විශේෂාංග

කතරගමට දඩමස් සපයන අමරවැවේ දඩබිමට ගියෙමු

තිස්සමහාරාම රන්මිණිතැන්න ගොවි ගම්මානයේ සිට කාවන්තිස්සපුර ගොවි ගම්මානයට මායිම්ව උතුරු දෙසින් කතරගම වැඩිහිටිකන්ද කඳුවැටිය දක්වාත්, ඊසාන හා නැගෙනහිර දෙසින් යාල ජාතික වනෝද්‍යානයට මායිම්ව විහිදී ගිය රක්ෂිතය වනාන්තරයකි.

එහි වෙසෙන වන සතුන් මෙන්ම වනය ද ආරක්ෂා කිරීමට රජය මගින් පත්කරන ලද නිලධාරින් රැසකි. එම නිලධාරින් අතර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හා වනජිවි දෙපාර්තමේන්තුවෙහි නිලධාරින්ට නිල වශයෙන් බලය හිමිව තිබේ. ඔවුනට රජය මගින් මාසිකව වැටුපක්ද ගෙවනු ලබන්නේ මෙම වනය හා වන සතුන් ආරක්ෂා කිරීමේ රාජකාරිය වෙනුවෙනි.

නීතිය රකින මෙම නිලධාරින් හැරුණු විට, ගව පට්ටිකරුවන්ට මෙම වන රක්ෂිතයට ඇතුළුවීමේ විශේෂ අවසරයක් රජය මගින් ලබා දී තිබේ. ඒ ලුණුගම්වෙහෙර ව්‍යාපාරය ආරම්භ වීමත් සමග කිරි ගොවියන්ට ගව පට්ටි පවත්වාගෙන යෑම සඳහා තණ බිමක් ලෙස මෙම වන රක්ෂිතයෙන් හෙක්ටයාර් එක්දහස් පන්සියයක බිම් ප්‍රමාණයක් රජය මගින් ලබා දීමත් සමග වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පවතින නීති රීතිවලට යටත්ව ඉඩමෙහි අයිතිය ද තවදුරටත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව තබා ගනිමිනි. ගව පට්ටිකරුවන්ට ලබා දී ඇති එම තණබිම හඳුන්වනු ලබන්නේ අමරවැව යනුවෙනි. එහෙත් දැන් දැන් අමරවැවේ වෙන්නේ ජර මර වැඩය.

අමරවැව යනු අද කිරිගව පාලනයට වෙන්කළ බිමක් නොව දඩයම්කරුවන්ගේ දඩ බිමක් යැයි කිවොත් එහි වරදක් නැත. ලොකු කුඩා වන සතුන් නිතර ගැවසෙන මෙම වන රක්ෂිතය හා යාල ජාතික වනෝද්‍යානය වෙන්ව ඇත්තේ විදුලි වැටකිනි.මේ කැලේදී හමුවන්නේ අලි, කොටි. වළසුන් හා වල් ඌරන්, ඉත්තෑවන්, මුවන්ය. මෙම වනාන්තරයේ සිටින බොහෝ වන සතුන් මේ දිනවල ලඳු කැලෑ ප්‍රදේශයෙහි සැරි සරන්නේ පිපාසෙට දිය බිඳක් සොයාගෙනය. මෙසේ දිය පොදක් සොයාගෙන එන මෙම වන සතුන් මරා මස් කන්නට කැලෑවේ හැම තැනම මර උගුල්ය. කම්බි මළ පුඩු උගුල්, බෙහෙත් කොටන කඳන් තුවක්කවලින්, අටවන ලද මරු වැල්, මෙන්ම වන සතුන් ආහාරයට ගන්නා වට්ටක්කා, පිපිඤ්ඤා, පත්තක්කා හා අළුපුහුල් ගෙඩි තුළ සකස්කරන ලද හක්ක පටස් වෙඩි වනයේ කොතැන තිබේ දැයි දන්නේ මෙම මර උගුල් අටවපු දඩයම්කරුවන් පමණි.

