අතන මෙතන

ඔබතුමා ඡන්ද නැතුවම වයසට යනවා නේද?

බ්‍රහස්පතින්දා පස්වරුවේ ජනාධිපතිවරයා හමුවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපතිවරයා වෙත ‘වැදගත් ඉල්ලීමක්’ භාර දුන්හ. එම අවස්ථාවට නිමල් සිරිපාල ද සිල්වා, දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක ඇතුළු නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම සහභාගී වී සිටි අතර ඔවුන් විසින් ජනාධිපතිවරයා වෙත භාර දුන් ‘වැදගත් ඉල්ලීම’ වූයේ, නිදහස් පක්ෂයේ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය භාරගන්නා බවට වන ‘ඉල්ලීම’ යි.

මේ අතර ඉකුත් බ්‍රහස්පතින්දාවේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියට අවුරුදු 64 ක් සම්පූර්ණ වූ අතර එදින සවස ඔහු හමුවූ එක්තරා මාධ්‍යවේදිනියක්, ඔහුට සුබ පතමින් මෙසේ ඇසුවාය.

‘‘ඔබතුමා ඡන්ද නැතුවම වයසට යනවා නේද…? ’’
‘‘ඒකනෙ… ජනාධිපතිතුමා උපන්දින තෑග්ගක් හැටියටවත් ඡන්දයක් දුන්නෙ නෑනෙ…’’ තවත් මාධ්‍යවේදියෙකු පැවසුවේ ය. මේ කතාබහට මැදිහත් නොවුණු මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සිනාසෙමින් ම සංවාදයට ඇහුම්කන් දෙමින් සිටියේ ය.

‘‘ජනාධිපතිතුමා ඔබ තුමාට මැතිවරණ තෑගි නොදුන්නාට මොරටුවෙ වඩුවන්ට නං තෑගි දුන්නා…’’ තවත් අයෙකු පැවසුවේ, එදින සවස ‘වඩුමඩු තහනම් කරන බවට’ ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සිහිගන්වමිනි.