විශේෂාංග

කබළෙන් ළිපට වැටෙන්නට යන මහකනදරා වැවේ ගොවියෝ

රන්දිය දහර හෙවත් කණක ධාරාව මහසෙන් රජු නිර්මාණය කළේ ප්‍රදේශයේ භූගත ජල මට්ටම ඉහළින් තබා ගැනීමටත් රටට බත සපයන ගොවියන්ගෙ කෙත් සරුකිරීමත් අරමුණු කරගෙනය. ඒ අදින් වසර 1700කට පෙරය. භූගත ජල මට්ටම ඉහළ තබා ගැනීමේ අරමුණ නම් පානීය ජලය ලෙස කුඩා ළිං මගින් ජනයාට ජලය ලබා ගැනීම පහසු කරවීමය. එ් නිසා කණක ධාරාවේ ජලය කෙත් බිම් සාරවත් වීම පිණිසත් දිය නෑම ආදී කටයුතු පිණිසත් පමණක් භාවිත කර තිබුණි. මහසෙන් රජුගේ එදා කණක ධාරාව අද මහකනදරා ජලාශයය. විවිධ පරසතුරු උපක්‍රම කුමන්ත්‍රණ ආදියෙන් පීඩාවට පත්වුවද නොනැසී පැවැති මහකනදරා ජලාශය 1959දී ප්‍රතිසංස්කරණයට ලක්ව මහා වාරි ගොවි ජනපදයක් ලෙස අදියර දෙකකින් ගොවි පවුල් පදිංචි කර ඇති අතර අද වන විට ගොවි පවුල් 12000ක් ජීවත් වන ගොවි රජ දහනකි.

ආරම්භයේදීම අක්කර 6100ක කුඹුරු මහකනදරා ජලාශයෙන් පෝෂණය වී ජාතියට බත සැපයීම සිදුවිය. අතීතයේ මේ ජලාශයට උපකාර පිණිස ඒරු වැවේ වාන් වතුර සීරාව ගලා එන්නට මගක්ද මහසෙන් රජ්ජුරුවන්ගෙ නුවණින් නිර්මාණය වී තිබුණි. ඒත් රණසිංහ ප්‍රේමදාස ජනපති යුගයේ ගම් උදා වැඩසටහනේ උදාගම්මානයක් එමග වසා ඉදිකිරීමෙන් මහකනදරාව හුදකලා ජලාශයක් බවට පත් වුණේය.

රමණීය මේ මහා වැව දරා උසුලා සිටින ජලකඳ අක්කර අඩි 36250කි. දකුණු ඉවුර සහ වම් ඉවුර ලෙස බෙදුම් ඇළ මාර්ග 53කින්ද ඇළ මාර්ග 244කින්ද ගොවියන්ගෙ කුඹුරු බිම් වෙත අවශ්‍ය ජලය ලබා ගැනේ. පරසන්ගස්වැව රත්මලේ දක්වා එක් පසෙකිනුත් අනෙක් පසින් රඹෑව වහමල්ගොල්ලෑව දක්වාත් මහකනදරා ජලාශයේ ජලය කෙත් සඳහා ජීවය දෙමින් ඇළ මාර්ග ඔස්සේ ගලා බසී. මිහින්තලය නගරය, රඹෑව නගරය මැදවච්චිය නගරය ඇතුළු නගරාශ්‍රිත සියලු ව්‍යාපාරයන්හිත් ග්‍රාමාශ්‍රිත ව්‍යාපාරයන්ගේ ප්‍රගතියද මහකනදරා ජලාශය මත රැඳී පවතින්නේ මේ සියලු ගොවි ජනතාව යැපෙන්නෙ එහි ජලයට පිං සිදුවන්නට වන බැවිනි. එබැවින් එහි සියලු වැසියෝ මහකනදරා ජලාශයට පණමෙන් සෙනෙහස ඇත්තෝය. අහස් දියෙන් පමණක් පිරෙන ජලාශයක් හේතුවෙන් වැව් ජලය අරපරිස්සම් කරගන්නට සියල්ලෝ කටයුතු කරති.

