විශේෂාංග

කබරගොයි තලගොයි කළ ජවිපෙ ඉන්දීය විරෝධය

ලංකාවේ වෙසෙන දෙමළ ජනතාව සේම විදේශවල වෙසෙන දෙමළ ජනතාවද ජ.වි​.පෙ. සම්බන්ධයෙන් දක්වන්නා වූ විරෝධය හෝ හිතවාදයද ජ.වි.පෙ. සේම කලින් කලට වෙනස් වෙයි. ජ.වි.පෙ. 2005 ජනාධිපති ඡන්දයෙන් මහින්ද රාජපක්ෂ දිනවීමට කටයුතු කරද්දී පැරිසියේ වෙසෙන දෙමළ ජනතාවට සේම ඊළාම්වාදීන්ට ජ.වි.පෙ. පෙන්නන්න බැරි තරම් වූයේය. එයින් පසු 2010 ජනාධිපති ඡන්දයේදී මහින්ද රාජපක්ෂට විරුද්ධ වූ ජ.වි.පෙ. සරත් ෆොන්සේකා කර උඩ තබාගෙන යද්දී පැරිස් දෙමළ ප්‍රජාව ෆොන්සේකාට තරමටම ජ.වි.පෙ.ට ද හිතවත් වූහ. 2015 දී මෛත්‍රී ජනාධිපති කර රනිල් අගමැති කිරීමට යටින් ගේම දුන් ජ.වි.පෙ.ට දෙමළ ජනතාවගේ ප්‍රශංසාව තවදුරටත් හිමිවිය.

(මම පැරිසියේ දෙමළ ජනතාව ගැන පවසන්නේ මගේ දෑසට පෙනෙන්නේ ඔවුන් නිසාය). අප ඔබට පැවසීමට සූදානම් වූ විශේෂ සිද්ධිය මෙයයි.

ජ.වි.පෙ. ප්‍රංශ ශාඛාව හෙවත් පැරිස් කමිටුව පිහිටු වූ දා පටන් අප්‍රේල් සමරුව හා ඉල්මහ සමරුව සුළුවෙන් හෝ සැමරීම සිරිතකි. මා පැරිස් කමිටුව නියෝජනය කළ කාලයේද එය එසේය. එවිට පක්ෂ නායකයා වූ සෝමවංශ අමරසිංහ සහෝදරයා පැරිසියේ සිටියදීත් මෙම සමරුවකට සාමාජිකයන් හා හිතවතුන් 50 දෙනකු ගෙන්වා ගැනීමට අපට නොහැකි විය. පැමිණි උපරිම ගණන 30 දෙනකු තරම්ය. ඊටත් පසු එය දිගටම පවතින්නේ 10-15 ක සීමාවේ බවට අපට තොරතුරු ලැබේ.

වර්ෂ 2018 (නොවැම්බරයේ) ඉල්මහ සමරුවේ ඡායාරූපයක් එක්තරා පුවත්පතක පළවී එය මුහුණු පොතට ද මුදා හැර තිබුණි. එහි සඳහන් වන්නේ පැරිසියේ දෙමළ සංවිධානයේ සභාපති කුමාරසිංහම් මුතුකුමාර් මහතා සභාව අමතා කතා කරන බවය. ජ.වි​.පෙ. පැරිසියේ සංවිධායකයාද මූලාසනයේ සිටියි.
ජ.වි.පෙ. ට එකලද ‘‘තංගරාජා’’ වැනි හොඳ දෙමළ සහෝදරවරු සිටියහ. නමුත් ඉතාම අල්පවය. පැරිසියේදී නම් කවදාවත්ම සිට නැත. අනික මේ ජ.වි.පෙ. ට සම්බන්ධ වූ දෙමළ සහෝදරයකු නොවේ. ඉල්මහ සමරුවට ගෙන්වාගත් දෙමළ සංවිධානයක සභාපතිවරයෙකි. එසේම දෙමළ සහෝදරවරුන් ජ.වි.පෙ. ට සම්බන්ධ වීම ගැන අපගේ කිසිම අකමැත්තක් හෝ විරෝධයක් ද නැත.

