විශේෂාංග

කංසා වවන්න පුළුවන්

කංසා ගහක් ගෙවත්තේ වැව්වොත් මෙකල නම් හිරේ යන වැඩකි. එහෙත් අපේ හෙළ වෙදකමට අනුව නම් කංසා මහා බලැති ඖෂධයකි. කංසා යනුවෙන් හැඳින්වූවත් මෙහි නියම නම අබිංය. අපේ පැරැන්නෝ සෞඛ්‍ය රැක ගැනීමට, රෝග සෑදීම වළක්වා ගැනීමටත් ආහාරයක යම් ගුණ වැඩිකර ගැනීමටත් කංසා ආහාරයට එකතු කරගත්තෝය. එදවස ගැමි ගෙවල්වල කංසා පැළයක් දෙකක් වගා කරගැනීම සාමාන්‍ය දෙයකි. නමුත් අද වනවිට කංසා භාවිතයේ පවතින වෙනස්කම හේතුවෙන් කංසා වැවීම හෝ ළඟ තබාගැනීම දඬුවම් ලැබිය හැකි වරදකි. විෂ මත්ද්‍රව්‍ය අබිං සහ අන්තරායකර ඖෂධ පනත යටතේ අබිං වගා කිරීම, ළඟ තබාගැනීම සහ විකිණීම තහනම් කර ඒ සම්බන්ධයෙන් ඉහත ක්‍රියාවල නිරත වීම අපරාධ වරදක් ලෙස නීති ගතකර තිබේ. ලංකාවේ එසේ වුවත් පිට රටවල්වලදී ඒ සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ ලිහිල් ප්‍රතිපත්තියකි.

බොහෝ රටවල් මේ වනවිට කංසා පිළිබඳව වෙනත් පිළිවෙතක් අනුගමනය කරමින් සිටී. කැනඩාව 2018 ජූලි මාසයේදී කංසා පිළිබඳ නීති පූර්ණ ලෙසම ලිහිල් කළ බව සඳහන්ය. 2001 වසරේදී වෛද්‍යමය මරිජුවානා සඳහා නීතිමය අවසරය දී තිබේ. ඩෙන්මාර්කය 2011 වසරේදී කංසා පිළිබඳව තිබූ සියලු නීති සීමා ඉවත් කළේය.

උරුගුවේ හා කාම්බෝජය තුළ කංසා නිදහසේ මිලදීගත හැකිය. චිලී රාජ්‍යයේ ඖෂධීය භාවිතය සඳහා පෞද්ගලිකව කංසා වගා කළ හැකිය. උරුගුවේ නීතිය බොහෝ සෙයින් ඇමරිකා එක්සත් ජනපදයේ කොලරාඩෝ සහ වොෂින්ටන් ප්‍රාන්තවල නීතියට සමාන බව සඳහන්ය. නමුත් උරුගුවේ හා ජැමෙයිකාව වැනි රටවල කංසා නීති ලිහිල් කිරීමේදී එය ලෝක මත්ද්‍රව්‍ය විරෝධී ව්‍යාපාරයට අනතුරුදායක බව එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේ විවේචනයට බඳුන් විය.

2017 වසරේදී උරුගුවේ රජය නීත්‍යනුකූල කංසා වගාකරුවන් 6057 දෙනකු හා කංසා සමාජ තිස් එකක් ලියාපදිංචි කර තිබිණි. 2015 වසරේ සිට කංසා ග්‍රෑම් පනස් හතක් ළඟ තබාගැනීමට ජැමෙයිකාව නීතිමය අවසර ලබාදුන්නේය. ඉක්වදෝරයේද ග්‍රෑම් දහයක් ළඟ තබාගත හැකිය. මෝල්ටා රාජ්‍යයේ එය ග්‍රෑම් තුනයි දශම පහකි. ආර්ජන්ටිනාවේ ළඟ තබාගත හැකි වන්නේ ග්‍රෑම් පහක ප්‍රමාණයකි.

