විශේෂාංග

කට පරිස්සමෙන් එදා වට වන්දනාවේ ගිය හැටි

වටවන්දනාව යන නම ඇසෙත්ම අද බොහෝ දෙනකුගේ සිහියට නැංවෙනුයේ යල් පැන ගිය සාම්ප්‍රදායික ගැමි සංස්කෘතික අංගයකි. දිවයිනේ පැරණි බෞද්ධ සිද්ධස්ථාන වන්දනා කරමින් සතියක් හෝ ඊට වැඩි කාලයක් ගත කරමින් යෙදුණු මෙම පැරණි වට වන්දනා ගමන අද සතියේ ‘ට්‍රිප්’ එකක් බවට විපරිණාමය වී ඇත. එහෙත් මානව, සමාජ විද්‍යාත්මක කෝණයෙන් බලන විට මෙම වට වන්දනා ගමන හුදු ‘ට්‍රිප්’ එකක් නොවේ.

වැව යනු බැලූ බැල්මට පෙනෙන දියතලයකි. නමුදු වැව යන්න අර්ථ විග්‍රහ කරද්දී දියතලයෙන් ඔබ්බට ගිය බොහෝ අංග එහි තිබේ. ඒ අර්ථකථනවලට අනුව වැව යනු වැව් බැම්ම, බිසෝකොටුව, සොරොව්ව, රළපනාව, ඇතුළුවාන, පිටවාන, තාවුල්ල, ඉහත්තාව ආදී අංගවලින් යුතු සංයුතියකි. මෙම ට්‍රිප් එක සහ වන්දනා ගමන අතර ඇත්තේද එබඳු වෙනසකි. නමුදු එම සාම්ප්‍රදායික ගැමි සංස්කෘතික අංගය තුළ ගැබ්වුණු දාර්ශනික සහ මනෝ විද්‍යාත්මක වටිනාකම නූතන සමාජය වෙතින් මුළුමනින් සැඟවී යමින් පවතී. ඊට හේතුව සාම්ප්‍රදායිකත්වය යනු හුදෙක් පිටුදැකිය යුත්තක්ය යන මිථ්‍යාව ශීඝ්‍රයෙන් වත්මන් අධි පරිභෝජනවාදී සමාජය පුරා පැතිර යාමය.

පස්කම් සැප පිළිබඳව විස්තර කරන බුදුන්වහන්සේ ලෞකික ජීවිත ගතකරන්නවුන් හට ඒවායේ යම් ආස්වාදයක් ඇති බව පිළිගනියි. එහෙත් උන්වහන්සේ ඒ සමගම දේශනා කරනුයේ එම ආස්වාදයට වඩා ආදීනවය බලවත් බවකි. එනිසා එම ආදීනවයෙන් අත් විඳීමට සිදුවන දුකින් මිදීමේ එකම ක්‍රමෝපාය එම ආස්වාදයට මුල්වන පස්කම් සැප අතහැර දැමීම බව උන්වහන්සේගේ දේශනාවය. එම අතහැර දැමීම නිස්සරණය සහ පස්කම් සුවයෙන් දුරස් වීම යන අරුත ගෙනෙන නෙක්ඛම්ම හෙවත් ‘නික්මීම’ ලෙසින් බුදුදහමේ එය විස්තර කෙරේ. මෙම නික්මීම ජීවිත කාලය පුරාවට බලපාන අයුරින් සේම වරින් වර ජීවිතයට සම්බන්ධ කර ගනිමින් ප්‍රගුණ කළ හැකි චිත්ත දමනය මුල් කරගත් සදාචාරාත්මක ශික්ෂා මාර්ගයක් බව බුදුදහමෙහි සඳහන්ය.

ඉහත සඳහන් විවරණය තරමක් බැරෑරුම් සහගත යැයි යමෙකුට හැඟී යා හැක. නමුදු අපගේ දේශීය බෞද්ධ සංස්කෘතියට අයත් වට වන්දනාව තුළ ගැබ් වූ දාර්ශනික, ආචාර විද්‍යාත්මක, සමාජ විද්‍යාත්මක හරය එයයි. ඒ අනුව අප රටේ ජන සංස්කෘතිය හා සබැඳුණු වටවන්දනාව ‘අපේ පැරණි ගමේ ගොඩේ උන්දලාගේ මෝඩ ට්‍රිප් එකක්’ නොවන බව විශේෂයෙන් අවධාරණය කළ යුතුය.

