විශේෂාංග

කපුටොත් නොකන කෑම කන අපේ මිනිස්සු

ඒ, පිටකොටුවේ ගෑස්පහ හන්දියයි. නුවර පාරේ සහ මීගමු පා​රේ සිට එන මීකිරි යැයි කියන හට්ටි පටවාගත් ලොරි ආමර් වීදිය පසුකොට සෙන්ට්‍රල් රෝඩ් හරහා ගෑස්පහ හන්දියට ළංවන විට ලොරිය වහලයේ අඩුක් කළ කිරි හට්ටිවලට වැඩ දෙන්නට කොළඹ කාක්කෝ ඉන්නේ ෆුල් සූදානම් පිටය. ඒ නිසා මේ ලොරි හිමියන් කරන්නේ ​මේ කිරි හට්ටි උඩින් කැන්වස් රෙද්දක් දමා එය හුළඟට නොයන ලෙස ගැට ගැසීමය.

මේ ලිපිය ලියන්නට ගෑස්පහ හන්දියට ගිය විට පැමිණි මීකිරි හට්ටි පටවාගත් ලොරියේ ඒ හට්ටි වැහෙන්නට කැන්වස් රෙද්දක් දක්නට නොවීය. කිරි හට්ටියේ වසා ඇති කඩදාසිය අව්වට වේළෙමින් තිබුණි. එදා කොළඹ කාක්කන් වට කරගෙන කැන්වස් එකටද කොටා කෙසේ හෝ හට්ටි දෙක තුනක් බිම පතබා ගැනීම සාමාන්‍ය සිදුවීමකි. ලොරිය වහලයට කොළඹ කාක්කන් දෙතුන් දෙනකු පියඹා ආවත් ආවටත් වඩා වේගෙයන් බියපත් වූවා මෙන් නැවත පලා යන්නට විය.

එතැන සිටින වසර 25කටත් අධිකව යක්කල සිට ගෙනා මන්නා, පිහි, පොරෝ විකුණන මිතුරාගෙන් ඊට හේතුව විමසා සිටියෙමි.

‘‘ඔය දැන් මීකිරි කියල එන එව්වා කොළඹින් එක්ස්පයර් ඩේට් (කාලය ඉකුත් වීමේ දින) පැනපු කිරිපිටි ගෙනිහිල්ලා ජෙලටින් දාලා කොහොම හරි මුදවා ගන්නවා. ඊට පස්සේ සුදු වෙන්න හුණු වගේ තියෙන කාබයිට් වගේ ජාතියක් දානවා. දැන් ඔය කිරි කපුටො කන්නේවත් නැහැ. දැන් මිනිස්සු කන්නේ කපුටොත් කන්නෙ නැති මීකිරි! අනේ මෙහෙමත් හරක්..!’’

මේ දිග කතාවක් කියන්නට සිදුවී අත්තේ කාලයත් සමග අපගේ ආහාර රටාව තුළට කෙමෙන් කෙමෙන් වස විස ඇතුළු වී ඇති ආකාරයයි. වරක් ලංකාවේ පානීය ජලය ගැන විශේෂඥයකු රූපවාහිනී වැඩසටහනකට ඇවිත් අපූරු කතාවක් කිව්වේය.

‘‘අපේ පානීය ජලය කොච්චර දූෂණය වෙලාද කිව්වොත් මීට අවුරුදු සීයකට විතර ඉස්සර පුද්ගලයෙක් අපි දැන් බොන වතුර වීදුරුවක් බිව්වොත් එතැනම මැරිලා වැටෙනවා.’’

ලංකාවේ කොටි නැති බවට ඇත්තේ ප්‍රකට මතවාදයකි. ඒත් හඳුන් දිවියා, කොළ දිවියා, උරුලෑවා ආදී බිලාල කුලයේ ඔක්කෝටම කියන්නේ කොටියා කියාය. මේ කොටි අල්ලන්නට වතුකරයේ හා අනෙක් කොටි ගැවසෙන ප්‍රදේශවල ජනතාව මුලින්ම තැබුවේ වස දැමූ ‘බ්‍රොයිලර් චිකන්’ ය. මේ කොටි බ්‍රොයිලර් චිකන් කටේ තිබ්බේ නැත. ගැමියන් ඊළඟට වස කලවම් කළේ හරක් මස්වලටය. හරක් මස් කුට්ටිය පෙරේතකමට ඇදබෑ කොටි සිරුර පසුදිනම උදේ දැකගත හැකි වූයේ උඩුබැලි අතටය.