මෙම පින්තූරය ගෙන ඔහුගේ නමින් අදාළ පුවත්පතට දමා මුහුණු පොතට ද දමා ඇත්තේ කිසිදා ජ.වි.පෙ. හිතවතකු වශයෙන් සිටි පුද්ගලයකු නොවේ. පැරිසියේ දේශප්‍රේමී පිල නියෝජනය කරන්නන්ගේ අදහස පරිදි ඔහු හැමදාමත් සිට ඇත්තේ ඔවුන්ට එරෙහි මතවාදයේය. චන්ද්‍රිකා බණ්ඩාරනායක උතුරට හා නැගෙනහිර ‘‘පැකේජය’’ ගෙන එන කාලයේත්, ඊට පසුව ගාමිණී වියන්ගොඩ විසින් ප්‍රභාකරන්ට වසර 5කට උතුරේ පාලනය භාරදිය යුතුයැයි පුවත්පත්වලට ලිපි ලියන කාලයේත්, චන්ද්‍රිකා සුනාමි සහන මණ්ඩලය ක්‍රියාත්මක කිරීමට හැදූ විටදීත්, රනිල් කොටි සමග සාම ගිවිසුම ගැසූ විටදීත් ඉහත කී වියන්ගොඩම ‘‘පුරවැසි බලය’’ හැදූ විටදීත්, 2015 දී ‘‘යහපාලන’’ ආණ්ඩුව පිහිටු වූ විටදී සහ මේ දක්වාමත් ඔහු පෙනී සිට ඇත්තේ එම පාර්ශ්වයන් වෙනුවෙනි. බළලා මල්ලෙන් එළියට පනින්නේ ඔන්න ඔතැනදීය.

තවද එම ඉල්මහ සමරුවට දෙමළ සංවිධානයේ සභාපතිවරයාද, තවත් පිරිසක්ද එක්සත් ජාතික පාක්ෂිකයන් කිහිප දෙනකුද සහභාගි කරවීමට ක්‍රියාකර ඇත්තේ තවත් පුද්ගලයෙකි. ඔහු පැරිසියේ සිටින්නා වූ අරටු එක්සත් ජාතික පාක්ෂිකයින් පවා අබිබවමින් එදා සිට අද දක්වාමත් යහපාලන රජය වෙනුවෙන් කැපවීමෙන් කර ගසන අයෙකි.

එනයින් බලන විට අමාරුවෙන් අටවාගෙන සිටින ජ.වි​.පෙ. විදේශ ශාඛා පවා වික්‍රමබාහුලාගේ වියන්ගොඩලාගේ දේශද්‍රෝහී එන්.ජී.ඕ. අවතාරවලින් හා රනිල්ගේ යහපාලන බළල් අත්වලින් නැටවෙන තත්ත්වයට පත්ව තිබේ. එසේම කිසිම මධ්‍යස්ථ ප්‍රගතිශීලීයකු හෝ දේශප්‍රේමියකු සහභාගි නොවන තරමට ඔවුන්ගෙන් වියෝවී හුදකලාවී ප්‍රතික්ෂේප වී තිබේ. සත්‍යය එයයි.

කන්නට අවශ්‍ය වූ විට කබරගොයාත් තලගොයා කර ගැනීමේ ජවිපෙ මේ න්‍යාය ගැන තවදුරටත් පැහැදිලි කළ යුතුව තිබේ.

