විශේෂාංග

කටුවාපිටිය බෝම්බකරුගේ බිරිය සාරා දිල්ලියේ දිලේ

පාස්කු ඉරු දින කටුවාපිටිය පල්ලියට මරාගෙන මැරෙන ප්‍ර්‍රහාරය එල්ල කළ ඝාතකයාගේ බිරිය පුලස්තිනී රාජෙන්ද්‍රන් හෙවත් සාරා ජස්මින්ය. දෙමළ හින්දු කතක් වූ ඇය පසුව ඉස්ලාම් ආගම වැලඳ ගත්තාය. පාස්කු ප්‍රහාරයට පසු දෙවැනි ප්‍රහාරයට ලෑස්ති වී සයින්දමරුදු හි නිවසක සැඟවී සිටි පනහක කල්ලියේ සාමාජිකයන් ඉලක්ක කර හමුදාව එල්ල කළ ප්‍රහාරය අතරතුර දිවි බේරා ගැනීමට සමත් වූ එකම කත සාරාය. ඇයට ගැලවී යාමට හැකි වූයේ ඇය විදෙස් ඔත්තු සේවාවක නියෝජිතවරියක නිසා බව ලංකාවේ බුද්ධි අංශවල තත්සේරුවයි. මේ අතරේ සාරාගේ මව ගිය සතියේ සතිඅග අරුණට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් කීවේ තම දුව සොයාදෙන ලෙසය.

ඇත්තටම පුලස්තිනී රාජේන්ද්‍රන්ට වූයේ කුමක්ද? මේ ඒ පිළිබඳ ලියැවුණු ගවේෂණාත්මක ලිපියකි.

වසර 2010 අවුරුද්දේ පෙබරවාරියේ දවසක ලන්ඩනයේ වෙසෙන ලංකාවේ මඩකලපුවේ උපන් දෙමළ මිත්‍රයෙක් අපූරු රැස්වීමකට අපට ඇරයුම් කළේය. ඔහු ඊ.එන්.ඩී.එල්.එෆ්. හෙවත් ඊළාම් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික විමුක්ති පෙරමුණේ හිටපු නායකයෙක් වූ නිසා එම රැස්වීම ඉතා වැදගත් වෙතැයි අපි කල්පනා කළෙමු. රැස්වීම තිබුණේ වෙස්මිනිස්ට්‍රි පාර්ලිමේන්තුවට බටහිරින් තිබෙන එහි මන්ත්‍රීවරු ස්වකීය පාක්ෂිකයන් හමුවන ශාලාවකය. රැස්වීමේ ප්‍රධාන අමුත්තා බී.ජේ.පී.යේ. හෙවත් ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ නියෝජිතයකි. ඔහු පක්ෂය වෙනුවෙන් ලන්ඩනයේ වෙසෙන දෙමළ හින්දු ජනයාගේ නියෝජිතයන් හමුවීමටත් ඔවුන්ගේ දුක්ගැනවිලි එකතු කිරීමටත් නව දිල්ලියෙන් එවා තිබුණේය. ඊ.එන්.ඩී.එල්.එෆ්. යනු ඊළාම් සටනේ සිටි ඉන්දීය ආණ්ඩුවේ නිල නියෝජිතයාය. මේ නිසා රැස්වීමේ සිටි නියෝජිතයන්ගෙන් බහුතරයක් ඉන්දීය හිතවාදීහු වූහ. මුලින්ම කතා කළ බී.ජේ.පී.යේ. නියෝජිතයා තමන්ගේ අනාගත ආණ්ඩුවක් හින්දු ජනයා වෙනුවෙන් කරන්නට බලාපොරොත්තු වෙන වැඩපිළිවෙළ විස්තර කළේය. අනතුරුව ලංකාවේ හින්දු ජනයාගේ යෝජනා ඉල්ලා සිටියේය. රැස්වීමේ රසවත්ම කොටසට අපි ළඟා වූයේ මෙතැන් පටන්ය.

