විශේෂාංග

ඔබේ අලුත් ජංගම දුරකථනය මේ මාසේ සිට ක්‍රියා විරහිත වීමට ඉඩ ඇත

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඔක්තෝබර් පළමු වැනිදා සිට බලපැවැත්වෙන පරිදි අලුත් නීතියක් දැම්මේය. එනම් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වෙළෙඳ ආයතනයකින් පමණක් ජංගම දුරකථන වැනි විදුලි සංදේශ උපකරණ මිලදී ගන්නා ලෙසයි. නුදුරේදීම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව යටතේ ලියාපදිංචි නොකළ සියලුම විදුලි සංදේශ උපකරණයන් දුරකථන ජාලවලට සම්බන්ධ කිරීම අත්හිටුවන බවත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කළේය. මේ නීතියත් සමග ජංගම දුරකථන භාවිත කරන පාරිභෝගිකයන් අද සිටින්නේ අහස පොළොව ගැටගසන්නට තරම් කල්පනා කරමිනි. ඒ, ඔවුන් මිලදීගත් දුරකථනවලට අනාගතයේදී කුමකින් කුමක් සිදුවේද කියා සිතමිනි. මක්නිසාද යත් ඔවුන් මිලදීගත් ජංගම දුරකථනය නීත්‍යනුකූලද නැද්දැයි ඔවුන් දන්නේ නැති නිසාය.

මෙම නීතිය ක්‍රියාත්මක වන්නේ අලුතින් දුරකථනයක් ගන්නා පාරිභෝගිකයන්ටද නැතිනම් කලින් දුරකථන ලබාගත් පිරිසටද යන්න පිළිබඳව පාරිභෝගිකයන්ට අවබෝධයක් නැත. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඔෂද සේනානායක කීවේ මෙම නීතිය බලාත්මක වන්නේ දැනට අප විසින් භාවිත කරන ජංගම දුරකථන සඳහා නොව ඔක්තෝබර් මාසයෙන් පසුව මිලදී ගන්නා දුරකථන සඳහා පමණක් බවයි.
එපමණක් නොව, මෙම නීතිය අද ඊයේ ගෙනා නීතියක් නොවන බවත් ඔහු කිවේය. එනම්, 1991 විදුලි සංදේශ නියාමන පනතට අනුව ආනයනය කරනු ලබන සෑම දුරකථනයක්ම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව යටතේ ලියාපදිංචි කළයුතු බවත් පෙරද දන්වා තිබුණි.

මෙවැනි තීරණයක් එක්වරම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ක්‍රියාත්මක කිරීමට වූ හේතුව කුමක්දැයි අප ඔහුගෙන් විමසීය.

‘‘අපිට මේ සඳහා හේතු ගණනාවක් බලපෑවා. ඒ හේතු අතර පළමුවැනි කාරණාව තමයි ප්‍රමිතියකින් තොර ජංගම දුරකථන වෙළඳපොළේ තිබීම. අනෙක් කරුණ තමයි චීනයෙන් ලංකාවට එන බොහෝ ජංගම දුරකථනවල තියෙන්නේ එකම ‘එමි අංකය’. ඒ නිසා හදිසියේ කෙනෙක්ගේ ජංගම දුරකථනය නැතිවුණොත් ඒක හොයා ගන්න එක පවා ලේසි වෙන්නේ නැහැ. මේ වගේ කූට වෙළෙඳුන්ගෙන් අපේ පාරිභෝගිකයන් ආරක්ෂා කරන්න තමයි අපි මේ විදිහේ ක්‍රමවේදයක් අනුගමනය කළේ.”

දැනට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව යටතේ ලියාපදිංචි වූ ජංගම දුරකථන අලෙවි කරන ආයතන දෙදහස් පන්සියයක් තිබේ. ජංගම දුරකථන ආනයනය කරන පිරිස දසදහසකටත් වඩා වැඩිය. එපමණක් නොව, මසකට ලක්ෂ දෙකකට ආසන්න එමි අංක සංඛ්‍යාවක් ලියාපදිංචි කිරීමටත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ලැබෙන බව ඔහු කිවේය.

කෙසේ වෙතත්, අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ දිනෙන් දින බොහෝ දෙනෙක් ව්‍යාජ දුරකථනවලට රැවටී උදව් උපකාර සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත පැමිණෙන බවයි. නමුත්, එම ස්ථාන සොයා යන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නිලධාරීන්ට ආපසු පැමිණීමට සිදුවන්නේ හිස් අතිනි. ඒ ඔවුන් සොයා යන දුරකථන අලෙවිසල වෙනුවට පසුව එම ස්ථානයේ ඇත්තේ රසකැවිලි කඩයක් නිසාවෙනි. මේ පිළිබඳව සොයා බලන නිලධාරීන්ට පසුව දැන ගැනීමට ලැබුණේ මෙවැනි ව්‍යාජ දුරකථන අලෙවිසල් පවත්වාගෙන යන තවත් බොහෝ දෙනෙකු සිටින බවයි. එමෙන්ම, ඔවුන් බොහෝදෙනා පිටකොටුවේ ඇති බාල මෙන්ම ප්‍රමිතියෙන් තොර ජංගම දුරකථන ඉතා අඩු මුදලකට මිලදී ගන්නේය.

