විශේෂාංග

කන්දෙ විහාරෙට දවසට මකරු 04ක් හැදුවා

පුංචි කාලේ නිලාන්ගේ ඇඟේ තබා හිතේවත් මූර්ති කලාව ගැන අදහසක්වත් තිබුණෙ නැත. ඒත් ‘සිංදු පැටී’ වුණ දෙහිගොඩගෙ සිරිපාලගෙ ලොකුපුතා නිසා තාත්ත වගේම බටනළාවයි ඩොල්කියයි ගහන්න නම් ඒ කාලෙ ඉඳලා නිලාන්ට පුළුවන්කම තිබ්බා.

නිලාන් සඳරුවන් 88 අවුරුද්දේ දෙහිගොඩගේ සිරිපාල හා රූපිකා සමරමාන්න යුවළගෙ වැඩිමල් පුතු ලෙස උපත ලබන්නෙ ගාල්ල උඩුගම ගල්ලන්දලයි. නිලාන්ගෙ නංගියි මල්ලියි ඉපදිලා අවුරුදු කීපයකට පස්සෙ මේ පවුලේ අය මතුගම කීරන්තිඩිය ගමේ පදිංචියට ගියහ.

ඒ ගෙවල් මාරුව යොවුන් වියේ එළිපත්තේ සිටි නිලාන්ට චිත්‍ර, මූර්ති කැටයම් ශිල්පියෙක් වෙන්න බලපෑවේය. ඒ කීරන්තිඩිය පන්සලේ 2002 අවුරුද්දෙ අඩි 25ක් උසට හදපු තොරණෙ අහම්බෙන් චිත්‍ර අඳින්න ලැබුණ නිසාය. එතකොට නිලාන් හිටියේ 10 වසරේ.

ඉන්පසු ගමේ කවුරුත් පිළිගැනීමේ තොරණක්, බැනර් එකක් ඇඳගන්න. අකුරු ඇඳගන්න පන්සලේ තොරණ චිත්‍ර ඇඳීමෙන් පසු ඇවිත් භාර දී තිබුණේ නිලාන්ටයි. නිලාන් ඒ වැඩ ලස්සනට කර දෙන්න හැම විටකම හරියට මහන්සි විය.
‘‘මම අලුත්ගම කන්දෙ විහාරේ වඳින්න ගියපු වෙලාවේ දැක්කා විහාරගේත් පන්සලේත් පිළිම හා කැටයම් වැඩ පටන් අරන් කෙරෙනවා. ඒකේ වැඩ ක​ළේ සාලිය කියන ප්‍රවීණ ශිල්පියා.. මම හා සාලිය අයිය වැඩ කරනවා බලා ඉඳලා එයාට කිව්වා මමත් කැමතියි උදව් වෙන්න, වැඩ පුරුදු වෙන්න කියලා. ඉතින් සාලිය අයියා මා දිහා බලල කිව්ව පුරුදු වෙන්න කැමතිනම් වැඩ කරන්න. හැබැයි මා ළඟ නොවේ කන්දෙ විහා​රෙම කැටයම් වැඩ කරන මකර තොරණෙ වැඩ කරන ලක්මාල් බාසුන්නැහැ ළඟ කියා. මම කැමති වුණා. ඒ මම කීරන්තිඩිය ඉස්කෝලෙන් සාමාන්‍ය පෙළ පාස්වෙලා මතුගම සාන්ත මේරි විද්‍යාලයෙ උසස් පෙළට ඉගෙන ගන්න කාලේ.’’
]
නිලාන්ට​ කන්දේ විහාර මකර තොරණෙ වැඩට අවස්ථාව ලැබුණි. පුහුණු කාලයෙ වැටුප් රහිතවම වැඩ කරමින් එක කණුවක මකර රූප හතර බැගින් මකර රූප 64ක් නිර්මාණය කරන කාර්යය ඔහුට පැවරුණේය.

‘‘මට මකර රූපය හදන හැටි මුලින්ම කියා දුන්නා. පළමු සතියේ එක මකර රූපයක් හදන්න දින 3ක් ගියා. මම දෙවන සතියෙදි දවසට මකර රූප 4ක් ඇඹුවා. මේක කන්දෙ විහා​රේ විහාරගේ පිළිම අඹමින් සිටි සාලිය අයියා දැකලා කිව්වා මල්ලි මම ගෝලයෝ හදලා නෑ. මම උඹට වැඩ කියා දෙන්නම්. උඹ හොඳ වැඩකාරයෙක් නේ කියලා. මට පුදුම සතුටක් දැනුණා. එතැන ඉඳන් මම සාලිය බාසුන්නැහැගෙ ප්‍රධාන ගෝලයා ලෙස වැඩකරන්න ගත්තා. කන්දෙ විහාරෙම පිළිම ඇතුළු බොහෝ දෑ නිර්මාණය අපි කළා.’’