රාජීව් ගාන්ධි ජේ.ආර්.ගේ අතින් අල්ලා ඉන්දු – ලංකා ගිවිසුම අත්සන් කරවා ඉන්දියානු හමුදාව උතුරට එවා ලංකාව මත බලහත්කාරයෙන් මෙන් පළාත් සභා පැටවීම, ඒ වන විට පුද්ගලයන් ඉලක්ක කොට කරන සන්නද්ධ ප්‍රහාරවලින් ඔබ්බට යන්නේ කෙසේදැයි දස අතේ කල්පනා කරමින් සිටි ජ.වි.පෙ.ට හිටි ගමන් කඩා පහත් වූ වාසනාවක් විය. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ගොඩනගමින්, ජනතාවගේ දේශප්‍රේමය අවුලවමින්, එම වචනය පට්ටා ගසමින් පිමි පනිනා ආකාරයෙන් ජ.වි.පෙ. තම ක්‍රියාකාරකම් උත්සන්න කරන්නේ ඉන් පසුවය. එහෙත් සැබෑම තත්ත්වය නම් ඉන්දියාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට ඇඟිලි ගැසූ බව සැබෑමුත් ශ්‍රී ලංකාව මුළුමනින් ආක්‍රමණය කර යටත් කොට ගෙන ඉන්දියාවේ ප්‍රාන්තයක් කර ගැනීමේ අරමුණක් නොවීය. රජීව් ගාන්ධිට සේම ඔහුගේ මව වූ ඉන්දිරා ගාන්ධිටද අවශ්‍ය වූයේ ඇමෙරිකාව දෙසට ඇදී යන ඉන්දියාවට හානිකර ජේ.ආර්. ගේ විදේශ ප්‍රතිපත්තිය නිසා කොටි සංවිධානය හා උතුරේ වෙනත් සංවිධාන යොදා ගනිමින් ඔහු පාලනය කිරීමත් ලංකාවේ දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටීමෙන් තමිල්නාඩුවේ ප්‍රසාදය දිනා ගැනීමේ ද්විත්ව වාසිය ලබා ගැනීමත් පමණය.

රට තුළ ඉන්දියානු විරෝධයක් හා දේශානුරාගයක් ඇවිලවූයේ ජ.වි.පෙ. වාසිය සඳහා වූ වුවමනාවට මිස එවැන්නකට ඓතිහාසික අවශ්‍යතාවක් පැන නැගී නොවේ. එතරම් අධිමාත්‍රාවකින් ජන මනසට දේශප්‍රේමය එන්නත් කළද සාමාන්‍ය ජනතාව විරෝධතා සඳහා පාරට බැස්සවීමට තුවක්කුවේ බලය අවශ්‍ය වීමට කියා පෑවේ එය ජනතාව ස්ව කැමැත්තෙන් බද්ධ වන අරගලයක් නොවන බවය.
එම කාලයේදී මාක්ස් ලෙනින්වාදී විප්ලවවාදී පක්ෂයක් වශයෙන් ජ.වි.පෙ. අන්තයටම පිරිහී ගියේය.

සියල්ල කරන ලද්දේ හඳුනන තුවක්කුකරුවා ලවා කළ බිය ගැන්වීමෙන් හෙවත් ත්‍රස්තවාදයෙනි. එයට හොඳම උදාහරණය ගමනා ගමන මණ්ඩලයේ වර්ජනය ජය ගැනීමය. හැමතැනම සුලබව තිබූ එකම වචනය මරණයයි. ද්‍රෝහීන්ට දඬුවම මරණය!. නියෝග කඩකරන්නන්ට මරණය! ඡන්දය දැමීමට ගියොත් මරණය! 1971 දී තාප්ප බිත්තිවල ලියූ වැකිවල හා ඇළ වූ පෝස්ටර්වල වූ වැකිවල යම් ප්‍රබුද්ධ භාවයක් හා සටන්කාමී භාවයක් තිබුණද 88-89 කාලයේ තිබුණේ පහත් පෙළේ වැකි හා ආමන්ත්‍රණය. ‘‘ජේ.ආර්. මරමු! ප්‍රේමදාස මරමු!’’ ඉන් ප්‍රධාන දෙකකි. අරගලයට එකතු වෙන්නැයි එක් අතකින් හමුදා සාමාජිකයන්ට ආරාධනා කරන අතරේම ‘‘බඩයන ආණ්ඩුවේ ගූ කන හමුදා! යැයි තවත් අතකින් ලිව්වේය. ‘‘ජනාධිපති ආර්යාව ගැබ් ගනී. සැක කරන්නේ ජ.වි.පෙ. යි! යන උපහාසාත්මක වැකිද ඒ අතරේ නොතිබුණා නොවේ.