අතීතයේ මෙම වටවන්දනා ගමන් යොදාගන්නා ලද්දේ වෙසක්, පොසොන්, ඇසළ ආදී බෞද්ධාගමික වටිනාකම් සහිත වකවානුවය. එමෙන්ම අද මෙන් ප්‍රවාහන සහ මහාමාර්ග පහසුකම් නොතිබූ අතීතයේ ගැමියන් මෙම වන්දනා ගමන්වල යෙදෙන ලද්දේ ගැල් මගින් හෝ පා ගමනිනි. එනිසා මෙම එක් වටවන්දනා ගමනක් සඳහා ඇතැම් විට මාසයක් හෝ හමාරක් ගත වූ බව පෙනේ.

වර්තමානයේ මෙම වටවන්දනාව යන නම හා ප්‍රධාන වශයෙන් බැඳී පවතිනුයේ අනුරාධපුර පූජා නගරයයි. වටවන්දනා පාර යනුවෙන් සඳහන් මාර්ගෝපදේශක පුවරු අද ද එහි දක්නට ලැබේ. එහෙත් අතීත ජන සමාජයේ වටවන්දනාව අනුරාධපුරයට පමණක් සීමා නොවූ අතර, එහි නිර්වචනය ප්‍රාදේශීය වශයෙන් වෙනස් වූ බව පැහැදිලිය. මේ අතර ‘වටබාගේ’ නමින් හඳුන්වන වන්දනා ගමන් වර්ගයක්ද එකල තිබූ බව පෙනෙයි.

අතීත ගැමියා මෙම වටවන්දනාව අරඹන ලද්දේ ‘පේවීම’ නම් ක්‍රියාවෙනි. පේවීම යන්න ශීල සමාදානය වන අරුත සහිත ‘පෙහෙ’ යන්නෙන් ගැමි වහරට එක්වූවකි. ක්‍රිස්තු වර්ෂ දොළොස්වැනි සියවසේදී පමණ ලියැවුණු බව සැලකෙන ‘බුත්සරණ’ කෘතියට අනුව සැරසීම, සූදානම් වීම ආදී අරුත් පළ කරනු පිණිසද මෙම ‘පෙහෙ’ යන වදන යොදා තිබේ.

මෙම වටවන්දනාවල යෙදෙන කණ්ඩායම හඳුන්වනුයේ ‘නඩය’ යනුවෙනි. මෙය ‘පා ගමන’ යන සිංහල අරුත සහිත ‘නඩෙයි’ යන දෙමළ වදනට අනුව සිංහල ගැමි වහරේ එන වදනකි.

එලෙස සංවිධානය කෙරෙන සෑම වටවන්දනා ගමනක් සඳහාම ප්‍රධානියෙක් සිටියි. ඔහු හැඳින්වෙනුයේ නඩේ ගුරා, නඩේ ගුරු යන නම්වලිනි. වන්දනා ගමනකදී මෙම නඩේ ගුරා සතු බලය සමුද්‍ර යාත්‍රාවකදී නෞකාධිපතියකුගේ බලයට අතිශයින් සමානය. තම නඩය සමග යන වන්දනා ගමනේදී වැඳුම් පිදුම් කරනු ලබන පූජනීය ස්ථාන, ඒවායේ ශාසනික සහ ඓතිහාසික වටිනාකම්, ඒවා කරා ළංවිය හැකි පහසු ගමන් මාර්ග ආදී මේ සියල්ල නඩේ ගුරාගේ දැනුම් කෝෂයෙහි තිබිය යුතුය. බොහෝ විට නඩේ ගුරගේ භූමිකාව ඉටු කරනුයේ දැනුම්, අත්දැකීම් ආදියෙන් පරිණත වැඩිහිටියෙකි.
එමෙන්ම මෙම වන්දනා ගමනේදී නඩයට මුහුණ පෑමට සිදුවන දේශගුණික කාලගුණික බලපෑම්, වන සත්ත්ව සහ සොර සතුරු උවදුරු පිළිබඳවද මනා දැනීමක් මෙම නඩේ ගුරා සතු විය යුතු අතර, එම නඩය වන්දනාවේ යෙදෙන අතර රාත්‍රී නවාතැන් ගත යුතු ස්ථාන පිළිබඳව ඔහු සැලකිල්ලට ගත යුත්තේ ඒ අනුවය.

