කතුවැකි

කපුටන් සොයන්නට ජනපති යන ගමනක්

සිවු දිගින් යාපනය කොටුව වට කරගෙන සිටි ත්‍රස්තවාදීන්ගෙන් එය මුදා ගැනීම සඳහා මණ්ඩතිව් දූපතේ සිට කලපුව තරණය කර යාපනේ කොටුවට ගිය ගජබා හමුදා සේනාංකයේ ප්‍රධාන අණදෙන නිලධාරියා වූයේ ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂය. මණ්ඩතිව් දූපතේ සිට යාපනය කොටුවට යාමට කලපුව තරණය කරන මුල්ම භට පිරිස කරන්නේ ඉතා අවදානම් කාර්යයකි. එබඳු මෙහෙයුමකදී පළමු භට කණ්ඩායම සමග ප්‍රධාන අණදෙන නිලධාරියා යන්නේ නැත. නමුත් එකී යාපනය කොටුවට යන පළමු සෙබළ පිරිසේ බෝට්ටු පෙළට කර්නල් ගෝඨාභය රාජපක්ෂ නැංගේය.

අණ දෙන්නා ළඟම සිටීම නිසා සෙබළුන්ට ධෛර්ය ලැබිණ. නායකයා ඉන්න නිසා සෙස්සන් පස්සට යන්න වූයේ නැත.

අණ දෙන්නා දෑසින් සියල්ල නරඹන නිසා කිසිවකුට බොරු කරන්නට ලැබෙන්නේද නැත.

යුද්ධය සිද්ධ වෙන තැනින් ඈත්ව ප්‍රධාන අණ දෙන්නා හිඳීම න්‍යාය වුවත් ගෝඨාභය රාජපක්ෂ යුද්ධය සිද්ධ වෙන තැනම හිඳීමෙන් එදා සාර්ථකව තම කාර්ය සාධනය කර ගත්තේය.

ගෝඨාභය රාජපක්ෂ යුද්ධයේදී අනුගමනය කළ මේ පිළිවෙත ජනාධිපති වූ පසුද අනුගමනය කරමින් කාර්යය සාධනය කර ගැනීමට කැමැති බව පෙනෙන්නට තිබේ. රට කරවන විට නායකයා ජනතාව අතරට යාමේ පුරුද්ද අප ජාතික දේශපාලන සම්ප්‍රදායේ තිබුණු දෙයකි. මහා සම්මත පරපුරකින් පැවැත එන රජවරු රෑ ජාමේ වෙස් වලාගෙන රටතොට ඇවිදීමේ චාරිත්‍රයක් තිබිණි.

රටේ නායකයා එසේ යා යුත්තේ රටේ පවතින සැබෑ තතු දැන ගැනීමටය. රටවැසියා හිතන හැටි, රජවාසල නිලමක්කාරයන්ගේ ගතිසොබා ඔවුන්ගේ කුප්‍රකට අප්‍රකට කුමන්ත්‍රණ ආදිය ගැන දෑසින් දැක බලා විමසා ගැනීමටය. එහෙත් නායකයකු තමන්ගේ උප​දේශකයන් ආදී නිලමක්කාරයන් පඩි දී පත් කරගන්නේ මේ රටේ තතු තේරුම් කර දීමට බව කෙනෙකු සිතනු ඇත.

අතීතයේ තම පුරෝහිතයන් සේම වත්මනේ උප​දේශකයන්, නිලධාරීන් රටේ තතු නායකයාට විස්තර කරන්නේ ඉතා පරෙස්සමෙනි. උපදේශකයන්ටද තම දේශපාලන අභිමතාර්ථ ජීවන අභිලාෂයන් ඇත. ඔවුහු රාජ්‍ය නායකයාට තොරතුරු දෙන්නේ තම අභිමතය පරිදි තෝරාබේරාය. අද පමණක් නොවේ අතීතයේද එසේය. ​සොලී රජු සො‍ළොස්දහසක තරුණ පිරිසක් තම පියාගේ කාලයේ පැහැරගෙන ගිය බව ගජබා රජු දැනගත්තේ වසර 12ක් ගත වූවාට පසුය. රාත්‍රියේ වෙස් වලාගෙන ඇවිදින විට මැහැල්ලක් තම පුතු නැති සොවින් හඬනු ඇසී තොරතුරු විචාරීමෙනි ගජබා රජු මෙපුවත දැන ගත්තේ. එතෙක් නිලමේවරුන් කීවේ රට සසිරි බරින් යුතු බවය. මෙබඳු දෙයක් අද සිද්ධවිය නොහැකි බව කෙනෙකුට සිතෙන්නට පුළුවන.