වනසතුන් දඩයම් කිරීම ජිවනෝපාය කරගත් සියයකට ආසන්න පිරිසක් තිස්සමහරාම, කතරගම හා ලුණුගම්වෙහෙර ප්‍රදේශයෙහි සිටිති. ඔවුන්ගෙන් බොහෝ පිරිසක් වන සතුන් දඩයම් කිරීමට තෝරා ගනු ලබන්නේ මෙම අමරවැව වන රක්ෂිත ප්‍රදේශයයි. ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ කෙටි මාර්ග ඔස්සේ වනයට ඇතුළු වීමට තිබෙන හැකියාව හා නිදහසේ ඇවිද වන සතුන් දඩයම් කිරීමේ හැකියාව මෙම වනය තුළ තිබෙන බැවිනි.මේ දඩයම්කරුවන්ගේ දඩමස් යන්නේ කතරගම හෝටල්වලටය. කතරගම එන ඇතැම් වන්දනාකරුවන්ගෙන් දඩමස්වලට ඇත්තේ ඉහළ ඉල්ලුමකි. මෙවැනිම ඉහළ ඉල්ලුමක් ප්‍රදේශයෙහි ඇතැම් පිරිස් තුළද පවති. මාළු මිල ඉහළ යෑමත් සමග ඊට සමාන මුදලකට දඩමස් පහසුවෙන් ගැනීමට හැකි වීමත් ඊට ප්‍රධානතම හේතුව විය.

දඩයම්කරුවන්ගෙන් දඩමස් ලබා ගෙන විකුණන වෙනමම පිරිසක් සිටිති. රුපියල් හාරසියකට වැනි මුදලකට මිලයට ගනු ලබන මස් කිලෝවක් ඔවුන් විකුණනු ලබන්නේ රුපියල් පන්සිය පනහත්. හයසිය පනහත් වැනි මුදලකටය. මේ අනුව දඩයම්කරුවකු වන සතෙකු මරා මස්කර විකිණීමෙන් අවම වශයෙන් රුපියල් විසි දහසක, තිස් දහසක මුදලක් උපයා ගන්නා අතර, දඩමස් අලෙවිකරන පුද්ගලයකු දිනකට හම්බුකරන අඩුම මුදල රුපියල් හත්සිය පනහකි. අැතැම් දිනවල ඔවුහු පහළොස් දහසක මුදලක් උපයා ගනිති. එහෙත්…. සංචාරක හෝටල් හිමියකු එක් දඩමස් කිලෝවකින් රුපියල් හත් දහසකට අධික මුදලක් උපයා ගන්නේ මත් පැන් පානය කරන්නට එන පිරිසට කටගැස්මට විවිධ ක්‍රමවලට දඩමස් පිළියල කර දීමෙනි. මෙවැනි ස්ථාන තිස්සමහරාම, දෙබරවැව, කිරින්ද, වීරවිල, මෙන්ම කතරගම බහුලය.

අමරවැව වන රක්ෂිතය තුළ දඩයම්කරුවන් අටවා තිබු මළ පුඩුවලට හසුව මිය ගිය අසරණ වන සතුන් මෙන්ම ගවයන් ගේ සිරුර වනය තුළ අපට දැකගත හැකිය. එහෙත් වන සතුන් ආරක්ෂා කරන්නට සිටින නිලධාරින් මෙය නොදැකීම පුදුමයට කරුණකි.

තම ජිවනෝපාය ලෙස දෛනිකව දඩයමේ යෙදෙන පිරිස් විවිධ ක්‍රම මගින් වන සතුන් දඩයම් කරනු ලබන බවත්, කම්බි මළපුඩු තබා වන සතුන් දඩයම් කරන එක් පුද්ගලයකු කම්බි මළපුඩු සීයක් එකසිය විසි පහක් විතර එක වර අටවන බවත් වන රක්ෂිත ආසන්නයේ පිහිටි කාවන්තිස්සපුර ප්‍රදේශයෙහි පුද්ගලයකු අපට කීවේය.. පිපාසෙට දිය බිඳක් සොයාගෙන එන වනසතුන්ගෙන් දිනකට හතර පස්දෙනකු වත් එකවර මේ කම්බි මළ පුඩුවලට හසු කර ගැනීම මෙහි අරමුණ විය.. එහෙත් මෙම කම්බි මළ පුඩුවලට හසුවන හැම සතෙකුම මස්කර රැගෙන ගොස් නැති බව කම්බි මළතුළ සිරවී මියගොස් සිටින වන සතුන්ගේ මළ කුණුවලින් පැහැදිලි විය. අපට මග පෙන්වන්නට ගිය අයකු පැවැසුවේ මංගල සාදයකට හෝ සංචාරක හෝටල්වලට ඉල්ලුමක් නැති දිනවලට මළපුඩුවල හිරවී මියයන සතුන් ගේ සිරුරු එලසම තිබෙන බවය.

