විශේෂාංග

කංසා අහිංසක නැත

ගංජාවල ඖෂධීය ගුණ ඇතැයි කියමින් එය නීතිගත කළ යුතු යැයි මත දරන්නන් මෑතක දී වැඩි වී ඇත. මෙය මතට භාවිතා කිරීමේ ප්‍රවනතාව වැඩි පසුබිමක ගංජාවල ඖෂධීය වටිනාකම පමණක් මතු කරමින් කෙරෙන කතාබහ රටේ තරුණ පරපුර වෙත සුභදායක නොවනු ඇති බව වැඩි දෙනෙකුගේ විශ්වාසයයි.

ගංජා (කංසා) නීතිගත වුවහොත් සිදු විය හැකි අවධානම පිළිබඳව කොළඹ ජාතික රෝහලේ මත්ද්‍රව්‍ය දුම්කොළ හා මධ්‍යසාර රෝග පිළිබඳ සායනික ඒකකයේ උපදේශක, කොළඹ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහේෂ් රාජසූරිය මහතා දැක් වූ අදහස් ඇසුරින් මෙම ලිපිය සැකසේ.

පහන් දැල්ලට වහ වැටෙන පළඟැටියෙකුට සිදුවන්නේ කුමක් දැයි අමුතුවෙන් කිවයුතු නැත. පළඟැටියා පහන් දැල්ල වටා කැරකෙන්නේ එහි ඇති බියකරු බව නොදැනය.

මේ ලියවිල්ල ආරම්භයේ එසේ කියන්නට සිත් වූයේ ඉකුත් සති කිහිපය තුළ කංසා (ගංජා) නීතිගත කිරීමේ වැදගත්කම ගැන ඇතැමුන් කළ කතා නිසාය. එහෙත් මෙහි ඇති කනගාටුදායක කාරණය නම් ඔවුන් මේ අදහස් පළ කරන්නේ කවුරුන් හෝ කියන දෙයක් අසාය. එහෙත් එය භාවිතා කර විපාක විඳින්නට සිදු වූ කළ එහි වන බරපතළකම හොඳින් වටහාගත හැකිය. එවිට ප්‍රමාදය. මන්ද යත් පහන්දැල්ලට වහ වැටී පිළිස්සී ගිය පළඟැටියකුගේ තත්ත්වයට එවිට එම පුද්ගලයා පත්ව සිටින්නට හැකි බැවිනි.

විශේෂයෙන්ම මානසික ව්‍යාධියකින් පීඩා විඳින විට ‘ගංජා’ හොඳයි කියන්නට නොහැකිය. එහෙත් එවැනි සුවයක් පතා ගංජා පානය කළ තරුණයින් අපගේ සායනවලදී අපට කොතෙකුත් හමුවේ.

කංසා හෙවත් ගංජා නීතිගත කළ යුතු යැයි කියන පිරිස් මතු කරන කරුණු කිහිපයකි. එහි දී මෙම මත්ද්‍රව්‍ය මිනිසාට හානියක් නැති අහිංසක මත්ද්‍රව්‍යයක් ලෙස හුවා දැක්වීමට උත්සුක වනු පෙනේ.

මනෝ වෛද්‍යවරයෙක් ලෙස පළමුව හිතට එන දේ නම්, ගංජා භාවිතය නිසා තිබූ මානසික රෝගයක් උග්‍ර වීම හෝ අලුතින් මානසික රෝගයක් හටගැනීමේ අවධානම ඇත. Cannabis induced psychosis යනු ගංජා නිසාම ඇති වන මානසික රෝගයකි. ‌මෙවැනි මානසික රෝග සුළුවෙන් තැකිය නොහැකිය.

සයිකෝසියා ගණයට වැටෙන Shizophrenia, bipolor disorder, depression වැනි ප්‍රධාන මානසික රෝග මේ නිසාම හටගත හැකිය.

විශේෂයෙන්ම මොළය හා මධ්‍ය ස්නායු පද්ධතිය වැඩී නොමැති දරුවකු ගංජා භාවිතා කරන්නට පටන්ගතහොත්, ඉන් එම දරුවාගේ මොළයේ වර්ධනය අඩාළ වී බුද්ධි මට්ටමද අඩු වනු ඇත. තවද එම දරුවාගේ නිර්මාණශීලීත්වය, මතක තබා ගැනීමේ හැකියාව මෙන්ම තරුණයකු වූ විට ප්‍රජනන හැකියාවටද එය බෙහෙවින් බලපානු ලැබේ.

