විශේෂාංග

කසළෙන් විදුලිය නිපදවෙන්නේ මෙහෙමයි

තැන තැන කඳු ගැසෙන කසළ රටට බරක් වී තිබේ. වෙන කවදාවත් නැති ලෙස පසුගිය කාලයේ කසළ දේශපාලන වේදිකාවේද ප්‍රධාන මාතෘකාවක් විය. එසේම කසළ බැහැර කිරීම සඳහා විශාල මුදලක් වැය කිරීමටද සිදු වී තිබුණි. 2017 සිංහල අවුරුදු සමයේ මීතොටමුල්ල කුණු කන්ද නාය යාමත් සමගම කසළ ප්‍රශ්නය වෙන කවදාටත් වඩා කතා කරන මාතෘකාවක් විය. ඒත් පසුගියදා ඒ කසළ කතාව වෙනත් පැත්තකට යොමු වූයේ කෙරවලපිටියේදී ආරම්භ කෙරුණ කසළවලින් විදුලිය උපයන විදුලි බලාගාරය නිසාය.

මූලිකව මේ සඳහා ලබා ගන්නේ කොළඹ නගරයේ එකතුවන කසළය. පසුව මේ සඳහා වෙනත් ප්‍රදේශවල කසළ යොදා ගැනීමටද නියමිතය.
කොළඹ නගර සභා සීමාව තුළ දිනකට එකතු වෙන කුණු ටොන් හත්සීයක් පමණ වේ. මේ සා විශාල කුණු තොගයකට දෙන විසඳුමක් සේ 2005 වසරේදී කොටහේනේ බ්ලූමැන්ඩල්හිදී කොම්පෝස්ට් ව්‍යාපෘතියක් ආරම්භ කෙරිණි. ඒත් එම ව්‍යාපෘතිය දිගු කලක් පැවතියේ නැත. හේතුව කොම්පෝස්ට් පොහොරවලට ඒ තරම් හොඳ ඉල්ලුමක් නොමැති වීමයි. ඒ නිසාම එම කොම්පෝස්ට් ව්‍යාපෘතිය ආරම්භ කළ සමාගම එම ව්‍යාපෘතිය වසා දැමුවේය.
මෙසේ එම කොම්පෝස්ට් ව්‍යාපෘතිය වැසී යාමත් සමගම බ්ලූමැන්ඩල් කුණු කන්ද දිනෙන් දිනම ඉහළ ගියේ කොළඹ නගරයට අලුත් කන්දක් නිර්මාණය කරමිනි. පසුකාලීනව එම කුණු කන්ද මුදල් ඉල්ලමක් වූ අතර කුණු කන්දේ අයිතිය වෙනුවෙන් පාතාලයද පොර පිටියට වැටුණේය. ඒ, මීට දශක එකහමාරකට පමණ ඉහතදීය. කෙසේ වෙතත් 2009 වසරේදී බ්ලූමැන්ඩල් කුණු කන්දට තවත් කුණු දැමීම නතර විය. ඒ, කුණු කන්දට එරෙහිව ප්‍රදේශවාසීන් අධිකරණයට යෑමේ ප්‍රතිඵලයක් හැටියටය.

කොළඹ කුණුවල ඊළඟ නවාතැන්පොළ වූයේ මීතොටමුල්ලයි. ඒත් 2017 වසරේ මීතොටමුල්ල කුණු කන්ද ජීවිත තිස්තුනක් රැගෙන නාය යාම නිසා එහි කුණු දැමීමද නතර කෙරිණි.

මීතොටමුල්ල කුණු කන්ද පිටුපසද ඇත්තේ අපූරු කතාවකි. රටේ කුණු විද්‍යාත්මක ලෙස බැහැර කිරීම සඳහා ඒ පිළිබඳ ප්‍රාමාණික දැනුම ඇත්තන් ගත් උත්සාහයන් හැම විටම ව්‍යර්ථ වී ගියේ මහජන විරෝධතාවන් හා ඊට සමගාමීව ආ දේශපාලන බලපෑම් නිසාය. පසුගිය කාලයේ කිරුළපන ප්‍රදේශයේ තිබූ කුණු මෝල හා ජීව වායු පද්ධතිය නිසි ලෙස නඩත්තු නොකර වසා දැමුණු අතර බ්ලූමැන්ඩල්, මීතොටමුල්ල, මට්ටක්කුලිය, කොටිකාවත්ත, කරදියාන ආදී තැන්වල කුණු කඳු ගොඩගැසුණේ ඒ නිසාය. කෙසේ වෙතත් දැන් කොළඹ කුණු ප්‍රශ්නයට මෙන්ම බලශක්ති ප්‍රශ්නයටත් විසඳුමක් දෙමින් කෙරවලපිටියේදී ඉවතලන කුණුවලින් විදුලිය නිපදවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. එය ලංකාවේ පළමුවැනි කසළ දහන විදුලිබල ව්‍යාපෘතියයි.
ඒ, එයිට්කන්ස් ස්පෙන්සස් සමාගමේ අනුබද්ධ ශාඛාවක් වන වෙස්ටර්න් පවර් ආයතනයේ ආයෝජනයක් හැටියටය. මෙම ව්‍යාපෘතිය සම්බන්ධව අපට කරුණු පැහැදිලි කළේ කොළඹ නගර සභාවේ නියෝජ්‍ය නාගරික කොමසාරිස් (ඉංජිනේරු සේවා) යෝගරාණි සිල්වෙස්ටර්ය.