පළාත් සභාවලට නාම යෝජනා දෙන තැනේ සිටම එම අපේක්ෂකයන්ට මරණ දණ්ඩනය නියම විය. මේ අතරින් වඩාත්ම බැට කෑවේ විජය කුමාරතුංගයන්ගේ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ අපේක්ෂකයන්ය. කපටි හිවලා වූ ජේ.ආර්. මේ අවස්ථාවේද මහජන පක්ෂය හා ජ.වි.පෙ. හප්පවා යූ.ඇන්.පී.යට එන ප්‍රහාර අවම කර ගැනීමට උපක්‍රමයක් යෙදුවේය. ඔහු මහජන පක්ෂයට අවි ආයුධ ලබාදී එම පක්ෂයේ කණ්ඩායමකට රජයේ හමුදාව ලවා අවි ආයුධ පුහුණුව ලබා දුන්නේය. මහජන පක්ෂයේ කණ්ඩායමක් රජයෙන් සන්නද්ධ පුහුණුව ලබා අවි ආයුධ ලබාගෙන දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට ප්‍රතිප්‍රහාර දීමට සැරසෙන බව ජ.වි.පෙ. ස්ථිරවම දැන ගත්තේ එවකට සිටි පොලිස්පතිවරයා වූ සිරිල් හේරත් රජයේ ඩේලි නිවුස් පුවත්පතට කළ ප්‍රකාශයක් නිසාවෙනි.

විජය කුමාරතුංග මහතාගේ මහජන පක්ෂය පළමු අවි ආයුධ කොටස අරගෙන ගියත් දෙවැනි කොටස ගෙන යාමට තවම පැමිණියේ නැතැයි ඔහු ප්‍රකාශ කොට තිබේ. රටක් වටින රංගධරයෙක්, ගායකයෙක් සේම ඊටත් වඩා හොඳ මනුෂ්‍යයකු වූ විජයට සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූයේ ඒ සියල්ලේ ප්‍රතිඵලයක් වශයෙනි. ඔහුට මෙන්ම ඔහුගේ පක්ෂයේ බොහෝ දෙනකුට ද එම ඉරණම අත් වූයේය.
වැලිගම ආසනය, නියෝජනය කරමින් ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සංවිධායක වූ ආරියසේන ජයවීර හෙවත් ආරි මුදලාලි මම හොඳින්ම දැන සිටි දුටු තැන කතාබහ කළ එවැන්නෙකි. ඔහු ගමේ මිනිසුන්ගේ හිත දිනාගෙන සිටි හොඳ මිනිසෙකි. වැලිගම නගරයේ මිනිසුන් අතර ගැවසෙන ඔහු පක්ෂයෙන් තම ආරක්ෂාවට ලබාදී තිබූ පිස්තෝලය හිණතුරේ ගසාගෙන සිටියේය. ගමේ කවුරුත් පාහේ දන්නා ජ.වි​.පෙ. කාරයකු වශයෙන් සිටිමින්ම මම මේ හොඳ මනුස්සයාට මෙවන් උපදෙසක් දුන්නෙමි. ‘‘පිස්තෝලයක් නැතුව ඉන්නවාට වඩා පිස්තෝලයක් තියාගෙන ඉන්න එක අනතුරුදායකයි. ප්‍රවේශම් වෙන්න’’ ඉන් සතියකට පමණ පසු ආරි මුදලාලිට සිය දිවිය අහිමි විය. නාඳුනන තුවක්කුකරුවෝ ඔහුගේ පිස්තෝලයද රැගෙන ගොස් තිබුණි.