ගංජා භාවිතයෙන් ප්‍රධාන ලෙසම ශාරීරික හානි සිදු වේ. ගංජා උරා බීම හේතුවෙන් දුම්පානයේ දී සිදුවන හානියම සිදු වේ. උදාහරණයක් ලෙස කාබන්මොනොක්සයිඩ් වැනි විෂ රසායනික ද්‍රව්‍ය දුම්පානයේ දී අපේ ශරීරයට ඇතුළු වනවා සේම ගංජා භාවිතයේදීත් එම විෂ රසායනික රැසක් ශරීරයට ඇතුළු වේ.

ගංජා භාවිතය සහ දුම්කොළ භාවිතය යන දෙකෙහිම සිදුවිය හැකි දෙයක් නම් තමන් ළඟ ඇති දුඟදයි. තවද මුහුණේ පෙනුම පමණටව වඩා වයසට යෑම, සම රැලි වැටීම, මුහුණේ ඇති දීප්තිමත් භාවය, තරුණ පෙනීම අහිමිව යෑමය.

ගංජා භාවිතය මගින් නිර්මාණශීලීත්වය වැඩි දියුණු වනවා යැයි කීම හෝ අධ්‍යාත්මික සුවයක් ලැබෙනවා යැයි කීම විද්‍යාත්මක පදනමකින් තොර වූවකි. ගංජා පානයෙන් පුද්ගලයින් ශාන්ත දාන්ත වනවා යැයි කියනු ලැබූවත්, එවැනි පුද්ගලයින් කලහකාරී වූ අවස්ථා ඕනෑ තරම් තිබේ. එමෙන්ම බොහෝ ප්‍රචණ්ඩ හැසිරීම් ද එවැනි පුද්ගලයින් තුළින් දැක තිබේ.

ගංජා දේශීය වෛද්‍ය ක්‍රමයේ භාවිතා වන ඖෂධයක් නමුත් මෙය මත්ද්‍රව්‍යයක් ලෙස ගන්නා තරුණ ප්‍රජාවට වන හානිය අපට සුළු කොට තැකිය නොහැකිය. ගංජා භාවිතය නිසා තමන්ට සිදු වන හානියේ බරපතළකම එය භාවිතා කරන්නාට නොදැනෙන නමුත් එහි ආදිනව අඩුවන්නේ නැත.

අන් අයගේ මත දරා ගැනීමේ හැකියාව ගංජා භාවිත කරන අයට අවමය. එමෙන්ම ඉවසීම, සංයමයද අවමය. අන් අය කෙරේ සැකෙන් බලන්නට පෙලඹෙන නිසාම නිවසේ සාමය පළුදු වේ. අප හමුවීමට එන සේවාලාභීන් අතර මෙය නිතර දැකිය හැකි තත්ත්වයකි.

තරුණ පුතුන් ගංජාවලට ඇබ්බැහි වී ඉගෙනීම කඩාකප්පල් කරගත් විට එයින් පීඩාවට පත්ව ඇඬූ කඳුලෙන් අප හමුවට එන අම්මලා අප දැක ඇත්තෙමු. ඉගෙනීමේ දී ලකුණු අතර සිටි මෙම දරුවන්ගේ කඩා වැටීම පැහැදිලිව දන්නේ එම දෙමාපියන් සහ ඔවුනට ප්‍රතිකාර කරන වෛද්‍යවරයායි.

එමෙන්ම රෝහලේ දී අප දකින්නේ ගංජා භාවිතය නිසා විපාක විඳින්නන්මය. මීට ඇබ්බැහි වූවන් කුමක් කීවත් ඔවුන් සමග ජීවත් වන අය ඔවුන්ට සිදු වන හානිය හොඳින්ම දනිති. මේ නිසා මෙය වාසි දායක වුවත් පවුල් ඒකකයට, තරුණයන්ගේ අනාගතයට සෘජු ලෙස බලපාන දෙයකි. එබැවින් නීතිගත කිරීමක් සිදු වුවහොත් එය මත්ද්‍රව්‍යයක් ලෙස භාවිතා කරන පිරිසද වැඩිවනු ඇත.

රටක් හැටියට නැගී සිටීමට වෙර දරන මොහොතේ මෙවන් යෝජනා අපේ සංවර්ධනයට එරෙහිව බඳින වැට කඩුළු වැනිය. මෙවන් උපක්‍රමවලට හසු නොවීමට සියල්ලන්ම වගබලා ගත යුතු නොවේ ද?