විශේෂාංග

ඕලු පිපීලාත් කුඩු පට්ටම් වෙයි

ඕනෑම පොතක පිටකවරය විසින් අදාළ පොතට එක් කරන්නේ ආකර්ෂණයකි. පාඨකයා ඊට ඇද බැඳ ගැනීමකි. එසේම, කෘතියේ සමස්තය පිළිබඳ ඡායාවක් පාඨකයාට පෙන්වීමකි. ඊට අමතරව, පොතේ අන්තර්ගත පිටු ආරක්‍ෂා කිරීම ද කවරයට හිමිව ඇති තවත් වගකීමකි. පොත් කවර නිර්මාණය ද එසේ මෙසේ වැඩක් නොවේ. ඊට ද දක්‍ෂතාවක්, හැකියාවක් තිබිය යුතුය. නිර්මාණශීලීත්වයක් තිබිය යුතුය.

කෙසේ වුවත්, ‘‘කවර’’ ගැන අපට මතක් වුණේ පොත් කවර නිසාවත්, සීඩී තැටි හෝ එවැනි කවර නිසා නොවේ. අලුත් රැල්ලක් සේ විහිද යන සිංදු කවර් වර්ෂන් (COVER VERSIONS) නිසා ය. එසේත් නැත්නම් ජනප්‍රිය ගීයකට අනුරූපව එම ගීයම වෙනස් රටාවකට ගැයීම ය. ගීයේ බුද්ධිමය දේපළ හිමි උරුමකරුවන් දැනුවත්ව හෝ නොදැනුවත්ව, තාල භාණ්ඩ කීපයක් යොදා වෙනස්ම ඌරුවකට ගායනා කිරීම ය. ඉන්පසු එය යූ ටියුබය හරහා ජනගත කිරීම ය. යූ ටියුබ් පරිශීලකයන් සැලකිය යුතු ප්‍රමාණයක් එය නැරඹුවහොත් කවර කාරයාට මුදල් ය. එසේ නැති වුවත් කිසියම් පි˙රිසක් අතර ‘‘ගායකයෙක්’’ ය. නැතිනම් ‘‘ගායිකාවක’’ ය. සි˙රි ස˘ඟබොධි මාලිගාවෙන් ‘‘රැප්’’ කිරීමෙන් ඇරැඹුණා යැයි සිතිය හැකි මේ වින්නැහියේ අලුත්ම මුහුණුවර, කවර කෙරුවාව සේ ය.

මේ කවර මේනියාව පිළිබඳ ලියන්නට පොලොඹවන්නේ වට්ස් ඇප් හරහා ලද ගීතයකි. ගීතයක් කීවාට ගීයක කොටසකි. ගීතය ඕලූ පිපීලා ය. සුනිල් සාන්ත සංගීතවේදියාණන් ගේ ගී මල් පොකුරේ ඇති සුගන්ධවත් ගී අතර සුදිලෙන ඕලූ පිපීලා ය. නමුත්, ඒ අපට හුරුපුරුදු සුනිල් සාන්තයන් හෝ අයිවෝ ඩෙනිස් ගායකයාණන්ගේ ඕලූ පිපීලා නොව, කුඩු පට්ටම් කරන ලද ඕලූ පිපීලාවකි. නව පරපුර විසින් නව සංගීත සංයෝජනයෙන් බිහි කරන ලද සුනිල් සාන්තයන් ගේ මෙන්ම වෙනත් පැරැණි ශිල්පීන් ගේ ගීත අප ශ්‍රවණය කර ඇතත්, ඉන් කිසියම් රසයක් ද විඳ ඇතත්, මේ නම් අමුම අමු ඝාතනයකි. සුනිලූන්ගේ හෝ අයිවෝ ගේ මධුර හඬ හරහා අප ඉදි˙රියේ මැවුණු ඕලු මල් මාලාව පැලඳි ශෝභමාන ලලනාව වෙනුවට මේ මල්ලිලා අප ඉදි˙යේ ප්‍රාදුර්භූත කරන්න තතනන්නේ කැට්වෝක් නළඟනකි.

