කතුවැකි

කනගාටුයි! වරද අප අත නොවේ

අයවැය ඉදිරිපත් කිරීමත් සමග අයවැයෙන් හැම දේටම වන බලපෑම, විග්‍රහකොට දැක්වීම සිරිතය. ගොවියාට, කම්කරුවාට, රාජ්‍ය සේවකයාට, සිසුවාට මතු නොව කුසේ ඉන්නා දරුවාටත්, බලු කෑම අඩු කළොත් බල්ලන් බළලුන්ටත් වෙන බලපෑමත් විග්‍රහ කෙරේ. එහෙත් පත්තරවලට වෙන බලපෑම කවදාවත් විග්‍රහ කෙරෙන්නේ නැත.

අයවැයෙන්ම නොවුණත් ආර්ථික අර්බුද කාලයක පත්තර කර්මාන්තයට වෙන බලපෑම පාඨකයාට දැනුම් දී තිබිය යුතු යයි අපට සිතේ.

දැන් පත්තරවලට බලපෑම් එල්ල වන්නේ දේශපාලනඥයන්ගෙන් නොව වෙළෙඳපොළෙනි. ඉලෙක්ට්‍රොනික විද්‍යුත් මාධ්‍ය, තරංග මත දිව්වත් පත්තර දුවන්නේ කඩදාසි මතය.

පත්තර සඳහා භාවිත කරන News print වර්ගයේ මෙම කඩදාසි නිපදවන්නේ යුරෝපා රටවලය. ඉන්දියාවේද News print නිපදවූවත් එරට නිෂ්පාදන වියදම අධික බැවින් අප රටේ වැඩි නැඹුරුවක් ඇත්තේ ස්කැනේඩියානු රටවලින්ද, රුසියාව, ඔස්ට්‍රේලියාව ආදී රටවලින් පත්තර කඩදාසි ආනයනය කරන්නටය.

පත්තර කඩදාසි ගෙන්වන්නේ පත්තර මූද්‍රණයටම යැයි බොහෝ දෙනාගේ විශ්වාසය වුවත් දැන් එය වෙනස් කර ගන්නට කාලය ඇවිත්ය.

මුද්‍රිත පරණ පත්තරවල ආහාරද ඔතා දීම තහනම් කිරීමෙන් පසු කෑම එතීම සඳහා පරණ පත්තර වෙනුවට අලුත්ම News print භාවිත කරන්නට සිදු විණ.

ඒ අනුව යුද්ධය පැවති සමයේ අනාථ කඳවුරුවල සිටි ලක්ෂ හතරකට වැඩි ජනතාවට තුන් වේලටම කෑම එතීමට අති විශාල News Print කඩදාසි රටට වුවමනා විය. එසේම ලක්ෂ දෙකකට වඩා වැඩි ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ටද තුන් වේලටම කෑම ඔතන්නට ගත්තෙ News Print ය. එසේම කොළඹ නගරය ඇතුළු රටේම නගරවල ජනතාව හෝටල්වලින් ගෙනියන සෑම කෑම පාර්සලයක්ම එතුවේ News Print වලය.

එතැනින් නතර නොවේ. දෙමළ උත්සව සමයන්හි කෙසෙල් කොළේ කෑම බෙදන විට ඊට යටින් එළීමට වුවමනා කරන News Print ප්‍රමාණය අති විශාල විය. කෑම බීම හැරෙන විට මෙරටට News Print අත්‍යවශ්‍ය වන්නේ ඇඟලුම් කර්මාන්තශාලාවලටය. ඇඳුම් කපන මේසයට එළීමට ද ඇඟලුම් අසුරන විට ගුළි කර රෙදි රෝල් අතර තැබීමටද යනාදී වශයෙන් ඇඟලුම් කර්මාන්තශාලාවලට මසකට කඩදාසි මෙට්‍රික් ටොන් 600 ක් වුවමනා කෙරෙයි. මේ අනුව පත්තර සඳහා වැය වන ප්‍රමාණයට වඩා වැඩියෙන් කෑම එතීම, ගාමන්ට් සඳහා News Print භාවිත වෙන යුගයකට අපි අවතීර්ණ වී සිටිමු.

කෙසේ වෙතත් දැන් දැන් ලෝකයේ පත්තර මුද්‍රණය කරන ප්‍රමාණය සීමා කර තිබේ. හේතුව වන්නේ වියදම අධික වීමය.

ස්ටීව් ෆෝබ්ස් මාධ්‍ය ලෝකය උඩුයටිකුරු කරමින් ජංගම දුරකථනයට Hard divisive එකකින් පත්තර, පොත්, බැංකු වාර්තාවේ සිට අධ්‍යාපනයද දෙන්නට මගක් පාදා දුන්නේය. වියදම් අධික නිසා ලෝකයේ දැවැන්ත පත්තර සමාගම් ජංගම දුරකථනයට පත්තර එවීමට සැලසුම් කළේ ය.

