විශේෂාංග

කතරගම දැන් ‘‘හරෝ හරා’’ද ‘‘අරූ හොරා’’ද?

මේ රුහුණු කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍ය සමයයි. එනිසාම ඇතැම් මාධ්‍ය මගින් කතරගම දෙවියන්ගේ සහ පුදබිමෙන් ඔද තෙද සේම අනුහස් පිළිබඳව දිගින් දිගටම කතාබස් කරනු අසන්නට ලැබේ.

එහෙත් එම හිතලුවලින් මිදී කතරගම පුදබිම සහ ඒ ආශ්‍රිත සැබෑ සමාජ පරිසරය පිළිබඳව විමසා බැලීමේදී ඉන් ඉස්මතු කරගත හැක්කේ දෙව් විමනක් පිළිබඳව නොව, යක් පුරයක් පිළිබඳව තොරතුරුය. නමුදු එම කටුක යථාර්ථය බොහෝ මාධ්‍ය මගින් ජනතාව වෙත සම්ප්‍රේෂණය නොවේ.

මිනිසුන් ආහාරයට ගන්නා සත්ත්ව මාංශ වෙනුවට හෝ ඒ මාංශ සමග මුසු කොට සුනඛ මස් අලෙවි කිරීමේ ජාවාරම් පිළිබඳ තොරතුරු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කනින් කොනින් ඇසෙමින් තිබිණි. එහෙත් එම ජාවාරම මහා පරිමාණයෙන් සිදුවන බවට මුල්වරට අනාවරණය වූයේ කතරගම පුදබිම ආසන්නවය. මෙය මෙම යක් පුරය පිළිබඳ කතිකාවක් සඳහා සුදුසු ඇරඹුමකැයි මම සිතමි.

කතරගම පූජා නගරය ආශ්‍රිතව ආප්ප විකිණූ කාන්තාවක විසින් රහසේ අලෙවි කරමින් සිටි දඩ මස් සැබෑ දඩමස් නොව, සුනඛ මස් බව මුල්වරට අනාවරණය වූයේ මීට වසර කිහිපයකට ඉහත එම කාන්තාව සතු දඩ මස් පරීක්ෂාවට ලක් කිරීමේදීය. අවසානයේ එය ඇයද නොදැනුවත්වම කළ අලෙවියක් බවත්, ඇගේ දඩ මස් සැපයුම්කරු ඇයද රවටා දඩ මස් වෙනුවට සුනඛ මස් ලබාදී ඇති බවත් අනාවරණය විය. ඒ කෙසේ හෝ පිට පළාතකින් ගොස් කතරගම රාජ්‍ය ආයතනයක සේවය කළ තරුණියක විසින් 2016 වසරේ දෙන ලද හෝඩුවාවකට අනුව කතරගම බලා ගිය ‘අහිංසා ශ්‍රී ලංකා’ සත්ත්ව හිමිකම් සහ සුබසාධන සංවිධානයේ නියෝජිත පිරිසකට කතරගම සිදුවෙමින් තිබූ එම සුනඛ මස් ජාවාරම පිළිබඳ තොරතුරු රැසක් මුල්වරට අනාවරණය කරගත හැකි විය. සෙල්ල කතරගම, වතුරුවාරුම පාර අද්දර වනගත ස්ථානයක තිබී සුනඛ හිස් සහිත පොහොර උරයක් ප්‍රදේශවාසීන්ට නිරීක්ෂණය වීම, කතරගම කොච්චිපොතාන ප්‍රදේශයේ අධි ශීතකරණයක මුවකුගේ කුර ආදී කොටස් ප්‍රදර්ශනය කෙරෙමින් කිලෝව රුපියල් දහසේ සිට එක්දහස් පන්සීය දක්වා මිල ගණන් යටතේ සුනඛ මස් අලෙවි කිරීමද එම විමර්ශනයේදී අනාවරණය වූ කරුණු අතරේ තිබිණි. ඒ සම්බන්ධයෙන් කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්න හිමියන්ගෙන් කළ විමසීමේදී උන්වහන්සේ පවසා ඇත්තේ කතරගම පැමිණෙන ඇතැම් පුද්ගලයන් නගරයේ ත්‍රිරෝද රථ රියැදුරන්ගෙන් පමණක් නොව, වැසිකිළි පවිත්‍රකරුවන්ගෙන් පවා දඩ මස් පිළිබඳව විමසා සිටින පසුබිමක නීති සහ සදාචාර විරෝධී ක්‍රියාවන්හි යෙදෙන කිහිපදෙනකු මෙම ජාවාරම වෙත යොමුව ඇති බවයි.