බෙල්ජියමේ අවුරුදු 18ට වැඩි පුරවැසියකුට කංසා ග්‍රෑම් තුනක් ළඟ තබාගැනීමට හා කංසා එක් ශාකයක් වවා ගැනීමට නීතිමය අවසර දී තිබේ. කංසා ගස් විස්සක් හා ග්‍රෑම් විසි දෙකක් තමන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා තබාගැනීමට හැකි පරිදි කොලොම්බියාවේ නීති ලිහිල් කර තිබේ. චෙක් ජනරජය තුළ කංසා ග්‍රෑම් පහළොවක් සහ ගස් පහළොවක් තමන් සන්තකයේ තබාගැනීමට හැකිය. රුසියාව තුළ කංසා ග්‍රෑම් හයක් සහ ගස් විස්සක් සන්තකයේ තබාගැනීමට අවසර ඇත. මෙක්සිකෝවේ පෞද්ගලික පරිහරණය සඳහා කංසා තබාගැනීමට හා වෛද්‍යමය භාවිතය සඳහා වගා කිරීම වරදක් නොවන බව 2015 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. ස්පාඤ්ඤයේ කංසා සමාජ (Cannabis Club) පැවැත්වීමට අවසර ඇත. නෙදර්ලන්තය කෝපි අවන්හල් තුළ කංසා විකිණීමටත්, ග්‍රෑම් හයක් සහ ශාක පහක් සන්තකයේ තබා ගැනීමටත් අවසර තිබේ.

2017 වසරේ මාර්තු මාසය තුළ ජර්මානු පාර්ලිමේන්තුව කංසාවල වෛද්‍යමය භාවිතය නීතිගත කිරීම වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළේය. පෘතුගාල පාර්ලිමේන්තුව මේ සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බවත්, පසුගිය වසර වනවිට පෘතුගාල රජයට අයත් කංසා වගාවක් තිබූ බවටත් වාර්තා වේ. මේ වසරේ ජනවාරි මාසයේදී ඩෙන්මාර්ක් රජය සිව් අවුරුදු වෛද්‍යමය කංසා නියමු වැඩසටහන් අරඹා ඇති අතර කංසා ආශ්‍රිත ඖෂධ නිපදවීම දිරිමත් කිරීමට පියවර ගෙන තිබේ. ඉතාලිය තුළ කංසා වගාව 2015 සිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසරය මත කරන අතර ගොවීන්ගේ කංසා අස්වැන්න රජය විසින් මිලදී ගනු ලබයි. යුරෝපයේ විශාලතම වාණිජ කංසා වගාකරුවන් අතර නෙදර්ලන්තය සිටියි. ආනයන කරනු ලබන කංසා සහ දේශීය කංසා හඳුනාගැනීම සඳහා යාන්ත්‍රණයක් සහිත එකම රට වන්නේද නෙදර්ලන්තයයි. (cannabis production and markets in Europe 2012) වාර්තාවට අනුව නෙදර්ලන්තය වගා කරනු ලබන කංසාවලින් සියයට විසි හතරක් (24%) වෛද්‍ය සැපයුම් සඳහා ලබාදෙයි. බල්ගේරියාව, ප්‍රංශය, හංගේරියාව, ස්වීඩනය, ස්ලෝවැකියාව, නෝර්වේ, එක්සත් රාජධානිය වැනි රටවලද වාණිජමය ලෙස කංසා වගාකරුවන් සිටිති.

මේ වනවිට ලොව බොහෝ රටවල් කංසා වගාව වාණිජමය වගාවක් ලෙසින් පවත්වාගෙන යන්නේය. බොහෝ රටවල් කංසා වගාවේ තිබෙන ඖෂධීය ගුණය පිළිබඳව පරීක්ෂණ කටයුතුවල නිරත වේ. ඇමරිකාව, එක්සත් රාජධානිය, නෙදර්ලන්තය යන රටවල් මේ සඳහා දිගින් දිගටම පර් යේෂණවල නිරත වෙයි.

කංසාවල ඖෂධීය අගය සම්බන්ධයෙන් ඇමරිකානු FDA ආයතනයේ අවධානය යොමු වෙමින් පවතියි. ඔවුන් එවැනි නිෂ්පාදන කිහිපයකට අනුමැතිය ලබාදී තිබේ. කංසාවලින් නිපදවන ලද ඖෂධ දෙකක් වන Marinol ඩොලර් මිලියන එකසිය පනහක් හා Syndros ඩොලර් මිලියන හාරසීයක ආදායමක් ලැබූ බව වාර්තා වේ.

2015 දී පළවූ Update of Cannabis and its Medical use නම් වාර්තාවද මධ්‍යස්ත ලෙස කංසාවල වෛද්‍යමය භාවිතය ගැන තවදුරටත් පර් යේෂණ කළ යුතු බව පිළිගෙන තිබේ.