මේ අතරේ මොරගහකන්ද ජලාශය නිර්මාණය කර මොරගහකන්ද ව්‍යාපෘතියෙන් කනදරා වැවටත් යල මහ කන්න දෙකේම වගේම අවශ්‍ය නම් මැද කන්නයකටත් වතුර දෙන බව කියයි. මහකනදරාවට මොරගහකන්ද ජලාශයේ වතුර ගෙනෙන්නට බලාපොරොත්තුව 2026 දීය. ව්‍යාපෘති අවසානය 2034 යැයි කියැවෙන බැවින් ඒ වෙද්දීවත් ඒ ජලය ලැබේයැයි ගොවීන්ට විශ්වාස කරන්නට නොහැක්කේ ජලය ගෙන එන්නේයැයි කියන ඇළ මාර්ග ඉදිකිරීම් තවමත් ආරම්භක අදියරේ බැවිනි. ඊටත් ඇළ මාර්ගය කිලෝමීටර් 97ක් මොරගහකන්දේ සිට මහකනදරාවට ඕනෑය. හදනවායැයි කියැවෙන කිලෝමීටර් 27 වන උමං ජල මාර්ගයෙ තවමත් තිබෙන්නේ මුල්ගල් පමණි.

පසුගිය වසර කීපයක සිටම මහකනදරා ගොවියෝ, කුඹුරු ගොවිතැන් ජලය නොමැතිකමින් අතහැර අහස දෙස බලා සිටියෝය. පිට පිට කන්න 5ක්ම වගාවකින් තොරව අන්ත අසරණ වූ ඔවුහු 6 වන කන්නයේ බෙත්ම ක්‍රමයට අක්කර භාගයක් වගා කරගත්තෝය. 7 වන කන්නය ලෙස මේ හෙට අනිද්දා කරල් පැසී කැපෙන මාස් කන්නය සතුටින් ඔවුහු වගා කළෝය. එහෙත් දැන් ඔවුන්ගෙ සතුට අවිනිශ්චිත අනාගත අඳුරකින් වැසෙමින් පවති. ඒ මේ කතාන්දර අතරේ අතුරු කතාවක් වූ පානීය ජලය දෙනවාය යන අරමුණින් කඩිනමින් හැදෙන අනුරාධපුර උතුරු පානීය ජල ව්‍යාපෘතිය හේතුවෙනි. එම දැවැන්ත ජල ව්‍යාපෘතියට ජලය ලබාගන්නට සැලැසුම් කර තිබෙන්නෙ මහකනදරාව ජලාශයෙන් වීම නිසාය.

ජයිකා හෙවත් ජපන් ණය ආධාර යටතේ මේ පානීය ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මකය. ඒ සඳහා වන ජයිකා ණය මුදල රුපියල් බිලියන 12කි. වැව් මධ්‍යයේ බැම්මෙන් මෙහා පරිශ්‍රයක විශාල පිරිපහදු සංකීර්ණය කඩිනමින් මේ දිනවල ඉදිවෙමින් පවතින්නේ 2020 වැඩ නිමා කරවන සැලසුම් සහිතවය. රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියලු ගම් බිම්හිද මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියලු ගම්බිම්ද මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ට්ඨාසයේ ඇතැම් ගම්බිම්ද ආවරණය කරමින් භූගත ජල නළ එළීම් දිවා රාත්‍රී සිදුවෙමින් පවතී. මේ ව්‍යාපෘතිය වෙනුවෙන් ඇඳි සැලසුම් සිතියම්හි මන්නාරම දක්වාත් තව පසෙකින් වව්නියාව දක්වාත් සිතියම්ගත කර තිබීමද ඉතා කඩිනමින් ඉදිකිරීම් කටයුතු සිදුවෙමින් තිබීමද, ජලය ලබා ගන්නෙ මහකනදරාව ජලාශයෙන් බව දන්නා බැවින්ද, 2020 ජල ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත වුවද මොරගහකන්දේ ජලය මහකනදරාවට ලැබෙනවානම් ලැබෙන්නේ 2026නුත් පසුව බව දන්නා ගොවි සංවිධාන ඒ ගැන නිතර බලධාරීන්ගෙන් විස්තර විමසන්නට වූහ. එහි ප්‍රතිඵලය ලෙස විමසීම් ආරම්භ කර මාස හයකට පමණ පසු අනුරාධපුර දිසාපති වරයා ගොවි සංවිධාන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන්, වාරිමාර්ග හා ජල සම්පාදන නිලධාරීන් ද අදාළ ව්‍යාපෘති නිලධාරීන් හා රැස්වීමක් පසුගිය ජනවාරි 18 වනදා ලබා දී තිබුණි.