එක් නියෝජිතයෙක් ලංකාවේ නිත්‍ය ඉන්දීය හමුදාවක් තැබිය යුතු යැයි කියා සිටියේය. තවත් නියෝජිතයෙක් ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කරන්නැයි ආයාචනා කළේය. තවත් නියෝජිතයෙක් මීට වඩා ලංකාණ්ඩුව ඉන්දීය මධ්‍යම රජයේ පාලනය යටතට ගත යුතු යැයි යෝජනා කළේය. මේ කෝලං මඩුවේ යෝජනා සියල්ල සටහන් කර ගත් බී.ජේ.පී. නියෝජිතයා ඒ සියල්ල පක්ෂ නායකත්වයට ඉදිරිපත් කිරීමට පොරොන්දු විය. වසර දහයකට පසු මේ රැස්වීම සිහිපත් කරන අපට දැන් සිතෙන්නේ නරේන්ද්‍ර මොඩිගේ බී.ජේ.පී. ආණ්ඩුවේ ලංකාව සඳහා වූ ප්‍රතිපත්ති මේ යෝජනා අනුව සැකසී ඇති බවකි. එහි අවසාන සංසිද්ධිය කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් පල්ලියේ සමූල ඝාතනය මෙහෙය වූ සාරා ජෙස්මින් හෙවත් පුලස්තිනී රාජෙන්ද්‍රන් පසුගිය සැප්තැම්බරයේ මන්නාරමේ සිට බෝට්ටුවකින් ඉන්දියාවට පලා යාමය. ඇගේ පෙම්වතා වූ සහරාන් හෂීම් ගේ දෙවැනියා මෙන්ම කටුවාපිටියේ මිනිස් බෝම්බය වූ ආච්චේ මොහමදු හස්තාන් වැඩේට යවා ඇය ජීවිතය බේරා ගැනීම පමණක් නොව ඉන්දියාවට පලා යාම පිටුපසද විශාල කතාවක් තිබේ. එය මේ රටේ ජනයාගේ අනාගත ආරක්ෂාව වෙනුවෙන් අපි සොයා බැලිය යුතු වෙමු.

පොලිසිය හා රාජරත්නම් කවීතා

අපේ කල්පනාවේ හැටියට පුලස්තිනි රාජේන්ද්‍රන් ජීවිතය බේරාගෙන ඉන්දියාවට පලා යාම ඇගේ වාසනාවකට වඩා මේ රටේ ජනයාගේ වාසනාවකි. එහෙත් 2019 අප්‍රියෙල් 21 වෙනි පාස්කු ඉරිදා කටුවාපිටිය අමු සොහොනක් කළ ආච්චේ මොහමදු හස්තාන් ගේ බිරිඳ වූ පුලස්තිනි 2019 සැප්තැම්බර් මාසයේ දී මන්නාරම හරහා ඉන්දියාවට පැන ගිය බව මේ රටේ ජනයා දැන ගන්නේ පොලිස් පරීක්ෂක අර්ජුන මහින්කන්ද පසුගිය සතියක ජනාධිපති කොමිසමේ දී දුන් සාක්ෂියත් සමගය.

2015 දී පුලස්තිනි මුස්ලිම් බැතිමතියක් කරන්නේ ශ්‍රී ලංකා තබ්ලික් ජමාතයේ අබ්දුල් රාසික් විසින්ය. පසුව ඇය හස්තාන් සමග විවාහ වෙයි. ඇගේ මව රාජරත්නම් කවීතා 2016දී ඇය ඉන් මුදා ගත් බව එම කොමිසමේ දී දුන් සාක්ෂියෙන් කියා සිටියාය. එම වසරේම අබුඩාබි රැකියාවකට යන පුලස්තිනි මාස හතරකින් ලංකාවට පෙරළා පැමිණ යළිත් මේ අන්ත්වාදීන් සමග එකතු වෙයි. එතැන් පටන් රාජරත්නම් කවීතා තම දියණිය මේ අන්තවාදීන්ගෙන් බේරා ගැනීමට 2019 අප්‍රියෙල් 06 වෙනිදා දක්වා නාරම්මල පොලිසිය, කාත්තන්කූඩි පොලිසිය, කලවන්චිකුඩි පොලිසිය හා මඩකලපුවේ මානව හිමිකම් කොමිසමේ කාර්යාලය සමග නොනවතින අරගලයක යෙදෙන්නීය.

