විශේෂාංග

ඒඩ්ස් ප්‍රතිකාරයට මීයන්ගේ ප්‍රතිචාරය හොඳයි

ඒඩ්ස් යනු බිහිසුණු මාරාන්තික රෝග තත්ත්වයක් බව රහසක් නොවේ. මෙම රෝගය සඳහා ප්‍රතිකාරයක් සොයා ගැනීම පිණිස දැන් කාලයක සිටම විවිධ පර් යේෂණ සිදු කෙරෙමින් තිබේ. රෝග තත්ත්වය පාලනය කළ හැකි යම් යම් ඖෂධ සොයා ගැනුණ ද එය නිට්ටාවට සුව කළ හැකි ප්‍රතිකාරයක් සොයාගෙන තිබුණේ නැත.

තත්ත්වය මෙසේ තිබිය දී පසුගිය දා ජාත්‍යන්තර මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබූ පුවතකින් පැවසුණේ ඒඩ්ස් තත්ත්වය මුළුමනින් සුව කළ හැකි ආකාරයේ ප්‍රතිකාරයක් ළඟදීම සොයා ගැනීමට ඉඩ ඇති බවයි. මෙම පුවත ට පදනම් වන්නේ ඇමෙරිකාවේ ටෙම්පල් විශ්ව විද්‍යාලයටත්, නෙබ්‍රස්කා විශ්ව විද්‍යාලයටත් අනුබද්ධ වෛද්‍ය ආයතන දෙකක පර් යේෂකයින් පිරිසක් විසින් පළ කරන ලද වාර්තාවකි.

මීයන් යොදා ගනිමින් දීර්ඝ කාලයක් තිස්සේ කරන ලද පර් යේෂණයක් සාර්ථක වී ඇති බව මෙම විද්‍යාඥයින් මෙහි දී අනාවරණය කර තිබේ. ළඟදීම එය වෙනත් විශාල සතුන් යොදාගෙන අත්හදා බැලීමටත්, එයින් පසු මිනිසුන් ඇසුරෙන් අත්හදා බැලීමටත් ඔවුන් අපේක්‍ෂාවෙන් සිටින බව ද වාර්තා වෙයි.

ඒඩ්ස් යනු එච්.අයි.වී (HIV- Human Immunodeficiency Viruses) යනුවෙන් හැඳින්වෙන වෛරසයක් විසින් ඇති කරනු ලබන රෝග තත්ත්වයකි. කෙනෙකු ඒඩ්ස් රෝග තත්ත්වයට පත්වන්නේ මෙම වෛරසය විසින් මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි කරනු ලැබීමෙනි. අවසානයේ ශරීරයේ ප්‍රතිශක්තිය හීන වී විවිධ දරුණු ආසාදනයන්ට (infections) සහ පිළිකා ආදියට ගොදුරු වීමෙන් රෝගීන්ගේ මරණය සිදු වෙයි. එච්.අයි.වී වෛරසය ආසාදනය වී නිසි ප්‍රතිකාරයක් නොලැබුණහොත් වසර 9-10 ක කාලයක් තුළ මරණයට පත්වීමේ අවදානමක් තිබෙන බව සඳහන් වේ. ලොව පුරා මෙම වෛරසයට ගොදුරු වූ මිලියන 37 ක ජනතාවක් සිටින බව සංඛ්‍යාලේඛන විසින් අනාවරණය කරනු ලබයි. ඉහත කී ප්‍රතිකාරය පිළිබඳ පුවත මේ බොහෝ දෙනකු තුළ යම් බලාපොරොත්තුවක් ඇති කරන්නක් වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ඉහත කී විද්‍යාඥයින් සොයාගෙන ඇති ප්‍රතිකාරය මෙම වෛරසයට ගොදුරු වූ ආසාදිතයින්ගේ ජාන ඉලක්ක කරගත් ප්‍රතිකාරයකි. මෙහි දී සිදු කරනු ලබන්නේ ජාන සංස්කරණ (infections) විධික්‍රමයක් මගින් රෝගියාගේ ඩී.එන්.ඒ තුළ ඇති එච්.අයි.වී සෛල විනාශ කිරීමයි. මෙම ජාන සංස්කරණ ප්‍රතිකාරයට අමතරව එයට සමාන්තරව තවත් ප්‍රතිකාරයක් ද සිදු කරනු ලබයි. සමස්ත ප්‍රතිකාරයට මෙම ප්‍රතිකාර විධි දෙකම ඇතුළත් වේ. මුලින් සිදු කරන්නේ ඉහත කී ජාන සංස්කරණ ප්‍රතිකාරය නොව දෙවනුව කී ප්‍රතිකාරයයි.

එහිදී සිදුවන්නේ සිරුර තුළ එච්.අයි.වී වෛරසය නැවත නැවත නිෂ්පාදනය වීම හෙවත් එහි පැතිරීම අවම කිරීමයි. එමගින් වෛරසයෙහි ව්‍යාප්තිය කිසියම් ආකාරයක කොටු කිරීමකට, සීමා කිරීමකට ලක් කරනු ලබයි. එයින් පසු එසේ කොටු කරනු ලැබූ වෛරස සෛල ඉලක්ක කර කලින් කී ජාන සංස්කරණ ප්‍රතිකාරය ලබා දී ඒවා ජාන තුළින් ඉවත් කර දමනු ලැබේ. මෙය හරියට යම් ජීවීන් පිරිසකට බෝ වෙන්නට ඉඩ නොදී එක තැනකට සීමා කර, කොටු කර විනාශ කර දැමීමක් හා සමාන ක්‍රියාවලියක් ලෙස සැලකිය හැකිය.

