brand logo

එළඹෙන දීර්ඝ සති අන්තය නිසා සංචරණ සීමා දැඩි වෙයි

15 October 2021

දීර්ඝ සති අන්තය ගැන හදිසියේ ගත් තීරණය

ඉදිරි සති අන්තය සමග එළඹෙන දීර්ඝ නිවාඩුව හේතුවෙන් ජනතාව දිවයිනේ විවිධ ප්‍රදේශවලට සංචරණ සීමා උල්ලංඝණය කර ගමන් කිරීමට කටයුතු සැලසුම් කර ඇති අවස්ථා පිළිබඳ පොලිසියේ විශේෂ අවදානය යොමුව තිබෙනවා. ඒ අනුව දිවයිනේ සියලු පළාත් මායිම් ආවරණය වන පරිදි සහ අධිවේගී මාර්ගයේ ද පළාත් සීමා මායිම් ඇතුලු සියලු පිටවීම් සහ ඇතුලුවීම් ස්ථාන ද කේන්ද්‍ර කර ගනිමින් අද සිට විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇති බවයි පොලිසිය කියාසිටියේ. පළාත් මායිම් පසුකොට ගමන් කරන සියලුම වාහන හා පුද්ගලයින් දැඩි ලෙස පරීක්ෂා කරන ලෙසටයි සියලුම මාර්ග බාධක රාජකාරීවල නියුතු පොලිස් නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබාදී තිබෙනවා. පොලිසිය ජනතාවට උපදෙස් ලබාදෙන්නේ ඉදිරි දීර්ඝ සති අන්තයේ පළෘත් සංචරණ සීමා උල්ලංඝනය වන ආකාරයෙන් වන්දනා චාරිකා සහ විනෝද චාරිකාවල යෙදීමට කටයුතු නොකරන ලෙසටයි. සංචරණ සීමා සහ නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිසිය අවධාරණය කළේ. ආගමික සිද්ධස්ථාන ප්‍රසිද්ධ ස්ථාන විනෝද වන වෙරළ කලාප වැනි ස්ථානවල ගාල් කර ඇති රථ වාහන අංක තහඩු පරීක්ෂා කරන අතර නියමිත පළාතෙන් පැහැරව පැමිණ තිබෙන වාහන මෙමගින් හඳුනාගැනීමට කටයුතු කරනු ඇති. එමෙන්ම මේ පිළිබඳ සොයා බැලීමට කටයුතු කරන ලෙසට ශ්‍රී ලංකා පොලිසියේ බුද්ධි අංශ වෙත ද අවශ්‍ය උපදෙස් ලබාදී තිබෙනවා. එබැවින් ඉදිරි සති අන්තයේ නිරෝධායන නීතිවලට ගරු කරමින් නිවෙස්වල රැඳී සිට දැනට පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පමණක් කටයුතු කරන ලෙසටයි පොලිසිය ඉල්ලා සිටින්නේ. අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකීමෙන් පත්වන අපහසුතාවන් මගහරවා ගැනීමට හැකියාව ලැබෙන බව ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා. මේ අතර හෙට (16) සිට අන්තර් පළාත් ගමන් බිමින්වලට දැඩිව සීමා පැනවීමට රජය ද තීරණය කර තිබෙනවා. කොවිඩ් 19 වසංගත තත්වය පාලනය කිරීමට මෙතෙක් ගත් ක්‍රියාමාර්ගවලින් අත් වූ ප්‍රගතිය ආරක්ෂා කර තහවුරු කිරීම වෙනුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියාසිටියේ. ඒ අනුව හෙටින් ආරම්භ වන දීර්ඝ සති අන්තයේ ලබන 21 වනදා දක්වා පළාත් අතර ගමන් බිමන් තදින් නිරීක්ෂණය කෙරෙනු ඇති. එබැවින් බ්‍රහස්පතින්දා දක්වා කාලය තුල පළාත් අතර ගමන් බිමන් සීමා කරන ලෙසටයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මේ අතර දැනට ක්‍රියාත්මක පළාත් සංචරණ සීමා ලබන 21 වනදා දක්වා දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ද ප්‍රකාශ කළා. ලබන 19 සහ 20 දිනවල යෙදී ඇති නිවාඩු දින සමග දීර්ඝ සති අන්තයක් යෙදී ඇති බැවින් සියලුම පළාත් මායිම්වලදී ගමනාගමන කටයුතු දැඩිව පරීක්ෂාවට ලක් කරන ලෙස ජනාධිපතිවරයා, ආරක්ෂක අංශ වෙත නියෝග කර ඇති බව ද එමගින් නිකුත් කළ නිවේදනයේ සඳහන්. අද පෙරවරුවේ කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති රැස්වීමකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා. කොවිඩ් මරණ සංඛ්‍යාව තවදුරටත් අඩු කර ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ අධ්‍යයනය කළ යුතු අතර තවදුරටත් රෝගීන් වාර්තාවන ප්‍රදේශ පිළිබඳ අවධානය යොමු කර අදාළ ස්ථාන හුදෙකලා කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.
 

More News..