චිත්‍ර මූර්ති කැටයම් ප්‍රධාන බාස් කෙනෙක් වූ සාලිය හා රටේ විවිධ ප්‍රදේශයන්හි විහාරස්ථානවල නිර්මාණ කටයුතු රැසකට දායක වෙන්නට නිලාන් සඳරුවන්ට භාග්‍යය ලැබුණ.

හංවැල්ල දිද්දෙනිය පන්සලේ හිටි පිළිමය නිර්මාණය කරන්න ලැබුණා. නුවරඑළිය තවලන්තැන්න පන්සලෙ චෛත්‍යය හදලා චෛත්‍යය ඇතුලෙ විහාර ​ගේ හැදුවා. මේ පිළිම ඇඹීම් චිත්‍ර කැටයම් ඇතුළු සියල්ල අප කළා. වව්නියාව මරදම්මඩුව සිරි ගැමුණු විහාරයෙ විහාරගේ පිළිම වැඩ කරද්දී සාලිය බාස්සුන්නැහැ මට විහාරයේ සිවිලිමේ චිත්‍ර වැඩ තනියම කරන්න දුන්නා. එයා එක්ක වැඩ කළායින් මට අත්දැකීම් ගොඩක් ගන්න පුළුවන් වුණා.

’’ තමන්ගෙ ගුරු බාස්සුන්නැහේ සමග පන්සල් විහාර කර්මාන්ත මෙන්ම හෝටල් හි පොකුණු දියඇලි, මෝල්ඩින්, උද්‍යාන අලංකරණ, නිවාස බිත්ති කැටයම් ආදී බොහෝ කාර්යයන්හි පළපුරුද්ද එතුළින් නිලාන් ලබාගෙන තිබුණි. 2009 වර්ෂයෙ කොටි ත්‍රස්තයන් පරාද කරවීමේ මෙහෙයුමේ රණවිරුවන් වික්‍රමාන්විතව අවසන් අදියර දක්වා ගෙන ආ යුගය එළඹිනි. නිලාන් සමග එකට උසස් පෙළ කළ මිත්‍රයන් වූ ජයම්පති අඟුණාවලත් ගයාන් මධුසංකත් පොලිස් විශේෂ කාර්ය බළකායට එක්ව තිබුණි. ඒ නිසා නිලාන්ටත් විශේෂ කාර්ය බළකායට එක් වෙන්නට සිතුණේය.

‘‘එස්.ටී.එෆ්. එකට යන්න හිතෙනකොට පහුවදාම පත්තරේක බඳවාගැනීමක පුරප්පාඩු දාලා තියෙනවා දැක්කා’’ මම ඉල්ලුම් පත්‍ර දැම්මා. එතකොට මට වයස අවුරුදු 20යි. මාව සම්මුඛ පරීක්ෂණයෙන් තේරුණා. බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයෙත් මහියංගණය මාපාකඩ විශේෂ කාර්ය බළකා පුහුණු පාසැලෙත් පුහුණු වුණා.

ඒ අතරේ කටුකුරුන්ද පුහුණු පාසැලේ ඉන්න කාලේ වෙසක් උළෙල වෙනුවෙන් නිර්මාණාත්මක වෙසක් කූඩුවක් හදන්න ලැබුණා. මගෙ ඇඟේ තිබ්බ වැඩේනේ. මගේ මූලිකත්වයෙන් හැදුවා ඉරටුවලින් ලොකු නෙළුම් මලක්. ඒ නෙළුම් මලේ මැද චෛත්‍යයක් හැදුවා. ඒකෙන් මා ගැන අප එක්ක හිටි අය දැනගත්තා අපේ බැජ් එකේ කණ්ඩායම් 10න් අපේ කණ්ඩායමෙ හොඳම ආධුනික සෙබළා ලෙස මා තේරුණා. ඒ වගේම බැජ් එකේ හොඳම දහ දෙනාටත් මා තේරුණා.’’