සංකල්පයක් වශයෙන් මෙම කවර් වර්ෂන්වලට හෝ කාලානුරූපව සිදු කරන නව සංගීත සංයෝජනය ක්‍රියාවකට අපගේ විරෝධයක් නොමැත්තේ එය නිසි ලෙස කරන්නේ නම් එහි ද රසයක් ඇති නිසා ය. අදාළ අවසර ගැනීම් සහ ඒ ඒ ගීත රචකයනට, තනු නිර්පාමකයනට කිසියම් ප්‍රතිලාබයක් ද ලබා දී එම කටයුතු කෙරේ නම් ඒවා තවත් රහ ය. අපුලක් නැතිව අහන් ඉන්නට හැකි ය. ලෝකයේ වෙනත් රටවල ද එවැනි සංගීත අත්හදා බැලීම් ඕනෑ තරම් දක්නට ඇත. නමුත් කොල්ලකෑම නම් වෙනත් රටවලත් අප රටේ තරමටම තිබෙනවා දැයි අප දන්නේ නැත.

දැනට වසර 74කට එපිටින් 1946 වසරේ දී පීදුනු ඕලු පිපීලාවේ උක්ත කවර් වර්ෂන් එක සඳහා නිසි අවසරයක් ලබා ගෙන හෝ දැනුම් දීමක් අදාළ විනාශකාරයින් විසින් සිදු කර ඇත්දැයි දැන ගැනීමට අපි සුනිල් සාන්තයන් පුත් ලංකා සාන්ත මහතා ඇමතුවෙමු. ඔහු පැවසුවේ මේ පිළිබඳ හාංකවිසියක් නොදන්නා බවයි. අවසර ගැනුමක් තබා කිසියම් හෝ දැනුම් දීමක් පවා සිදු කර නොමැති බවයි. මෙවැනි පහරන්නන්ට තම දැඩි විරෝධය දක්වන බව ද ඊට එරෙහිව අවශ්‍ය පියවර ගන්නා බව ද ඔහු සඳහන් කළේ ය.

දකුණු ඉන්දීය ගී තනුවලට ගැට ගසා තිබූ සිංහල ගීය ඉන් මුදවා සැබෑ සිංහල රසයක් හා දේශීයත්වයක් සිංහල ගීයට ආරෝපණය කරන්නට සමත් වූ ඕලූ පිපිලා ගීයේ තවත් විශේෂත්වයක් වන්නේ, පද රචනය, තනුව, සංගීතය සහ ගායනය යන සියලූ අංශයන් තුළ ඇත්තේ සුනිල් සාන්තයන් ගේ නිසග ප්‍රතිභාව පමණක් වීම ය. එසේ ම, ගුවන් විදුලිය මගින් තැටි ගත කළ පළමු ගී අතරින් එක් ගීයකි. කෙසේ වුවත් ඕලු මල් නෙළමින් යන ඕලු මලක් වන් ලස්සන මාලාවට ඕලු මල් නෙළා යෑමේ දී පරදින තරුණයා මෙන් මෙම කවර් වර්ෂන් එකත් ඔරිජිනල් ඕලු පිපීලා ගී රසය ඉදිරියේ පරාජය වන්නේ ‘‘ලෙන්ත්’’ තියා ය.

ගීතයක් නිර්මාණය කිරීමට එහි ආරම්භක කර්තෘවරුන් – රචකයන්, තනු නිර්මාපකයන්, සංගීතඥයින් – මොන තරම් වෙහෙසක් ගන්නවා ද? කෙතරම් නම් කැපවීමක් ඔවුන් ඒ වෙනුවෙන් වෙන් කරනවා ද? රෑ කීයක් නම් නිදි වරා පහන් කරනවා ද? සිංහල සංගීත කෙත අස්වැද්දූ ඒ පරපුරේ නිර්මාණකරුවන් සේ ම, මතු නොව ඉන් පසු පරපුරේ හෝ වෙනත් ඕනෑම හරවත් ගීත රචකයකුටද ගීතයක් ලිවීම සඳහා ගත වන්නේ පැයක්, දෙකක්, වරුවක් හෝ දිනක් විය හැකි වුවත්, ඒ සඳහා ඔහු හෝ ඇය එක් රැස් කර ගත් අත්දැකීම් සම්භාරය, ප˙රිශීලනය කළ පතපොත, ඔවුන් සතු ප්‍රතිභාව සහ පරි˙චය ආදිය පිළිබඳ වගේ වගක් මේ ‘‘කවර්’’ ‘‘වර්ෂන්ස්’’ පිරි˙සට තිබෙනවා ද? මේවායින් උපයන මුදලින් කිසියම් හෝ ප්‍රමාණයක් ඊට හිමිකම් කියන අයවලුන්ටත් ලබා දෙනවා ද?