එහිදී අනාවරණය වූයේ අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවත් 2012 අත්සන් කරන ලද ගිවිසුමකට යටත්ව ක්‍රියාත්මක කෙරෙන බවය. එහෙත් එවන් ගිවිසුමක් ගැන මෙම රැස්වීම වන තෙක්ම මහකනදරා ගොවි ව්‍යාපාරයේ කිසිදු ගොවි සංවිධානයක් හෝ ගොවියෙක් තබා අඩුම තරමේ ප්‍රාදේශීය ලේකම්වරුන්වත් නොදන්නා බවය. එවන් ගිවිසුමක් අත්සන් කළ බවක් දන්නා නමුදු තමන්ද ඒ ගැන නොදන්නා බව අනුරාධපුර මහ දිසාපතිවරයාද ප්‍රකාශ කළෙන් මෙම ගිවිසුම කාගේ අනුදැනුම මත සිදුවන්නක්දැයි ගොවීහු ප්‍රශ්න කරති. මෙම අනුරාධපුර උතුරු ජලසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කරන්නේ ප්‍රදේශයේ වකුගඩු රෝගයට පිළියමක් ලෙසයැයි ජල සම්පාදන මණ්ඩලය කියා සිටී. එනයින් බැලූ කල මේ මහා සත්කාර ව්‍යාපෘතියකි. එය එසේනම් 2012 වර්ෂයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ජලසම්පත් මණ්ඩලය එක්ව මහකනදරා ජලය ගෙන ක්‍රියාත්මක කරන්නට නියමිතව අත්සන් කළ ගිවිසුම මහකනදරා ව්‍යාපාරයේ ගොවීන්ගෙන් සඟවා අත්සන් කළේ ඇයිදැයි ගොවීහු ප්‍රශ්න කර සිටි.

එසේ ගොවි සංවිධාන දැනුවත් නොකර ගොවීන්ගේ වැවට සම්බන්ධ ගිවිසුමක් අත්සන් කිරීම වරදක් බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. වන්නිනායක මහතාද පිළිගෙන තිබේ. එම රැස්වීම් දිනයේ ප්‍රාදේශීය ලේකම්වරුන්ට ගිවිසුමේ ඉංග්‍රීසි පිටපත් ලබාදී ඇති අතර ගොවි සංවිධාන වෙත එය තවමත් ලබා දී නැත.

ගොවීන් පානීය ජල ව්‍යාපෘතියට විරුද්ධ නැත. මිහින්තලයට, රඹෑවට, මැදවච්චියට, පිහිඹියගොල්ලෑව පැත්තට පරසන්ගස්වැව මිනිස්සුන්ට පානීය ජලය ලබා දෙනවාට මහකනදරා ව්‍යාපාරයෙ ගොවීන්ගේ විරෝධයක් නැත. එය පවතින වකුගඩු රෝගය පාලනය කිරීමට ඉවහල්වේයැයි ඔවුහු ද පිළිගනී. ඔවුන්ගේ විරෝධය කුමක් සඳහාදැයි බලධාරීන් වටහා ගත යුතුව ඇත. දිවා රෑ නළ එළමින් පිරිපහදුව සකසමින් 2020 නිම කෙරෙන පානීය ජල යෝජනා ක්‍රමයට වතුර ගන්නේ පෝෂක වැවක් ඇළක් දිය සීරාවක් නැති අහස් වැස්සෙන්ම පමණක් පිරෙන හුදකලා මහකනදරාවෙන්‍ ය. 2026ත් පසුවී ලැබෙනවායැයි කියන මොරගහකන්ද ජලය පෙන්වා අමාරුවෙන් වසරකට කන්නයක් ගොවිතැන් කර ජීවිකාව සලසා ගන්නා ගොවීන්ට එම කන්නය සඳහාත් මදිවන මහකනදරා ජලය අනුරාධපුර උතුරු පානීය ජල ව්‍යාපෘතියට පවරා පාළු කෙත් බිම් දෙස කුස ගින්නේ බලා සිටින්නට වේදෝයි ඔවුහු බියවී සිටිති.

“මේවා ජපන් ණය ආධාර. මේ මුදල්වලින් අප ව්‍යාපෘතිය කරනවා. 2020 අගෝස්තු පමණ වන විට එහි කටයුතු නිමා කරනවා යැයි ගොවීන් හමුවේ ව්‍යාපෘති ඉංජිනේරුවරයෙකු කියූ රැස්වීම් මොහොතේ “ මොරගහකන්ද ජලාශයේ ජලය ලැබීමෙන් පසුවද මේ ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ ? යැයි ගොවීහු ප්‍රශ්න කර සිටියහ. එයට ඉන්ජිනේරුවරයා කියූවේ ඒ ගැන තමන් නොදන්නා බවය.

