විශේෂාංග

ඔහු යන්න ගියා මැකිලා…

අපූර්ව නිර්මාණ දහසකට අධික ප්‍රමාණයක් ජාතියට දායාද කළ ප්‍රතිභාන සංගීතඥයකු, කිසිදිනෙක මාධ්‍ය ප්‍රචාරණය පසුපස හඹා නොගිය හුදෙකලා මිනිසෙකු, මහා සම්මානයක් පවා එපා යැයි කියන්නට ධෛර්යය තිබුණු විරල ගණයේ අදීන කලාකරුවකු භෞතික වශයෙන් අපව හැරගොස් තිබේ.

‘‘පීත්වා පීත්වා පුන: පීත්වා පුන: පතති භුතලෙ
උත්ථාය ව පුන: පීත්වා පුනර්ජන්මන විද්‍යතෙ…’’

නමැති තන්ත්‍ර-ශ්ලෝකයෙන් කියැවෙන, ‘‘නැවත නැවත බොන්න… නැවතත් බොන්න… බිම වැටෙනතුරු බොන්න… නැගී සිට නැවතත් බොන්න… නැවත ඉපදීමක් නැතැ’යි පසක් වන තුරු බොන්න…’’ යන අදහස එච්. එම්. ජයවර්ධන ගැන කතා කරන විට යළි යළිත් සිහිපත් වේ.

‘‘එච්.එම්. හැම වෙලේම ‘වැඩ දාන්නෙ’ හරිම කෙටි ස්වර පරාසයක… හරියටම කිව්වොත් ‘ඩී මයිනර් – වී මයිනර්’ අතර පරාසයේ… මේ තරම් කෙටි ස්වර පරාසයක ඉඳන් අර තරම් විචිත්‍රවත් නිර්මාණ කරන්නේ කොහොමද කියල දන්නෙ එයාම තමයි… ඇත්තෙන් ම මට නං එච්.එම්. කියන්නෙ අතිදක්ෂ සංගීතඥයෙක්…’’

එසේ කියන්නේ එච්.එම්.ගේ තනු නිමැවුම්වල ආශ්චර්යමත් පළ ගැන විස්මය ඵල කරන සංගීතඥ නවරත්න ගමගේ ය.

‘‘සංගීතය නමින් කෙරෙන කර්මාන්ත ශාලා නිෂ්පාදනවලින් පීඩාවට පත්වෙලා ඉන්න රසිකයින්ගෙ කන්වලට එච්.එම්.ගේ නාද රිද්ම ශාන්තියක්… ඒ වගේම එච්.එම්. කියන්නෙ ශාස්ත්‍රාලීය සංගීත හිරගෙයින් නිදහස් වෙච්චි ස්වීය සංගීත ශෛලියක විචිත්‍රත්වය වෙත රසිකයා රැගෙන ගිය විශිෂ්ට සංගීතඥයෙක්….’’ බව කියන්නේ ප්‍රවීණ මාධ්‍යවේදියෙකු මෙන් ම සාහිත්‍ය විචාරකයෙකු ද වන ගාමිණී සුමනසේකර ය. ගාමිණී ගේ මෙ’කියමන තිබෙන්නේ, එච්.එම්. ජීවත්ව සිටියදී පැවැති ‘ඔබයි රම්‍ය සඳ’ ප්‍රසංගයේ සමරු කලාපයේ ‘පසුවදනේ’ ය.

ඔබයි රම්‍ය සඳ කිරණ, පූජාසනයේ, කඩමණ්ඩියේ, නවාතැන්පොළ, මිනිසෙකු පිට නැගි, ළා දලු බෝපත්, සඳ තරු නිහඬයි, ප්‍රේමයේ විල් තෙරේ, පුන් පෝදා සඳ, ඔබට මා ආදරය කළ බව මෙතරම්, රජ මැදුරක ඉපදී සිටියා නම්, සිරි යහනේ, ඔබ හා මෙමා අතිනත් අරන්, රත්තරන් නෙත් දෙකින්, ඔබ ඈත සඳ වී පායා… වැනි ජනප්‍රියත්වයෙන් ඉහළම තලයේ තිබෙන ගීතවලට එච්.එම්. අතින් නිමැවුණු අත්‍යලංකෘත තනු රචනා පෙර කී සහෘද – විචාරක කියමන් සනාථ කරන කදිම සාක්ෂ්‍ය වැන්න.