ශ්‍රී ලාංකික කාගේත් ගෞරවාදරයට පාත්‍ර වූ පණ්ඩිත් අමරදේවයන් ගේ ගීත නිර්මාණ ද මේ කවරකාරයන් ගෙන් නිදහස් වූවේ නොවේ. අමරදේව පුත් රන්ජන අමරදේව පවසන්නේ මෙම කවර් වර්ෂන්ස් කරන යම් යම් අය ඔවුන්ගෙන් ඊට අදාළ අවසරය ලබා ගැනීමට ක්‍රියා කළත් තවත් කොටසක් එසේ නොකරන බවයි. අමරදේවයන් මතු නොව ඕනෑම ගායක ගායිකාවක ගේ ගීයක් නව පරපුර, නවතාවකින් යුතුව ගායනා කිරීමේ වැරැද්දක් නැත. කලා නිර්මාණ ද කාලයත් සමග යම් වෙනස්වීමකට භාජනය වීම සාමාන්‍ය තත්ත්වයක් නිසා ය. නමුත් ඒ වෙනස්වීම් සිදු කළ යුත්තේ එහි රස නොමරා ය. මුල් කෘතියට හානි නොවන අයු˙රින් ය. එහි ගායනා විලාසය, ˙රිද්මය, තනුව ආදියෙහි බෙල්ලෙන් අල්ලා ඔළුවෙන් සිටවා නොවේ. එසේම උක්ත මුල් නිර්මාපකයනට ඒ පිළිබඳ දැනුම් දීමෙන් අනතුරුව ය. නව නිර්මාණය හරහා කිසියම් මුදල් ඉපැයීමක් වේ නම් ඉන් කොටසක් කර්තෘ භාගය වශයෙන් අදාළ අයට ලබා දීමට තරම් කෘතවේදිත්වයක්, හැකියාවක්, සදාචාරයක් ඔවුනට තිබිය යුතුය.

පැරැණි ගීත රචකයන් පමණක් නොව අලුත් ගීත රචකයන්ගේ නිර්මාණ ද මෙම කවර වසංගතයට ගොදුරු වන බව, නව ආරක ගී ගණනාවක් රචනා කර ඇති චාමින්ද රත්නසූ˙රිය අප සමග පැවසී ය. ඔහුගේ ගීත කිහිපයක් මත් නිසි අවසරයකින් තොරව යූ ටියුබ් ආදිය හරහා ප්‍රසිද්ධ කර ඇති බව ඔහු පැවසුවේ ‘‘කාට පවසම් මේ අවනඩු….’’ කියමිනි.

මේ සම්බන්ධයෙන් ඇති තවත් පැතිකඩක් වෙත අප අවධානය යොමු කළේ ගීත රචකයකු මෙන්ම ප්‍රචාරණ සූරයකු වන දිලීප අබේසේකර යි. ඔහු කරුණාරත්න අබේසේකරයන්ගේ පුත්‍රයා යි. ඔහු පවසා සිටියේ, කර්තෘ භාග ගෙවීම සඳහා බුද්ධිමය දේපළ පනත යනුවෙන් පනතක් අප රටේ නීතියට එක් කර ඇත්තේ 1979 තරම් ඈත කාලයක බව ය. ලෝක මට්ටමින් පැමිණි මෙම බුද්ධිමය අයිතිය පිළිබඳ අදහස ශ්‍රී ලංකාවට එදවස ගළපා ඇත්තේ ලලිත් ඇතුලත්මුදලි සහ ලක්‍ෂ්මන් කදිර්ගාමර් යන විශිෂ්ට දේශපාලනඥයින් දෙපළ ගේ මැදිහත් වීමෙනි. ඒ අනුව, එකල තිබූ එකම විද්‍යුත් මාධ්‍යය වන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් අදාළ කර්තෘ භාග ගෙවීම් කිරීම ආරම්භ කළේලූ. නමුත්, කිසියම් හෝ නොදන්නා හේතුවක් නිසා එම ක්‍රියාපටිපාටිය ලත් තැනම ලොප්වීලූ. රේඩියෝ, ටීවී චැනල මගින් ප්‍රචාරය කරන ගීත සඳහා දැන් යළිත් එය කිසියම් පමණකට හෝ සක්‍රීය වී ඇත.