දින දින උස්ව නැගෙන ගොවි විරෝධය සමනය කරනු වස් ජල ව්‍යාපෘති නිලධාරීහු ගොවි සංවිධාන කැඳවා මහ කනදරාව යාය 2 ගැමුණු විද්‍යාලයේ රැස්වීමක් තැබීය. එහිදි ප්‍රචාරක වීඩීයෝවක් පෙන්වූ අතර එම වීඩියෝව විනාඩි 10ක් පමණ වනතුරු වකුගඩු රෝගය ගැන විස්තර කරන්නක් විය. ගොවීහු තමන් පැමිණියේ වකුගඩු සායනයකට නොව අපේ වැවේ ප්‍රශ්නයටය. එබැවින් ඒ ගැන කියන්නැයි කීයෙන් වීඩියෝ පෙන්වීමද නැවතිණ. මොරගහකන්දේ ජලය එන්නේ 2026න් පසුවනම් 2020 පානීය ජල ව්‍යාපෘතියට තමන් එක හෙළා විරුද්ධ බව පවසමින් එම රැස්වීම අතර මැද ගොවීහු විරෝධය පා නැගිට ගියේ ව්‍යාපෘතියේ වියදමින් රැස්වීමට පැමිණි අයට ලබා දුන් කිරි පැකැට්ටුවද විසිකරමින්‍ ය.

එමෙන්ම ගොවි සංවිධාන නියෝජිතයන් මේ පානීය ජල ව්‍යාපෘතියට කැමති වන්නේ මොරගහකන්ද ජලාශ වතුර ලැබීමෙන් පසුව ක්‍රියාත්මක කරන්නේ නම් පමණක් බව කියූ අවස්ථා රූගත කර මේ ව්‍යාපෘතියට කැමැතියි යන කොටස් පමණක් එක්කර ප්‍රචාරක වීඩීයෝවක්ද හදා ඇති බවටද ඔවුහු චෝදනා කර සිටී.

අවාසනාවන්තම කරුණ නම් ගොවීන් විමසන කරුණු සඳහා නිවැරදිව වගකීම් සහිතව පිළිතුරු දෙන්නට වගකිව යුත්තෙක් නැති වීමය. ඔවුහු කෘෂිකර්ම ඇමැතිවරයා සහ ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් සෘජුව මැදිහත්වේයැයි අපේක්ෂාවෙන් පසුවන්නේ එබැවිනි.

අනුරාධපුර උතුරු ජල යෝජනා ක්‍රමයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 30ක් ලබාදී ඇළවේලි සැකසීම සිදුකරන්නට ගිවිසුමේ ඇති බව ගොවීන් අස්වසන්නට ව්‍යාපෘති නිලධාරීන් කීවද මීට ප්‍රථම ලෝක බැංකු ආධාර යටතේ ලැබී ඇති කෝටි 60ට අදාළ ඇස්තමේන්තු හෝ තවම නිමකර නැති වාරිමාර්ග දෙපාර්තමේන්තුව මේ කෝටි තිහ 2020 වන විට ඵලදායී ලෙස යොදවනු තබා අඩුම තරමේ ඇස්තමේන්තුවක්වත් සකසනු ඇතැයි ගොවීහු විශ්වාස නොකරති.

මහකනදරාව මිහිඳු බෙදුම් ඇළ ගොවි සංවිධානයේ සභාපති තිලකරත්න බණ්ඩාර ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර උතුර ජල යෝජනා ක්‍රමය සඳහා ජල මූලාශ්‍ර සෙවීමේදී පදවිය වැව, වාහල්කඩ වැව, හුරුළු වැව නාච්චාදූව යන ස්ථානයෙහි ගොවි සංවිධානයන්ගේ විරෝධය නිසා එයින් ඉවත්ව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මහ කනදරාවේ ගොවීන්ගෙන් උපක්‍රමශීලීව ඒ සඳහා විරෝධයක් ඒම වළක්වාලනු ලැබුයේ මොරගහකන්දෙන් වතුර ගෙනත් යල මහ දෙකම ගොවීන්ට වතුර ලබාදී අමතර වතුර පානීය ජලය ලෙස සකසා බෙදාහැරෙන බව කියමින් බවය. දිනකට ජලය ඝන මීටර් 6700ක් පළමු අදියරේත් දෙවන අදියරේදී ඝන මීටර් 14000ක් දිනකට වැවෙන් දෙන්නත් හොර රහසේ ගිවිසුම් අත්සන් කර ගොවීන් රවටා වැවට මොරගහකන්ද ජලය ලබා ගන්නට ප්‍රථම ජලය ලබා දෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනු ඇති බැවින් ඒ ගැන අවධානය යොමු කරන තෙක් ගොවීහු බලා සිටිති.

මහකනදරාව එ්කාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ආර්.එම්.ආර්. රාජපක්ෂ ඇතුළු සමස්ත ගොවි සංවිධාන නියෝජිතයන් තමන් කරුණු සහිතව මේ සිදුවන ක්‍රියාවලිය සැක කරන බවත් කියා සිටී.