එච්.එම්.ගේ ගීතවල ප්‍රේමය නමැති භාවයෙහි එන විවිධ හැඟීම් විවිධ හැඩයෙන් මතුවීමම ය එහි අපූර්වත්වය. ‘ඔබයි රම්‍ය සඳකිරණ…’ ස්ත්‍රියකගේ ප්‍රේමය පසසන සංගීතයකින් හැඩ වී එහි අරුත් කුළුගන්වන විට, ‘පෙම් ලොවදී දුටු ඔහුම ද මේ…ඔහුට ද මා අන්ධ වුණේ…’ වැනි ගීතයක දී ස්ත්‍රිය ප්‍රේමයට අවලාද නගන ස්වරය කුළුගන්වයි.

බොහෝ දෙනෙකු නොදන්නවාට, එච්.එම්. සංගීතඥයෙකුට අමතරව ගුවන්විදුලියේ සරල ගී ගායකයෙකු ද විය. එහෙත් ඔහුගේ සංගීතය තරමට ඔහුගේ කටහඬ අපට හුරු පුරුදු නැත. සත්‍ය වශයෙන් ම මේ සටහන ලියන මම ද එච්.එම්.ගේ කටහඬට ඇහුම්කන් දුන්නේ, ඔහුගේ ම ‘මළගෙදරදී’ ය. එය නොනවත්වාම එහි පසුබිමෙහි වාදනය වෙමින් තිබුණු බැවිනි.

උල්පතකින් බිහි වූ මා
ගඟක් වෙලා යුග යුග ගානේ
ගැලූ ගමන් මගේ
නේක දසුන් දුටුවා – නේක වදන් ඇසුවා
කාලය කළ පෙරළි මැදින්
බාධක බිඳ ආවා…
මා සරු කළ බිම් මලින් පලින් පිරේවී…
මා ගැලූ මහිම ඉතිහාසය කියාවී…

ඒ ගීයෙන් කියැවෙන ‘ගඟ’ එච්.එම්.ට සමාන කළහොත්, ඇත්තෙන්ම එය ඔහුගේම ‘ජීවන ගීතය’ වැනි ය.

දුම් රැල්ලක් ලෙසින් නොබෝදා අහස් ගඟට එක් වූ මේ මහා ගංගාවේ ‘උල්පත’ ඇරඹෙන්නේ, සියඹලාණ්ඩුවේ ශුෂ්ක පෙදෙසකිනි. එවන් පෙදෙසක් හරහා හමා යන හුළඟක අඳෝනාවක්, තෙතමනයක් නැති එවන් පෙදෙසක මිනිසුන් මුවින් පිටවන වියළි හුස්මක්, කැකෑරෙන ඇවිස්සෙන දූවිල්ලක කර්කෂ බවක් ඔහුගේ සංගීතයෙහි නිබඳවම තැවරී ඇතැයි සිතේ. සංගීතය දෙවියන්ගෙන් ලැබෙන්නේ යැයි ඇතැම් සංගීතඥයින් පවසනු අසා ඇතත්, මම එය විශ්වාස නොකරමි. සවන් මතු නොව හදවත් ද පැහැරගන්නා එච්.එම්. වැන්නන්ගේ සංගීත තනු නිර්මාණවල ස්වර රටා එකී නිර්මාණකරුවාගේ අභ්‍යන්තර වේදනාවෙන්, ඔවුන් අයත් වන බාහිර පරිසරයේ කර්කෂ බවින් ම උපත ලබනවා විය හැකි ය.

මළගෙදර මිදුලේ තැන් තැන්වල සිටි සහෘද කලාකරුවෝ ද, සංගීත රසික රසිකාවියෝ එච්.එම්. ගේ ජීවිතය පිළිබඳ නොයෙකුත් මතක ස්මරණය කරමින් සිටියෝ ය. එමෙන්ම එච්.එම්.ගේ තනු නිර්මාණවල විස්මය බව සිහිපත් කරමින් සිටියෝ ය. ඒ අය අතර මාලිනී බුලත්සිංහල නොසිටීම විශාල අඩුවක් විය. ඇය සිටියා නම්, එච්.එම්.ගේ සුරා ඇසුර ගැන ඇය කියන කතා, බොහෝ අය ඒ ගැන කියන කතා තරම් ‘සෞන්දර්යවාදී’ නොවනු ඇත.

