ගොසිප්

කවුද මේවා ලීක් කරන්නේ

”හමුදාව යුද අපරාධ ස්ත්‍රී දූෂණ කළ බවත් හා ඔවුන්ට විරුද්ධව පියවර ගතයුතු බවත් මහින්ද මහත්තයා දෙමළ මාධ්‍යවේදීන්ට කිව්වා. අනික අතුරුදන් වූවන් ගැන හොයන සත්‍ය හා සංහිඳියා කොමිසමට අදාළ කැබිනට් පත්‍රිකාව හා තවත් පත්‍රිකා 12 ක් අඟහරුවාදා කැබිනට් එකේදී කල් තියලා තියනවා. ඒ කොමිසමට අදාළ පත්‍රිකාව විතරක් කල්දැම්මා කියලා ප්‍රවෘත්තියක් ප්‍රචාරය වීම පුදුමයක්” නලීන් බණ්ඩාර කීවේය.

”මේ සමහර ප්‍රවෘත්ති පිටවෙන හැටි ගැන දැන් අපිට හිතාගන්න පුළුවන්. මේක ඉතා නරක වැඩක්. සත්‍ය හා සංහිදියා කොමිසමෙන් කරන්නෙ ඇත්ත හොයාගැනීම මිසක් කාටවත් දඬුවම් නියම කරන එක නෙවෙයි. සමහර පත්තරවල මම ඉදිරිපත් කරපු ඒ කැබිනට් පත්‍රිකාව ප්‍රතික්ෂේප කළා කියලා ජනාධිපතිතුමාගෙ පින්තූරයක් එක්ක දැමීමෙන්ම මාධ්‍ය කුමන්ත්‍රණය එළිවෙනවා” අගමැතිවරයා කීවේ මඳක් ආවේගයෙනි.

”පාර්ලිමේන්තුවෙදී ජනාධිපතිතුමා ගිය සතියෙ ව්‍යවස්ථාදායක සභාව ගැන කරපු කතාවට කථානායකතුමා සැර උත්තරයක් දීපු එකට කවුරුත් ප්‍රශංසා කරනවා. ජනාධිපතිගෙ කතාවෙ විකෘති කිරීම් හා අසත්‍ය චෝදනා රැසක් තිබුණු බව කථානායකතුමා සාක්කි සහිතව පෙන්වාදීමත් වැදගත්” දයා ගමගේ කීවේය.

”ජනාධිපතිතුමාගෙ කතාවෙන් මානව හිමිකම් කොමිසම ගැනත් කියවුණා. කථානායකතුමා විතරක් නෙවෙයි මානව හිමිකම් කොමිසමත් එතුමාට ප්‍රතිචාර දක්වලා නොමඟ යැවීම් නොසුදුසු බවත් ඒ හරහා කොමිසමේ ස්වාධීන කටයුතු අධෛර්ය කරවන බවත් ප්‍රකාශ කරල තිබුණා.” නවීන් දිසානායකද ඊට යමක් එක් කළේය.