රාජරත්නම් කවීතා ලංකාවේ පොලිසියේ තැන් තුනකට ගියත් ඇගේ පැමිණිල්ල සටහන් වන්නේ නැත. මඩකලපුවේ මානව හිමිකම් කොමිසමේ කාර්යාලයට ගියත් එතැන සිටි නිලධාරියා ඇයට සහරාන් ගැන වැදගත් චරිත සහතිකයක් දුන් බව කවීතා කොමිසමට කියා සිටියාය. මෙතැනදී කාත්තන්කූඩි පොලිසියෙ අපූරු හැසිරීමක් අපට සිහිපත් වෙයි. ඒ එම ප්‍රදේශයේ සුෆි මුස්ලිම් ජනයා සහරාන් හා ඔහුගේ වහාබ් කල්ලිය තම ජනයාට කළ අපරාධ ගැන කෙරුණු පැමිණිලිය. මේ සියලු පැමිණිලි ඉදිරිපත් වන්නේ 2019 අප්‍රියෙල් මාසයට පෙරය. එක් සාපරාධී අපරාධයක් වෙනුවෙන් සහරාන් හා ඔහුගේ සොහොයුරා හැර අනෙක් නව දෙනා අත්අඩංගුවට ගෙන සිරභාරයේ තැබුවත් ඔවුන්ට ඇප අරන් දෙන්නේ කොළඹින් යන නීතිඥ මෛත්‍රී ගුණරත්නය. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා සැඟවී සිටිය දී සෙසු සැකකරුවන්ට ඇප ලබා දීමට පොලිසිය විරුද්ධ නොවෙයි. මේ සැකකරුවන් කණ්ඩායමට ඇප අරන් දුන් මෛත්‍රී ගුණරත්නට මධ්‍යම පළාතේ හා ඌව පළාතේ ආණ්ඩුකාර තනතුරු හිමි වෙයි. අපි මේ සියල්ලම අහම්බ කාරක යැයි මොහොතකට සිතමු. නමුත් පුලස්තිනි රාජේන්ද්‍රන් ජීවිතය බේරා ගෙන මාස ගණනාවක් මේ රටේම සැඟවී සිට ඉන්දියාවට යන්නේ කෙසේ ද? හොඳයි, පගාවකින්, සංතෝසමකින් ඕනෑම වැඩක් ගොඩ දමා දෙන ලංකාවේ පොලිසියේ හිල් කූඩෙන් පුලස්තිනි රිංගුවා යැයි අපි මොහොතකට සිතමු. බිහිසුණු ත්‍රස්ත කල්ලියක, අනෙක මුස්ලිම් අන්තවාදී කල්ලියක නායිකාවක් මන්නාරමෙන් රාමේෂ්වරමට පාවී යාම භද්දකච්චායනා ආපසු ගියා සේ සරල සිදුවීමක් විය හැකිද? අනෙක මුස්ලිම් අන්තවාදය හිසරදයක් වූ ඉන්දියනු භූමියට ඇතුළු වීම එහි ජීවත් වීම මෙතරම් සරල කතාවක් ද?

