විශේෂාංග

කතරගම දෙවියන්ට සැබෑ මල්

කතරගම පුරවරයට පා තැබූ කෙනකුට ඇසෙන සුපුරුදු හඬකි. ඒ මල් කෙල්ලන්ගේ හඬය.

‘‘අනේ අපෙනුත් මලක් අරගන්න. අනේ අපෙනුත් මලක් ගන්නකෝ, අනේ මගෙනුත් මලක් ගන්න එන්නකෝ’’

නොනවත්වා ගයන ඔවුන් කාගේ හෝ දෑතට ‘‘මල්’’ දී රුපියල් හොයන්නට අපමණ වෙහෙසෙන්නේය. කතරගමදී බුදු පුදට, වෙහෙර පුදට බැතිමතුන් මල් කෙල්ලන්ගේ මල් ගන්න එදා මෙදා තුර දෙවියන් පුදට නම් විකිණෙන්නේ ඉටි මල්, මාලාවෝය. රුවින්, සුවඳින්, අලුත් බවින් අනූන ගහක පිපෙන මලක්ම දෙවියන් ළඟටත් යවන්නට පසුගිය කාලයේ කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් උත්සාහ කළේ මේ ඉටිමල් සංකල්පය බැහැර කරලීමේ අරමුණෙනි. දෙවියන්ගේත් වැඩි කැමැත්තට හේතු වන්නා සේම පරිසරයටද කරනා විශාල සෙතකි. ඒත් එදා වගේ ඒ යෝජනාව ක්‍රියාත්මක කරන්නට බැරි වුණේය. ඒ නිසාම දෙවියන්ගේ මල් වට්ටියට දිගටම වැටුණේ ඉටිමල් මාලාය. ඒත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් අදහස අත්හැරියේ නැත. ඔවුන් ස්වෝත්සාහයෙන් කරන කතරගම නගාසිටුවන වැඩපිළිවෙළේ තවත් එක් කර්තව්‍යයක් ලෙසට දෙවියන් ළඟට යන මල් වට්ටියේ ඉටි මල් සංස්කෘතිය වෙනස් කටයුත්තේ සිටියහ.

දේවාල කෝවිල් මලින් පුදන සංස්කෘතියක කතරගම දෙවියන් ඉටිමලින් පිදුවත් ඉන්දියාවේ තිරුපති ඇතුළු ලෝකයේ ප්‍රසිද්ධ කෝවිල් හා දේවාලවලට ගෙන එන මල්වලටත් නීති ඇත්තේය. ඒ දේවාල කෝවිල් තුළට ස්වාභාවික නොවන මල් රැගෙන යාමත් තහනම්ය. එවන් දේවාල හා කෝවිල් අවට මල් වෙළෙඳාම සරුවටම කෙරෙන්නේත් මල් මාලා ගොතන සංස්කෘතියක් බිහි වන්නේත් ඒ නිසාය.

එහෙත් අවාසනාව නම් ලංකාවේ වැඩිම මිනිස්සු ප්‍රමාණයක් යන්නේත් ස්වාභාවික මල් පුද නොකරන්නේත් කතරගම දේවාලය වීමය.

කතරගම පූජා භූමියේ විකුණන ඉටි මල් මාලා

කතරගම දෙවිඳුන් උදෙසා පූජාවට්ටිවලට දෙන සෑම මල්මාලාවක්ම වසර ගණනාවක සිටම ඉටිකොළවලින් තැනූ ඒවා විය. මෙම ඉටිකොළ මල්මාලා සංස්කෘතියෙන් මිදෙන්නට කතරගම ගම්වාසීන්ට හා වෙළෙඳුන්ට නොහැකි වී තිබුණි. ඒ ඔවුන් ඉක්මනින් මුදල් ඉපයීම හැර එමගින් දේව කරුණාවක් හෝ දෙවියන් කෙරෙහි භක්තිය මෙන්ම පරිසරයට සිදුවන හානිය ගැනත් නොසිතන නිසාය.

