කතුවැකි

ඔක්සිජන් අවශ්‍ය නැතැයි හරකෙක් තප්පුලයි

පසුගිය බදාදා (12 වැනිදා) සිට මුහුණු පොතේ තරුව බවට පත්ව සිටින්නේ ගම්පහ දිසා වන නිලධාරී දේවානි ජයතිලකය. දේශපාලකයන් හා ඔවුන්ගේ සහචරයන්ට අවනත නොවී රාජකාරිය කිරීම ගැන ඇයව පසසන, අගයන හා ඇයට දිරිදෙන අදහස්වලින් මුහුණු පොත පිරී තිබේ. ඒ හා සමානවම ධීවර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත හා ඔහුගේ සහචරයන්ට ලැබී ඇත්තේ ගැරහුම්, අවලාද, නින්දා හා බැණවැදීම්ය. ඒවා දෙස බලන විට පෙනී යන්නේ මේ සියලු අදහස් පළව ඇත්තේ හැඟීම්වලට අනුව බවය. මෙවන් ප්‍රශ්න විසඳිය යුත්තේ හදවතින් නොව බුද්ධියෙනි.

මිනිසාගේ පැවැත්ම වෙනුවෙන් පරිසරය බිලිදීමේ විපාක දැන් අප ජාත්‍යන්තර මට්ටමින් විඳිමින් සිටින්නෙමු. එහෙත් අප තවමත් ගහට, කොළට, සතා සීපාවට ද මේ ලෝකයේ අයිතියක් ඇති බව පිළිගන්නට සූදානම් නැත. එසේම අපේ පැවැත්ම තීරණය වන්නේ ද පරිසර​යේ පැවැත්ම මත බව අප පිළිගන්නේ නැත.

සතුන්ට හා ගහට කොළට ඉඩ වෙන් කළ පසු අප ඉන්නේ කොහේදැයි සනත් නිශාන්ත අමාත්‍යවරයා විමසන්නේ ඒ නිසාය. අපට ඔක්සිජන් අවශ්‍ය නැතැයි තවත් රට හරකකු තප්පුලන්නේද ඒ නිසාය.

කෙසේ වුවද සනත් නිශාන්තලාගේ හැසිරීම ගැන ඔවුන්ට පමණක් දොස් පැවරිය නොහැකි බව අපගේ වැටහීමය. සනත් නිශාන්තගේ හඬ පිටුපසින් ඇත්තේ කාලාන්තරයක් තිස්සේ අපේ දේශපාලකයන්, පරිසරය සම්බන්ධයෙන් දරන ප්‍රතිපත්තියේ දෝංකාරයයි. නමුත් අපට පෙනෙන්නේ සනත් නිශාන්ත පමණය. දේශපාලකයන් ඡන්ද අපේක්ෂාවෙන් පරිසරය විනාශ කරන්නට පටන් ගත්තේ රටේ පොල් ඉඩම්, රබර් ඉඩම් කට්ටිකරමින් හෝ පහත්බිම් වගුරු බිම් ගොඩ කරමිනි. අදටත් සිදුවන පොල් ඉඩම් කට්ටි කිරීම, පහත් බිම් ගොඩ කිරීම පරිසරයට විනාශයක් ගෙන දෙන බව අප එදා තේරුම් ගත්තේ නැත. එසේ තේරුම් ගෙන ඒවා වළක්වා ගත්තේ නම් අද විල්පත්තුව හෝ කඩොලාන විනාශ කිරීම ගැන කතා කිරීමේ අවශ්‍යතාවක් මතු නොවනු ඇත.

කඩොලාන විනාශයෙන් සිදුවන හානිය කුමක් දැයි වන නිලධාරිනිය ඉතා පැහැදිලිව තේරුම් කර දී තිබියදීත් එය පිළිගන්නට සනත් නිශාන්තලා සූදානම් නැත. ඔහු කියන්නේ කෙසේ හෝ තමන්ගේ ව්‍යාපෘතිය දියත් කරන බවය. උත්ප්‍රාසාත්මක කාරණය වන්නේ මේ කියන සනත් නිශාන්ත පළාත් ධීවර අමාත්‍යවරයාව සිටියදී කඩොලාන පරිසර පද්ධතියේ වටිනාකම ගැන පොතක්ද පළ කර තිබීමය. ඉන් අප තේරුම්ගත යුත්තේ සනත් නිශාන්තට වන නිලධාරිනිය කියන දේ ගැන අවබෝධයක් තිබිය යුතු බවය.

ප්‍රශ්නගත මීගමු කළපු ප්‍රදේශය නිරීක්ෂණය සඳහා ඊයේ (13 වැනිදා) එහි ගිය මාධ්‍යවේදීන් හා පරිසර සංවිධාන නියෝජිත කණ්ඩායමකට ප්‍රදේශවාසීන්ගේ බලවත් විරෝධය පළ වී තිබේ. එයින්ද සනාථ වන්නේ සනත් නිශාන්තලා, ඔවුන්ගේ උත්සාහය අතහරින්නට සූදානම් නොමැති බවය.

දේශපාලකයන් ලෙස තම ඡන්දදායකයන්ගේ කෝණයෙන් ප්‍රශ්න දෙස බැලීම තේරුම්ගත හැකි කාරණයකි. නමුත් ක්‍රීඩාංගණයක් නැති වූයේ යැයි මිනිසුන් මිය යන්නේ නැත. ක්‍රීඩාංගණයක් නොව කඩොලාන විනාශ කොට, මිනිසුන්ගේ ජීවිත රැකදෙන රෝහලක් ඉදිකිරීම වුවත් සාධාරණීකරණය කළ නොහැකි දෙයකි. පරිසරය විනාශ කිරීම අවසානයේ මිනිසාගේම විනාශයට හේතුවන බැවිනි. පරිසර විනාශය අවම වන සේ ජනතාවගේ අවශ්‍යතා සපුරාලීමට දේශපාලකයන් දක්ෂ විය යුතුය.