මෙහිදී මෙම පර් යේෂණය සඳහා යොදාගන්නා ලද මීයන් ද ජාන ඉංජිනේරු තාක්‍ෂණය හරහා යම් වෙනසකට ලක් කරන ලද මීයන් විශේෂයක් බව සඳහන් වේ. ඔවුන් තුළ ඇති සමහර සෛල මිනිසුන්ගේ සෛලවලට සමාන වන ආකාරයෙන් නිපදවෙන නිසා එක්තරා දුරකට මිනිසුන්ට සමාන මීයන් විශේෂයක් ලෙස ද ඔවුන් සැලකිය හැකිය. මේ නිසා මෙම මීයන් යොදාගෙන කරන ලද පර් යේෂණ මිනිසුන් සම්බන්ධයෙන් ද සාර්ථක වීමට වැඩි ඉඩක් ඇතැයි අපේක්‍ෂා කළ හැකි වේ.

දැනට එච්.අයි.වී ආසාදිතයින් සඳහා ලබා දෙන ප්‍රතිකාරවලින් මෙම වෛරසය සම්පූර්ණයෙන් විනාශ කිරීමක් සිදුවන්නේ නැත. එහිදී සිදුවන්නේ වෛරසයේ පැතිරීම යම් පමණකට පාලනය කිරීමයි. කෙසේ හෝ වේවා, මෙම ප්‍රතිකාර නිසා ආසාදිතයාගෙන් තව කෙනෙකුට වෛරසය ආසාදනය වීමට ඇති ඉඩ අවම වන බව ද සඳහන් වේ. අනාරක්‍ෂිත ලිංගික එක්වීම, රුධිර පාරවිලයනය, අනාරක්‍ෂිත එන්නත් කටු භාවිතය වැනි අවස්ථා හරහා මෙම වෛරසය කෙනකුගෙන් තව කෙනෙකුට ආසාදනය විය හැකියි. දරුවෙකු බිහිවන අවස්ථාවේ ආසාදිත මවකගෙන් දරුවාට ද මෙම වෛරසය බෝ විය හැකි බව සොයාගෙන තිබේ. ඒ, මවගේ රුධිරය හෝ ඇයගේ යෝනි තරල ආදිය හරහා ය.

මීයන් යොදා ගෙන කරන ලද අත්හදා බැලීම්වලින් පසු වෛරසය සම්පූර්ණයෙන් විනාශ වී ඇත්ද යන්න ඉතා සියුම් ආකාරයෙන් පිරික්සා බලා ඇති අතර එය බෙහෙවින් සාර්ථක වී ඇති බව විද්‍යාඥයින්ගේ විශ්වාසයයි. එච්.අයි.වී වෛරසය විනාශ කළ හැකි බව මෙම ප්‍රතිඵලවලින් ස්ථිර වශයෙන් සනාථ වී ඇති බව ඔවුහු පවසති. කෙසේ නමුත් හොවාර්ඩ් ජෙන්ඩල්මාන් නමැති විද්‍යාඥයා සඳහන් කරන්නේ මෙම පර් යේෂණ තවමත් ඇත්තේ මුල්ම අදියරේ බව අමතක නොකළ යුතු බවයි. ‘අපි සඳ මත පා තබන්න සූදානම්.

නමුත් අඟහරු වෙත ළඟා වූ බවක් එයින් අදහස් වන්නේ නෑ’ යැයි ඔහු සඳහන් කරයි. මීයන් යොදාගෙන කළ අත්හදා බැලීම් දැන් වඳුරන් වැනි ප්‍රයිමේටයන් යොදාගෙන සිදු කිරීමට ඔවුන් බලාපොරොත්තු වන බව සඳහන් වේ. තව වසරක් වැනි කාලයක් තුළ එහි ප්‍රතිඵල දැන ගැනීමට හැකි වනු ඇති බව මෙම පර් යේෂකයින්ගේ විශ්වාසයයි. මිනිසුන් ඇසුරෙන් මෙය අත්හදා බැලීම සිදුවනු ඇත්තේ ඉහත කී ක්‍රියාමාර්ගවල සාර්ථකත්වය අසාර්ථකත්වය මතයි.

ඒඩ්ස් රෝගය පළමු වරට සොයාගන්නා ලද්දේ 1981 වසරේ ඇමෙරිකාවේදී ය. මුලින්ම හමු වූ රෝගීන් එන්නත් කටු මගින් මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වූ අයයි. ඔවුන් බොහෝ දෙනෙකු දුර්ලභ ස්වසන රෝගයකට ගොදුරුව සිටි අතර එවැනි රෝගයක් වැලඳෙන්නට හැක්කේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දරුණු ලෙස දුර්වල වූ අයට බව වෛද්‍යවරුන්ගේ මතය විය.

මේ ආකාරයෙන්ම සමලිංගික ඇසුරට හුරු වූ පිරිමි පුද්ගලයෝ රැසක් ද දුර්ලභ ගණයේ චර්ම පිළිකාවකට ගොදුරුව සිටියහ. ඒඩ්ස් තත්ත්වය මුලින්ම හඳුනා ගන්නා ලද්දේ මෙම රෝගීන් සම්බන්ධයෙන් කරන ලද සොයා බැලීම් තුළිනි.

සහන් වික්‍රමගේ