‘‘2009 වසරේ ගිවිසුම්ගත වුණත් කෙරවලපිටියේ කසළ උද්‍යාන කලාපයේ අක්කර දහයක් පමණ ඉහත සමාගමට තිස් අවුරුද්දක් සඳහා බදු දීම සිදුවුණේ කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායකගේ අධීක්ෂණය යටතේ. මෙම බලාගාරය ඉදිකිරීම සඳහා ඔවුන් රුපියල් බිලියන දහතුනක් ආයෝජනය කරලා තිබෙනවා.’’ මේ ව්‍යාපෘතියේ ආරම්භය ගැන ඇය සඳහන් කරන්නේ එසේය.

කෙසේ වෙතත් මෙම කසළ බලාගාරය නිසා කොළඹ මහ නගර සභාවට මාසිකව රුපියල් මිලියන පනහක් ඉතිරි කරගැනීමට හැකිවී තිබේ. එසේම විවිධ තැන්වලට කුණු දැමීමට ගොස් මුහුණ දුන් ප්‍රශ්නවලින් මිදීමටද හැකිවී තිබේ.

වෙස්ටන් පවර් සමාගම සමග කොළඹ මහ නගර සභාව පැමිණ ඇති ගිවිසුම පරිදි නගර සභාව එම සමාගමට දිනකට කසළ ටොන් හයසීයත් අටසීයත් අතර ප්‍රමාණයක් ලබාදිය යුතුය.
මෙකී ප්‍රමාණය ගැන සිතන කල ඕනෑම​ කෙනකුට මතුවන ප්‍රශ්නයක් තිබේ. ඒ විදුලිය නිෂ්පාදනය සඳහා දහනයට ගනු ලබන්නේ කුමන අන්දමේ කසළද යන්නයි.

මේ පැනයට පිළිතුරු දෙන නියෝජ්‍ය නාගරික කොමසාරිස් ඉංජිනේරු යෝගරාණි සිල්වෙස්ටර් පවසන්නී ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි කසළ සහ ඝන අපද්‍රව්‍ය හැර සෙසු සියලු දේ මෙහිදී දහනය කිරීම සඳහා යොදාගන්නා බවයි.

දැනට එක් දිනකදී කොළඹ නගරයෙන් එකතු වන කුණු ප්‍රමාණය එම බලාගාරයේ ඉල්ලුම සම්පූර්ණ කිරීමට ප්‍රමාණවත් නොවන හෙයින් නගර සභාවේ අනුමැතිය සහිතව දිනකට කසළ මෙට්‍රික් ටොන් එකසිය පනහක් මෙම බලාගාරයට ලබාදීමට බස්නාහිර පළාත් සභාවට අවසර දී ඇති බවද ඇය කියන්නීය.

මෙම ව්‍යාපෘතිය ගැන කී සැණින් බොහෝ දෙනා තුළ මතුවන සැකය නම් කසළ දහනය නිසා පරිසර ප්‍රශ්න ඇතිවේද යන්නය.

‘‘නවීන තාක්ෂණය උපයෝගි කරගනිමින් පිටවන වායු පරීක්ෂා කරලා තියෙනවා. මෙම බලාගාරයේ ක්‍රියාවලියෙන් කිසිදු හානිකර දෙයක් වා තලයට මුසුවෙන්නේ නැහැ. ඒ පිළිබඳව අපි පරිසර අධිකාරිය සමග එක්ව නිරන්තර අධීක්ෂණ කටයුතු සිදු කරනවා’’ ඇය කියන්නීය.

