විශේෂාංග

එල්ටීටීඊ යුද අපරාධ ගැන කියන එකම සාක්ෂිකරුවාට කුමක් වෙයිද?

අහසින් පොළොවට කඩා වැටිලද….
අම්මා තාත්තා නෑ දන්නේ,
මව්පිය සෙනෙහස හොරු ගෙනිහිල්ලද,
පුංචි පුතේ මගේ පුංචි දුවේ

සුනිල් එදිරිසිංහයන්ගේ මේ ගිය කුරුටු ගී ලෙසින් මුලතිව් ඝන කැලයේ වල්ලිපුනම් හි බිත්තියක කටු ගා තිබුණේ අපේම වීරෝදාර විරුවෙකි. ඒ බංකරයක ලියූ කුරුටු ගීයක් නම් නොවීය.

යුද බිමේ බංකර් තුළ ලියූ කුරුටු ගීත කෙරතම් දැකගන්නට වුවත් මෙය නම් ලියා තිබුණේ කොටි ත්‍රස්තයන්ගේ වධකාගාරයක් තුළය. එය අඟුරු කැබැල්ලකින් බිත්තියේ ලියන්නේ අනේක දුක් ගැහැට විඳිමින් සිටි විරුවෙකි. මිය දෙන්නට පෙර තම අවසන් තත්ත්පරයත් ඔවුන්ට වේදනාවක්ය.

මේ තරම් වේදනා දුක් ගැහැට විඳි රණවිරුවන් විසි හය දෙනකුව අමානුෂික ලෙස ඝාතනය කළ ආකාරය ගැන කොටි ත්‍රස්තයකුම ඉකුත් සඳුදා (08) පාපොච්චාරණය කළේය.

රටේ බලධාරින්ට එතරම් ඇස නොගැටුණ, එහෙත් ජාත්‍යන්තරය හොර රහසේම ඇස්කන් යොමාගෙන සිටි මේ සිද්ධිය ගැන වව්නියාව අධිකරණයේ දී හෙළිදරව් විය. එල්ටීටීඊ සංවිධානය යුද අපරාධ කළ බවට අපේ රටට ඇති එකම ජීවමාන සාක්ෂිය, වව්නියාව උසාවියේදී ප්‍රකාශයට පත් වීම, එම සිද්ධියයි.

එල්ටීටීඊය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටින ජාත්‍යන්තර සංවිධාන, දෙමළ ඩයස්පෝරාව අදටත් කැසකවන්නේ ශ්‍රී ලංකා රජය හා හමුදා විරුවන් යුද අපරාධ කළවුන් බවට හංවඩු ගසා දඟගෙට යවන්නටය. එවන් පසුබිමක වව්නියාව අධිකරණයේදී ඉස්මතු වුණු සිද්ධිය බොහොම වැදගත් එකකි.

එල්ටීටීඊය වෙනුවෙන් පෙනී සිටින විදේශීය බලවේග නිතරම කියන්නේ, යුද සමයේදී ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවෝ යුද අපරාධ කළ බවය.

වන්නි මානුෂීය මෙහෙයුමේ අණදෙන නිලධාරින්, සේනාංකාධිපතිවරු ඇතුළු යුද්ධයට දායක වූ කිසිවෙකුටත් එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමකටවත් යාමට නොහැකි තරම් තහංචි දමා ඇත්තේද ජාත්‍යන්තර බලවේගවල බලපෑමෙනි.
එවන් මොහොතක ම්ලේච්ඡ කොටි ත්‍රස්තයන් විසින් අපගේ වීරෝදාර හමුදා නිලධාරින් හා සෙබළුන්ව පණපිටින් පුළුස්සා දැමූ සිද්ධිදාමයක් අනාවරණය වන්නේ වව්නියාව අධිකරණය තුළ දී කොටි ත්‍රස්තවාදියකු වූ ආරුමුගම් ජෝතිශ්වරන් විසින්ම කළ පාපොච්චාරණයකිනි. එය ප්‍රබල සාක්ෂියකි.

නීතිපති දෙපාර්තමේන්තු නිලධාරින් හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අධිකරණය හමුවේ මෙම සාක්ෂිය ගෙනහැර දක්වන්නේ සිද්ධියේ එකම සාක්ෂිකරු වූ ආරුමුගම්ට දැඩි ආරක්ෂක රැකවල් යොදවමින්ය. ඔහු ඩැහැ ගන්නට දෙමළ ඩයස්පෝරාව ඇතුළු කොටින්ගේ ජාත්‍යන්තර බලවේග ද සුදානමින් පසුවන්නේ කලක සිටය. ඒ බව දන්නා නිසා ඔහුට දැඩි ආරක්ෂාවක් සපයා දෙන්නට ආරක්ෂක අංශවලට සිදු විය.

