කතුවැකි

ඔහු කළ දේ ඔහුම නොදනී

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ නිවස පරීක්ෂා කර නඩුකාරයන්, ඉහළ පොලිස් නිලධාරින්, දේශපාලනඥයන් මතු නොව නළු නිළියන්, මාධ්‍යවේදීන් සමග ඔහු කළ දුරකථන කතාබහ පටිගත කළ සී. ඩී. තොගයක් අත්අඩංගුවට ගැනීම මහා පෙරළියක් වූයේය. රාජ්‍ය රහස්, අයවැය රහස් හෙළිදරව් වීමට වඩා බරපතළ හා ජුගුප්සාජනක හැඟීම් එම සාකච්ඡා ඇසීමේදී ජනතාවට දැනුණේය.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ මෙරට සිදු වූ අපරාධ ගැන සොයන්නට යොමු කෙරුණ ඉහළ පොලිස් නිලධාරියෙක් හැටියට ශානි අබේසේකර හඳුන්වා දිය හැකිය. කීර්තිමත් ගවේෂණාත්මක පුවත්පත් කතුවරයකු සේ සැලකෙන වික්ටර් අයිවන් ඔහු නම් කළේ මෙරට ඉන්නා ෂර්ලොක් හෝම්ස් වර්ගයේ අවංක කීර්තිමත් පොලිස් නිලධාරියකු වශයෙනි. එහෙත් ඔහු සෙසු දේශපාලනඥයන් විසින් නූගතෙකු හා අවිනීත අයකු ලෙස සැලකෙන රන්ජන් රාමනායකගේ අරමුණම දරාගෙන පොලිස් නිල ඇඳුම ඇඟලාගෙන රාජකාරි කළ බව මේ හඬපටවලින් පැහැදිලිවම පෙනිණි. වුවමනා නම් රන්ජන්ගේ ගෙදර හය මාසයක් වළං හෝදන්නට වුවද සූදානම් බව කියන හැටි හඬපටයෙන් ඇසෙන විට ශානි විශිෂ්ට පොලිස් නිලධාරියකු බව කියූ අයගේ මුව විවර වූයේ විස්මයෙනි. එහෙත් ඔහු මෙතෙක් කළ පරීක්ෂණ කාගේ කාගේ වුවමනාවට කළ ඒවා දැයි සොයා බැලිය යුතු බවට හැඟීමක් එම හඬ පට ඇසූ සාධාරණ සමාජයක් පතන ජනතාවට ඇතිවිණ.

විනිශ්චයකාරවරයකුට සිරකරුවකු විසින් අසූචි ගැසූ සිද්ධියක් පසුගිය යුගයේ අධිකරණයෙන් වාර්තා විණි. නඩුකාරයට ගහන ගූ වලටත් අසූචි යැයි කියන්නේ නඩුකාරයට තිබෙන ජනතා ගෞරවය නිසාය. බුදුන්ට, දළදාවට කියන හාමුදුරුවෝ යන ගෞරවනීය යෙදුම නඩුකාර හාමුදුරුවෝ යැයි යොදන්නට ජනතාව පුරුදුය. වැස්සට තෙමුණත් උසාවියේදී නඩුකාරයාට කුඩයක් අල්ලන්නට කිසිවෙක් ඉදිරිපත් නොවන්නේ ඔහු එතරම්ම සම්භාවනීය සහ ජනතාව අතරින් ඈත්ව සිට බලපෑමෙන් තොරව යුක්තිය පසිඳලීමට බව ජන විශ්වාසයේ එයි. සමාජශීලී බවින් තොරව කටයුතු කිරීම නඩුකාරයන්ගේ චර්යා ධර්මයක් කොට තිබෙන්නේ බාහිර සමාජ බලපෑමෙන් තොරව ජීවත් වී රාජකාරි කිරීමට ඉඩ සලසා දීමටය. විනිසුරුවන් මතු නොව නඩුවක ජූරි සභාවට ඉඳ ගන්නා අයද නඩුවේ පාර්ශ්වකරුවන් සමග කතාබහ කරනු ඔප්පු වුවහොත් ඔහු ජූරියෙන් නෙරපීම චිරාගත සිරිතය.