විශේෂ කාර්ය බළකායේ පුහුණුවෙන් හොඳම සෙබළා වීම පහසු කාර්යයක් නොවේ. ඒ සඳහා විනය පැවැත්ම දක්ෂතා කැපවීම ආදී විශේෂ කාර්ය බළකා සෙබළෙක්ට පිහිටිය යුතු බොහෝ දේ සලකා තිබුණා. විසිවයසැති නදුන්ට ඒ සියල්ලම තිබුණි.
‘‘අපේ පුහුණු වීම් නිමාවෙලා අපේ බැජ් එකම අලුත්ගම කන්දේ විහාරෙ පූජාවකට ගියා. සහකාර පොලිස් අධිකාරී දවුලගල මහත්තයා (වර්තමාන කටුකුරුන්ද පොලිස් පුහුණු අධ්‍යක්ෂ පොලිස් අධිකාරි) තමයි අපෙ ප්‍රධානියා ලෙස ඒ ගමනට ගියේ. කන්දෙ විහාරෙ මාව දැක්ක ගමන් පන්සලෙ හාමුදුරුවරු කවුරුත් ඇවිත් කතා බහ කළා. හාමුදුරුවරු හැමෝටම පෙන්නුවා මම නිර්මාණය කරපු නිර්මාණ. අපේ සර්ලයි මා එක්ක හිටපු කට්ටියයි මගෙ දක්ෂතා එදා හරියටම අඳුනගත්තා. එදා ඉඳලා කට්ටිය මගෙ නමත් වෙනස් කළා මූර්ති කියලා.’’

STF සෙබළ නදුන්, මූර්ති වුණේ එහෙමයැ. නදුන්ලා 2009 වසරේ පුහුණුව අවසන් කොට​ විසිරයද්දී යුද්ධයත් නිමා වී තිබුණි.
කොටි ත්‍රස්තවාදීන්ගෙන් මව් බිම නිදහස් වුණත් 2009 පුහුණු වීම් නිමා වූ නිලාන්ලාටත් ආරක්ෂක සේවා පැවරී තිබුණි. මේ කණ්ඩායමේ නිලාන් ඇතුළු පිරිසක් පොතුවිල්හි කන්චිකුඩිආරු කඳවුරට අනුයුක්තව එහි ගියහ. එකල ප්‍රකට සංවර්ධන සමගාමී ප්‍රදර්ශනයක් වූ දැයට කිරුළ නුවර පැවැති මොහොතේ විශේෂ කාර්ය බළකායේ ප්‍රදර්ශන කුටියේ නිර්මාණාත්මක දෑ නිමැවීමේ වගකීම පැවරුණෙ මූර්තිටය. මට නුවර ප්‍රදර්ශනයේදී ලීවලින් විශේෂ කාර්ය බළකා සෙබළුන්ගෙ පිළිරූ හදන්න යම් යම් දක්ෂතා සහිත තව එස්ටීඑෆ් පිරිසක්ම දීලා තිබ්බ. ඒ විදිහට අම්පාර බුත්තල ඔයාමඩුව, කුලියාපිටිය දැයට කිරුළ ප්‍රදර්ශන භූමි සියල්ලේම මම අපේ බළකායෙ ප්‍රදර්ශන කුටියේ නිර්මාණාත්මක වැඩ කළා.’’

ඉන්පසු මූර්තිට විශේෂ කාර්ය බළකාය කරන නිර්මාණාත්මක ඉදිකිරීම්හි වගකීම් පැවැරෙන්න පටන්ගෙන ඇත. බෞද්ධාලෝක මාවතේ වෙසක් පූජා වෙනුවෙන් රාජ්‍ය අංශයේ හොඳම පහන් කූඩු නිර්මාණය සඳහා අවස්ථා කීපයකදීම විශේෂ කාර්ය බළකාය දිනා ගැනීමේ රහස මූර්ති මේ නිර්මාණකරණයේ මූලිකයා වීමයි.

‘‘ආරුගම්බෙ පාලම අසල බුදු පිළිම වහන්සේ අසල චෛත්‍යයක් හදන්න සැලැස්මක් ඇඳ එය භාරගෙන කර දෙන්න හැකිදැයි මගෙන් අපේ සර්ලා ඇහුව. මම පුළුවන් කියලා ඇඳලා සැලැස්ම දීලා වැඩ පටන් ගත්තා. ඒ 2014 වගේ. මට බළකායෙම කොළඹ ආශ්‍රිතව භාරගත්ත වැඩ ගොඩක් තිබ්බා.