සෝමවංශ අමරසිංහ හා රෝ ඔත්තු සේවය

1990 මීගමුවෙන් කේරලයට ගිය ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ ගේ කතාව අපි මොහොතකට සිහි කරමු. සෝමවංශ, රණසිංහ ප්‍රේමදාසගේ ගහලයන්ගෙන් ජීවිතය බේරා ගෙන කේරලයට ගොස් හමුවන්නේ එහි කොමියුනිස්ට් පක්ෂයයි. එහි මහ ඇමැතිව සිටි නම්බුදිරි පාද්ය. කලක පටන් තිබූ දේශපාලන මිත්‍රකම් නිසා ඔහු ඔවුන්ගෙන් රැකවරණ පතයි. නමුත් කේරල කොමියුනිස්ට් පක්ෂය ඔහු කෙළින්ම භාර කළේ රෝ ඔත්තු සේවයටය. එතැනින් නව දිල්ලියට ගෙන යන ඔහු තායිලන්තයට පිටත් වෙන තෙක්ම සිටියේ දිල්ලියේ රෝ ඔත්තු සේවයේ ආරක්ෂක නිවසකය. අපි දකුණු ඉන්දියාවේ සිටි ලාංකික දෙමළ සරණාගාතයන් සොයන්නට ගිය සෑම විටකම රෝ ඔත්තුකරුවන් ගේ දෙමළ නියෝජිතයන් මගින් අවසර ගත යුතු විය. එහි තිබූ සෑම සරණාගත කඳවුරකම රෝ ඔත්තුකරුවෝ සිටියහ. ඔවුහු දෙපාර්ශ්වයකට තොරතුරු සැපයීමට බැඳී සිටියහ. ඒ ‘කිව් බ්‍රාන්ච්’ නමින් හැඳින්වෙන ඉන්දීය රහස් පොලිසියේ විශේෂ ඒකකයට හා රෝ ඔත්තු සේවයටය. මේසා බරපතළ ලෙස ලංකාවෙන් එන පුද්ගලයන් ගැන සොයන ඉන්දීය ඔත්තු සේවාවන් ගේ කනෙන් රිංගා පුලස්තිනි ඉන්දියාවට ගිය බව කුඩා ළමයකුවත් විශ්වාස නොකරනු ඇත.

ඊළාම්වාදීන් සහ රෝ ඔත්තුකරුවෝ

ප්‍රහාරයට පෙර පාස්කු බෝම්බ ප්‍රහාරය, එහි නායකයන් අවස්ථා ගණනාවක දී ලංකාවේ ඔත්තු සේවාවලට දැනුම් දෙන්නේ ඉන්දීය රෝ ඔත්තු සේවා ඒකකයෙන්ය. මේ තොරතුරු ඔවුන්ට දුන්නේ පුලස්තිනි රාජෙන්ද්‍රන් බවට අපි තවදුරටත් සැක කළ යුතු ද? එහෙත් රෝ ඔත්තුකාරියක් හැටියටම ඇය අන්තවාදී කල්ලියකට බැඳුනාය යන්න සැක සහිතය.

අපේ විශ්වාසය නම් මේ කල්ලියට එකතු වූ පසු පුලස්තිනි බඳවා ගත්තාය යන්නය. එසේ වීමට ඉඩ තිබෙන්නේ ඊළාම් සටන්කාමීන් අතරේ රෝ ඔත්තු සේවයේ සමීපතමයන් වැඩි දෙනෙක් නැගෙනහිරින් පැමිණ ඇති නිසාය. උදාහරණයකට ඊ.එන්.ඩී.එල්.එෆ්. සංවිධානයේ වර්තමාන නායක එන්. කරුණාසේකරන් එන්නේ මඩකලපුවෙන්‍් ය. 1983 කළු ජූලියේ දී වැලිකඩ හිරගෙදර සමූහ ඝාතනයෙන් ඔහුගේ ජීවිතය බේරෙන්නේය. 1984 දී මඩකලපු හිරගෙය කඩාගෙන සෙසු සැකකරුවන් සමග ඔහු තමිල්නාඩුවට පලා යන්නේය. දැනට චෙන්නායි හි ආරක්ෂිත නිවසක සිටින ඔහුගේ සමීප සගයෝ වැඩි දෙනෙක් මඩකලපුවේ උපන්නෝ වෙති. අපිට හරියටම තොරතුරු සොයා ගැනීමට හැකි නම් පුල්ස්තිනි සමග රාමේෂ්වරමට පලා යන ඇගේ බාප්පා රෝ ඔත්තු සේවයේ ඇය ළඟ සිටි නියෝජිතයා බව ට ඇති සැකය දුරුකර ගැනීමට පුළුවන. බරපතළ ඉස්ලාම් ත්‍රස්වාදී අපරාධයක සැකකාරියක් රැගෙන ඉන්දියානු භූමියට යන්නා එක්කෝ පිස්සෙකු විය යුතුය. නැති නම් රෝ ඔත්තුකරුවකු විය යුතුය. මෙහි දෙවැන්න තෝරා ගැනීමට ඔබට මොස්කව් හිදී කේ.ජී.බී. පුහුණුවක් අවශ්‍ය නොවේ.