එහෙත් ක්‍රීඩා පිටියක් ඕනෑම තැනක ඉදිකළ හැකි නමුත් කඩොලාන රට මැද වැවිය නොහැකිය. අනෙක් අතට සනත් නිශාන්ත මේ කරගසා ඇත්තේ පසුගිය යහපාලන ආණ්ඩුවේ කුණු ගොඩකටය. එයින් කියැවෙන්නේ සනත් නිශාන්තද පසුගිය ආණ්ඩුවේ ධීවර ඇමැති වූ විජිත් විජයමුණි සොයිසාගෙන් වෙනස් නොවන බවද? දිසා වන නිලධාරිනියට විරෝධය පළ කරන අයකු විමසන්නේ විල්පත්තුව විනාශ කරන විට විරුද්ධ නොවූයේ මන්ද යනුවෙනි. විල්පත්තුව විනාශ කළ අය කළ දේවල්ම කරන්නට නම් ජනතාව නව ආණ්ඩුවක් පත් කර ගත්තේ මොන මඟුලකටද?

සනත් නිශාන්තලාගේ යෝජනාව පිළිනොගෙන තම රාජකාරිය නීතියට කරන දේවානි ජයතිලක නිලධාරිනිය අනෙකුත් රාජ්‍ය සේවකයන්ටද ආදර්ශයකි. ඒ පිළිබඳ ඇයට අපගේද උපහාරය හිමිවේ. කනගාටුවට කාරණය වන්නේ ඇයව අගයන බොහෝ දෙනා ඇයව දේශපාලන අවියක් ලෙස භාවිත කිරීමය. ඇය වැනි නිලධාරින් අපට හමු නොවන්නේ දේශපාලනය නිසාමද? එසේ නම් දේශපාලනයට නතු නොවී සිටීමට ඇයට ශක්තියක් ලැබුණේ කෙසේද?

අප දේවානි තුළින් දකින්නේ තමන්ගේ රැකියාවේ විෂය පථය මැනවින් තේරුම් ගත්, ඊට ආදරය කරන, ඒ වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය නිලධාරිනියකි. මැති ඇමැතිවරුන් ඉදිරියේ දෙකට නොනැමී සිටින්නට ඇයට ශක්තිය ලැබෙන්නේ එම ගුණාංග නිසා බව අපගේ අදහසය. අද බොහෝ නිලධාරීන්ට මේ ගුණාංග නැත. බොහෝ දෙනා පුරුදුව සිටින්නේ දෙන දේ කා වෙන දේ බලා සිටීමටය.

රාජ්‍ය සේවකයන් තුළ එවැනි මානසිකත්වයක් ඇති වීමට දේශපාලනයද හේතුවක් නොවන්නේ යැයි කිව නොහැකිය. රජයේ සේවකයන් ගස් බැන්දේද, ගුරුවරියන් දණ ගැස්වූයේද මේ රටේය. එසේම විනිශ්චයකාරවරුන්ගේ නිවාසවලට ගල් ගැසූ යුගයක්ද මේ රටේ තිබිණ. සනත් නිශාන්තලාට එරෙහි වූ දේවානි ජයතිලකට හදිසි ස්ථාන මාරුවක් හෝ වෙනත් දඬුවමක් ලැබෙනු ඇතැයිද ඒ වෙනුවෙන් පෙළ ගැසෙමු යැයිද ඇතමකු පුරෝකථනය කරන්නේ ඒ නිසා විය හැකිය.

එහෙත් තමන් මේ නිලධාරිනිය වෙනුවෙන් පෙනී සිටින බව විෂය භාර එස්. එම්. චන්ද්‍රසේන අමාත්‍යවරයා සහතික වී තිබේ. ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයද ඇය වෙනුවෙන් පෙනී සිටින බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ඊයේ ප්‍රකාශ කළේය. ආණ්ඩුවේ මේ ස්ථාවරය අගය කළ යුතුය. ඇතැම් විටෙක දේවානි ජයතිලක නිර්භීතව තම රාජකාරිය ඉටුකරන්නට ඇත්තේද ආණ්ඩුව පිළිබඳ ඒ විශ්වාසයෙන් යුතුව විය හැකිය. එසේ වුවත් දේවානි අගයමින් නිශාන්ත හෙළා දකින අය, එස්.එම්.චන්ද්‍රසේන ඇමැතිවරයාගේ හෝ ආණ්ඩුවේ සාධනීය ස්ථාවරය අගයමින් මුහුණු පොතේ අදහස් පළ නොකරන්නේ කුමක් නිසාද? ඔවුන්ට අවශ්‍ය ආණ්ඩුව දිසා වන නිලධාරිනියට ස්ථාන මාරුවක් දී හෝ වෙනත් අන්දමකට ඇයගෙන් පළිගන්නවා දැකීමටද? ආණ්ඩුව කිසිසේත්ම ඔවුන්ගේ ඒ අපේක්ෂාව ඉටු නොකරනු ඇතැයි අපි අපේක්ෂා කරමු. දේවානි ජයතිලක සමග එකට හිට ගැනීමෙන් ආණ්ඩුව ආරක්ෂා කරන්නේ ඇය පමණක් නොව සමස්ත රාජ්‍ය සේවාවමය. මේ තවතවත් දේවානිලා අවශ්‍ය කාලයකි.