brand logo

කල්මුණේදී අන්තවාදීන්ගෙන් ආරක්ෂක අංශවලට ප්‍රහාරයක්

27 April 2019

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ මරාගෙන මැරෙන ත්‍රස්තයන්ගේ අවි ගබඩා සොයා සමන්තුරෙයි, කල්මුණේ ප්‍රදේශවල ආරක්ෂක අංශ එක්ව කළ සෝදිසි මෙහෙයුමකදී දෙපාර්ශ්වය අතර සිකුරාදා (26) පස්වරුවේ වෙඩි හුවමාරුවකින් දරුණු ගැටුමක් ඇතිවිය. රාජ්‍ය ඔත්තු සේවාවට ලද තොරතුරක් මත සමන්තුරේ ප්‍රදේශයේ අන්තවාදීන්ගේ කඳවුරක් වැටලූ ආරක්ෂක අංශ රසායනික ද්‍රව්‍ය කෑන් විසිපහක්, ඩ්‍රෝන කැමරා, බෝම්බ සෑදීමට ගන්නා යකඩ බෝල පුපුරන ද්‍රව්‍ය තොගයක් සමග ත්‍රස්තවාදීන්ගේ උපකරණ රැසක් අත්අඩංගුවට ගත්හ. එහිදී සැකකරුවන් හත් දෙනකු අත්අඩංගුවට ගැනිණි. මෙහි තිබියදී සහරාන්ගේ මරාගෙන මැරෙන කල්ලිය පුපුරවා ගැනීමට පෙර අවසන් ඡායාරූපය ගත් ස්ථානයේ වූ ත්‍රස්තයන්ගේ බැනරය පවා හමුවී ඇත. සිකුරාදා පස්වරුවේ ලද තොරතුරක් මත සමන්තුරේ සෙන්නල් ගමේ ත්‍රස්තවාදීන්ගේ ආරක්ෂිත නිවස්නයක් තුළ තිබී ත්‍රස්තවාදීන්ගේ පුපුරන ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් අතර, පසුව සයින්දමරුදු ප්‍ර‍දේශයේ බෝම්බ නිෂ්පාදනාගාරයක් ඇති බවට ලද තොරතුරක් මත යුද හමුදාව, විශේෂ කාර්ය බළකාය හා පොලිසිය එය වැටලූ මොහොතේ අන්තවාදීන් බෝම්බ තුනක් පුපුරුවා හරිමින් වෙඩි තබන්නට පටන්ගෙන ඇත. සයින්දමරුදු අෂ්රොෆ් රෝහල පසුපස නගරබද නිවාස අතරින් සිවිල් වැසියන්ට මුවාවී එල්ල කරන ප්‍රහාර මැඬපවත්වමින් ආරක්ෂක අංශ අන්තවාදීන්ට ප්‍රතිප්‍රහාර එල්ල කර තිබිණි. අම්පාර ශරියා විශ්වවිද්‍යාලයේ පුපුරණ ද්‍රව්‍ය සඟවා ඇති බවට ලද තොරතුරකට කළ වැටලීමකින් පුපුරණ ද්‍රව්‍ය, ඩෙටනේටර්, ජෙලන්නයිට්, වයර් ඇතුළු දෑ සොයා ගැනුණේද සිකුරාදා පෙරවරුවේදීය. පුවත්පත මුද්‍රණයට යන අවස්ථාවේද සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක විය. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..