ගොසිප්

කලිනුත් දයාසිරි ඔය වගේ කතා කියලා තියෙනවා – පිහියෙන් ඇනලා පස්සේ සොරි කිව්වට වැඩක් නැහැ

අඟහරුවාදා උදෑසන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම මහින්දගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී කණ්ඩායම් රැස්වීමක් පැවැත් වූයේ අයවැය දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීම සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමටය.

අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ යුතු බවට මහින්ද යෝජනා කළ අතර සියලු මන්ත්‍රීවරු එය ඒකමතිකව අනුමත කළහ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ද මහින්දගේ යෝජනාව අනුමත කිරීම විශේෂත්වයක් විය. එක්සත් ජාතික පක්ෂ පසුපෙළ කණ්ඩායම ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ද මේ පිරිසේ අවධානය යොමු වී තිබිණි.

“ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කිරීමට ගන්න උත්සාහය පරාජය කරන්න ඕනේ. ඒකට ඡන්ද විමසීමක් ඉල්ලුවොත් අපි ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සම්මත කර ගැනීමට ඡන්දය දෙමු. අපි මුළු අයවැයම පරාජය කරන්න ඡන්දය දෙනවා. හැබැයි ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය ජයග්‍රහණය කරවනවා’’ මහින්ද කීවේය.

සියලුදෙනාම මහින්දගේ එම යෝජනාව අනුමත කළහ. මේ අතර ෂෙහාන් සේමසිංහ වෙනත් කරුණක් කෙරෙහි මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමු කළේය.

“දයාසිරි මන්ත්‍රීවරයා පහුගියදා කරපු කතාව සම්බන්ධයෙන් යමක් කියන්න ඕනේ. මේ වගේ කතා නිසා අපි අතර ගොඩනැගෙමින් තියෙන සමගිය විනාශ වෙනවා. අපි කවුරුත් කතා කරන විට කල්පනා කරලා කතා කරන්න ඕන’’ ෂෙහාන් පැවසීය.

“මීට කලිනුත් දයාසිරි ඔය වගේ කතා කියලා තියෙනවා. පස්සේ සමාව ඉල්ලුවා. පිහියෙන් ඇනලා පස්සේ සොරි කිව්වට වැඩක් නැහැ. අපි කවුරුත් කටට බ්‍රේක් දාගන්න ඕනේ. මෙහෙම වැඩ කරන්න බැහැ’’ ප්‍රසන්න තදින් කීවේය. “දයාසිරිට නිදහස් පක්ෂයේ මහලේකම් තනතුර දරාගන්න බැරි බවක් තමයි අපිට නම් පේන්න තියෙන්නේ. එහෙම වුණාම තමයි ඔය වගේ කතා කියන්නේ’’ තවත් මන්ත්‍රීවරයෙක් පැවසීය.

“එක එක මන්ත්‍රීවරුන් එක එක කතා කියනවා. සාස්තරකාරයෝ කිව්වා කියලා තමයි මේ අය මේවා කියන්නේ. සමහරු හිතන් ඉන්නවා රටේ ඉහළට තැනට යන්න පුළුවන් කියලා. හැබැයි ඉතින් මේ ජාතියේ ගොන් වැඩ කරලා නම් ඉහළට යන්න බැහැ’’ රෝහිත කීවේය.

“ඔව් ඔව්. ඕවා කරලා ඉතින් යන්න වෙන්නේ පොල් කඩන අය යන ඉහළට තමයි’’ මහින්ද සිනාසෙමින් පැවසීය.