පුලස්තිනිගේ මුස්ලිම් කසාදය

පුලස්තිනි රාජේන්ද්‍රන් මුහමදු සමග විවාහ වෙන්නේ 2016 අවුරුද්දේය. නමුත් වසර 2019 අප්‍රියෙල් වන තෙක්ම ඇයට දරුපල නැත. මෙය තරුණ මුස්ලිම් පවුලකට පොදු ආදර්ශයක් නොවේ. පාස්කු මිනිස් බෝම්බවල ප්‍රධාන නායකයෝ සියල්ලෝම විවාහකයෝය. දරුවන් ඇති පියවරුය. නමුත් පුලස්තිනි – මුහමදු යුවළට විවාහ වී වසර හතරක් ගෙවෙද්දීත් දරුවන් නැත..! මේ නම් දෙවැනි ලෝක යුද සමයේ ඔත්තුකාරියක වී සිටි මාතහාරී වර්ගයේ විවාහයක් හා ප්‍රේමයක් බව සැක කළ යුතු ද? ආගමික භක්තියෙන් අන්ධ වූ වහාබ්වාදීන් ඇන්දවීමට රෝ ඔත්තු සේවයට හැකි වූවත් මුළු රටක් ඇන්දවීමට ඔවුන්ට නොහැකිය. ප්‍රශ්නය වන්නේ මෙබඳු අන්තවාදී කණ්ඩායමක් ගැන හොඳින්ම දැනදැනත් එය වැළැක්වීමට උත්සාහ නොකළේ ඇයි ද යන්නය. මීට පිළිතුරු ගණනාවකි. ඒ වෙනුවෙන් රෝ ඔත්තුකරුවන් අසල්වැසි කුඩා රාජ්‍යයන්ට දඬුවම් දීමේ ඉතිහාසය සොයා බැලිය යුතුය. එයිනුත් ලංකාවට දඬුවම් දීමේ ඉතිහාසය සොයා බැලිය යුතුය.