කතරගම දේවාල භූමියේ සිට කිරිවෙහෙර තෙක් වැටී ගත් මාවත අද්දර සිදුවන මල් වෙළෙඳාමේ සිට කතරගම පුදබිම පදනම් කරගනිමින් සංවර්ධනය වී ඇති ජීවන වෘත්තීන් කිහිපයකි. අද වන විට ඒවා අතුරින් තැරැව්කාර වෘත්තිය ශීඝ්‍රයෙන් ඉහළ නැංවී ඇති අතර පූජා වට්ටිය සකස් කරදීමේ, නවාතැන් පහසුව සලසා දීමේ සිට කතරගම පැමිණෙන බැතිමතුන්ගේ සියලු යහපත්, අයහපත් අවශ්‍යතා ඉටුකර දීම මෙම තැරැව්කරුවන්ගේ රාජකාරිය වී තිබේ. එහිදී කතරගම පැමිණෙන්නවුන් සඳහා දඩ මස්, මත්පැන් සේම අභිසාරිකාවන් සපයා දීමටද මෙම ඇතැම් තැරැව්කරුවෝ පසුබට නොවෙති. එවැනි ක්‍රියාශීලී තැරැව්කරුවන්ට වන්දනාකරුවන්ගෙන් සැලකිය යුතු සන්තෝසමක් ලැබෙන අතර, ඔවුන්ගේ කටයුතුවලට සම්බන්ධ අනෙක් පාර්ශ්වයන්ගෙන් කොමිස් මුදලක්ද ලැබේ. මෙලෙස බැතිමතුන් සංතෘප්තිමත් කිරීමේ විශේෂ හැකියාවන් ඇති තැරැව්කරුවන් සෙසු පිරිස් අබිබවා ශීඝ්‍රයෙන් ඉහළට පැමිණි අතර අද ඉන් සමහරකු යටතේ සේවක පිරිසක්ද කටයුතු කරති. එමෙන්ම ඔවුන්ගේ මෙම දක්ෂතාව මත අලුත් වන්දනාකරුවෝද ඔවුන් සොයා එති.

‘‘ගමට අහු නොවෙන්න තමයි මේ හැම දෙයක්ම කෙරෙන්න ඕනේ. මොකද ගමේ සමහරුන් බලාගෙන ඉන්නේ කොයි මොහොතේද කටුව ගහන්නේ කියලා. ඒ හින්දා පූජා වට්ටිය දෙනවා හැර අනික් ඒවා සප්ලයි කරගන්න වෙන්නේ පිටින්.’’ පහුගිය කාලයේ වන්දනාවේ ගිය අපගේ හිතවතකු සමග අතිශය සමීප වූ එහි එක් තැරැව්කරුවකු එසේ කියා තිබේ. එම හිතවතා කීයේ එම තැරැව්කරු පණදෙන්නට මෙන් තමන් හා කතා කළ බවය.

කතරගම පූජා නගරය ආශ්‍රිතව වන්දනාකරුවන් නිසා දිවි පැවැත්ම තහවුරු කරගනු ලබන විවිධ පාර්ශ්ව අතරේ මතුපිටින් පෙනෙන සමගිය ඇතුළතින් නැත. මතුපිටින් එකිනෙකා හා බොරුවට සිනාසී නෑකම්වලින් කතාකර ගන්නා ඔවුහු යටින් අනෙකාට දරුණු ලෙස කැපිලි කෙටිලි දමති. උගුල් අටවති. එමෙන්ම තම ප්‍රදේශයේ සැඟවුණු තම ඔවුන්ගේ සිත් තුළ ජීවත්වන සෙසු පිරිස් පිළිබඳ විරෝධය පිටතට ගෙන එමගින් සීතල යුද්ධයේ අභ්‍යන්තරය දැන ගැනීමට ඔවුනට සාවධානව සවන් දෙන පිටස්තරයකුට වුව බැරිකමක් නැත. අද වන විට කතරගම පුදබිම ආශ්‍රිතව ජීවනෝපායන් කරගත්තවුන්ගේ වෘත්තීය තරගය එතරම් ඉහළ නැග තිබේ.