මෙරට පාස්කු ඉරිදා ප්‍රහාරය රාජ්‍ය නායකයා දැන ගත්තේ තම නිලමක්කාරයන්ගෙන් නොවේ. එය ඔහු දැනගත්තේ මුහුණුපොතෙනි. එම ප්‍රහාරය එල්ල කරන්නට යන බවට අනතුරු ඇඟවූ ලියවිල්ල ජනාධිපති දැනගත්තේ පේස්බුකියේ එය පළ කර තිබීමෙනි.

රාජ්‍ය නායකයාට රටේ ආර්ථිකය ගැන මහ බැංකු වාර්තාවට අනුව දැනගත හැකිය. එහෙත් වාර්තාවට රටේ ජනතාවගේ හැබෑ පොකැට්ටුව පෙනෙන්නේ නැත. බුද්ධි අංශ පොලිස් වාර්තා ආදියට අසු වෙන්නේ නැති කුමන්ත්‍රණ අපරාධ සේම පාතාලයන් ගැන භීතියක් රටේ තිබිය හැකිය. ජනමාධ්‍ය තිබුණද රටේ නායකයාට ඒවායින් දැන ගැනීමට නොහැකි තොරතුරු බොහෝය. රූපවාහිනී, පත්තර, වෙබ්, රේඩියෝ ආදීන්ට අසුවන්නේ නැති මහා පුවත් එමටය.

හොඳම උදාහරණය ගෝඨාභය ජනාධිපතිතුමා පසුගියදා කඩා පැන්න මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර ආයතනය. ​වේරහැර ආයතනය පටන් ගත්දා සිට එබඳුය. මේ රාජ්‍ය ආයතන කෙතරම් දූෂිත දැයි කිව​හොත් ඒවායේ කාක්කන් ලෙස සේවය කරන පිරිස්ද පත්ව සිටිති. මේ කාක්කන්ගේ කාරියවන්නේ සේවා ලබා ගැනීම සඳහා එන පාරිභෝගිකයන්ට ඉක්මනින් සේවා ලබා දී මුදලක් කපා ගැනීමය.

කාර්යාල සේවයෙන් පිටත ඉන්නා මොවුන් සේවා ඉක්මන් කර දී ලබා ගන්නා මුදලින් කොටසක් ඒවායේ සේවකයන් සමගද​ බෙදා ගනිති. ​රියැදුරු බලපත්‍ර නිර්දේශ කරන උත්තමයන් හෙවත් මෝටර් රථ පරීක්ෂකවරු දවසකට හම්බකරන මුදල මෙතෙක් කවුරුවත් ගණන් බලා නැත. මේ ආයතන පාලනයට ඇමැතිවරු එදා ඉඳන්ම උන්හ. කොමසාරිස්වරු, සභාපතිවරුද උන්හ. සමහර රජයන් දූෂිතයන් පැන්නූහ. එහෙත් කාක්කා පැන්නුවේ නැත. ගෝඨාභය යනතෙක් එක ඇමැතියෙක්වත් මේ ජනතා පෝලිමට අවුත් දුක සැප කුමක්දැයි ඇසුවේ නැත.

දැන් මෙබඳු ආකාරයෙන්ම දූෂිත ආයතනවල නිලධාරීහු තරමක බියක පසුවෙති. ඒ කොයි මොහොතක හෝ රාජ්‍ය නායකයා තමන් වෙත එන බව දන්නා නිසාය. ජනතාවද රාජ්‍ය නායකයා යැතැයි සිතන ආයතන රාශියක් මෙරට වෙති.

ඉන් එකක් රේගුවය. රේගුවට ගියහොත් රටේ ජාතික අදායමට කෙළින හැටි හොඳින් බලා ගත හැක.

අනෙක රාජ්‍ය ප්‍රවාහන ආයතනය. දුම්රිය දෙපාර්තමේන්තුවට ගියහොත් අකාර්යක්ෂමතාව හොඳින් දැක ගත හැකිය. සී.ටී.බී. බස් රථයක ගියහොත් රටේ ජනතාව විඳින දුක බලා ගත හැකිය. වෙස් වලාගෙන පොලිසියට ගියහොත් පගාවක් නොදී ජනාධිපතිද බේරී එනු බොරුය.

එබැවින් මෙකී නොකී සියලු තැන් ජනාධිපතිවරයාම පැමිණ දෑසින් දැක ගත හැකි බව ජනතා පැතුමයි.