විශේෂාංග

කපුටන්ගේ නිවාස ප්‍රශ්නයට විසඳුම් දෙන කාසි දුරකථන කුටි

ඔබ ජාතික රෝහලට රෝගියකු බලන්නට ගියා යැයි සිතන්න. ඔබ සතුව ජංගම දුරකථනයක් නැතිනම් මහ රෝහල සමීපව ඇති මංසන්දිවල එබිකම් කොට පණිවුඩයක් දීමට කාසි දුරකථනයක් තිබේ දැයි හොයන්න. පුංචි බොරැල්ල, බොරැල්ල, ටවුන්හෝල් තියා මරදාන තෙක් ගියත් ඔබට කාසි දමා කතා කළ හැකි දුරකථනයක් නම් සොයා ගැනීමට ලැබෙන්නේ නැත. බේස්ලයින් පාරේ රිජ්වේ ළමා රෝහල අසල එමෙන්ම බොරැල්ල කොටා පාරේ වැනි තැන්වල කාසි දුරකථන කුටි කිහිපයක් ඇත. ඒත් ඒවා අකර්මන්‍යය. එම දුරකථන කුටිවල රිසිවර් කපාගෙන ගොස් ඇත්තේ ලොතරැයි කුටිවල නිවේදන කටයුතු කරන්නට ‘‘මයික්’’ එක ලෙස භාවිතයටයි ඔබ වරදවා තේරුම් ගත යුතු නැත. දැන් මේ ඉතුරු වී ඇති දුරකථන කාසි කුටිවල බොහෝ විට කෙරෙන එක වැදගත් කටයුත්තක් ඇතිනම් කොළඹ කාක්කන් කූඩු තැනීමය. ඒවායේ ඇත්තේ ගමේ කපුටු කූඩුවේ දිරාපු සිහින් දර කෝටුවලට වඩා කම්බි, වයර්, හා දිග ඇනය.

මෙරට ජංගම දුරකථන නොහොත් සංහලයෙන් මොබයිල් නමැති දුරකථන උපාංගය ව්‍යාප්ත වන්නට පෙර මෙරට පොදු ජනතාවට පණිවුඩ හුවමාරුවට පිහිටට ආවේ ඒජන්සි පෝස්ට් ඔපීසියේ කමියුනිකේෂන් එකේ හෝ පාර අයිනේ සවි කර තිබුණ කාසි දමන දුරකථන කුටියයි. මේ කාසි දුරකථන කොතරම් ජනප්‍රියවූවාදැයි කිවහොත් කාසි වෙනුවට කාසි දමා වටිනාකම අඩුවන පෙරගෙවුම් කාඩ්පත් පවා සරුවට අලෙවි වූ යුගය දැන් ඉතිහාසයට එක්වී හමාරය. දැන් කාසි දමා කතා කරන දුරකථන කුටි දක්නට නැති තරම් විරල වන අතර පාසල්වල හා කෝච්චි ස්ටේෂන්වල නම් තවමත් කාසි දමා කතා කරන දුරකථන කුටි දැකගත හැක්කේ ඉඳහිට කලාතුරකිනි.

චන්ද්‍රිකා කුමාරතුංග ජනපතිනිය වූ යුගයේ පාසල් හා විදුලි සංදේශ ඇමැතිවරයා වූයේ මංගල සමරවීරය. චන්ද්‍රිකාගේ ආණ්ඩුව හරියට කරපු එකම වැඩක් ඇත්නම් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ජපන් ආයෝජකයකුට කොටස් 49%ක් අලෙවි කිරීමය. තිලංග සුමතිපාල ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති වන තුරුත් ටෙලිකොම් මූලස්ථානයේ එම ජපන් ආයෝජකයාගේ කාර්යාලයක් පවත්වා ගෙන යන ලදී. තිලංග ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති වීමත් සමග වැඩ ඇල්ලුවේ ශ්‍රී ලංකා ටෙලිකොම් මූලස්ථානයේ තිබුණ ජපනුන්ගේ කාර්යාලය ඉවත් කිරීමයි.