කතරගම පුදබිම ආශ්‍රිතව පවත්නා මෙම සමාජ අර්බුදයේ එක් පැතිකඩක් පිටතට එළිදක්වමින් පසුගිය මාර්තු 28දා කතරගම නගරයේ වෙළෙඳ ප්‍රජාව කළු කොඩි ඔසවා නගරයේ හර්තාල් ව්‍යාපාරයක් දියත් කළහ. ඒ කතරගම පූජා භූමිය තුළට සෘජුවම රථවාහන ධාවනය කරවීමට එරෙහිවය.

‘‘කතරගම පූජා භූමියට වාහන ඇතුල් කරන්න පුළුවන් විශේෂ හේතුවක් මත විතරයි. දානයක් වගේ විශේෂ කටයුත්තකට බඩුබාහිරාදිය ගෙනියන වාහන, පයින් යන්න බැරි මහලු හරි රෝගී අය ගෙනියන වාහන වගේ දේවල්වලට විතරයි පාස් දෙන්නේ. මේ පාස් නිකුත් කරන බලය තියෙන්නේ කිරිවෙහෙරේ පන්සලට, මහ දේවාලෙට, අභිනවාරාම පන්සලට හරි පොලිසියට විතරයි. නමුත් අද කතරගමට එන වාහනවලින් එකට එකක් කෙළින්ම ඇතුළට යනවා. අපි දන්නේ නැහැ මේවාට කොහෙන් කවුරු පාස් දෙනවද? නැත්නම් පාස් පැටව් ගහනවද කියලා. පොලිසියෙන් කෙළින්ම ඒ වාහන ඇතුළට දානවා’’ ඔවුහු කියති.

එමෙන්ම වාහන අවසරපත කිනම් ක්‍රමයකින් හෝ හොර පාරෙන් පිටස්තරයන් අතට යාම හෝ හොර වාහන අවසර පත්‍ර මුද්‍රණය කිරීම සිදුවන බව පවසන කතරගම නගරයේ වෙළෙඳුන් පවසනුයේ වැඩි මුදලක් ගෙවා පූජා වට්ටියක් මිලදී ගන්නා වන්දනාකරුවන්ට මෙම වාහන අවසර පත්‍ර ලබාදෙන එම වෙළෙඳුන් හා තැරැව්කරුවන් ඔවුනට පෝලිමේ නොසිට එම පූජා වට්ටිය දෙවියන් හමුවම ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක්ද සකසා දෙන බවය. මෙසේ වාහන අසීමාන්තික ලෙස පූජා භූමිය තුළට පිවිසුවීම සහ පෝලිමෙන් පිට පැන පූජා වට්ටි පිදීමේ ක්‍රමය මගින් කතරගම දේවාලයේ ගෞරවයට විශාල හානියක් වන බව පෙන්වා දෙන කතරගම වෙළෙඳ ප්‍රජාව පවසනුයේ මේවායින් බොහොමයක් දේවාල පරිපාලනයේ අනුග්‍රහයෙන් සහ දැනුවත්කමින් සිදුවන ක්‍රියාවන් බවය. එහිද කිනම් හෝ සත්‍යයක් ඇතැයි බැලූ බැල්මට පෙනෙයි.

‘‘ඔය ටවුන් එකේ මුදලාලිලා කීපදෙනෙක් කිපිලා තියෙන්නේ කතරගම එන වන්දනාකාරයෝ ටවුන් එකේ කඩවලට නොඑන හින්දයි. ඒ හැරුණාම ගමේ මිනිස්සුන්ගේ ඇරෝවක්වත් වෙන මහ ලොකු දෙයක්වත් ඔතන නැහැ. මිනිස්සු කොළඹ වගේ දුර පළාත්වල ඉඳලා කතරගම එන්නේ කිරි වෙහෙරට, දේවාලෙට මිසක් ෂොපින් යන්න නෙවෙයි. ඒත්, ඒ අය හදන්නේ කතරගම එන වාහන එයාලගේ කඩවල් ඉස්සරහ නතර කරගෙන එයාලගේ බිස්නස් කරගන්න. ඕක හරියන වැඩක් නෙවෙයි.’’

කතරගම කිරිවෙහෙර අභියස පදික වෙළෙඳාමේ යෙදෙන සමහරෙක් එසේ කියති. එමෙන්ම ඔවුන් වැඩිදුරටත් පවසනුයේ කතරගම වන්දනාවේ පැමිණෙන්නවුන් හට අවශ්‍ය බොහෝ දේ පූජා භූමිය තුළදීම මිලට ගත හැකි පසුබිමක් තුළ අමුතුවෙන් කතරගම නගරයේ සැරිසරන්නට අවශ්‍ය නොවන බවය.