‘‘ඩග්ලස් කළුආරච්චි’’ වික්‍රමබාහු කරුණාරත්නගේ නව ලංකා සමසමාජ පක්ෂයේ මාතර දිස්ත්‍රික් ලේකම්වරයාය. ‘‘පොලිස් ගැසට් එකේ මුලටම තියෙන්නේ එයාගේ නමයි. ප්‍රවේසම් වෙලා ඉන්න’’ මා සොයාගෙන අපේ නිවසටම පැමිණි ඩග්ලස් කිව්වේය. ඇත්තම ඇත්තකි. ඉන් මාස ගණනකට පසු මගේ පොලිස් මිතුරකු 1988 පොලිස් ගැසට් එකේ අදාළ පිටුව ඉරා මට ගෙනැවිත් දුන් විට මාතර දිස්ත්‍රික්කයේ වැලිගම ආසනයේ අත්අඩංගුවට ගත යුතු නාම ලේඛනයේ අංක 1ට තිබුණේ මගේ නමය. එහෙත් ඒ වන විට මට ඒ තොරතුර කලින්ම දුන් ඩග්ලස් නම් යහපත් මිනිසා දේශප්‍රේමී තුවක්කුවකට බිලිව තිබුණි. තුවක්කු කටින් කතා කරමින් ප්‍රජාතන්ත්‍රවාදයද මනුෂ්‍යත්වයද අවතක්සේරු කර නිහඬ කිරීමට පෙර අවධියේ අප දේශපාලනය කර තිබුණේ ඒ අයුරිනි. ජ.වි.පෙ.ද මහජන පක්ෂයද නව සමසමාජයද යන කරුණට උඩින් අප අතර පැවැතියේ ගමේකමය. හිතවත්කමය. මනුස්සකමය. මම ආරි මුදලාලිගේ සහ ඩග්ලස්ගේ කතාව කිව්වේ එබැවිනි.

ජ.වි.පෙ. මරාගෙන මැරෙන විරෝධයක් පෑ පළාත් සභාවලට මරණීය තර්ජන මැදම මන්ත්‍රීවරු පත්වූහ. දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරු දිවුරුම් දෙන උත්සවය තිබුණේ ගාල්ල පළාත් සභා මූලස්ථානයේය. දේශප්‍රේමී මරණ වරෙන්තුව නිසා මන්ත්‍රීවරුන්ට තනි තනිව පැමිණීමට නොහැකි වූයෙන් යුද හමුදාවේ ආරක්ෂාව සහිතව සියලු දෙනා එක බසයකින් යාමට තීරණය විය. ඉදිරිපසින් පිටුපසින් සන්නද්ධ හමුදා ආරක්ෂාව සහිතව මාතර සිට එන මන්ත්‍රීවරු රැගත් පෞද්ගලික බසය වැලිගම අලුත් පාර හෙවත් සමුද්‍ර මාවත ඔස්සේ ඉදිරියට ධාවනය වෙමින් තිබිණ. බසය නිව් රෙස්ට් හවුස් හි පිහිටුවා තිබූ සිංහ රෙජිමේන්තුවේ 3 වැනි බළකායේ හමුදා කඳවුර පසු කළේය. ඉන් පසුව ඇත්තේ වල්ලිවෙල නම් වූ වෙල්යායේ අලුත් පාර අන්තයේ වූ බොරු පන්, කිරලගස් සහිත වගුරු බිමක් වූ ඕඩයයි. බසය ඕඩය පසුකර යත්ම පොළොව දෙදර වූ මහ හඬක් නගමින් බිම්බෝම්බය පුපුරා ගියේය. පාරේ තාර, ගල්, පස්, ගැලවී අහසට විසිවී මහ වළක් නිර්මාණය වූයේය. එහෙත් බිම්බෝම්බය පිපිරීමට තත්පරයකට හෝ දෙකකට පෙරින් බසය එම මාරක ස්ථානය පැනගෙන තිබුණි. බසයට පිටුපසින් ආ හමුදා රථයටද හානියක් නොවුණි.