බ්‍රොයිලර් චිකන් සංස්කෘතිය එන්නට පෙර ලංකාවේ කුකුළු මස් සුපිරි ආහාරයක් විය. යම් ලාභයක් සිදුවූ විට, ‘එහෙනම් අද කුකුළු මස් කයි ආහ්!…’ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ පවා කුකුළු සොරකමට දඬුවම් ඇත්තේ ඒ නිසා විය යුතුය. බ්‍රොයිලර් සංස්කෘතියට පෙර කුකුළු මස් පිසූ විට අපේ ආච්චිලා ජෑම් බෝතලයක් ගෙන හැන්දකින් කුකුළු මස් හොද්දේ තෙල් ජෑම් බෝතලේ තුන් කාලක් පමණ ඉවත් කෙරේ. ඒත් අද බ්‍රොයිලර් චිකන් කෑල්ලක් පිසූ විට තෙල් කියා නාමයක් නැත. වෛද්‍යවරුන් කියන පිරිස කියන්නේ කුකුළු හමේ තෙල් ඇති නිසා හම ඉවත් කොට කුකුළු මස් ආහාරයට ගන්නා ලෙසය. මෙය කුකුළු ගොවිපොළ හිමියන් දොස්තරලාට ගතමන්ට් එකක් දී ගොඩනැගු මතවාදයකි. දහස් ගණනින්, ලක්ෂ ගණනින් කුකුළන් සිටින ගොවිපොළවල දවසකට කුකුළන් දෙතුන් සීයක් වතුර, බෙහෙත් සිරවී මියයන අවස්ථා එමටය. එසේ මිය යන කුකුළන්ගේ හම නිල් පැහැ ගැන්වේ. නිල් පැහැ ගැන්වූ කුකුළා විකුණාගත නොහැකිය. හම ඉවත් කළ විට එම මියගිය කුකුළන්ද ෆ්‍රිජ් එකට අඩුක් වන්නේ ‘හයි කොලිටි අප් කන්ට්‍රි චිකන්’ ආදී ගරු නම්බුනාම සමගය.

දීකිරට බළල්ලුන් සාක්කි යැයි කියමනක් තිබේ. මා පසුගියදා යෝගට් පහක් ගන්නා විට පහක් නොමිලේ දෙන යෝගට් විශේෂයක් මිලදී ගන්නේ මේ අපූරු යෝගට් මොනවාදැයි බැලීමටය. ගෙදර ගොස් මුලින්ම කළේ මළගිය ඥාතීන්ට පින් තකා නිවසට පැමිණි අසල නිවසක තඩි හොර පූසෙකුට ලෝස් නැතුව යෝගට් එකක් ගෙඩි පිටින් කඩා බිම දැමීමය. පූසා හෙමින් යෝගට් එක ළඟට ආවේ තමන්ගේ ජීවිතයේ සිදුවිය නොහැකි දෙයක් සිතාගත නොහැකි ආකාරයෙනි. යෝගට් කෝප්පයට හොම්බ දැමූ පූසා මූණ ඇඹුල් කරගෙන යෝගට් කෝප්පයෙන් හොම්බ එළියට ගත්තේය.

‘‘එහෙනම් ඉතින් පූසොත් නොකන යෝගට් කන මිනිස්සු!’ යැයි මට ඉබේම කියැවුණි.

දේවාලවල ඇති පූජා වට්ටිවල ඇති පලතුරු අතරින් වස විස බේත් නැති පලතුරු තෝරා ගැනීමට විශේෂඥයන් වන්නේ දේවාල ළඟ ගස්වල වඳුරන් හා රිළවුන්ය. පලතරු බාස්කට් එකක් දැම්මත් වඳුරන් හා රිළවුන් ඉවෙන් ආහාරයට ගන්නේ වස විස නැති හයිබ්‍රිඩ් නැති පලතුරු බව හොඳින් නිරීක්ෂණයේදී පෙනී යයි. වස විස ඇති පලතුරු ටීනේජ් වඳුරන් භාවිත කරන්නේ ක්‍රීඩා කටයුතු සඳහාය.