කිසිවෙකුත් නොසිතන තවත් පැත්තක් ඇත. කාටත් නොදැනී කතරගමට එන මුදල්, ඉටි මල්වලට ලැබෙන මුදල් ඉටිකොළ වෙළෙඳුන් හරහා යළි කොළඹට ඇදී යන්නට වූයේය. ඉටිකොළ කිලෝවක් රුපියල් නවසීයකට මිල කරමින් කොළඹින් කතරගම එන්නේය. එය චක්‍රයක් පරිද්දෙන් කොළඹට ගලා එන්නේය.

මේ ඉටි මල්මාලා භාවිතයෙන් ඉවත් වී ඒ වෙනුවට විකල්පයක් ලෙස ස්වාභාවික මල් මාලා ‍ගොතන සංස්කෘතියක් කතරගමට ගෙන එන්නට ව්‍යාපෘතියක ආරම්භය සනිටුහන් කරන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වෘත්තීය මාර්ගෝපදේශක නිලධාරීයාය. ඔහු නමින් අජිත් වික්‍රමසිංහය.

අජිත්, මෙම සංකල්පය සඳහා තෝරා ගන්නේ ග්‍රාමීය වැඩිහිටි කමිටුය. වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරී හා කතරගම වැඩිහිටි නිවාසයේ ස්ථානභාර නිලධාරී ඉඳුනිල් කෞෂාල් මෙම සංකල්පය ඉදිරියට ගෙනයන්නට භාරගත් නිලධාරියාය.

ඉඳුනිල් කෞෂාල් මෙම මල් ව්‍යාපෘතිය අරඹන්නට පෙර තමා යටතේ සිටින වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් යොදාගෙන තවත් අපූරු වැඩකට අතගැසුවේය. ඒ කිරිවෙහෙරට අමු ඖෂධ වට්ටියක් පූජා කරන වැඩසටහනකි. වැඩිහිටියන් හා එක්ව සැදූ ඔසු උයනේ වූ දේශීය ඖෂධ වර්ග විසිහතකින් පිරුණු අමු ඖෂධ වට්ටියක් කිරිවෙහෙරට පුද දෙන්නට සැරසෙන්නේ වැඩිහිටියන්ගේම දෑතිනි.

එය බැතිමතුන්ට ලබාගත හැකි මට්ටමට ව්‍යාප්ත කරන්නට අවකාශ තිබුණද ඊට අවශ්‍ය ප්‍රතිපාදන හා බාහිර සහාය නොමැති නිසා අදටත් එහි යන අයට පමණක් මෙම ඖෂධ වට්ටියක් පූජා කිරීමේ පින පෑදෙන්නේය.

එම අමු ඖෂධ ව්‍යාපෘතිය යන අතරේම අමු මල්මාල සංස්කෘතියක් හඳුන්වා දෙන්නට ඉඳුනිල් හා අජිත් සැරසෙන්නේ ග්‍රාමීය වැඩිහිටි කමිටු පහක වැඩිහිටියන් එක්කර ගනිමින්ය.

කිසිම සුවඳක් හැඩක් සෞම්‍ය බවක් නැති ඉටි මල් මාලා වෙනුවට ස්වාභාවික සුවඳ හමන ස්වාභාවික මල්මාලා හඳුන්වාදීම දෙවියන් උදෙසා කරන මහා උපහාරයක් ලෙස පෙන්වා දෙමින් වැඩිහිටියන් දිරිමත් කළේ ඒ අනුවය. මූලික අදියර වශයෙන් වැඩිහිටියන් සියයක් ඒ සඳහා එක් වූහ.

මේ සියලු දෙනා සූදානම් වූයේ උඩුගම් බලා පීනන්නටය. දේව කරුණාවට හෝ ආදරයට හෝ උදහසට ලක්වීමේ බලාපොරොත්තුවෙන් ඉටි මල් මාලා සංස්කෘතියට තිත තබන්නට ඔවුහු භාර වුණහ. වැඩිහිටියන් පෙරටු කරගනිමින් ඔවුන් ගිය ගමන උඩුගම් බලා පිහිනායාමක්ම විය.