මෙම නඩේ ගුරා වෙත පැවරෙන තවත් ප්‍රබලතම වගකීමක් වනුයේ එම නඩයේ සියලු දෙනාගේම කායික, මානසික සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව වෙන් වෙන් වශයෙන් අවබෝධයකින් යුතුව ගමන සංවිධානය කිරීමය. ඊට හේතුව එම වන්දනා ගමන සම්බන්ධයෙන් නඩයේ ඇත්තන්ට සිදුවන කුමන හෝ උවදුරක් සම්බන්ධයෙන් වුව සෘජු හෝ වක්‍ර වගකීමක් ඔහු වෙත පැවරෙන බැවිනි. ඒ අනුව හදිසි ප්‍රථමාධාර සහ අත්බෙහෙත් ආදිය පිළිබඳ දැනුමක්ද ඔහු සතු විය යුතුය.

මෙම වන්දනා ගමනට පෙර එළැඹෙන පොහොය දිනයකදී නඩේ ගුරාගේ ප්‍රධානත්වයෙන් යුතුව ගමේ පන්සලට රැස්වන පිරිස එම පේවීමේ ක්‍රියාව අරඹති. එය බොහෝ විට ශීල සමාදානයකිනි. එමෙන්ම එම වන්දනා ගමනේදී නඩයට දේවාරක්ෂාව සලසන මෙන් ඉල්ලා දෙවියන්ට බාරහාර වී පඬුරු ගැට ගැසීමක්ද මෙහිදී සිදු කෙරිණි. ඉන්පසුව නඩයේ සෑම අයකුගේම මූලික අවධානය එම වටවන්දනාව කෙරෙහි බැවින් ඔවුහු ක්‍රම ක්‍රමයෙන් ගෘහ ජීවිතයේ වගකීම්ද සෙස්සන්ට පවරමින් ලෞකික බර සැහැල්ලු කර ගනිති. එහිදී එම වටවන්දනාවේ ඇති උත්තරීතර බව සිත තුළ තදින්ම ධාරණය කරගන්නා ඔවුන්ගේ සිත් තුළින් ලෝභ, දෝෂ, මෝහ ආදිය ඉවත්ව සිත් සැහැල්ලු වූ බව පෙනේ. මෙහිදී මෙවන් වටවන්දනා ගමනකට පේවීමේ සිට එම ගමන නිමාවන තෙක් ආහාරපාන සම්බන්ධයෙන් පවා විශේෂ ආචාර ධර්ම මාලාවකට පිවිසීමද සාමාන්‍ය තත්ත්වයකි. මස් මාළු, තෙල් බැදුම් ආදී දිරවීමට අපහසු ආහාරවලින් අත්මිදෙන ඔවුන් මෙම කාලය තුළ පහසුවෙන් දිරවිය හැකි ආහාර කෙරෙහි පමණක් යොමුවනුයේ එම වටවන්දනා ගමනේදී උදරාබාධ ආදියට ලක් නොවනු පිණිසය. සාමාන්‍යයෙන් මෙම නඩයක පුද්ගලයන් දහයක් පහළොවක් සේම ඇතැම් විට පනහක් හැටක්ද විය හැක.

කලින් නියම කරගත් දිනයක හිමිදිරියේ නඩේ ගුරාගේ ප්‍රධානත්වයෙන් ගමේ පන්සලට රැස්වන පිරිස එහිදී පන්සිල් සමාදන්ව දෙවියන්ට පින්පෙත් දී එම ගමන අරඹනුයේ ‘සාධු’ නාදය මුල් කර ගනිමිනි. ඉන් අනතුරුව පා ගමනින්, ගැල් මගින් හෝ බස් රථයකින් වටවන්දනාවේ යෙදුණද එම ගමන් වෙහෙස නිවා ගැනීම පිණිස ඔවුහු ‘තුන්සරණය’ නම් කවි පොත සාමූහිකව හඬ ගා කියති.
ඒ වන විට එම වටවන්දනා ගමන පිළිබඳ ධනාත්මක ආකල්පවලින් පිරී පැවතින සහ ගෙදරදොර වගකීම්වලින් තාවකාලිකව අත්මිදීම ආදී හේතූන් මත යම් නිදහස් බවකට පත්ව තිබෙන ඔවුන්ගේ මනැස් මෙම තුන්සරණය කියැවීමෙන් තව තවත් ප්‍රබෝධමත් වේ. නවීන විද්‍යාවට අනුව කිවහොත් මෙහිදී බොපමින්, බපියොඩ්, සෙරටොනින් ආදී සතුට දනවන හෝමෝනවල ක්‍රියාකාරීත්වය නිසා නිෂේධාත්මක හැඟීම් සිත තුළට පිවිසීමේ හැකියාව ශීඝ්‍රයෙන් අවප්‍රමාණ වෙයි. මෙය කායික මානසික ශක්තිය ප්‍රවර්ධනය කරවන්නකි.