කතරගම වන්දනාවේ එන පිරිස් අතරින් මස් මාංශ නොකා පේවිල කතරගම දෙවියන් වැඳ පුදාගන්නට එන පිරිස්ද නැතිවාම නොවේ. එහෙත්.. බොහෝ පිරිස් කතරගම එන්නේ විනෝදයටය. මෙම අය අතරින් වැඩිම පිරිසක් පිරිමින්ය. ඔවුන්ට දඩමස් පිළියල කර දෙන හෝටල් හිමියන් දඩමස් ගෙන්වා ගන්නේ දුරකථන පණිවුඩ මගිනි. දඩමස් ජාවාරම්කරුවන් හා හෝටල් හිමිකරුවන් අතර පවතිනුයේ හොඳ සම්බන්ධතාවයකි.

කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය කාලයෙහි රජය පනවා තිබු ඇඳිරි නීතිය නිසා වන්දනාකරුවන් කතරගම නොපැමිණීමය. මේ නිසා දඩයම්කරුවන්ගේ ආදායම් මාර්ගය අහිමි වුවත්, වන්දනාකරුවන් ගේ පැමිණීම යළි ආරම්භ වීමත් සමග දඩමස් ජාවාරම යළි ජයටම පවත්වාගෙන යනු ලබති. අමරවැව වන රක්ෂිතයෙහි දක්නට ලැබෙන කම්බි මළපුඩුවලට හසුවී මිය ගිය වනසතුන්ගේ මළකුණු මෙන්ම ඇටකටුවලින් පැහැදිලි වනුයේ ඇතැම් වනසතුන් කම්බි මළවලට හසු වී තිබුණේ උන්ගේ කකුල්වලිනි. එම වන සතුන් කන්න බොන්න නැතිව දවස් ගාණක් දුක්විඳ විඳ මියගොස් ඇති බව පැහැදිලි විය.

අපිට මිය ගිය ඉත්තෑවන් කිහිප දෙනෙකුගේම සිරුරු හමු විය. එහෙත් එම එකම ඉත්තෑවෙක් වත් මළ පුඩුවලට හසුව මිය ගිය සතුන් නොවෙයි. උන් මිය ගොස් තිබුණේ වෙඩි වැදීමෙනි….. දඩයම්කරුවන්ගේ තුවක්කු බටයට ගොදුරු වූ මෙම සතුන් වෙඩි පහර කාගෙන ගොස් අසල කැලෑ රොදක රිංගා මියගොස් තිබුණි. තැන තැන මියගිය මී ගවයින් පස් හය දෙනෙකු ගේ සිරුරු හමු විය. එම සිරුරු අතර මීට දින දෙක තුනකට ඉහත මිය ගිය මී ගවයින් තිදෙනෙකුගේ සිරුරු ද විය. ගෙලෙන් සිරව සිටි එම හරකුන් කම්බි මළ පුඩු වෙන් බේරෙන්නට කෙතරම් වෙහෙසක් දරා ඇද්දැයි තේරුම් ගන්නට එහි අවට පොඩි වී ගිය කටු පඳුරුවලින් පැහැදිලි විය.

මිය ගිය මී ගවයකුගේ ඇටකටු ගොඩකි, මන්දකට හසුව මියගොස් සිටි එම මීගවයාගේ පාදයේ මන්ද එලසම තිබුණි. පිපාසයට දිය පොදක් නැතිව, කුසට ආහාර නොමැතිව මළ පුඩුවේ සිරවී සති ගණනක් දුක් විඳ එම ගවයා මිය යන්නට ඇතැයි සිතිය හැකිය.