පසුගිය වසරේ අප්‍රේල් 03දා රාත්‍රි 10.40ට ලුණුගම්වෙහෙර, තණමල්විල, කිතුල්කොටේ වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත කතරගම පූජා භූමිය තුළ පිහිටි කඩවර දේවාලයේ කපු මහතාගේ ලැගුම් ගෙය තුළ අධිශීතකරණයක තිබී මුව මස් කිලෝ විස්සක් සමග මුවකුගේ හිසක් අත්අඩංගුවට ගැනීමට හැකි විය. එමෙන්ම ඒ මොහොතේ එම කපු මහතා අධික ලෙස බීමත්ව සිටි බවද පැවසෙන අතර ඔහු ඒ සම්බන්ධයෙන් පවසා ඇත්තේ දේව පූජාවක් සඳහා එම දඩ මස් තොගය තබාගත් බවය. එහෙත් සල්ලි යනු දෙවියන්ගේ මල්ලීය යන ප්‍රකාශය මත පිහිටා සිතන විට එය ඔහු ‘දෙවියන්ගේ මල්ලි’ සඳහා වන පූජාවක් සඳහා දෙවොල තුළ තබාගෙන සිටි බව පැහැදිලිය. එමෙන්ම කතරගම වන්දනාවේ එන බැතිමතුන්ට අවශ්‍ය සියලු දේම පූජා භූමිය තුළදී මිලදීගත හැකි බවට එක් පාර්ශ්වයක් පවසන ප්‍රකාශයේද කිසියම් සත්‍යයක් තිබේ. අවසානයේ හෙළි වූයේ එසේ මස්කරන ලද මුවා පුදබිම සමීපයේ සැරිසැරූ ජනතාවට තරමක් හීලෑ එකකු බවය.

‘‘අද වෙනකොට මේ කතරගම සිද්ධ වෙන හැම දෙයක්ම සල්ලි මත පදනම් වෙනවා. දේවාලයේ පරිපාලනමය කටයුතු සම්බන්ධයෙන් ප්‍රබල, සෘජු තීරණ ගන්න කවුරුවත් නැහැ. කපු මහත්වරුන්ගේ පවුලක් දෙකක් තමයි බලපුළුවන්කාරකම්වලින් මෙතැන හැම දෙයක්ම මෙහෙයවන්නේ. අනික් කපු මහත්තුරු වගේම දේවාලයට සම්බන්ධ හැමෝමත් ගමේ මිනිස්සුත් මේ දේවල් ඔහේ සිද්ධ වෙන්න ඇරලා කටවල් බලියාගෙන බලාගෙන ඉන්නවා. පහුගිය කාලේ මෙහේ හිටපු බස්නායක නිලමේ ඩී.පී. කුමාරගේ මහත්තයා තමන්ගේ තනතුරේ බලය යොදලා මේ හැම දෙයක්ම විධිමත් විදිහට සකස් කරන්න කටයුතු කරන්න හදනකොටම ඉහළින් ආපු නියෝගයකින් එතුමගේ බස්නායක පදවියත් අහෝසි වුණා. මම හිතන්නේ එතුමා දැන් නඩුවක් පවරලා තියෙන්නේ ඒ තනතුරින් පහකිරීම සම්බන්ධයෙන්’’ කතරගම දේවාලයට සම්බන්ධ තවත් පාර්ශ්වයක් නියෝජනය කරන්නෙක් එසේ කීය.

එමෙන්ම කතරගම දේවාලයේ පාරම්පරික කපු මහතකු වන රංජිත් පද්මසිරි අදිකාරම් මහතා තමන්ට දේවාල පරිපාලනයෙන් සිදුවූ අසාධාරණයක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ ගල්කිස්ස දිසා අධිකරණයේ ගොනුකොට තිබූ පෙත්සමක් ප්‍රකාරව වසරකට මාසයක කාලයක් දේවාලයේ තේවා කටයුතු ඔහුට භාරදෙන ලෙස අධිකරණයෙන් නිකුත් කරන ලද රිට් ආඥාව භාර ගැනීමට දේවාල පාර්ශ්වයෙන් කිසිවකු ඉදිරිපත් නොවීම මත එය කතරගම දේවාලයේ බස්නායක නිල නිවසේ දොරෙහි අලවා යෑමට පිස්කල්වරයාට සිදුවිය. එහෙත් එම අධිකරණ නියෝගයද තවම ක්‍රියාත්මක වී ඇති බවක් නොපෙනෙයි.