දකුණු ඉන්දියාවේ ඊළාම් පුහුණු කඳවුරු

1975 පටන්ම දෙමළ ඊළාම් සටන්කාමීහු රටවල් දෙකක ජීවත් වූහ. ඔවුහු ප්‍රහාර සඳහා බෝට්ටුවල නැගී ලංකාවට එති. ප්‍රහාරයෙන් පසු තමිල්නාඩුවට පනිති. මේ ඊළාම් ක්‍රීඩාව 1987 අගෝස්තු දක්වාම පැවතුණේය. සෙල්ලම නතර වූයේ ඉන්දීය හමුදාව සමග කොටි සංවිධානය යුද්ධයට යාමත් සමගය. පසු කලෙක ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ නායක කන්දසාමි පත්මනාභ රෝ ඔත්තු සේවයේ අනුග්‍රහයෙන් මුල්ම කඳවුර දකුණු ඉන්දියාවේ ඉදි කරන්නේ 1978 තරම් ඈත දී ය. ඔහු එම කඳවුර පිහිටු වූයේ ඊළාම් මහා ශිෂ්‍ය සංගමය හා ඊළාම් විමුක්ති සංවිධානය වෙනුවෙන්ය. ඊරෝස් හෙවත් ඊළාම් විප්ලවකාරී ශිෂ්‍ය සංගමයේ හා ඊළාම් මහා ශිෂ්‍ය සංගමයේ තෝරාගත් සාමාජිකයන්ට ලෙබනනයේ දී මූලික සටන් පුහුණුව දුන්නේ පලස්තීන විමුක්ති සංවිධානයයි. නමුත් ඉන්දීය යුද හමුදාවේ විශ්‍රාමික හමුදා නිලධාරීන් ලවා මේ කණ්ඩායම්වලට විධිමත් පුහුණුව දකුණු ඉන්දියාවේ නිල්ගිරි කඳුවල දී සූදානම් කරන්නේ රෝ ඔත්තු සේවයයි. මේ පුහුණු පඨමාලාවට බිම්බෝම්බ තැනීමේ තාක්ෂණය ඇතුළත් කරන්නේ රෝ ඔත්තු සේවයයි. ලෝකයේ කුඩා සටන්කාමී කණ්ඩායම් අතරින් බිම්බෝම්බ තාක්ෂණය මුලින්ම අත්පත් කරගන්නේ ඊළාම් සටන්කාමීන් ය. එහි ගෞරවය අත්කර ගන්නේ මේ රෝ ඔත්තු සේවයයි. පසු කලෙක ලංකාවේ රජයේ හමුදාවලට හිසරදයක් වන්නේ ඊළාම් සටන්කාමීන් සතු මේ තාක්ෂණයයි. හරියටම තවත් අවුරුදු දහයකින් 1988 දෙසැම්බරයේ වැලිකඩ හිරගෙදර දී මඩකලපුවෙන් පැමිණි එල්.ටී.ටී.ඊ. සැකකරුවන් මේ තාක්ෂණය දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට ලබාදීම දක්වා ඈතට ගමන් කළේය.

මේ යුගයේ ලෝකයේ තිබූ ලොකුම තානාපති විහිළුව වූයේ ඉන්දීය මධ්‍යම ආණ්ඩුව දකුණු ඉන්දියාවේ යුද කඳවුරුවල ලංකා රජයේ හමුදාව නිලධාරීන් පුහුණු කරද්දී ඉන්දීය රජයේ නිල ඔත්තු සේවය එම හමුදාවේ පරම හතුරා වූ ඊළාම් සටන්කමීන්ට එහි තවත් ප්‍රාන්තයක යුද පුහුණුව දීමය…! මෙහි විහිළුව තැනෙන්නේ ඉන්දීය මධ්‍යම ආණ්ඩුවේ දකුණත කරන වැඩ වමත නොදැන සිටීමෙන් ය. උදාහරණයක් 1983 ජූලි මාසයේ 22 වෙනිදා යාපනයේ දී මරා දැමෙන සෙබළුන් 13 අතරේ සිටි ලුතිනන් වාස් ගුණවර්ධන බැංග්ලෝරයේ ඉන්දීය හමුදා කඳවුරක පුහුණුව ලබද්දී ඔහු ඇතුළු සෙබළුන් මරා දැමූ ඊළාම් සටන්කාමීන් ද එකලම නිල්ගිරි කඳුකරයේ පුහුණු වෙමින් සිටින්නට ඇත. මෙබඳු ජාත්‍යන්තර දේශපාලන නාටක රඟදැක්වීම ජාත්‍යන්තර ඔත්තු සේවාවලට අලුත් දෙයක් නොවේ. 1984 වෙද්දී ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු සේවය එරටේ එකම කඳවුරක ඊළාම් සටන්කාමීන් හා ලංකා රජයේ හමුදා නිලධාරීන් පුහුණු කරමින් සිටි බව මොසාඩ් ඔත්තුකරුවෙක් සේවයෙන් ඉවත් වූ පසු පොතක් ලියා හෙළිදරව් කළේය. ඊශ්‍රායලය එසේ කළත් ලංකාවේ හැම හන්දියකම වැඩ සිටින බුදුන් උපන් ජම්බුද්දීපයේ නූතන බමුණන් මෙබඳු දේ කරතැයි ලාංකිකයන්ට විශ්වාස කිරීමට අපහසු වනු ඇත. සමහර විට ලංකාවේ ජනමාධ්‍ය එකල මේවා වාර්තා නොකළේ එකල තිබූ ජයවර්ධන ආණ්ඩුවේ තරුපහේ ප්‍රජාතන්ත්‍රවාදයේ සැප වැඩි නිසා විය යුතුය.