දඩයම්කරුවන්ගේ තුවක්කු බටයට හා මළ පුඩුවලට හසුව මිය ගිය මුවන් දෙදෙනෙකුගේ මුව හම් දෙකක් ස්ථාන දෙකකදී හමුවිය. වන රක්ෂිතයෙහි පෑලැසි ආශ්‍රිතව පිහිටි ලඳු කැලෑ ප්‍රදේශ කිහිපයකදීම මළ පුඩුවලට හසුව මියගිය අඟ මුවන් තිදෙනෙකුගේ සිරුරු දුටුවෙමු. ඇතැම් සිරුරු ඇට සැකිලි බවට පත්ව තිබුණි.

මෙසේ මිය ගිය වනසතුන් අතර හක්ක පටස්වලට හසුව මිය ගොස් සිටි එම වල් ඌරාගේ මළ කුණ ද විය. මුඛ ප්‍රදේශය සහමුලින්ම විනාශ වී ගොස් තිබුණි. වල් ඌරා වැටී මිය ගොස් සිටි ස්ථානයට මීටර් පනහක් පමණ දුරින් සුනු විසුනු වී ගිය වට්ටක්කා ගෙඩියක කැබැලි දක්නට විය. මීට දින කිහිපටකට පෙර අමරවැව වැව් තාවුල්ල ඉහත්තෑවේදී ද මේ ආකාරයට හක්කපටස්වලට ගොදුරු වු ගෝනෙකුගේ සිරුරක් තිබුණි.

මෙම දඩයම්කරුවන් නිසා ‍ලොකුම අමාරුවේ වැටී ඇත්තේ අමර වැව කිරි ගොවීන්ය. මෙම වන රක්ෂිතයට අයත් රන්මිණිතැන්න ගම්මානය ආසන්න කැලෑ ප්‍රදේශයෙහි මීට දින කිහිපයකට පෙර මී ගවයෙකු මළ පුඩුවකට හසුව මිය ගොස් තිබුණි. එම මී ගව කිරි දෙනගේ නළල හා ගෙල ප්‍රදේශය තදවන ලෙස මළ පුඩුව හිරවී තිබුණි. ඉතාමත්ව පෘෂ්ටිමත්ව හොඳින් වැඩී සිටී එම කිරිගව දෙනගේ වෙළෙඳපොළේ වටිනාකම රුපියල් අසු දහස ඉක්මවයි.

‘‘වැඩක් නැහැ මේ අවනඩුව අපි කාට කියන්නද ගම්මාන ආශ්‍රිතව අපිට හරක් හදන්න දෙන්නෙත් නැහැ වැට කඩොළු කඩාගෙන ගිහිල්ල හරක් වගාව කනවයි කියලා, කැලේ තියාගෙන හරක් ටික හදා ගන්න දෙන්නෙත් නැහැ. දඩයම්කාරයෝ හැම තැනම කම්බි මළ පුඩු තියලා, දවසින් දවස අපේ හරක් ටික අපිට නැති වෙනවා, දැන් අපිට සිද්ධ වෙලා තියෙන්නේ හරක් ටික විකුණල දමලා කුලී වැඩක් හරි කරගෙන ජිවත් වෙන්නයි’’……. කිරි ‍ගොවියෝ කියති.

මේ වන විට ඔහුට අයත් කිරිගවයින් පහළොස් දෙනෙකු විතර මෙවැන කම්බි මළ පුඩුවලට හසුව මිය ගොස් ඇති බව අනාවරණය විය. අමරවැව වන රක්ෂිතයෙහි හැම කිරි පට්ටිකරුවකුටම මුහුණ පෑමට සිදුව ඇති ඉරණම මෙය විය.

ගව හිමියන්ට ගවපට්ටි පවත්වාගෙන යෑමට රජය මගින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු කැලෑවෙන් හෙක්ටයාර් එක්දහස් පන්සියයක ප්‍රදේශයක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති රීතිවලට යටත්ව පවරා දී තිබුණට මායිම් ලකුණු කර දීමක් සිදුව නැති බව මාගම්පුර ගවහිමි සංගමයෙහි ලේකම් හේමපාල මුතුමාල කියන්නේය. මේ නිසා කැලේට යන්නේ කිරි ගොවියා දැයි එසේ නැතිනම් දඩක්කරු දැයි හඳුනා ගන්නට බැරිය.