අපි තීරණය කළ යුතු වෙමු.

ධම්මික සෙනෙවිරත්න