නියම ව්‍යාපෘතියට තෝරාගත්තේ ඉක්මනින් මල් හටගන්නා දාස් පෙතියා වගා කිරීමටය. ඉන්පසුව කපුරු මල්, රාජ පොහොට්ටු හා වතු සුද්ද වගා කිරීමට නිර්දේශ විය. කතරගම ඇති වැව් විසිපහෙන් වැව් විසිතුනක නෙළුම් මල් වවන්නට යෝජනා වන්නේද මෙම ව්‍යාපෘතියෙන්ය.

වැඩිහිටි ග්‍රාමීය කමිටුවලට දහස්පෙතියා ඇට පැකට් බෙදා දී පන්සිය දෙනකු ලවා ගෙවත්තේ අඩි දහයක කොටසක දාස්පෙතියා වගා කිරීම නියමු ව්‍යාපෘතියේ අදහසය. එක තැනක පැළ සියය ගානේ දාස්පෙතියා පැළ පනස්දහසක් සිටුවා වරකට මල් ලක්ෂ පහක පලදාවක් ගැනීම අදහස විය.

කිරිවෙහෙර මලින් වසන්නට වූ පිංකමක් උදෙසා වැඩිහිටියන් උනන්දු කෙරුණද බාහිර බාධක නිසා එම ව්‍යාපෘතිය සාර්ථක නොවීය.

තම ගෙවත්තේ මල් සිටුවන අයෙකුට කොම්පෝස්ට් පොහොර හා වතුර පමණක් යොදා අඩු වියදමින් වැඩි ප්‍රතිලාභයක් ගන්නා ආකාරය මෙම නිලධාරීන් පෙන්වා දුන්නේය. මෙම ව්‍යාපෘතියට අනුව මල් සිටුවන අයට මෙන්ම වෙනමම ගෙවල්වලට ගොස් මල් කඩාගෙන එන්නටත්, මල් වැල් ගොතන්නටත් නව රැකියා උත්පාදනයක්ද සිදු වන වගා ව්‍යාපෘතිය මුලදීම හඳුන්වා දුන්නේය.

වැඩිහිටියන් බහුතරයක් දායක නොවුණද කතරගම ඉටි මල්මාලා නිෂ්පාදනය කර යැපෙන දහසක් පමණ කාන්තාවන් නව රැකියාවට යොමු කරන්නට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාන්තා සංවර්ධන නිලධාරිනිය වූ සහාය පතන්නීය. ඇගේ සහයෙන් කාන්තා කමිටුවලටත් මෙම ව්‍යාපෘතිය රැගෙන යාම අරමුණය.

ඉටි මල්මාලා වසර ගණනාවක් තබාගත්තද ස්වාභාවික මල්මාලා දින තුනකට වඩා තබා ගැනීමේ අසීරුකම, මල් ගෙතීමට අසීරු වීම යන කාරණා මුලට ගෙන කකුලෙන් අදින්නට වූ පිරිසද එන්න එන්නම වැඩිවිය.

නමුත් මේ මල් සටන අත් නොහැරී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඳුනිල් අජිත් හා ……තුන් කට්ටුව තම ව්‍යාපෘතිය හිතේ ගැම්මෙන් ඉදිරියටම ගෙන ගියහ.

ස්වාභාවික මල් මාලා හදන්න පෙලඹුණොත් ඉටිකොළ සඳහා කොළඹට ඇදෙන මුදල්වල ඉතිරියක් වන ආකාරය පිළිබඳව පවුල් පිටින් දැනුවත් කෙරිණි. මෙය කණ්ඩායම් කිහිපයකට නව රැකියා උත්පාදනය කර දීම මෙන්ම දෙවියන්ට කෙරෙන නියම පූජාවක්ද වන්නේය. කතරගම කැලිකසළ ප්‍රශ්නයටද මෙය විසඳුමක් ලෙස හඳුනාගන්නේ දේවාලයට ගෙන එන ඉටි කොළ මල්මාලාවලින් සියයට අනූවක්ම කතරගමම විසි කර දමා යන්නට බැතිමතුන් පුරුදුව සිටි නිසාය.