එසේම නිව් කාසල් සරසවියේ මහාචාර්ය මයිකල් පී. බාන්ස් විසින් 2016 වසරේදී ඉදිරිපත් කළ Cannabis: The Evidence for Medical use නම් දීර්ඝ වාර්තාවේදී කංසාවල වෛද්‍යමය අගය අභියෝග කළ නොහැකි ලෙස ඉතා තර්කානුකූලව පෙන්වා දී තිබේ.

මේ වනවිට කංසා සඳහා පේටන්ට් බලපත්‍ර බොහෝ රටවල් ලබාගෙන ඇත. කංසා පිළිබඳව පේටන්ට් ලබාගැනීම පිළිබඳව කතාබහ ඇතිව තිබෙන්නේ 1942 වසරේදීය. එසේම ගෙවී ගිය වසර විසි පහක කාලය තුළ කංසා වෙනුවෙන් පේටන්ට් අයැදුම්පත්‍ර එක්දහස් පන්සීයකට අධික සංඛ්‍යාවක් ලැබී ඇත. 1976 වසරේ සිට කංසා සම්බන්ධව නිකුත් කළ පේටන්ට් බලපත්‍රවලින් සියයට විසිපහක්ම ඖෂධ නිෂ්පාදනවලට අදාළය. මේ වනවිට කංසා පේටන්ට් පන්සීයක් පමණ ක්‍රියාකාරීව තිබේ. කැනබිනොයිඩ් පෙණහලු අවහිරතා සුව කිරීමේ හැකියාව වෙනුවෙන් නිකුත් කළ 2009/0197941 පේටන්ට් බලපත්‍රයයි. වමනය හා අරුචියට ප්‍රතිකාරයක් ලෙස 2003/0225156 පේටන්ට් බලපත්‍රය නිකුත් කර ඇත. පර්යන්ත ස්නායු ගත වේදනා වෙනුවෙන් නිකුත් කළ පේටන්ට් බලපත්‍රය වන්නේ 2010/0035978ය. මධුමේහය වැළැක්වීමේ ප්‍රතිකාරය වෙනුවෙන් 2007/0099987 පේටන්ට් බලපත්‍රය ලැබී තිබෙන්නේය. 6974568 දරන පේටන්ට් බලපත්‍ර ලැබෙන්නේ කැස්සට ප්‍රතිකාරයක් ලෙසින් Multiple Sclerosis තත්ත්වයේ ලක්ෂණ පාලනය සඳහා ලබාගත්තේ 2006/0167084 පේටන්ට් බලපත්‍ර වේ. පුරස්ථි ග්‍රන්ථි රෝග සඳහා 7597910 පේටන්ට් බලපත්‍රය හිමිය. රුධිර නාළ සංකෝචනය සඳහා 7109245 පේටන්ට් බලපත්‍රය හිමි තිබේ.

ලොව බොහෝ රටවල් කංසා නිෂ්පාදන සඳහා පේටන්ට් ලබාගනිමින් සිටියි. එසේම නීතිරීති ලිහිල් කරමින් පවතී. නමුත් එක්සත් ජාතීන්ගේ සම්මුතිය හරහා කිසි විටෙක වෛද්‍යමය නොවන කංසා භාවිතයට අවසර නොදෙයි. 1961 සම්මුතියේ 4 (C) සහ 36 වගන්ති මෙන්ම 1988 සම්මුතියේ 3 වැනි වගන්තියේ 1 (9) ඡේදයට මෙය පටහැනි බවත් කියැවේ.

මේ අනුව වෛද්‍යමය නොවන කංසා භාවිතය නීති ලිහිල් කිරීමට යොමුවන රටවලට එක්සත් ජාතීන්ගේ කාර්යාලය අනතුරු අඟවා ඇත. නමුත් එම රටවල් කියා සිටින්නේ කංසා භාවිතය යම් ප්‍රමාණයකට සමාජගත කිරී‍මේලා ජාත්‍යන්තර සම්මුතීන් යාවත්කාලීන කිරී‍මේ අවශ්‍යතාව මේ වනවිට පැන නැගී ඇති බවකි. ලංකාවේ කංසා වගා කිරීමට අවසරය දීමේ බලය ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යවරයාටය. ඒ 1929 අංක 17 දරන අබිං වස විස හා අන්තරායකර ඖෂධ ආඥාපනතේ 27 වැනි වගන්තියට අනුවය.