‘‘මීට පෙර හුඟක් අය කීව්වේ මේක වෙන්නේ නැති වැඩක් කියලා. හැම වෙලාවෙම කතා කළේ උදාසීනව. ඒත් දැන් ඒ අයම කියනවා මේ වැඩේ බොහොම හොඳයි කියලා. කොළඹ විතරක් නෙවේ, දිවයිනේ විවිධ පළාත්වල මේ වගේ බලාගාර ස්ථාපිත කරන්න දැන් තවත් ආයතන කිහිපයක්ම අහලා තියෙනවා’’ යැයිද ඇය පවසයි.

මෙම ව්‍යාපෘතිය මගින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 10ක පමණ විදුලියක් ලබාදීමටද හැකියාව ලැබී තිබේ. එසේම මෙයින් නිපදවන විදුලි ඒකකයක් රුපියල් 36,20 මුදලකට මිලදී ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය එකඟත්වය පළකර තිබීමද විශේෂත්වයක්.

දිනකට කසළ මෙට්‍රික් ටොන් 600-800ත් අතර කසළ ප්‍රමාණයක් දහනය කිරීමේ ධාරිතාවක් මෙම බලාගාරය සතුව තිබෙන හෙයින් රටේ සංවර්ධනයත් සමග ඉදිරියේදී යෝජිත සංවර්ධන ව්‍යාපෘති වන වරාය නගරය හා නව නිවාස සංකීර්ණයක් ඉදිකිරීම වැනි මහා පරිමාණ ව්‍යාපෘති මගින් ජනනය වන කසළ ලබාගැනීම සඳහාද මෙහි ධාරිතාව පවතී.

කොළඹ නගරයේ දෛනිකව එක්රැස් කරනු ලබන නාගරික කසළ බැහැර කිරීම සඳහා ස්ථිර තිරසාර විද්‍යාත්මක විසඳුමක් ​මේ වනවිට ලැබී ඇති නිසා මින් ඉදිරියට කොළඹ නගරයේ ජනතාවට කැළි කසළවලින් පීඩා විඳීමට සිදුවන්නේද නැත.

හේමන්ත ලියනපතිරණ

කසළෙන් විදුලිය නිපදවෙන්නේ මෙහෙමයි – ව්‍යාපෘති ඉංජිනේරු දිනූෂ ගුණරත්න

ජල විදුලිය, ඩීසල් බලාගාර, සුළං බලාගාර, සූර්යබල විදුලි බලාගාර ගැන රටේ ජනතාව අසා තිබුණත් කසළ දහන බලාගාරයක් ගැන අසා තිබුණේ නැත. ඒ නිසාම පසුගියදා ආරම්භ කෙරුණු කසළ දහන බලාගාරයෙන් විදුලිය නිපදවන්නේ​ කෙසේදැයි අප එහි ව්‍යාපෘති ඉංජිනේරු දිනූෂ ගුණරත්නගෙන් විමසුවෙමු. ඔහු එම ක්‍රියාවලිය විස්තර කළේ,

‘‘මුලින්ම අපි කරන්නේ මෙහි ගෙන එන කුණුවල බර මැනලා දින පහත් හතත් අතර ගණනක් තියා ගන්නවා. ඊට හේතුව එම කුණුවල වතුර ගතිය ඉවත් වී වියළි තත්ත්වයට පත්වීමටයි. අනතුරුව නවීන තාක්ෂණය සහිත පෝරනුවක් තුළට එම කසළ ඇතුළු කර සෙල්සියස් අංශක 850-900ත් අතර උෂ්ණත්වයකින් දහනය කරනවා. අනතුරුව එම දහනයෙන් ඇතිවන දුම බොයිලේරුවක් තුළට යැවීමට සලස්වා එම බොයිලේරුව තුළ තිබෙන ජලය සමග දුමෙහි උෂ්ණත්වය උරා ගැනීමට සලස්වනවා. ඉන් අනතුරුව එය හුමාලය බවට පත්වෙනවා. සෙල්සියස් අංශක 415ක පමණ උෂ්ණත්වයකින් යුතු හුමාලය අධික පීඩනයක් යටතේ ටර්බයින් යන්ත්‍රයකට ඇතුළු කිරීම සිදු කරනවා. ඉන් අනතුරුව විදුලි ජනන යන්ත්‍රය මගින් විදුලිය නිපදවීම සිදු කරනවා.

පිටවන දුම පරිසර අධිකාරියේ නියාමනයන්ට අනුව පිරිසුදු කිරීමකින් අනතුරුව පරිසරයට මුදාහරිනවා.’’යනුවෙනි.