එනිසා ආරුගම්බේ චෛත්‍යය වැඩ නිමා කරන්න අපි බාහිර ශිල්පීන්ට භාර දුන්නා. මොකද ඒ වෙද්දී පොලිසියේ උත්සව වේදිකා නිර්මාණය විශේෂ අවස්ථා සඳහා චිත්‍ර හා මූර්ති නිර්මාණ වැඩ ගොඩක් මට පැවරී තිබුණ. නමුත් ආරුගම්බෙ චෛත්‍යය හදා නිමාවූවට පසු වටේ කොරවක් ගල්, මුරගල් ඇතුළු වැඩ කරන්න ආයෙත් මටම පැවරුණා. ඊට පසුව මේ කාර්යයන්හි අනුශාසක ලෙස කටයුතු කළ කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයෙ නායක හාමුදුරුවො අපවත් වුණා. නි​යෝජ්‍ය පොලිස්පති රංජිත් පෙරේරා මහත්තය මගෙන් ඇහුවා ඒ චෛත්‍යය ආසන්නයෙ නායක හාමුදුරුවන්ගෙ පිළිරුවක් හදා දෙන්න හැකිද කියා. මම ඒක භාරගෙන කළා.

බණ්ඩාරවෙල අමිතානන්ද හාමුදුරුවන්ගෙ භාවනා මධ්‍යස්ථානයෙ මකර තොරණෙ නිර්මාණකරණයද පැවරි තිබෙන්නේද මූර්තිටය. එය විශේෂ කාර්ය බළකාය සසුනට කළ මෙහෙවරයන් අතර එක් කාර්යයකි. කටුකුරුන්ද පොලිස් පුහුණු පාසැලේ මකර තොරණෙ නිර්මාණ ශිල්පියාද මූර්තිය. අම්පාර විශේෂ බළකා කඳවුරේ රණවිරු ස්මාරකය හැදුවේද ඔහුය.
‘‘නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් සර් ඒ වැඩේදී මට ඕන ලෙස කරන්න ඉඩ සලසා දුන්නා. මා එක්ක විවිධ නිර්මාණ වැඩවල හිටපු දක්ෂයො 10 දෙනෙක් මට ඒ වැඩේට එවලා තිබුණා. ඒ අත්උදව්වට 8 දෙනෙකුත් එක්කම. එස්ටීඑෆ් එකේ සහ පොලිසියෙ විවිධ ස්ථානවල සිදුකර ඇති නිර්මාණ බොහෝමයක් මට කරන්න ලැබීම වාසනාවක්.’’

තමන් කුඩාකල සිටම දන්නා ඇවැස්ස නෑනා සේපාලිකා සමරසිංහ සමග 2017 දී විවාහ වී පයාගල නාගහදූව ඉසුරු උයනෙ පදිංචියට එන මූර්ති සේපාලිකා යුවළට සිඟිති පුතෙකු ලැබීමෙන් පිය පදවියටද ඔහු හිමිකම් කීවේය. 2018 වසරේදී පොලිස් විශේෂ කාර්ය බළකාය හැර යන මේ නිර්මාණ ශිල්පියා පසුව නීත්‍යනුකූලව සේවයෙන් ඉවත් විය. මම එස්ටීඑෆ් එකෙන් ඉවත් වුණේ තව දුරටත් නිර්මාණ කරන්න ඉඩ කාලය හදාගන්න ඕන නිසා.

‘‘මම අදටත් පොලොවෙ පය ගහලා ඉන්නෙ එස්ටීඑෆ් එකෙන් ලැබුණ විනය දැනුම ඇතුළු දෑ නිසා.’’
විශේෂ කාර්ය බළකායෙන් ඉවත්ව ගිය මූර්තිට කොළඹ බෞද්ධාලෝක මාවතේ විශේෂ කාර්ය බළකා මූලස්ථානයේ උත්තමාචාර වේදිකාව නිර්මාණය කරදෙන ලෙස කළ ඉල්ලීම හේ පැහැර හැර තිබුණේ නැත.

හදන්නට පටන් ගත් උත්තමාචාර වේදිකාවක් එස්.ටී.එෆ්. මූර්ති අතින් නිදහස් දිනය දා විවෘත කරන්නට සුන්දර ලෙස නිමා වී තිබුණේය.

සටහන සහ ඡායාරූප – ජයන්ත සුබසිංහ