‘අනේ රන්ජන් මට ඔයා විතරයි විශ්වාස. චන්ද්‍රිකාගේ නඩුවෙයි, දුමින්ද සිල්වගෙ නඩුවෙයි තීන්දුව දුන්නෙ මම. මා ගැන කවුරුවත් බලන්නේ නෑ. මගේ උසස්වීම ගැන බලන්න කෝ. මගේ ෆයිල් එක මහත්තයා අතේ ගෙදරට එවන්නද?’යි අසමින්,

ගෙදරවල වැඩකාරකම් කරන කුස්සි අම්මා කෙනකුගේ හඬින් නඩුකාරවරියක් බැගෑපත් වෙමින් කතා කළේ තමන්ගේ ජ්‍යෙෂ්ඨ අගවිනිසුරු සමග හෝ අධිකරණ සේවා කොමිසම සමග නොව රන්ජන් රාමනායක නම් දේශපාලනඥයා සමගය.

රන්ජන් පටිගත කළ මේ හඬපටවලින් නීතිය නම් කන්‍යාවගේ තිසර පටයද ගලවා දමා තිබේ. නඩුකාරයන්, පොලිස් නිලධාරින් ගැලවූ නීතිය නම් කන්‍යාවියගේ තිසරපටය ඇන්දීමේ භාරධූර කාර්ය ඉතිරිව තිබේ. එය ඇන්දීමේ කාර්යය ඍජුවම ආණ්ඩුව අතට ගන්නේ නැති බව කියැවෙයි.
අගවිනිසුරුතුමාගේ මූලිකත්වයෙන් කෙරෙන විමර්ශනයක නිර්දේශ යෝජනා මත කටයුතු කිරීම ආණ්ඩුවේ අදහසය.

එහෙත් ඒ අයටත් ගොඩදැමිය නොහැකි ලෙඩ ගොඩක් මේ සමාජය අභ්‍යන්තරයේ තිබෙන බව රන්ජන්ගේ හඬපටවලින් තේරුම් ගැනීමට අපට අවස්ථාව ලැබිණි. පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා සමග රන්ජන් රාමනායක සාකච්ඡා කරද්දී මෙසේ අසයි.

‘‘ඔයා සිල්වාද, එහෙමනම් ඔයා අපේ කෙනෙක්. අගවිනිසුරුතුමාත් D ද? D කියන්නේ දුරාවේද නැද්ද? අපේ අය තමයි ඔය තැන්වල ඉන්නේ.’’

රෙදි සේදීම, කුරුඳු තැලීම, වළං සෑදීම, යකඩ තැලීම ආදී වෘත්තීන් අතීතයේ කෙරුණේ කුල පදනමෙනි. එහෙත් දැන් දැන් මේ ව්‍යාපාර හා නවීන යන්ත්‍ර සූත්‍ර මගින් වේතනය පදනම්ව මේ වෘත්තීත් කරන්නට පටන් ගෙන ඇති නිසා වෘත්තීන්වල කුලමල භේදය තුරන් වෙමින් පවතී. තරුපහේ හෝටල්වල ලොන්ඩරිවල මෙහෙවර කරන්නේ රෙදි නැන්දලාගේ පුත්තු නොවේ.

එහෙත් මේ රටේ ඉහළම තානාන්තරවලට පත් වීමේදී කුලයද හොල්මන් කරන බව මෙයින් නොපෙනේද?

රන්ජන් අධිකරණයට අපහාස කළ විට ඔහු හා තනියට උසාවියට ගියේ මහාචාර්ය කාලෝය. මේ කලාකාමී බුද්ධිමත් සමසමාජ පාක්ෂිකයා එසේ කළේ නරිබෑනා වුවද, තම කුලේ නම් කම් නැත යන න්‍යායෙනි. එසේම රන්ජන් හා තම දුක් ගැනවිල්ල කියද්දී විනිසුරුවරියට මෙසේ කියවිණ.
‘‘අපිට උසස්වීම් දෙනකොට විතරයි කවුරුත් බලන්නේ නැත්තේ. කතෝලික පාදර්ස්ලා ඒ ගොල්ලන්ගේ අයව බලා ගන්නවා.’’

මේ ඇයගේ කටින් රන්ජන්ට පැන්නේ තම වෘත්තීය ක්ෂේත්‍රයට ඇති ආගමික බලපෑමය.
අධිකරණයේ ගරුත්වය විමර්ශනය කර කොමිසම් දමා ව්‍යවස්ථා පනවා හදාගත හැකිය. එහෙත් මේ අවනඩුව අසන්නට ඉන්නේ කව්ද?

එබැවින් රන්ජන් රාමනායක පිටින්, මේ සියලු දෝෂ යැවිය යුතු නොවේ. ඔහු අනුකම්පාව ලැබිය යුත්තෙකි. ඔහු ජේසු උතුමන්ව ඇණ ගැසූ සොල්දාදුවා වැනිය. මක් නිසාදයත් ඌ කළ දේ ඌම නොදන්නා බැවිනි.