මුල් නිර්මාපකයන් නොසලකා හැරීමේ හෝ අමතක කරලීමේ නොකටයුත්ත සිදු කරනුයේ ඔවුන්ගේ ගී ගායනා කරමින් ගායක ගායිකාවන් බවට පත් වීමට උත්සාහ කරන සමහර ඇත්තන් පමණක් නොවේ. අතොරක් නැතුව ඇහෙන එෆ්.එම් රේඩියෝ චැනල ද තම දායකත්වය ඊට නොඅඩුව ලබා දෙයි. මොන රේඩියෝ චැනලය ද තමන් විසින් ප්‍රචාරය කරන ගීතයේ රචකයා, තනු නිර්මාපකයා සහ සංගීතඥයා පිළිබඳ සඳහන් කරන්නේ? ඒ තබා, ගායකයා හෝ ගායිකාවගේ නමවත්? රේඩියෝ හෝ ටීවී චැනල, ශ්‍රාවකයන් අතර පවතින්නේ වෙසෙසින්ම ගීතය වැනි කලා නිර්මාණ නිසා ය. ඉතින්, එම කලා නිර්මාණ බිහි කරලීමට මහත් කැපවීමෙන් කටයුතු කළ ශිල්පී ශිල්පිනියන් පිළිබඳ සඳහනක් හෝ කිරීම මෙම රේඩියෝ හෝ ටීවී චැනලවල යුතුකමක් නොවේ ද?

සිකුරුලියා, මගෙ නාමලී, ආදර මල් පවනේ, බඹරෙකු හැඬුවා වැනි අතිශය ජනප්‍රිය වූ රම්‍ය ගී රැසක් පබැඳූ ධර්මසි˙රි ගමගේ සූරී පුත් චමින්ද ගමගේට ද අප කතා කළේ මේ සම්බන්ධයෙන් දැනුවත් වීමට යි. මේ තත්ත්වය පිළිබඳ ඔහුට ද කියන්නට තිබුණේ රන්ජනටත්, දිලීපටත්, චාමින්දටත් කියන්නට තිබූ දේ ම ය.

‘‘සමහරු දැනුම් දෙනවා. සමහරු එහෙම නැහැ….’’

ප්‍රසංග වේදිකාවේ ගැයෙන ගී සඳහා නම් දැන් කර්තෘ භාග ගෙවීම් සිදු වන බවයි චමින්ද ගමගේගෙන් දැන ගන්නට ලැබුණේ. අදාළ නගර සභාවෙන්, ප්‍රාදේශීය සභාවෙන් ප්‍රසංගය සඳහා සංවිධායකයින් අවසර ගන්නා විට එහි දී ගැයෙන ගීත පිළිබඳ එම ආයතන දැනුවත් කිරීමක් කළ යුතු වේ. එම තත්ත්වය පිළිබඳ තවදුරටත් අපට කරුණු හෙළි කළ ප්‍රවීණ ගී පද රචක සුනිල් ආර්. ගමගේ පැවසුවේ ප්‍රසංග සංවිධායක වෙතින් කර්තෘ භාග ලබා ගෙන අදාළ ශිල්පීන්ට එම මුදල ලැබීමට ඔහුත් ඇතුළු ගී රචකයන් බොහෝ දෙනෙකු ඒකරාශී වී සිටින ගීත නිර්මාණ කේන්ද්‍රය හෙවත් ‘‘ඔස්කා’’ සංවිධානය කටයුතු කරන බවයි. එය යහපත් තත්ත්වයකි. එසේම, වර්තමානය වන විට යූ ටියුබ් වැනි සමාජ මාධ්‍ය පවා ආවරණය වන ප˙දි අදාළ නීතිරීති සියල්ලක් ම පාහේ ගැසට් කර ඇති බව ගමගේ මහතා ප්‍රකාශ කළේය.

ගී අම්බරයේ පෑයූ තාරකාවන් ගීත වනසාලීම අමු අමුවේ සිදු කරනු ලැබුයේ ‘‘කවර’’ ගායකයනටත් වඩා සංගීත කණ්ඩායම් අතිනි. 60-70 දශකවල ආරම්භ කළ සංගීත කණ්ඩායම් මේ පාප කර්මයට හවුල් නොවුණත් 90 දශකයේ පමණ ආරම්භ වූ ප්‍රවණතාවක් වූයේ ජනප්‍රිය ගායිකාවන්ගේ ගීත, කණ්ඩායමේ සිටින එකකු ලවා ගැහැනු හඬින් ගායනා කිරීමයි. එසේම, ජනප්‍රිය ගී පොකුරක් එක මිටට ගෙන ‘‘නන්ස්ටොප්’’ හෙවත් නොනැවතී, වේග ˙රිද්මයෙන් ගීත කීපයක් ගායනා කිරීම ද එකල ප්‍රසංග වේදිකාවේ අනිවාර්ය අංගයක් විය.