එම දුරකථන ඉතා උසස් තත්ත්වයේ දුරකථන යැයි හඳුන්වා වෙළඳපොළේ පවත්නා මිලට වඩා අඩුවෙන් පාරිභෝගිකයන්ට විකුණනු ලබයි. එසේ ලබාදෙන කුඩා ලාභයට රැවටී බොහෝදෙනා ඔවුන්ගෙන් දුරකථන ලබාගෙන අවසානයේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සහය පතන්නේ ඔවුන්ව හසු කර ගැනීමටය. නමුත්, අශ්වයා ඉස්තාලයෙන් පැන ගොස් අවසන්ය.

එවැනි දුරකථන භාවිත කිරීමෙන් ඔවුන්ට සිදුවන අතුරු ප්‍රතිවිපාකයන් පිළිබඳවත් ඔවුන් සිතන්නේ නැත. පළමුවෙන්ම මතක් කළ යුත්තේ එවැනි ජංගම දුරකථනවලින් සෑදෙන රෝග පිළිබඳවයි. මේ රෝගයන් අතර බහුලව සැදෙන්නේ ‘පිළිකාවයි’. ඒ ප්‍රමිතියෙන් තොර ජංගම දුරකථනවලින් පිටවන විකිරණයන් හේතුවෙනි. එමෙන්ම, මෙම දුරකථන බොහොමයක් අප හිසට සමාන්තරව භාවිත කරන බැවින් විවිධ ස්නායු රෝගාබාධයන්ට ලක්වීමේ ඉඩකඩද ඇත. එබැවින් පාරිභෝගිකයන්ගේ සුබසිද්ධිය උදෙසා මෙන්ම කූට වෙළෙඳුන්ගෙන් ඔවුන්ව ආරක්ෂා කර ගැනීමටත් මෙවැනි නීතින් ගෙන ඒමට සිදුවූ බව අධ්‍යක්ෂ ජනරාල් ඔෂද සේනානායක කිවේය.

නමුත්, දැන් පාරිභෝගිකයන්ට ඇති ගැටලුව වන්නේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් ඔවුන් මිලදී ගන්නා දුරකථනය ලියාපදිංචි කර ඇතිද කියා සොවීමය. ඒ පිළිබඳව අධ්‍යක්ෂ ජනරාල් ඔෂද සේනානායක කිවේ, ජංගම දුරකථන අලෙවි කිරීම සඳහා බලපත්‍රයක් හිමි වෙළෙඳුන් හට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් ලබා දෙන අනුමත ස්ටිකරයක් ඔවුන් අලෙවි කරන ජංගම දුරකථන බහාලුමේ අලවා තබන බවයි. එමගින්, එම දුරකථනය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව යටතේ ලියාපදිංචිද නැද්ද යන්න සෙවිය හැක.
”අපේ ආයතනයේ ලියාපදිංචි වෙලා ඉන්න ජංගම දුරකථන අලෙවිකරුවන්ට ස්ටිකර් එකක් ලබාදීලා තියනවා. එකෙන් කියන්නේ ඒ ආයතන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව යටතේ ලියාපදිංචි ආයතනයක් වගේම ප්‍රමිතියෙන් යුතු ජංගම දුරකථන ලබා ගත හැකි ස්ථානයක් ලෙසයි. අනිත් හඳුනා ගැනීම තමයි මේ අලවලා තියන ස්ටිකර් එක නීත්‍යනුකූලද යන්න කියලා තහවුරු කර ගන්න ඔයාලගේ දුරකථනයේ අඩංගු අංක පහළොවකින් සමන්විත එමි අංකය 1909 කියන අංකයට කෙටි පණිවුඩයක් දීමෙන් තහවුරු කර ගන්නත් පුළුවන්.”