මෙහිදී මෙම වටවන්දනා ගමනේ සොඳුරු ආඥාදායක භූමිකාව මෙහෙයවන නඩේ ගුරා තම නඩයේ එක් පුද්ගලයකු තුළ හෝ එවන් නිෂේධාත්මක ආකල්ප පිබිදීම වළක්වනුයේ මෙවන් වටවන්දනාවකදී ‘කට වරද්දා ගැනීම’ අතිශයින් අහිතකර දෙයක් බව වරින් වර අවධාරණය කරමිනි.

ඒ අනුව නෑ, බෑ, මහන්සියි, අමාරුයි, වැඩක් නෑ ආදී නිෂේධනාත්මක වදන් මෙම වන්දනා නඩයට සපුරාම තහනම්ය. නමුදු මෙහිදී මෙම වන්දනා නඩයට සැරපරුෂ වීමෙන්ද ඔවුන්ගේ මනැස තුළට නිෂේධාත්මක ආකල්ප පිවිසීමෙන් වන්දනා ගමන අසාර්ථක වන බව දැන හිඳින නඩේ ගුරා, බොහෝ විට නඩය අමතනුයේ ‘හොඳයි’ යන සාධනීය වදනද එක්කර ගනිමිනි. මෙය අතීත සිංහල ගැමි සමාජයේ පැවති සහනශීලී ආකල්ප ප්‍රකට කරවන වදනකි.

‘‘දැන් ඉතින් නාල කියල ඉවර නිසා කවුරු කවුරුත් ගොඩට ආවොත් හොඳයි’’ වටවන්දනාවේ යන අතරේ වැවක දිය නාමින් හිඳින නඩයට නඩේ ගුරා ලබාදෙනුයේ එවන් සොඳුරු ආඥාවකි.
මෙම වටවන්දනා ගමන්වලදී නඩයට අවශ්‍ය ආහාරපාන නඩයේ පිරිස විසින්ම සපයා ගත යුතු අතර, ඒ සඳහා අවශ්‍ය හාල්, පොල්, සිල්ලර කළමනා වන්දනා ගමනේ මුලදීම හෝ මැද දී සපයා දීමද නඩේ ගුරා සතු වගකීමකි. එමෙන්ම තම ගම හරහා වන්දනා නඩයක් ගමන් කරන බව දැන ගන්නා ගම්වැසියෝ කොස්, පොළොස්, අල, බතල ආදී ගෙවතු භෝග සහ මෑකරල්, පතෝල, බණ්ඩක්කා, නිවිති ආදී කොරටු භෝග එම වන්දනා නඩයට පරිත්‍යාග කරති. ඒ, එමගින් තමන්ට මහත් පුණ්‍ය සම්භාරයක් අත්වන බවට ඇති සාම්ප්‍රදායික විශ්වාසය පදනම් කර ගනිමිනි.

එමෙන්ම තම ගම මැදින් ගමන් ගන්නා වන්දනා නඩයක යමෙකු හදිසි රෝගාබාධයකට ලක් වුවහොත් රෝගියා එහි ගැමි ගෙදරක වඩා හිඳුවා ගමේ වෙද මහතා ගෙන්වා ප්‍රතිකාර කිරීමත්, ඒ ප්‍රතිකාර නිමවන තුරු නඩයේ සෙසු පිරිසට ආහාරපාන, නවාතැන් සැපයීමත් අතීත ගැමි සමාජයේ උතුම් සිරිතක්ව පැවතිණි. සාමාන්‍යයෙන් මෙම වටවන්දනාවකදී ආහාර පිස ගැනීම ඒ නඩය විසින්ම සිදු කරන ලදී.