ශ්‍රී ලංකා ටෙලිකොම් කොටස් පෞද්ගලීකරණය කරන තුරුත් එකී සමාගම සතුව සෘජු විදේශීය දුරකථන සබඳතා (international Direct Daling) පැවැතියේ ඒකාධිකාරයක් ලෙස අධිරාජ්‍යයක් ගොඩ නගා ගෙනය. නමුත් ඊට පසු ජාත්‍යන්තර සෘජු දුරකථන ලබාගැනී‍ම් පහසුකම් පෞද්ගලික ආයතන කිහිපයකටද ලබාදෙන ලදී. මේ වකවානුව වන විට මුළු රටේම කාසි දමන හා කාසි දමන දුරකථන ඒකාධිකරයේ හිමිකරුවන් වූයේ ශ්‍රී ලංකා ටෙලිකොම්ය. මේ සන්දියේ රැහැන් සහිත දුරකථනයක් ලබාගැනීමට පොරොත්තු ලේඛනයේ සිටිය යුතු වූ අතර දේශපාලන මැදිහත් වීමකින් විනා ලූප් ඇති තැනකින් දුරකථනයක් ලබා ගැනීම අපහසු කටයුත්තක් විය.

ලංකාවේ දුරකථන සන්නිවේදනයේ මහා පෙරළියක් සිදුවන්නේ මේ වකවානුවේය. ලංකාබෙල්, සන්ටෙල් වැනි දුරකථන සමාගම් සඳහා බලපත්‍ර නිකුත් කෙරෙන්නේ මේ අතරය. ජංගම දුරකථන එකම ආයෝජකයාට අභියෝගයක් ලෙස ඔස්ට්‍රේලියන් සන්නිවේදන සමාගමක් සමග අනුබද්ධිතව ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම මොබිටෙල් සමාගම ආරම්භ කරන ලදී.

කොල් ලින්ක් හා ඩයලොග් යන ජංගම දුරකථන සමාගම්ද බිහිවන්නේ මේ අතරය. පසුකාලීනව සෙල්ටෙල් කම්පැනිය ටීගෝ වී ඊටත් පසු එටිසලාට් විය. කෝල් ලින්ක් කොම්පැනිය හච් වී වර්තමානයේ එටිසලාට් කොම්පැනියද තව ආයතනයකට මුදල ට පවරා ගන්නා ලදී.

කාසි දමන දුරකථන පෙට්ටි ශ්‍රී ලංකා ටෙලිකොම් ඒකාධිකාරය කෙමෙන් බිඳලමින් තවත් සමාගම් කිහිපයකට තරගයට පිවිසෙන්නට චන්ද්‍රිකා ආණ්ඩුව ඉඩ දෙන ලදී. කාසි දමා කතා කරන දුරකථන සමාගම් ලෙස ලංකා පේෆෝන්, ට්‍රයිටෙල්, මෙට්‍රොලංකා සමාගම් බිහිවන්නේ ඉන්පසුවය. වසර 2000න් පසු නිකුත් වී ඇති මහ බැංකු වාර්තාවල ලංකාවේ ඇති කාසි දමන දුරකථන ඇති සංඛ්‍යාව හා ඒ කුමන සමාගම්වලට අයත් ප්‍රමාණයන්ද සහිතව දක්වා ඇත.

කාසි දුරකථන කොම්පැනි අතර තරගයක් ඇති වන විට මෙරට ජංගම දුරකථන එතරම් ව්‍යාප්ත වී තිබුණේ නැත. එම ජංගම දුරකථන සමාගම් අතර sim කාඩ්පත් තාක්ෂණය ලැබී තිබුණේද නැත. එතෙක් පැවැතියේ ඇනලොග් නමැති ක්‍රමවේදයයි. මේ කියන වකවානුවේ ජංගම දුරකථනයක නියමිත අංකයක් තිබුණ අතර භාවිත කළ හැකි වූයේ එම අංකය පමණි. sim කාඩ්පතේ ආගමනය හැඳින්වූයේ GSM (Global System for mobile) ලෙසය. ලංකාවේ ජනතාව මේ වන විටත් CDMA දුරකථන ගැන සිටියේ අනවබෝධයෙනි. CDMA යන ඉංග්‍රීසියේ Code divition multriple Aceessය. එහෙත් 1990 දශකයෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් සතුව මීට සමාන දුරකථන විශේෂයක් තිබුණි. එය හැඳින්වූයේ WLL (Wireless Loccal Loop) ලෙසය. සුපිරි පුද්ගලයන්ට ඒවා නිකුත් කෙරුණු අතර ණඩුකාරයන්, ඉහළ හමුදා නිලධාරී හා මැති ඇමැතිවරුන් සතුව මේවා පැවැති බව බොහෝ දෙනා නොදන්නා කරුණකි.