ලංකාවේ කොළඹ පපඩම් හැදීමට චිරප්‍රසිද්ධ ප්‍රදේශය වන්නේ පෑලියගොඩ ආශ්‍රිත තමිල්නාඩුවයි. එදා මුළු ප්‍රදේශයේම කුඩා නිවාස මත වූ වේළෙන්නට දැමූ පපඩම් වඳුරන්, පූසන්, පරෙවියන්, ගිරවුන්, කපුටන්ගෙන් බේරා ගන්නට ‘ටක’ පවා සවිකර තිබුණි. සමහර පපඩම් උඩින් දෙපැත්ත පේන ඉටිකොළ දමා තිබුණේ මේ උවදුරු නිසාය. අද පපඩම් වේළන්නේ වඳුරන්, පූසන්, පරෙවියන්, ගිරවුන්, කපුටන්ගෙන් කිසිදු අපල උපද්‍රවයක් නැතුවය. දැන් ඒ පපඩම් කන්නට ඉතුරු වී සිටින්නේ මිනිසුන් පමණය.

පිටකොටුවේ තොග කඩවල මීයන්ට එදා මීපාසානම් තැබීම අනිවාර්ය අංගයක් වී තිබුණි. ඒත් අද මීයන් කරවල, උම්බලකඩ කන්නේ නැත. ඒ, ඒවායේ ඇති විස නිසාය. දැන් මේ තොග කඩවල මීයන්ගෙන් ආරක්ෂා කරගන්නට සිදුවී ඇත්තේ ඇසුරුම් කළ කෑමවල අසුරනයයි. ඒ කියන්නේ ඇසුරුම් කළ නූල්ඩ්ස්, කුරක්කන් පිටි, මැකරෝනි, පරිප්පු ආදී ඇසුරුම් මීයන් දත් ගසා හිල්කර කෑමට උත්සාහ කළත් ඒවා මීයන් ආහාරයට ගන්නේ නැත. අප ආහාරයට ගන්නේ මීයන්වත් ආහාරයට නොගන්නා, අහිතවත් ආහාරයන්ය. වෛද්‍ය විද්‍යාත්මකව මීයන්ගෙත් මිනිසාගේත් ශරීර අභ්‍යන්තරයේ ඇති සමානතා බොහෝය.

දැන් කොළඹ කාක්කන්ගේ කජු පුහුලමක් කෑ කපුටන් සිටින්නේ අතළොස්සකි. කොළඹ දැන් කපුටු ගහණය කෙමෙන් මකබෑවෙමින් පවතී. මීට වසර 30කටත් එහා දැන් තියෙන හිල්ටන් හෝටලය විවෘත කරන අවස්ථාවේ මුළු පළාතම කපුටු විමානයක් විය. හිල්ටන් හෝටලය විවෘත කරන දා උදේ පාන්දරම කොළඹ නගර සභාව හෝටලය අසලට ට්‍රැක්ටර් කීපයක් එවා තිබුණි. ඊට පෙර දින හවස් යාමයේ වස දැමූ කිරිබත් වැනි ආහාරයක් ආහාරයට ගත් කපුටන් දෙතුන් දහසක් මැරී වැටී තිබුණි. සවල්වලින් එකතු කළ කපුටන් ගණන ට්‍රැක්ටර් තුනකටත් වැඩිය. එදා සවස Evening Obsever පුවත්පත එය වාර්තා කළේ ‘Ane Anichchan Sansare’ (අනේ අනිච්චං… සංසාරේ) ලෙසය. වස කෑ ඇතැම් කපුටන් ඒ අසල වූ ලේක්හවුසියටද වැටී තිබුණි.

සීනි බෝතලේ නම් තවමත් කූඹින්ගෙන් බේරා ගැනීමට මහා සටනක් දිය යුතුව ඇත. ඒත් ඉතින් අධික ලෙස සීනි යෙදූ බිස්කට්වලට කූඹින් පැත්ත පළාතේ එන්නේ නැත. ඕනෑම තැනක කූඹින්ගෙන් කිසි බයක් සැකක් නැතිව බිස්කට් පැකට් එකක් තැබිය හැකි වීම එහි එක් කරන එක් රසායන ද්‍රව්‍යයක් නිසා විය යුතුමය. එමෙන්ම දැන් මාළු කඩවල එදා සිටි මැස්සන් දැකගන්නට නැත. ෆෝමලින් දැමූ මාළු කා නිල මැස්සන් පරම්පරාවක්ම මිය පරලොව ගොස් හමාරය.