හොර බඩු ලෙස මෙරටට ගෙනෙන ජංගම දුරකථන, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව යටතේ ලියාපදිංචි කළා යැයි පවසා වැඩි මුදලකට අලෙවි කරන ජංගම දුරකථන, ‘බ්‍රෑන්ඩ් නිව්’ යැයි පවසා විකුණන ‘සෙකන්ඩ් හෑන්ඩ්’ දුරකථන වශයෙන් එකී මෙකි නොකී වර්ගයේ විවිධ කූට වෙළෙන්දෝ අද සමාජයේ සතර දිසාවේම විහිදී සිටිති. මෙවැනි වෙළෙඳුන්ගෙන් බේරී තමන්ගේ මුදල්ද පරිස්සම් කරගනිමින් වියදම් කිරීමට සහ අප මිලදී ගන්නා දුරකථනයේ මුල, මැද සහ අග යන සියල්ලම සැකෙවින් සොයා ගතහැකි දත්ත සමුදායක්ද ඔවුන් විසින් නිර්මාණය කර ඇත.
ඒත් බොහෝ ජංගම දුරකථන අලෙවි කරන පුද්ගලයන් පවසන්නේ ආනයනය කරන ලද ජංගම දුරකථන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් ලියාපදිංචි කර ගැනීමට සති තුනක කාලයක් ගත වන බවයි. මේ ආකාරයේ අලුත් ක්‍රමයක් හඳුන්වා දීම මගින් තව තවත් ලියාපදිංචි කිරීමට ගතවන කාලය දිගුවේදැයි ඔවුන්ට ඇත්තේ සැකයකි.
මේ පිළිබඳව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඔෂද සේනානායක කීවේ වර්තමානයේදී ඩිජිටල් පහසුකම් යටතේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වැඩ කටයුතු ආරම්භ කර ඇති බැවින් ලියාපදිංචිය සඳහා දිගු වේලාවක් බලා සිටීමට ඔවුන්ට සිදුනොවන බවයි. ඊට අමතරව, අන්තර්ජාලය මගින් මෙන්ම විද්‍යුත් තැපෑල මගින්ද ජංගම දුරකථන ලියාපදිංචි කරන බවත් ඔහු කිවේය.

එමෙන්ම, විදේශ රටක සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයකුට එහිදී භාවිත කළ දුරකථනය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ වෙබ් අඩවියට ගොස් ලියාපදිංචි කර නැවතත් මෙරටදී භාවිත කිරීමේ හැකියාවක්ද පවතී.
කෙසේ වෙතත්, එක් පුද්ගලයකුට ජංගම දුරකථන සිම්පත් පහකට වඩා මිලදී ගත නොහැකි ලෙස 2010දී නීතියක් ගෙනාවේය. එය තවදුරටත් ඉදිරියට ගෙන යාමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇත.
මෙම නීතිය යළි බලගැන්වීමට මූලික හේතුව වී ඇත්තේ විවිධ පුද්ගලයන් විසින් වෙනත් පුද්ගලයන්ගේ නම් භාවිත කරමින් දුරකථන සිම්පත් මිලදීගෙන විවිධ අපරාධ හා ජාවාරම් සිදුකිරීමට පෙලඹෙන බැවිනි. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඔෂද සේනානායක පවසන්නේ පාරිභෝගික ජනතාවගේ ආරක්ෂාව අංක එක ලෙස ගෙන මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි.

කෙසේ නමුදු ජංගම දුරකථනවල ප්‍රමිතිය මැන බැලීම සඳහා පර්‌යේෂණාගාරයක් ලංකාව සතු නොවන බව සන්නිවේදන ක්ෂේත්‍රයේ විශේෂඥයකු වන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රොහාන් සමරජීව කීවේය. ඒ නිසා මේ නීතිය යටතේ ජංගම දුරකථනවල ප්‍රමිතිය තහවුරු කරන්නේදැයි තමාටවත් සිතා ගත නොහැකි බව ඔහු කිවේ.

‘‘අනික මේක නිලධාරින්ට පගා ගන්න ලබාදෙන හොඳ ක්‍රමයක්. මේ වගේ දේවල්වලින් වෙන්නේ පුද්ගලයන්ගේ කාලය වගේම මුදලුත් නිකරුණේ වියදම් වීමයි. ඒ නිසා කරන්න ඕනේ හොර බඩු ලංකාවට ගෙන එන මාර්ග නවත්වන එකයි. ඒවාට අවශ්‍ය නීතිරීති ශක්තිමත් කරන එකයි. අනික දුරකථන ලියාපදිංචියට සති තුනක් යනවා. එවැනි දේවල් කාර්යක්ෂම කරන්නේ නැතුව අලුතින් නීතිරීති ගෙනෙමේ කිසිම අවශ්‍යතාවක් නැහැ.”

මේ ආකාරයට අලුතින් මිලදී ගන්නා දුරකථනවලට අලුතින් ආරක්ෂාවක් නොව තියන ආරක්ෂාව ශක්තිමත් කිරීමට නව වැඩපිළිවෙළක් නිර්මාණය කිරීම කාලෝචිත බව මහාචාර්ය රොහාන් සමරජීව කීවේය.

හර්ෂණි දිසානායක