රැහැන් සහිත දුරකථන, රැහැන් රහිත CDMA දුරකථන, ජංගම දුරකථන ව්‍යාප්තියක් සමග ලංකාවේ කාසි හා කාසි දමන දුරකථන කුටි වේලෙන්නට විය. ඒවා නඩත්තු නොකිරීම නිසා කෙමෙන් අභාවයට යන්නට විය. සමහර කාසි දුරකථන කුටි හිඟනන්ගේ යට ඇඳුම් වේලන වැල් ගැට ගසන තත්ත්වයට පත්විය. මෙයින් සිදුවූයේ තරගයට මුහුණ දීමට නොහැකි දුරකථන කාසි පෙට්ටි සමාගම් ක්‍රම ක්‍රමයෙන් තම ව්‍යාපාරික කටයුතුවලින් පලා යාමය. අදද ඉඳ හිට දක්නට ලැබෙන කාසි දමන දුරකථන කුටි දෙස අලුත් පරම්පරාව බලන්නේ තමන්ට නුහුරු ඉදිකිරීමක් ලෙස බලන්නාක් මෙනි.

මේ කාසි දමන දුරකථනවල ක්‍රමික පසුබෑමට අපේ රටේ කාසි නිකුත් කිරීමේ අවිධිමත් ස්වාභාවයද හේතුවිය. කාසි දුරකථන සඳහා භාවිත කර යත්තේ රු1,2,5,10 වැනි භාවිතයේ තිබුණු කාසි පමණි. සමරු කාසි වැනි දේ එහි භාවිත කළ නොහැකි විය. මෙම දුරකථන භාවිත කරන්නන් එක් කාසියක් දුරකථනයට දමා පැය ගණන් කතාකරන්නට ‘කූට උපක්‍රම’ ප්‍රචලිත වීම නිසා ඇතැම් කාසි දුරකථන කම්පැනි බංකොලොත් වී බිමට සමතලා විය. විශේෂයෙන් විශ්වවිද්‍යාල හා අවැසි විදුහල්වල සිසුන් අයිස් අච්චුවක් ආධාරයෙන් රු2 කාසි අනුරුවක් සාදා ඇමතුම් ගත හැකි ක්‍රමවේදයක් සොයා ගත් අතර සල්ලි එකතු කරන්නට අදාළ දුරකථන සමාගම ආ විට ඔවුනට දැක ගත හැකි වූයේ කාසි කුටියේ ගොඩ ගැසී තිබුණ කාසි නොව අයිස් කාසි දියවී අයිස් වතුරය.

මේ සියලු කරුණු සැලකිල්ලට ගැනීමේදී පෙනී යන්නේ ලංකාවේ කාසි භාවිත කරන දුරකථන කුටි අභාවයට ගොස් ඇති බවය. පසුගිය අප්‍රේල් මාසයේ මේ  දුරකථන සියල්ල ඉවත් කිරීමට ටෙලිකොම් සමාගම තීන්දු කොට තිබුණි. බොහෝ දුරකථන සමාගම් පරණ යකඩවලට වෙන්දේසි කරන ලදී. ලංකාවේ මේ දුරකථන කාසි යන්ත්‍ර ආරම්භයේ සිට අද දක්වා සියල්ල අහුරා මීපේ විදුලි සංදේශ කෞතුකාගාරයේ තිබුණ අතර යහපාලනය විසින් එම කෞතුකාගාරයද වසා දැමූ නිසා පාර අයිනේ තවමත් ඇති කාසි දුරකථන කුටියත් අනාගතයේ ස්මාරකයක් වනු නියතය.

වජිර ලියනගේ