ඇත්තෙන්ම එච්.එම්.ගේ සුරා ඇසුර නිසා ඇයට මුහුණපාන්නට සිදු වූ ‘ප්‍රසිද්ධ ඇබැද්දි’ ගණනාවක් ම තිබේ.

මාලිනී සහ එච්.එම්. ප්‍රේම කරන්නට පටන්ගත් මුල් කාලයේ දිනෙක ඔවුන් දෙදෙනාටම ගී පටිගත කිරීමට ළඟ ළඟ වේලාවන් දෙකක් ලැබී තිබුණි. පටිගතකිරීම් සිදුවන්නට නියමිතව තිබුණේ, සෝමදාස ඇල්විටිගලයන්ගේ මෙහෙයවීමෙනි. මුලින්ම තිබුණේ මාලිනීගේ ගීත පටිගත කිරීම යි. මාලිනීගේ ගීත පටිගත කෙරෙන අතරතුර, සුරා ඇසුරට ගිය එච්.එම්. ගී පටිගත කරන මැදිරියට ආවේ බමරෙකු මෙන් කරකැවෙමිනි. සෝමදාස ඇල්විටිගලට ද එච්.එම්. ‘අමුතු’ බව දැනී තිබුණි.

‘‘මට අද හිටගෙන කියන්න බෑ වගේ… ඉඳගෙන කියන්න ද…?’’ ඇසූ එච්.එම්. මැදිරියේ තිබුණු පුටුවක වාඩි වී තිබේ. ඉන් අනතුරුව, ‘‘මෙහෙමත් අමාරුයි වගේ… ටිකක් හාන්සි වෙලා කියන්න දැ’’ යි ඇල්විටිගලයන්ගෙන් අසා තිබේ. ‘‘හරි හරි කමක් නෑ… ඕන විදියකට කියනවා…’’යැයි කියූ ඇල්විටිගලයන් ඒ වන විටත් වාද්‍ය වෘන්දය අණවා තිබිණි. එහෙත් ටික වේලාවකින් මයික්‍රෆෝනයෙන් ඇසෙන්නට පටන්ගෙන තිබුණේ ‘ගායනයක්’ නොව ‘ගෙරවිල්ලකි’. එදා සිදුවූ ඒ වැඩෙන් ගුවන්විදුලියේ සහෘදයින් ඉදිරිපිට ලැජ්ජාවට පත්වී තිබුණේ ද, ඇල්විටිගලයන්ගෙන් බැණුම් අසා තිබුණේ ද එච්.එම්. නොව මාලිනී ය.

ඒ එක ඇබැද්දියකි. තවත් ප්‍රසිද්ධ ඇබැද්දියක් සිද්ධ වී තිබුණේ, මොවුන් දෙදෙනා විවාපත්ව බොහෝ කලක් එකට ජීවත් වූ පසුව ය.

මාලිනී කොළඹින් බැහැර පැවති එක්තරා සංගීත සන්දර්ශනයක ගීත ගයමින් සිටියදී, මාලිනී සමග එහි ගොස් සිටි එච්.එම්. හදිසියේම අතුරුදන් වී තිබිණි. ‘‘මේ මනුස්සයා කොහේ හරි බොනව ඇති… අනේ ගිහින් හොයල බලන්න…’’ මාලිනී නගරය අවට අවන්හල් පරීක්ෂා කරනට හිතවතෙකු පිටත් කර හැරියා ය. ටික වේලාවකින් හිතවතා පැමිණියේ ඒ වන විටත් අවන්හලකට වී පදමට බීමත්ව සිටි එච්.එම්.ගේ පණිවුඩයක් ද රැගෙන ය. ‘‘මාලිනී මට ආදරේ නං බිල ගෙවල මාව අරං යන්න කියන්න…’’ ඒ පණිවුඩය ඇසූ මාලිනී රුපියල් දාහක් ම දී අර හිතවතා නැවත වතාවක් එච්.එම්.වෙත පිටත් කර තිබිණි. හිතවතා ගෙනා රුපියල් දහසේ නෝට්ටුව අතපත ගා බැලූ එච්.එම්. එවිට කියා තිබුණේ, ‘‘ෂා හරි ෂෝක් නෙ. රුපියල් දාහක් ම එවල. අපි දෙන්නට තව ටිකක් බොන්න පුළුවන්…’’යි කියා ය.