ලංකාවේද අප පත්තර ආයතනය එය ක්‍රියාත්මක කරන්නට පටන් ගත්තේ කොරෝනා රෝගයට රට වැසීමත් සමගය. සෑම පත්තරයක්ම E Paper වශයෙන් නොමිලේම කියවීමට සැලැස්විණ. එහෙත් ලක්ෂ ගණන් විකුණන පත්තර පාඨකයන් E Paper ක්‍රමයෙන් බැලුවේ සීමිත පිරිසකි.

තවමත් අපේ රටේ ජනතාව පත්තර සමග තිබෙන්නේ සංසාරික බැඳීමකි. ඉලෙක්ට්‍රොනික තිරයට මුහුණ ඔබාගෙන කෙරෙන කියැවීම පත්තරයක් අතට ගෙන කෙරෙන කියවීම සේ අහ්ලාද ජනක නොවීය. එබැවින් පළාත් සීමා, සංචරණ සීමා තිබුණත් පත්තරය එනතුරු බලා සිටින පාඨක පිරිස දස ලක්ෂ ගණනක් බව ඒ දුර්භාග්‍යය අවධියේ අපට අවබෝධ විය. පත්තරවලිනුත් කොරෝනා වසංගතය පැතිරෙන බව කීවද, පත්තර අලෙවිය අඩු වූයේ නැත.

පත්තර තවමත් ජන මනසේ එක් හිඩැසක් පුරවයි. එය මානසික අවශ්‍යතාවක් බවට පත්ව ඇත්තේය.

එහෙත් දැන් පත්තර මුද්‍රණය කරන News Print මිල අධික ලෙස ඉහළ ගොසිනි. කොරෝනා රෝගය නිසා රට වසන්නට පටන් ගත් සමයේ මෙ. ටො. එකක් ඩොලර් 450 ක් වූ News Print කඩදාසි ටොන් එකක මිල මේ වන විට ඩොලර් 820 ද ඉක්මවා ගොසිනි. යුරෝපා රටවල සිට ගෙන්වන්නටම සිදුව ඇති බැවින් ඉහළ ගොස් ඇති නැව් ගාස්තුද පත්තර කර්මාන්තයට දරා ගැනීමට සිදුව ඇත්තේය. එදා ඩොලර් 800 ට ගෙන අඩි අටේ බහාලුමක් අද ප්‍රවාහන ගාස්තුව ඩොලර් 4000 කි. මෙබඳු නැව් ගාස්තු ඉහළ යෑමක් දෙවන ලෝක යුද සමයේවත් නොවූ තරම්ය. එබැවින් පුවත්පත් පවත්වා ගැනීමට එහි මිල ඉහළ දැමීමට සිදුවීම අනිවාර්යය වී තිබේ.

භාෂා, සන්නිවේදන, ආධ්‍යාත්ම දියුණුව ආදී මනුෂ්‍ය අවශ්‍යතා සපුරාලීමට පොත් පත්තර, සඟරාදිය රටකට අත්‍යවශ්‍යය. එහෙත් කවදත් මේ මුද්‍රිත කර්මාන්තය පැවතුණේ දුෂ්කර කටුක එකක් වශයෙනි.

සාහිත්‍ය චක්‍රවර්ති ත්‍රිපිටක වාගීෂ්වරාචාර්ය රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඥානවිමල නායක මහා ස්ථවිරයෝ 1975 දී ලංකා බුද්ධ සාසනයේ ඉතිහාසය ගැන පෞරාණික පොතක් 1975 දී සංස්කරණ කර වදාළෝය. මේ මහා නාහිමියන් තම පොත මුද්‍රණයට දුන් අවධියේ පෙට්‍රල් මිල ඉහළ යැවිණ. පොතේ ශුද්ධි පත්‍ර බැලීමට නිතර රත්නපුරේ සිට කොළඹ ඒම වියදම්කාරී වැඩක් විය. කොළඹ ඇවිත් ශුද්ධි පත්‍ර හෙවත් ෆෘප් නොබැලීම නිසා සිදු වූ වැරදි නිවැරදි කර වෙනම පිටුවක් පොතට එක් කළ කිරිඇල්ලේ ඥානවිමල හිමියෝ මෙසේ ලිවූහ.

‘‘පැට්‍රොල් මිල නැගීම නිසා මාරපනත්, කොළඹත් අතර ගමනාගමනය දුෂ්කර වීමෙන් මැෂින් ෆෘප් කියවීමට ලැබුණේ නැත. පාඨකයන්ගේ විමති විනෝදනය සඳහා ශුද්ධි පත්‍රයක් පොතට ඇතුළත් කළේ ඒ නිසාය. මෙය මුද්‍රණ ශිල්පීන්ගේ දුර්වලතාවයෙන් සිදු වූ වරදක් නොවේ.’’

ඒ සසුන් කෙත අස්වැද්දූ ලෝකාර්ථචාර්යාවේ යෙදෙන අපට පාලනය කළ නොහැකි අටලෝ දහමේ බලපෑම දත් යතිවරයාණන් කෙනකු මේ කර්මාන්තයේ යෙදෙන්නන් කෙරෙහි සානුකම්පිතව බැලූ ආකාරයයි. අපටද කිව හැක්කේ එයය. මේ මිල වැඩිවීම මුද්‍රණ ශිල්පීන්ගේ වරදක් නොවේ.