මාතාහාරි හා පුලස්තිනි

ඉන්දීය ඔත්තුකරුවන් 2015 ජූලි මාසයේම සහාරාන් කල්ලිය ඇතුළට පුලස්තිනි බැස්සුවේ නම් වහාබ් බඹරුන්ට කල්තියාම ඇටවූ මී පැණි උගුලකි. ලංකාවේ වහාබ් කල්ලි අතරේ සිටි වසර 4 කට ආසන්න කාලය තුළ ඇගේ පෞද්ගලික හැසිරීම් ගැන ඇති විස්තර නිරීක්ෂණය කරද්දී ඇය හොඳින් පුහුණුව ලැබූ ඔත්තුකාරියක් බව පෙනෙන්නට තිබේ. මුහමදු හා පුලස්තිනී අතරේ විවාහ ජීවිතයක හෝ ලිංගික ජීවිතයක සාක්ෂි නොමැති නිසා මේ සැකය අපට ඇතිවේ. කවීතා ගේ සාක්ෂිය අනුව රොෂාන් නමැති කෙනෙක් අතරමැදියෙක් වී පුල්ස්තිනි ගේ නිවසේ උදවියට ඇගේ පණිවුඩකරුවෙක් වුණේය. මේ රොෂාන් කවුද? ඔහු ගැන තවමත් අප කිසිම දෙයක් දන්නේ නැත. නමුත් ඔහු ද වාහාබ්වාදීන් ගේ විශ්වාසය දිනා ගත් කෙනෙකි. සමහර විට බෝම්බ පුපුරන දින නව දිල්ලියට යවන්නේ රොෂාන් විය හැකිය. කල්ලියේ සියලුම දෙනා මිනිස් බෝම්බ වෙද්දී ඇඟ බේරා ගත හැක්කේ පුහුණු ඔත්තුකරියකට පමණි. පුල්ස්තිනී මේ සා සූක්ෂම ඒජන්තවරියක් නම් ඇය උතුරු ඉන්දියාවේ හෝ ලංකාවේ මූලික පුහුණුවෙන් පසු මේ කටයුත්තට යොදන්නට ඇත. ඒ බවට සැක නැගුණත් ඒවා ප්‍රශ්න කර අසා ගන්නට පුලස්තිනී කෙනෙක් යළි ලංකාවේ පරීක්ෂකයන්ට හමුවන්නේ නැත.

ඉන්දියාවට ගිය පුලස්තිනී දැන් ඇත්තේ නවදිල්ලියේ හෝ චෙන්නායි හි ඇති ආරක්ෂක නිවසකය. ඇය නව හැඳුනුම්පතක් ඇතිව ඉන්දීය සරසවියකට මේ සැප්තැම්බරයේ එන සෙමෙස්තරයේම ඇතුළත් වනු ඇත. ඇය එහි සිටියොත් පවුලේ නෑයන්ට දකුණු ඉන්දියාවටම ගොස් ඇය දකින්නට එයාර් ඉන්දියා ගුවන් සමාගම වාර්ෂිකව ඔවුන්ට නොමිලේ ගුවන් ටිකට්පත් දෙනු ඇත.