“ මොරගහකන්ද සිට මහ කනදරාව දක්වා ඇළ මාර්ගය අදියර හයකින් සිද්ධ වෙනවා කියලයි කියන්නේ. පළමු අදියර කිලෝමීටර් 6ක් හදන වැඩේවත් තවම අාරම්භයේ පමණයි. කිලෝමීටර් 27ක් වන උමන් ජල මාර්ගයත් මුල්ගල් විතරයි 2026 වන විටවත් මොරගහකන්ද ජලය ලැබේයැයි හිතන්න අමාරුයි. ඒ එනවා කියන වතුරක් විශ්වාස කරලා තියෙන වතුර ටික වෙනත් ව්‍යාපෘතියකට දෙන්නෙ කොහොමද..? යනුවෙන් ගොවීහු ප්‍රශ්න කරති.

“මහකනදරාවේ ගොවි පවුලකට කුඹුරු අක්කර තුනක් ආරම්භයේ තිබුණද ඒ මුල් පදිංචිකරුවන්ට විතරයි. පස්සෙ ඒවා දරුවන්ට දරුවන්ගෙ දරුවන්ට බෙදුණා. ඇතැම් පවුලකට ඉඩම් අක්කර කාල භාගෙ තියෙන්නෙ. ඒකෙන් තමයි කෑමට වී ටිකක් ගන්නෙ. මේ විදියට අපේ වැවේ වතුර ටික අපට අහිමි වෙනවානම් ඒ ගැන මහසෙන් රජ්ජුරුවෝවත් බලන්ට ඕනෑ.’’ යැයි කියන්නේ මහකනදරාව වම් ඉවුර ගොවි සංවිධානයේ සභාපති පී.කුලසිරි ය.

මේ පානීය ජල යෝජනා ක්‍රමයෙ සිතියම අනුව වව්නියාවට මන්නාරමට වුණත් වතුර දුන්නට අපට කමක් නෑ. හැබැයි වැහි වතුරෙන් පමණක් පෝෂණය වෙන මහ කනදරාවෙන් නොවේ. යම් දිනෙක මොරගහකන්ද ජල ව්‍යාපෘතියෙ ජලය ලබාදීමෙන් අනතුරුව එය සිදුවිය යුතුයි ඒ මහකනදරාව ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් එම්. ප්‍රේමරත්නගේ අදහසය.

මහකනදරා ගොවි ගැටලුව මේ මොහෙතෙ නිවැරදිව කොටස් කරගත හැකිය. මොරගහකන්ද ජලාශයෙන් ජලය මහකනදරාවට එන්නෙ කවදාදා? එම ජලය ලබාදීම 2026 තෙක්ම පසුවේනම් හුදකලා මහකනදරා ජලය ගෙන මහකනදරා ව්‍යාපාරයේ ගොවීන් සාගින්නේ තබන්නට උවමනාව ඇත්තේ කාටද..? මහ කනදරාවට මොරගහකන්ද ජලය එනතෙක් අනුරාධපුර උතුරු ජල ව්‍යාපෘතිය විවෘත නොකරන්නේ නම් ජපන් ණය ආධාර ගෙන කඩිනමින් ඉදිකර 2020 වැඩ නිමවා 2026 තෙක් ඔහේ වසා දමන රුපියල් බිලියන 12ක ජල ව්‍යාපෘතියක් ඉදිකරන්නේ කුමකටද..?

සිය වගා බිම් පාළුවීමෙන් අසරණ වන ගොවියාට වග කියන්නේ කවුද..? අපෙ රටේ අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති අතරට මහකනදරාව මුල් කරගත් අනුරාධපුර උතුරු ජල ව්‍යාපෘතිය පත්වෙමින් මුදල් නාස්තියක් වීමට ප්‍රථම බලධාරීන් මේ සඳහා ගොවියාගේ පැත්තේ සිට විසඳුම් දිය යුතු නොවේද..? නොඑසේනම් ගම්මාන එකසිය විසි ගණනක ගොවි ජනයාට මහකනදරාවට පැන සිය දිවි නසා ගන්නට සිදුවන දිනය ඈතක නොවනු ඇත.

මේ කුමන ව්‍යාපෘතියක්ද..? කන්ට බත නොදී බොන්නට වතුර දෙන්නට හදන ව්‍යාපෘති කුමකටදැයි ගොවීහු අසන පැනයට පිළිතුරක් දිය හැකි වගකිව හැකි බලධාරියෙකු මහකනදරාවට දිවැස් හෙළන්නෙ කවදාද.

ජයන්ත සුබසිංහ