අතන මෙතන

කඩේ ගිහින් අහුවෙන්න එපා

‘‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කවුරු හරි ජාතික ආණ්ඩුවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළොත් ඒකට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නවා” දයාසිරි පැවසීය.

‘‘ඒක හොඳයි. ඒ කාරණය සියලුම මන්ත්‍රීවරුන්ට ලිඛිතව දැනුම් දෙන්න. ජනාධිපතිවරයා හමුවුණාම මේ ගැන වැඩිදුරට කතා කරමු” මහින්ද රාජපක්ෂ කීවේය.

ජාතික ආණ්ඩු යෝජනාව පාර්ලිමේන්තුවට එන විට විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ සිටිය යුතු බවට විපක්ෂය තීන්දු කර තිබුණි.  ඒ අනුව විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගෙන්වා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක විය. මෙහෙයුමේ නිරතව සිටියවුන්ට ප්‍රසන්න රණවීර සහ ප්‍රසන්න රණතුංග සිය පවුලේ උදවියත් සමඟ ඉන්දියාවේ තිරුපති සහ කුජපති වන්දනාවේ ගොස් සිටින බව දැනගන්නට ලැබුණි. එහෙත් ප්‍රසන්න සම්බන්ධ කර ගැනීමේ ප්‍රායෝගික ගැටලුවක් මතුව තිබුණි. පණිවිඩය ලබා දී තිබුණේ ප්‍රසන්නගේ කාර්යාලයටය.

කාර්යාලයේ අයට ප්‍රසන්න සම්බන්ධ කර ගන්නට ලැබුණේ බදාදා පාන්දරය.
වහාම ප්‍රසන්න නැවත ලංකාව බලා ඒම සඳහා කටයුතු සූදානම් කර ගත්තේය. මෙරටට පැමිණෙන්නට සූදානම් වන ප්‍රසන්නට මහින්දගෙන් ඇමතුමක් ලැබුණේය.  ‘‘මොකක්ද ප්‍රසන්න කරන්න යන්නේ? මහින්ද ඇසුවේය.  ‘‘මේ එන්න ලැහැස්ති වෙන්නේ සර්” ප්‍රසන්න උත්තර දුන්නේය.  ”ඒක හොඳයි. මේ වගේ යෝජනා එන කොට ප්‍රසන්නලා පාර්ලිමේන්තුවේ ඉන්නම ඕනේ” මහින්ද පැවසීය.

ඒ අනුව ආපසු පැමිණීමට සූදානම්ව ප්‍රසන්න සහ රණවීර චෙන්නායි ගුවන්තොටු පොළට ආවේ බ්‍රහස්පතින්දා උදෑසන 7.30ටය. ඒ වන විට තත්ත්වය වෙනස්ව තිබුණේ එදින ජාතික ආණ්ඩු යෝජනාව විවාදයට නොගෙන සිටීමට ආණ්ඩුව තීන්දු කර තිබීම නිසාය. මේ බව නොදැන සිටි ප්‍රසන්න ඒ වන විටත් සිටියේ ගුවන්තොටු පොළේය.

නැවත වරක් ප්‍රසන්න ඇමතූ මහින්ද කීවේ ආණ්ඩුව යෝජනාව අකුලාගෙන ඇති නිසා කලබලයෙන් පැමිණීම අනවශ්‍ය බවය.  ”ප්‍රසන්න ගිය වැඩ ටික කරගෙන එන්න. ආණ්ඩුව යෝජනාව අකුලා ගත්තා” විපක්ෂ නායකවරයා පැවසීය.  ”නෑ සර් ආපු ගමන මම එන්නම්. ආණ්ඩුව විශ්වාස කරන්න බැහැ.

කරන්නේ නැහැ කියන දේ තමයි ආණ්ඩුව නිතරම කරන්නේ. මම ආපහු ගිය වෙලාවක ඕක ආපහු ගෙනාවොත් සේරම ඉවරයි. ඒ හින්දා මම දැන් එනවා” ප්‍රසන්න පැවසීය.  ප්‍රසන්න ගුවන්තොටේ සිට කෙළින්ම ගියේ පාර්ලිමේන්තුවටය. ප්‍රසන්න දුටු දිනේෂ්ට අදහාගත නොහැකි විය. ”ඇයි ඔයා ආවේ. මම පණිවිඩයක් තිබ්බෙ පරක්කු වුණාට කමක් නැහැ කියලා” දිනේෂ් පැවසීය. ‘‘මට මහින්ද මහත්තයත් කතා කළා.

හැබැයි මම එන්න ආපු ගමන ආවා. මොකද මේක එකක් කියලා තව එකක් කරන ආණ්ඩුවක්. මේ අය විශ්වාස නැති නිසා මම ආවා” ප්‍රසන්න පැවසීය.