ඉතිහාසයෙන් වසන් කිරීම

පුලස්තිනී ඉන්දියාවට පලා ගිය බව ජනාධිපති කොමිසමට වාර්තා කළ රහස් පොලිස් පරීක්ෂක අර්ජූන් මහීන්කන්ද ට මේ මොහොතේ යළිත් ඉදිරිපත් වී වෙනස් කතාවක් කිරීමට බල කිරීමට ඉඩ ඇත. ලංකාව ඒ තරමටම රෝ ඔත්තුකරුවන් ගේ සේම ජාත්‍යන්තර ඔත්තුකරුවන්ගේ කෙළි බිමකි. පුලස්තිනි ලංකාවෙන් පැන්නීමේ ප්‍රධාන සැකකරුවකු වූ කලවංචිකුඩියේ රථවාහන පොලිසියේ ප්‍රධානියාව සිටි අබු බක්කර් හෙට අනිද්දාම නිදහස් කරන්නට නියෝග ලැබෙන්නට ඉඩ ඇත. එවිට පුලස්තිනි ජීවතුන් අතරේ සිටි බවට ප්‍රධාන සාක්ෂි අවසන් වන්නේය.

ඉන්දියාවට ගිය ඇගේ බාප්පාට ද අලුත් ඉන්දියානු අනන්‍යතාවක් ලැබෙනු ඇත. මේවා නිරීක්ෂණය කරන කිසිවකුටත් ලජ්ජාව මිස නම්බුවක් ඉතිරි නොවනු ඇත. මන්ද මේ රටේ ජනයා තවමත් සිතා සිටින්නේ සන්නද්ධ ඊළාම්වාදය උතුරු නැගෙනහිර තරුණයන් ගේ ඔළුවේ ඉබේ පැළ වූ පිළිලයක් බවය. පිළිලය පැළ වුණේ අල්ලපු ඉන්දියානු භූමියේ බවට විශ්වාස කරන්නට තබා සිතන්නටවත් යන්නේ නැත.

දැන් ලංකාවේ සිටින, ලබන ආත්මයේ ජම්බුද්දීපයේ ඉපදීමට පෙරුම්පුරන, ශාරුක් ඛාන් හා කාජල්ලාට පෙම්බඳින දේශපාලන උපාසකයන් හා උපාසිකාවන් අපෙන් මෙසේ අසනු ඇත. අපොයි මස් මාංශවත් නොකන ඉන්දීය බමුණු නායකයන් මේ වගේ අපරාධ කරනවාද? 1947 බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලැබූ දා පටන් ඉන්දියානු නායකයන් ලංකාවේ බෙදා පාලනය ඇරඹූ සැටි පමණක් නොව ඉන්දියානු කොංග්‍රසය බලවත් සංවිධානයක්ව මතුවූ තැන් පටන් ලංකාවේ කළ දේශපාලනය හැදෑරීමෙන් මේ බව තහවුරු කළ හැකිය. අපි ඉදිරි සතිවල ඒ ගැන කතා කරමු. එතෙක් විවේචකයන්ට තිබෙන්නේ ඊළාම් සටනේ මුල් අතගා බැලීමය. 1987 ජූලි මාසයේ 27 වෙනිදා උදේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ඉන්දු ලංකා ගිවිසුමට දණින් වැටී අත්සන් තබද්දී බැංගලෝරයේ යෙලහන්කා ගුවන් හමුදා කඳවුරේ නවතා තිබූ ප්‍රහාරක යානා ගැන හොඳින්ම දැන සිටියේය. ගිවිසුම අත්සන් නොකරන්නේ නම් තමාට පාලනය කරන්නට ඉතිරි වන්නේ ඉබන්කටුවේ සිටි අපේ නෑයන්ගේ ගල් යුගය බවත් ජනාධිපති ජයවර්ධනට ඒ වන විටත් තානාපති බසින් දැනුම් දී තිබුණේය. ඒ ගිවිසුම ලංකාව ලේ විලක් කරන බව ලංකාවේ අත්සන්කරුවන් පමණක් නොව ඔවුන්ගේ අන්ධ අනුගාමිකයෝද නොදැන සිටියහ.

නන්දන වීරරත්න