මෙම නිර්මාණ එළි දක්වන ‘‘කවර’’ ශිල්පීන් පි˙රිසකට අනුව ඔවුන් විසින් සිදු කරනුයේ සද්කාර්යයකි. පැරැණි ගීත නව පරපුරට, ඔවුන් කැමැති රි˙ද්මයෙන් අසන්නට සැලැස්වීමේ කාලීන කටයුත්තකි. බැලු බැල්මට නම් එය මනරම් අදහසකි. කළ යුතුම දෙයකි. නමුත් නව පරපුරට පිරි˙නමනවා යන වචනයට කවර් වී සමහර කවර් ගායකයන් සිදු කරන්නේ නියම ඔර්ජිනල් ගීතයක් හෝ ගී සමුච්චයක් වනසා දැමීම නම් එය අපරාධයකි. එසේම, මුල් ශිල්පීන්ට ඒ පිළිබඳ දැනුම් දීමකින් තොරව ඒ දෙය කරනවා නම් එය තක්කඩිකමකි. කපටිකමකි. දැක්කොත් බුවා නැත්නම් එබුවා වැනි තත්ත්වයකි. එසේම, යහපත් අරමුණින්, හොඳ චේතනාවෙන්, අවශ්‍ය දැනුම් දීම්වලින් පසු කවර් වර්ෂන් එකක් කරන අවංක තරුණ පි˙ස්වල එම උත්සාහයට ද පොල්ල දැමීමකි. අපට හිතෙන හැටියට මෙයට ප්‍රධානතම හේතු කාරණාව වී ඇත්තේ මේ කිසිවකුට සදාචාරාත්මක වගකීම යන්න පිළිබඳ හැ˘ඟීමක් නොමැති වීම ය. ගීතයක කවර් වර්ෂන් එකක් වේවා නව නිෂ්පාදනයක් වේවා මේ කුමන දෙයක් කළ ද ඊට පෙර අදාළ අයවලුන්ට තමන් කරන්නට යන දේ පිළිබඳ දැනුම් දීමේ සදාචාරාත්මක වගකීම මොවුන් වෙතින් ගිලිහී ගොස් ඇත.

සැබැවින්ම මේ සදාචාරාත්මක වගකීම යන උත්තුංග චරි˙ත ලක්‍ෂණය පැවැතිය යුතු අයුරි˙න් නොපැවැතීම, සංගීත ක්ෂේත්‍රයේ මතු නොව අනෙක් බොහෝ ක්ෂේත්‍රවල ද තත්ත්වය නැත්නම් ‘‘කොලිටිය’’ බාල වීමට ප්‍රබල හේතුවකි.

තරු වැඩසටහන්වල අපට දක්නට ලැබෙන සමහර විනිසුරු ගායක ගායිකාවන් විටෙක උදම් අනනුයේ ‘‘අපේ ගීත නම් කවුරු ගැයුවත් අපට කම් නැත….’’ කියා ය. එසේ උදම් අනන අතර ඔවුන් විසින් ප්‍රේක්‍ෂකයන් වෙතින් සඟ˘වනු ලබන කාරණය වන්නේ එම වැඩසටහන් නිෂ්පාදනය කරන ආයතන විසින් ඔවුනට අත පිරෙන්න කහවණු පුදා ඇති බව ය. ප්‍රේක්‍ෂකයා ඉදිරි˙යේ ඔවුන් වීරයන්ය. තම බුද්ධිමය අයිතිය පිළිබඳ කතා කරන කලාකරුවන් ද්‍රෝහීන් ය.

මෙවැනි ශෝචනීය තත්ත්වයන් බුද්ධිමය දේපළ පනත තවදුරටත් බල ගැන්වීම මගින් හෝ කිසියම් මණ්ඩලයක් හෝ සංවිධානයක් මගින් නියාමනය කිරීමෙන් හෝ පාලනය කළ හැකි දේ නොවේ. අවශ්‍ය වන්නේ කවුරු කවුරුත් තම හෘද සාක්‍ෂියට එක˘ඟව කටයුතු කිරීම ය. වගකීම් සහගත සදාචාරාත්මක භාවය තමා තුළ ඇති කර ගැනීම ය. පිදිය යුත්තන් පිදීම සේම ලැබිය යුත්තන්ට ලැබිය යුතු දේ ලබා දීම ද පුණ්‍ය කර්මයකි. මනුස්සකමකි.

මාධව වික්‍රමසිංහ