උදෑසන 9.00ට පමණ සිදුවූ එම සිද්ධියෙන් පැයක් ගත වීමට පෙර ක්‍රියාත්මක වූ හමුදාව ගම වටලමින් තරුණයන් හා මැදිවියේ පිරිමින් අත්අඩංගුවට ගනිමින් අසල පාසලක ගාල් කිරීමට විය. හමුදාව අප නිවසට පැමිණීමට මඳකට පෙර මමත් බිරිඳත් අපේ කුඩා පුතුද රැගෙන නිවසින් පිටවී නොදුරේ වෙසෙන දුර ඥාතියකුගේ නිවසට ගියෙමු. එදින දානමය පින්කමක් පවත්වන බව අපි දැන සිටියෙමු.

අප එහි ගොස් මිනිත්තු කිහිපයකට පසු සන්නද්ධ හමුදා සෙබළුන් පඩිපෙළ නැගගෙන එහි එන්නට වූහ. මම කුඩා පුතුද වඩාගෙන නිවස ඇතුළට ගොස් එවිට පන්සිල් ගනිමින් සිටි පිරිස අතර වාඩි වුණෙමි. හමුදා සෙබළුන් මැද සාලයට කර පොවා බැලූමුත් ඇතුළට ආවේ නැත. එහෙත් ඔවුහු ආලින්දයේ සහ මිදුලේ සිටි කිහිප දෙනකු රැගෙන ගොස් තිබුණි. හමුදාව එසේ කරන්නේ ඔවුන් සමග පැමිණෙන ආණ්ඩු පක්ෂයේ පාවා දෙන්නකු විරුද්ධ පාක්ෂිකයන් පෙන්වා දීමෙන් පසුවය. මම එදින හවස් වෙන තුරුම දානය පැවැති නිවසට වී සිටියෙමි.

බෝම්බය පිපුරුණු තැනට නොදුරුව වූ පාසල් භූමියට ගාල් කරන ලද පිරිමින්ගේ අනන්‍යතාව පිරික්සමින් ඔවුන් මුදාහැර ඇත්තේද ආණ්ඩු පක්ෂයේ දේශපාලන බලවතාගේ හෙංචයියන්ගේ අනුමැතියෙනි.
බෝම්බය පිපිරී සෑදුන ආවාටයේ එදින රාත්‍රියේ ගෙනවුත් දමන ලද හෝ එතැනදීම මරා දමන ලද තරුණ සිරුරු 8ක් දැවෙමින් පවතින බව පසුදින උදයේ අසන්නට ලැබිණ.

පළාත් සභා මන්ත්‍රීන් ඉලක්ක කර ගත් මෙම බිම් බෝම්බය අටවන ලද්දේද එය පුපුරවා හරින ලද්දේද ජ.වි.පෙ. සන්නද්ධ අංශයේ ක්‍රියාකාරිකයකු වූ ලොකුගේ නම් වූ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා විසිනි. වැලිගම නිව් රෙස්ට් හවුස් හමුදා කඳවුර පෙනෙන නොපෙනෙන මානයක මෙම බිම් බෝම්බය ඇටවීමත් එය පුපුරවා හැරීමත් ඉමහත් සූක්ෂ්මතාවකින් කළ යුතු දෙයකි. බිම් බෝම්බය පුපුරවා හැරියේ දුරස්ථ පාලක (රිමෝට් කන්ට්‍රෝල්) තාක්ෂණයෙන් නොව වයර් දෙක එකට ගටා ඩෙටනේටරයෙන් ගිනි දල්වන ක්‍රමයෙනි. බෝම්බය පිපිරවූයේ ඕඩයේ බොරුපන් ගාලේ, කැරැං ගස් ගාලේ වතුරේ බැස සැඟව සිටිමින් මහ මාවත දෙසින් ලැබෙන සංඥාවකට අනුවය.
ලබන සතියට

රෝහිත මුණසිංහ