මේ සියලු ප්‍රශ්නයට විසඳුමක් ලෙසත් රැකියා ප්‍රශ්නයට විසඳුමක් ලෙසත් නව ව්‍යාපෘතිය හඳුන්වා දෙද්දීත් සාම්ප්‍රදායිකව ඉටි මල් මාලා ගෙතූ පිරිස් හා වෙළෙඳුන් මෙම ව්‍යාපෘතියට අකැමති වූහ. තමන්ට බඩේපහර වදීයයි සිතන්නට වූ නිසාය.

දීර්ඝකාලීනව නව ව්‍යාපෘතිය දෙස බැලුවහොත් එය කතරගම ජනතාවට දෙපයින් නැගී සිටිය හැකි ව්‍යාපෘතියකි.

කතරගම සංස්කෘතිය සොයාගෙන යද්දී පැරැන්නන් කතරගම දෙවියන් උදෙසා පුද පූජා පවත්වන්නට ආවේ බුලත් කොළ ටිකක් හා පුවක් රැගෙනය. පසු කාලීනව එය පූජා වට්ටියක් බවට පත්වී පූජා වට්ටි සංස්කෘතියකට හුරු කරගන්නේ වෙළෙඳුන් විසින්ය.

දෙවියන්ගේ ආශිර්වාද පතා දෙවියන් පිනවන්නට පලතුරු පූජාවක් කිරීම කම් නැතත්, අද පලතුරු පූජාවට වස විස යෙදූ කල් තබාගන්නා බෙහෙත් යෙදූ මිදි, ඇපල්, දොඩම්, අඹ වැනි පලතුරුවලින් මිස දේශීය පලතුරු ඒවායේ තැබෙන්නේ සුළු ප්‍රමාණයක්ය. මිදි, ඇපල්, පූජාවන් දෙවියන්ට තබන බල පුළුවන්කාරයන් ඒවා තම දරුවන්ට කවන්නේ නැත. ඒ වසවිස ඇතැයි කියාය.

දෙවියන් බුලත්වත් පලතුරුවත් ඉල්ලුවේ නැතත් සංස්කෘතිය වෙනස් වී පලතරු වට්ටි හා මල්මාලා ව්‍යාපාරයක් කතරගම ඇරඹෙන්නේය.

වරා මලින් සෑදූ මල් මාලයන් සහිත පූජා වට්ටිය

අලුත් ව්‍යාපෘතිය එම සංස්කෘතිය දේශීය මල් හා පලතුරෙන් හැඩගස්වනු උදෙසා කරනු ලබන්නකි. කතරගම දේවාලය කේන්ද්‍ර කරගත් මිනිසුන් නව නිර්මාණශීලී දෙයකට යොමුකිරීම අසීරුවන්නේද ඔවුන් එක් රාමුවකට කොටු වී මුදල් ඉපයීම මත සියල්ල තීරණය කරන කොට්ඨාසයක් බවට පත්ව සිටීම නිසාය.

කෙසේ හෝ කාන්තා සමිති, වැඩිහිටි සමිතිවල සහායෙන් මෙම නිලධාරීන් තුන් කට්ටුව ගත් උත්සාහය මල්පල ගන්වමින් මුල් පියවර ලෙසින් බැතිමතුන්ට නොමිලේ මල් මාලා දී හඳුන්වාදීමක් කරන්නේය. ඒ පසුගිය පෙබරවාරියේදීය.

මෙයට දිවයිනේ සතර දෙසින් පැමිණි විවිධ වෘත්තිකයන්ගේ ප්‍රශංසා ලැබුණේ එය අනාගතයේ කතරගම දියුණුව කරා ගෙන යා හැකි ව්‍යාපෘතියක්ද වන නිසාය.
කාලයක පටන් කිරිවෙහෙරේ මහසෙන් ප්‍රතිමාවට ස්වාභාවික මල්වලින් ගෙතූ මල්මාලා රුපියල් පන්සීයේ සිට එක්දහස් පන්සියය දක්වා මිල ගණන් ගෙවා පූජා කළත්, කතරගම දේවාලයට ගියේ ඉටි මල්මාලා පමණකි.