එහිදී එලෙස ආහාර පිස ගැනීමට අවශ්‍ය හැළි වළං, බොහෝ විට නඩය නවාතැන් ගන්නා විශ්‍රාම ශාලා, විහාරස්ථාන ආදියේ ඇති අතර, එම වන්දනා නඩය අතරමගදී භාවිත කරන ජලය ගැන පවා නඩේ ගුරා දැන සිටිය යුතුය. ඒ හැරුණු කොට කෑමවේල් අතරට ගනු ලබන දේශීය රසකැවිලි නඩයේ අය විසින්ම ගෙන යන ලදී. මෙම වටවන්දනා ගමනක පවත්නා තවත් සුවිශේෂත්වයක් වනුයේ එම ගමන නිශ්චිත කාලසටහනකට අනුව සැලසුම් නොවීමය. අසවල් දින, අසවල් වේලාවට, අසවල් සිද්ධස්ථානය වැඳගන්නා බව තබා අසවල් දිනයේ, අසවල් වේලාවට එම වටවන්දනා ගමන නිම කරන බව සිතේ සනිටුහන් කොට පැවසීමද ‘කට වරද්දා ගැනීමකි.’ බෞද්ධයන්ගේ විශ්වාසය අනුව සංසාර ගමන යනු කිසිවකුගේ පූර්ව සැලසුමක් අනුව ක්‍රියාත්මක වන්නක් නොවේ. මෙම වන්දනා ගමනද එම සංසාර ගමන පරමාදර්ශී කොටගත් ආධ්‍යාත්මික සංවර්ධන ක්‍රියාදාමයකි.

කෙසේ හෝ මෙබඳු අණපනත් මුල් කොටගත් චිත්ත දමනය මත පදනම් වූ සදාචාරාත්මක චින්තන, සන්නිවේදන සහ චර්යා ක්‍රියාදාමයක් වන වටවන්දනාව ඉතා ප්‍රබල මනෝ චිකිත්සක අභ්‍යාස පෙළකි. මගේ පෞද්ගලික විශ්වාසය නම් නූතනයේ නවීන මනෝ චිකිත්සක අභ්‍යාස මාලාවක තිබිය යුතු සියලු සාධනීය අංග එලෙසම, නැතහොත් ඊටත් වඩා අපූරු ලෙස මෙහි ගැළපී තිබේ.

ඒ අනුව එදිනෙදා ගත කරන ලෞකික දිවිපැවැත්මෙන් මිදී සතියක පමණ කාලයක් මෙලෙස ඉතා සැහැල්ලු, අර්ධ ශ්‍රමණ රටාවකට හුරු වී නැවත නිවසට පැමිණෙන්නාගේ සිත නව්‍යතාවකින් පිරී පැවතීම සාමාන්‍ය දෙයකි. ඒ තුළින් තම ගේදොර පවුලේ සාමාජිකයන්, අසල්වාසීන් සම්බන්ධයෙන්ද පෙර පැවති ආකල්පවලට වඩා සරල ලිහිල් ආකල්ප දැරීමට ඔවුනට මනා හැකියාවක් ලැබේ. එමෙන්ම එම වන්දනා ගමනේදී අහුලා ගන්නා ලද සුප්‍රකට බෝධීන් වහන්සේලාගේ වියළි බෝපත්, පූජනීය ස්ථානවල ගල්, වැලි සහ වටවන්දනා ගමනේ අතරමගදී මිලට ගත් යම් යම් ආහාර ද්‍රව්‍ය කුඩා කුඩා භාණ්ඩ තම හිතවතුන් අතරේ සේම එතෙක් අහිතවත්ව සිටියවුන් අතරේ පවා බෙදා දීමට තරම් මෙම වටවන්දනාවේ මනෝ චිකිත්සක අගය ඉහළ නැංවීම අරුමයක් නොවේ. එම තත්ත්වය යටතේ එම වන්දනාවේ යෙදුණු තැනැත්තාද පෙරට වඩා උත්තරීතර තත්ත්වයකට පත්ව ඇති බව වටහා ගන්නා ඥාති මිත්‍රාදීහුද ඒ තැනැත්තාට පෙර නොදැක්වූ ගරු බුහුමන් පෑමට පසුබට නොවෙති. එහිදී එම වටවන්දනා ගමනේ විස්තර අසා සහ වටවන්දනාවට සහභාගි වූ තැනැත්තාට සාත්තු සප්පායම් කොට පින් අනුමෝදන් කර ගැනීමට ඒ තැනැත්තාගේ නිවසට පැමිණෙන ඥාති හිතමිත්‍රාදීන් නිසා එවක ගැමි සමාජයේ පවුල් ප්‍රජා සම්බන්ධතාවන් වඩාත් තීව්‍ර වී තිබේ. ඉතින් මෙවන් තත්ත්වයක් යටතේ වටවන්දනාව යනු ‘අපේ ගමේ ගොඩේ උන්දැලාගේ මෝඩ ට්‍රිප් එකක්’ යැයි කාට නම් කටක් ඇර කිව හැකිද?

තිලක් සේනාසිංහ