අපේ ආහාරවල සිදුවී ඇති විකෘතිතාවලට හොඳම සාධකය ඇත්තේ මැනිං වෙළෙඳපොළේය. එහි දැවැන්ත ප්‍රදේශයක් පුරා එළවළු, පලතුරු දෙකම ඇත. මේ එහි වෙළෙන්දකු කියූ කතාවකි. මේ කතාවෙන් කියැවෙන්නේ අපේ එළවළු, පලතුරුවල ඇති විස කන්දරාවයි.

‘‘ඉස්සර ගමේ කොටුවල වට්ටක්කා හරි පිපිඤ්ඤා හරි එළවළු රෑට ඉතුරුවෙලා යනකොට හොඳට මීයන්ට එන්න බැරි වෙන්න සීල් තියලා වගේ යන්නේ. ඒත් උදේට එනකොට වට්ටක්කා රාත්තල් සීයෙන් රාත්තල් දහයක් විතර මීයෝ විනාශ කරලා. ඒත් දැන් නිකං වට්ටක්කා ගොඩ ගහලා තිබ්බත් එක ගෙඩියකට දත් පාරක් ගහන්නේ නෑ.’’

දැන් මී කූඩුවක උගුලක් අටවා කරවල කෑල්ලක් තිබ්බාට මීයන් කන්නේ නැත. ඒ නිසා විවිධ සුපිරි කෑම වර්ග තබා මීයා රවට්ටවා ගැනීමට සිදුවී තිබේ. හොඳම ඇම හරක් මස්ය. ඒත් මීයන්ට උගුලකට හසුවී හෝ හරක් මස් කෑමට තිබූ වරප්‍රසාදය අඟහරුවාදා නැතිභංගස්තාන් කිරීමට ආණ්ඩුව සැරසෙන්නේය. ඇත්තටම අපේ මේ ආහාර මීයන්, කපුටන්, බල්ලන්, පූසන් ආහාරයට ගැනීම ප්‍රතික්ෂේප කිරීම තුළින් පෙනී යන්නේ අපේ මුළු ආහාර රටාවම උඩු යටිකුරු කළ යුතු බව නොවේද? ඊටත් වඩා මනුෂ්‍ය ආහාරයට නුසුදුසු මේ ආහාර භුක්ති විඳින්නට ජනතාවට ඉඩ සලසා තම රාජකාරිය මගහරින මෙයට වගකිව යුතු රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව ජනතාව උසිගැන්විය යුතු කාලය දැන් එළැඹී තිබේ.

දැන් ඇති බොහෝ හාල්මැස්සන් පූසන්, බල්ලන් ආහාරයට දුන්නාට ඉවකර එයින් ඉවත්වන්නේ ජනතාවට ගුණ ආහාර හඳුනා ගැනීමට පූර්වාදර්ශයක් දෙමිනි. මේ නිසාම සුරතලයට බල්ලන්, පූසන් ඇති කරන අයට කරවල උයාදීමට සිදුවී ඇත. එසේත් නැත්නම් බල්ලන් හා පූසන්ටම නිපදවූ අධි මිල විස්කාස් වැනි ආහාර මිලදී ගැනීමට සිදුවී තිබේ. අවසානයේ දැන් පූසන් හා බල්ලන්ට කන්නට සුපර් මාර්කට්වල විකිණීමට ඇති සුපිරි ආහාර මිනිස්සුන්ටද නිර්දේශ කිරීමට වෛද්‍ය විද්‍යාලයට ගිය පුද්ගලයකු ලෙස මට සිදුවී තිබේ. නමුත් පරහකට ඇත්තේ මා වෛද්‍ය විද්‍යාලයට ගියේ එහි අපේ අක්කා අධ්‍යාපනය ලබන සන්දියේ ගෙදරින් දුන් බත් ගෙඩිය ඇයට දීමට වීමය.

වජිර ලියනගේ