එය වෙනස් කරන්නට කතරගම දේවාලය කරවන්නන්ටවත් උනන්දුවක් නොවුණේ බැතිමතුන් කුමක් ගෙනාවත් භාරගන්නා නිසාය. කොහොඹ කොළ ඇතුළු කොළවර්ග සමගින් දහස් පෙතිය ඇතුළු මල්වර්ගවලින් නැවුම් මල් මාලා සකසන්නට පරිසරයක් කතරගම නැතිවාද නොවේ.

දේවාල පරිපාලනයට කතරගමට යමක් කරන්නට වුවමනාව තිබුණා නම් ත්‍රිවිධ හමුදාවේ සහාය ගෙන කතරගම ඇති වැව් විසිපහම සංවර්ධනය කරගත හැකිව තිබුණේය. එම වැව් කේන්ද්‍ර කරගෙන මල් මෙන්ම දේශීය පලතුරු වවන ව්‍යාපෘති ගම්මුන් ලවාම ඇරඹුවේ නම් අද කතරගම මිනිසුන් මීට වඩා ඉහළ තැනක සිටිනු ඇත. ප්‍රදේශයේ දේශපාලනඥයන් ඇතුළු රට කරවන ඇත්තන්ද මේ ගැන සිතුවානම් වාහන පසුපස බත්පැකට් හාල්, කිරිපැකට්, ඉල්ලා දුවන සංස්කෘතියද කතරගමින් බැහැර වනු ඇත්තේ වැව් විසිපහෙන්ම මෙන්ම මැණික් ගඟෙන් ජලය අරන් වගා කරන්නට ඕනෑතරම් ඉඩකඩම්ද තිබෙන්නේය. නමුත් අවාසනාව වන්නේ මිනිසුන්ගේ කම්මැලිකමය. දෙවියන් විකුණා හෝ ඉක්මනින් මුදල් උපයා ගැනීම උදෙසා ක්‍රියාකරනු හැර වෙනත් ඉලක්කයක් ඔවුනට නැත. අනාගතය ගැන සිතුවා නම් ඔවුන්ගේ මීළඟ පරපුර මීට වඩා ඉහළ තැනක සිටිනු ඇත.

අදටත් දළදා මාලිගාවට සමන් පිච්ච පූජා කරන්නට අක්කර දහස් ගණනක් ඇත්තේය. එමගින් රැකියාද උත්පාදනය වී ඇත්තේය. නමුත් කතරගම එවැනි වැඩපිළිවෙළක් නොමැත. වැල්ලවත්තේ කෝවිල ළඟ දාස්පෙතියා මලක් විකුණන්නේ සත හැත්තෑ පහකටය. වතු සුද්ද ඇතුළු මල් පොහොට්ටු ගණනින් මිලදී ගන්නේය. එවන් සංස්කෘතියක් එහි බිහිව ඇත.

නමුත් රජයේ නිලධාරීන් තුන් කට්ටුව තනි ගමනක් යමින් ඇරඹූ ව්‍යාපෘතිය ටිකෙන් ටික බැතිමතුන් අතරට හුරු කරමින් ගමනක් යන්නේය.

සති අන්ත නිවාඩුවලට කතරගමට බැතිමතුන් ලක්ෂ අට පමණ එන දවස්ද ඇත්තේය. කතරගම දේවාලය කරවන කපු මහතුන් ඇතුළු කාර්ය මණ්ඩලය බැතිතුන්ට ස්වාභාවික මල් සංස්කෘතිය හඳුන්වා දෙන්නට උත්සුක වන්නේ නම් කතරගම මීට වඩා දියුණු විය හැකිය. දියවඩන නිලමේ තනතුරට නිලවරණ තබා ව්‍යාපාරිකයන් පත් කළද එම තනතුර හොබවන්නන් පොළොවේ පය ගසා කටයුතු කළා නම් කතරගම සුරපුරයක් වී හමාරය.

අදටත් මෙම නව ව්‍යාපෘතිය කිසිදු අනුග්‍රහයක් හෝ ආයෝජකයකුගේ මුල්වීමක් නොමැති නිසා ඉබිගමනින් ඉදිරියට ගෙන යන සටන සිදුවන්නේය. හැකි අය කෙසේ හෝ මෙම මල් සිටුවා, මල් මාලා තනා විකුණන්නට පටන් ගෙන ඇත.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා