විශේෂාංග

කන්තලේ ප්ලේන් පිට්ටනිය

දහසය වැනි ශතවර්ෂයේ පටන් ලංකාවට උදාවූයේ එතරම් සුබ කාලයක් නොවේ. කලින් කලට මේ කාලයේ ලංකාව යුරෝපීය අධිරාජ්‍ය තුනක පාලනයකට නතුව පැවතුණි. බොහෝ කාලයක් වනතුරුම ඔවුන්ගේ පාලනය මුහුදුබඩ ප්‍රදේශවලට පමණක් සීමා වී තිබිණ. නමුත් 1815 වසරේ සිට 1948 දක්වා කාලයේදී මුළු රටම බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය යටත් විජිතයක් බවට පත්ව තිබුණේය.

බ්‍රිතාන්‍යයන් මෙරට ඔවුන්ගේ ප්‍රධාන නාවික වෙළෙඳ හා යුද මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගියේය. එහි ප්‍රතිඵලයක් ලෙස බළකොටු, ගුවන්තොටුපොළවල් හා වරායන් ඉදි වුණි.

එසේ බ්‍රිතාන්‍යයන් විසින් 1942 වසරේදී පමණ කන්තලේ දී ද ගුවන්තොටුපොළක් ඉදි කර ඇත.
කන්තලේ නගරයේ ඔරලෝසු කණුවේ සිට මීටර් 30ක පමණ දුරින් එදවස මෙය ඉදිකර තිබුණි.

කොළඹ දෙසින් පැමිණෙන විට කන්තලේ හන්දියෙන් දකුණට දිවෙන මාර්ගය මහ වීදියයි. ඊට වම් පසින් හා සමාන්තරව මීටර් 50ක පමණ දුරින් මාර්ගයක් වෙයි. එම මාර්ගය වර්තමානයේ කොන්ක්‍රීට් යොදා සකසා ඇත.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල කාර්යාලය, මහෙස්ත්‍රාත් උසාවිය, මහජන සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය වැනි ප්‍රධාන රාජ්‍ය ආයතන බොහෝමයක්ම මේ අවට පිහිටා ඇත.

එදා මේ කියන ගුවන්තොටුපොළ පැවැති භූමියේ අද මේ වන විට විශාල ඇඟලුම් කර්මාන්ත ශාලාවක් ඉදිව ඇත. ඊට පිටුපසින් වී අලෙවි මණ්ඩලයේ ගබඩාවද දකුණු පසින් ඩිපෝවද වෙයි.

මෙම ගොඩනැගිලි සියල්ලක්ම පිහිටා ඇත්තේ ගුවන්තොටුපොළ තිබූ භූමියේය. එය අක්කර 10ක පමණ භූමි භාගයකි.

මෙම භූමි භාගයට වන පිවිසුම් මාර්ගය අතීතයේ තාර යොදා තිබී ඇත. මාර්ගය දෙපසද කොන්ක්‍රීට් බැමි හා පැතිකානු සාදා මනාව නිමවා තිබිණ. නමුත් වර්තමානයේ කොන්ක්‍රීට් යොදා එම මාර්ගය වෙනස්කම්වලට භාජනය වී තිබේ.

මීටර් තුන්සීයක පමණ දුරට දිවෙන මෙම මාර්ගයේ වම් පසින් කොන්ක්‍රීට් යොදා සැකසූ විශාල පිට්ටනියක් වෙයි. එහි කෙළවර ආරුක්කු හැඩයට යකඩ යොදා ඉදි කළ විශාල ගොඩනැගිල්ලක්ද ඇත. දිගින් මීටර් 120ක් ද පළල මීටර් 50ක් සහ උස මීටර් 10ක් පමණ වූ මෙම ගොඩනැගිල්ල තවමත් ශක්තිමත් ලෙස විරාජමානව පවතී. ප්‍රේමදාස ජනාධිපතිවරයා සමයේ අලුත්වැඩියාවට ලක්ව ඇඟුලුම් කම්හලක් බවට පත්ව ඇත්තේ ඒ ගොඩනැගිල්ලයි.

එසේම එකී කොන්ක්‍රීට් පිටිය මීටර් 550ක පමණ දිගින් සහ මීටර් 200ක පමණ පළලකින් යුතුය. එය කඳවුරේ ගුවන් යානා පථයකි.

තවද ඩිපෝවේ කාර්යාලය පවත්වාගෙන යන ගොඩනැගිල්ල හා බස් රථ අලුත්වැඩියා කිරීම සඳහා යොදා ගන්නා සේවා බිම් ආදියද බ්‍රිතාන්‍ය සමයේ කළ ඉදිකිරීම්ය.

ඩිපෝව පවතින භූමියේ සිට ගුවන් ධාවන පථය දෙසට කොන්ක්‍රීට් යොදා ඉදි කරන ලද උමං මාර්ගයක්ද වේ. එම උමං මාර්ගයේ තරමක් දුරට ගමන් කළ විට අතරමගදී යකඩ ගේට්ටුවක් හමුවන බවත් ඒ මග ගොස් ඇත්තෝ කියති.

ප්‍රධාන දුම්රිය මාර්ගයේ සිට මෙම ගුවන් ධාවන පථය දක්වා වන දුම්රිය මාර්ගයක ශේෂයක්ද මෙහිදී දැක ගත හැකි වේ. දුම්රියෙන් රැගෙන එන භාණ්ඩ ඉවත් කිරීමට භාවිත කළ දොඹකරය සවි කර තිබූ සිමෙන්ති කණුද තවමත් දැක ගැනීමට හැකිය.

එදා ඉදි වූ මේ සැඟවුණු ගුවන් කඳවුර පිළිබඳ ප්‍රදේශවාසී වැඩිහිටි පිරිස් බොහෝ දෙනෙක් දැනුවත්ය.

ඔවුන් පවසන පරිදි අතීතයේ මෙම ප්‍රදේශය ‘‘හැන්කර් කැලය’’ හෝ ‘‘ප්ලේන් පිට්ටනිය’’ ලෙස හඳුන්වා ඇත. හැන්කර් කැලය ලෙස පටබැඳෙන්නට ඇත්තේ ගුවන්යානා රැඳවීමට භාවිත කළ හැන්ගර් (Hanger) යන වචනය බිඳී සිංහලට හැරීමෙන් වන්නට ඇත.

ප්‍රදේශවාසීන් පවසන පරිදි මෙම ප්‍ර‍දේශයෙන් ඊයම්, පරණ ගුවන්යානාවල කොටස්, කුඩා ප්‍රමාණයේ ටින් වර්ග වැනි ද්‍රව්‍ය අතීතයේ හමු වී ඇත. එම ටින් ඔවුන් බෝම්බ ටින් ලෙස අර්ථකථනය කළ බවද කියයි.

ගුවන් කඳවුරේ ධාවන පථය

‘‘ඒ දවස්වල මගේ යාළුවො දෙතුන් දෙනෙක් එක්ක පිට්ටනියට යනවා ඒකෙ තියෙන ඊයම් එකතු කරන්න. අපි දවසකට ඊයම් කිලෝ 2ක් 3ක් හොයාගන්නවා.’’

කන්තලේ ලයිට්පාර ප්‍රදේශයේ ඩබ්ලිව්. විපුලසේන එලෙස පැවසුවේ මේ පිළිබඳ පැරණි මතකය සිහි කැඳවමින්ය.

මෙහිදී ඔවුන්ට හමුවුණු තීන්ත ටින් උණු කර එකල භාවිත කළ බවද ඔහු පැවසුවේය.

ඊ.ඩබ්. අමරසූරියත් කන්තලේ මහ වීදිය අසල පදිංචිකරුවෙකි. ඔහු පවසන්නේ ඊයම්, පිත්තල සුදු යකඩ තහඩු, වැනි දේවල් සමග කුඩා කුප්පි විශේෂයක්ද මෙහිදී ඔහුට ලැබුණු බවයි. ඒ කුප්පිවල වූ දියර ගෝනියකට දැමූ විට එය පිලිස්සී ගිය බවද ඔහු කීවේය.

මේ ආකාරයට හමුවුණු දෑ මිනිසුන් අලෙවි කොට ඇති බැවින් අද එවැන්නක් දැක ගන්නට හෝ නැත.

‘‘අපි කන්තලේ පදිංචියට ආවේ 1958 දී, එතකොට ඔය ඔක්කොම කැලේ වැවිලා තිබුණේ, ඉංග්‍රීසිකාරයෝ ගුවන්තොටුපොළ දාල ගියාට පස්සේ කැලේ වැවිල තිබුණු සුද්දන්ගෙ කෝච්චි නවත්වන ඉස්ටේෂම තිබුණු ගොඩනැගිල්ල රජයේ පොහොර ගබඩාවක් කරල තිබුණා. ඉන් පස්සේ තමයි ඒක ලංගම ඩිපෝවට ගත්තේ. ඔය ඒ කාලේ තැන් තැන්වල ගොඩගැහිලා තිබුණු පොඩි ටින්, ප්ලේන්වල ඔයිල් ෆිල්ටර් මිසක් ඒවා බෝම්බ නෙමෙයි’’

එහි පදිංචි ආර්.එම්. ලීලාරත්න ප්‍රකාශ කළේ මීට වසර ගණනකට එපිට තිබූ ගුවන්තොටුපොළේ නටබුන් සියැසින් දැක තිබූ නිසාය.

ප්‍රදේශයේ ඉතිහාසයේ තතු දන්නා තවත් අයකු ප්‍රකාශ කළේ ඩිපෝවට ඇතුළු වීමට ඇති ප්‍රධාන ගේට්ටුව බ්‍රිතාන්‍ය කොඩියේ හැඩයට සාදා ඇති බවයි. නමුත් මේ වන විට එහි ඉතිරිව ඇත්තේ යකඩ කූරු පමණක් බැවින් එවැන්නක් ඇතැයි වෙනත් අයකුට දක්නට ලැබෙන්නේ නැත.

ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරු හා දැක ගැනීමට හැකිවන කඳවුරේ ශේෂයන් පිළිබඳ සැලකීමේදී මෙහි පවතින්නට ඇත්තේ බ්‍රිතාන්‍ය ගුවන් කඳවුරක් බව සපත වේ.

එසේ නම් මෙහි සිදුවන්නට ඇත්තේ ගුවන් මගින් රැගෙන යන එන උපකරණ හෝ බඩු භාණ්ඩ දුම්රිය මාර්ග ඔස්සේ තවත් පැතිවලට රැගෙන යාමය.

එසේම අදටද එම භූමියේ කඳවුරට අයත් දෑ බොහෝමයක් පොළොව යට වැළලී සැඟව තිබෙනවා ඇත.

මේ ගුවන් තොටුපොළට අමතරව මෙම ප්‍රදේශයේ බ්‍රිතාන්‍ය පාලනයට නෑකම් කියන තවත් ගොඩනැගිලි කීපයක්ද දැක ගැනීමට හැකියාව ඇත. වී අලෙවි මණ්ඩලයේ ගබඩාව ලෙස භාවිත කරන ගොඩනැගිල්ල හා ආරුක්කු හැඩැති රජයේ පොහොර ගබඩාවද ඇත.

සහරා විජේසේකර
මහින්ද සේනාරත්න – කන්තලේ

මහ වීදියට සමාන්තරව ඉදිකරන ලද තාර පාර

ගුවන් කඳවුරේ ගොඩනැගිලි නටබුන්