එච්.එම්.ගේ බිරිඳ වූ මාලිනී බුලත්සිංහලට එදා ඉතාමත් ‘නීරස’ අද්දැකීම් වූවාට සැක නැති මෙවැනි සිදුවීම්, ඔහුගේ සහෘදයින්ට සහ රසික රසිකාවියන්ට නම් ‘ඔහු පිළිබඳ කදිම රස කතා’ ය.

‘‘ඇත්තෙන්ම ඒ තමයි එච්.එම්…’’ ඔහු ව ළඟින් ඇසුරු කළ අය වගේ ම ඔහු දෙස දුරින් සිට බලා සිටියවු’න් පවා, ඔහු ගැන කියනු ඇත්තේ එසේ ය. ඇත්තෙන්ම ඔහු වැඩියෙන් ම ප්‍රසිද්ධ ‘සංගීතය’ සම්බන්ධයෙනි. ඊ ළඟට ප්‍රසිද්ධ වී සිටින්නේ ‘සුරා ඇසුර’ සම්බන්ධයෙනි.

ඔහු අතින් සංගීතය නිමැවුණු ගීත ලැයිස්තුව ගීත දහසකින් පමණ සමන්විත වෙද්දී, ඔහු අතින් පසුබිම් සංගීතය නිමැවුණු චිත්‍රපට සංඛ්‍යාව නම් අතලොස්සක් විය. මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ ‘මුහුදු ලිහිණි’ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් 1983 ජනාධිපති සම්මානයට නිර්දේශ වූ එච්.එම්. එය ප්‍රතික්ෂේප කළේ ය. ඒ ධර්මසිරි බණ්ඩාරනායකගේ අධ්‍යක්ෂණයක් වූ ‘තුන්වැනියාමය’ චිත්‍රපටයේ පසුබිම් සංගීතය නිර්මාණය කළ ප්‍රේමසිරි කේමදාසයන්ට එම සම්මානය හිමි විය යුතු බව කියමිනි. නිර්මාණය ගැන මිස සම්මානය ගැන වද නොවුණු එච්.එම්. ගේ හැටි එහෙම ය.
මියෙන්නට පෙර දින කිහිපයක් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ගත කළ එහෙව් එච්.එම්.ට ‘තවදුරටත් ජීවිතය’ වෙනුවට ‘මරණය’ ලැබුණු මොහොතේ ඔහු එය කැමැත්තෙන් ම භාරගන්නට ඇත.

කෙසේවෙතත් ඕමාර් ඛයියාම්ට අනුව නම්, මරණය යනු, ‘සුරා බඳුන මුණින් හැරවීමක්’ තරමටම සරල සහ සාමාන්‍ය දෙයකි. අන් ආකාරයකින්, ‘මරණයට පෙර සුරා බඳුන හිස් කරන්න…’ යන පණිවිඩය ද එහි ගැබ් වී තිබේ.
ඛයියාම් සිය රුබයියාට් නමැති ආඛ්‍යාන කාව්‍යයේ කථකයාගේ මරණය නිවේදනය කරන්නේ මෙසේ ය.

මින් මනත
අහසෙහි නැගෙන සඳ
තුරු පත් පීරමින් – උයනට නො’එබෙන්න
තවදුරටත් එ’උයනෙහි මා නැත…

නොබෝදා ‘මරණ මොහොත’ට මුහුණ දුන් එච්.එම්.ගේ මළගෙදර වාදනය වූ ඔහුගේ ම හඬ මුසුව තිබෙන ගීයේ ‘පුනගැයිය’ ද ඛයියාම්ගේ මේ කවියට දෙවැනි නොවේ. මට පෙනෙන හැටියට ඔහු අපට සමුදෙමින් මරණය වැලඳගෙන ඇත්තේ, ඉතාම සංයමයෙන් එමෙන් ම ඉතාම සැලසුම්සහගතව ය.

ගංගාව මමයි
අද දින මා සයුර දකින්නම්
ගං දෑලවරේ
මට හමු වූ ඔබට ආයුබෝවන්…!

– සුරේඛා සමරසේන