මේ අතර කතරගම පුදබිම මුල් කොට පවත්නා මෙම අර්බුදය කෙතරම් ප්‍රචණ්ඩකාරීද යත් වසරේ ජුනි 12 දින රාත්‍රී 10.00ට පමණ කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්න හිමිපාණන් දරුණු වෙඩි ප්‍රහාරයකට ලක්විය. පසුව අනාවරණය වූයේ එම වෙඩි තැබීම කතරගම කිරිවෙහෙරේ මහසෙන් දේවාලයට සම්බන්ධ පාර්ශ්වයක් විසින් සිදුකරන ලද්දක් බවය. ඊට හේතුව එම දේවාලයේ ආදායම් එම පාර්ශ්වයට අහිමි වීම බවද කියනු ලැබේ.

සල්ලි දෙවියන්ගේ මල්ලී යන පැරණි කියුම උඩු යටිකුරු කරමින් සල්ලි දෙවියන්ගේ අයියා හෝ බාප්පා යන ශෝචනීය යථාර්ථය කතරගමින් මනාව එළිදැක්වෙන මෙවන් පසුබිමක කතරගම දෙවියන් අපට කෙසේ වෙතත් අප කතරගම දෙවියන්ට පිහිට විය යුතු කාලයක් එළැඹ ඇතැයි යමෙකුට සිතෙන්නට පුළුවන. එමෙන්ම සාමාන්‍ය බැතිමතුන්ගේ කෙසේ වෙතත් කතරගම පුදබිම ආශ්‍රිත විවිධ පුද්ගලයන්ගේ ගැටලු විසඳීමට නොහැකි දෙවි කෙනෙකුන් කෙරෙහි ජනතා විශ්වාසය බරපතළ ලෙස බිඳී යාමටද පුළුවන. එබැවින් කතරගමට පිටතින් පැමිණෙන බැතිමතුන් නගන ‘හරෝ හරා’ නාදය අබිබවා කතරගම පුදබිම තුළින්ම නැගෙන ‘අරූ හොරා’ නාදය තව තවත් ඉහළ නැංවීම පොදු ජන සමාජය තුළ ගොඩනැගී ඇති කතරගම ප්‍රතිරූපය කෙරෙහි කෙසේ බලපෑහැකි දැයි මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය දයා අමරසේකරයන්ගෙන් විමසා සිටියෙමි.

‘‘ඔය වගේ තත්ත්වයක් යටතේ බැතිමතුන්ගේ සිත් තුළින් පැන නැගෙන මූලික විශ්වාස හර පද්ධතිය බිඳ වැටෙනවාට වඩා සිදුවන්නේ ඒ සම්බන්ධ බාහිර ආකෘතිය පිළිබඳව කලකිරීමක් ඇතිවීමයි. ඒ වගේ තත්ත්වයක් යටතේ බොහෝදෙනකු දෙවියන්ගේ බලයක් නැහැ කියනවාට වඩා සිතන්නේ දැන් දෙවියන් කතරගම නැතුව ඇති. හිටියා නම් ඔහොම දේවල් වෙන්නේ නැහැ වගේ දෙයක් තමයි. අන්න ඒ හින්දම තමයි මේ වෙනකොට යාල ජාතික වනෝද්‍යානයේ කුඹුක්කන්ඔය කිට්ටුව මහ කැලේ මැද්දේ තියෙන කැබිලිත්ත දේවාලය කතරගම දෙවියන්ගේ අනුහස් තියෙන පුදබිමක් හැටියට ශීඝ්‍රයෙන් ජන විඥානයට පිවිසෙමින් තියෙන්නේ. ඒ අනුව ඔය වගේ කුලල්කාගැනීම්වලින් වර්තමානයේ කතරගම සම්බන්ධ ප්‍රතිරූපය බිඳවැටෙන කොට කැබිලිත්තේ ප්‍රතිරූපය ශීඝ්‍රයෙන් ඉහළ නැගීම සාමාන්‍ය සංසිද්ධියක්’’ මහාචාර්ය අමරසේකර කීය.

තිලක් සේනාසිංහ