මේ නඩුවේ ආරුමුගම් සමග රජයේ සාක්ෂිකරුවන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනාම කොටි සාමාජිකයන්ය. මීට මාස කීපයකට පමණ පෙර අනෙකා දෙමළ ඩයස්පෝරාවේ මැදිහත් වීමෙන් උස්සාගෙන ගියහ. දැන් බොහෝ දෙනා අනතුරු අඟවන්නේ ඉතිරි සාක්ෂියද, ඒ ආකාරයටම අපට අහිමිවේද යන්න පවා සැක සහිත නිසාය. පළමුවන සාක්ෂිකරුවා ඩයස්පෝරාව හා කොටි විදෙස් ජාලය එක්ව බෝට්ටුවකින් ඉන්දියාවට ගෙන්වා ගන්නාතුරු ශ්‍රී ලංකා රජය එවැනි දෙයක් ගැන සිහිනයකිනිදු දැන සිටියේ නැත. දැන් ඔහු සිටින්නේ ජර්මනියේය.

එල්ටීටීඊය හමුදා විරුවන් විසිහය දෙනකුට මුලතිව්, වල්ලිපුරම් වනාන්තරයේ කොටි වධකාගාරයක වසර ගණනක් රඳවා තබා ගනිමින් සිට එක්වරම ඝාතනය කරන්නේ 2009 ජනවාරි 17 දා රජයේ හමුදාවන් වන්නි බළකොටු පරයමින් ඉදිරියට යද්දීය.

ආරුමුගම් කියන වධකාගාරය පවත්වාගෙන ගියේ කොටින්ගේ සන්නද්ධ බුද්ධි අංශ නායක රත්නම් මාස්ටර් යටතේය. මුලතිව් වල්ලිපුරම් දකුණේ වූ මෙම වධකාගාරය පුදුකුඩිඉරිප්පු දකුණේ වූ, කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ නිවසට කිලෝ මීටර් හතක් ඔබ්බෙන් පවත්වාගෙන ගිය එකකි.

ඝන කැලැවෙන් වැසුනු රක්ෂිතයේ පිහිටි මෙම ප්‍රදේශයට ඇතුළුවීම තහනම්ය.

කොටි නායක ප්‍රභාකරන්ගේ විශ්වාසදායීම සගයකු වූයේ රත්නම් මාස්ටර්ය. ඔහු යටතේ ප්‍රභාකරන්ට ආරක්ෂාව සැපයූ ‘‘රාධා බළකාය’, ‘ගෞතම් ඉන්ටලිජන්ස්’ නම් වූ ඔත්තු සේවාව හා කළුකොටි බළකායද තිබුණේය.ආරුමුගම් ජොතිෂ්වරන් 2005 දී තම සීයා පදිංචි වන්නියේ පුදුකුඩිඉරිප්පු බලා යන්නේ දකුණේ සිටය. ඔහු වැල්ලවත්ත මැජේස්ටික් බේකරියේ හා කොළඹ ෆාමසියකද සේවය කළ අයෙකි. මොහුට සිංහල හා ද්‍රවිඩ භාෂා හැකියාව නිසා ඕමන්ත කොටි මාර්ග බාධකයේදී අල්ලාගෙන එල්.ටී.ටී.ඊ.යට බඳවා ගත්තෙකි.

චාල්ස් යටතේ වූ එල්.ටී.ටී.ඊ. සන්නද්ධ බුද්ධි බළකාය වෙත එක්වූ ආරුමුගම්ට චාල්ස් මියගිය පසුව රත්නම් මාස්ටර් යටතේ සේවය කරන්නට සිදුවිය.

කිලිනොච්චියේ කොටි බුද්ධි අංශ කඳවුරක සටන්වලදී අල්ලා ගන්නා හමුදා සාමාජිකයන් සිරකර තැබූ සිරමැදිරි භාරව ආරුමුගම් පත් කරන්නේ ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමටය.

2008 දෙසැම්බර්වල රත්නම් මාස්ටර්ගේ නියෝග මත ආරුමුගම්ට වල්ලිපුනම්හි සිර මැදිරිවල සිටින හමුදා සාමාජිකයන්ගෙන් ප්‍රශ්න කිරීම් භාරව එහි යාමට සිදුවන්නේය.

‘‘වල්ලිපුරම් හි වික්ටර් බේස් එකට මම යන කොට කිලිනොච්චි අපේ මිල්ටරි ඉන්ටලිජන් කෑම්ප් එකේ රඳවා හිටපු සෙබළුන් දෙන්නෙකුත් අරන් ගියා. එක්කෙනෙක් උමේෂ් චතුරංග, අනෙක් කෙනා නුවරඑළියේ ගුණරත්න, එයාලා දෙන්නත් වික්ටර් බේස්වල වධකාගාරයේ රැඳෙව්වා. එතැන මම යද්දී 24 ක් හිටියා. නාවික හමුදාවේ හා යුද හමුදාවේ යුද්ධය අතරේ එල්.ටී.ටී.ඊය ට අහුවුණු අයයි හිටියේ. ඔක්කොගේම කකුල්වල දංවැල් දාලා වේල්ඩින් කරලා තිබ්බා. මම ගෙනිච්ච දෙන්නටත් අඩි එකහමාරේ දංවැල් අරන් විලුඹ වටේ ඔතලා කකුලේම තියලා වෙල්ඩින් කළා. ඒ අයව නාන්න විතරයි එළියට ගත්තේ. වැසිකිළි හා ටැප් ඇතුළේම තිබ්බා. රතු පාට සරමක් හා බැනියමක් ඔවුන්ගේ ඇඳුම් වුණේ. පැනල ගියත් කැලෑව ඇතුළෙන් හොයාගන්න ඒ ඇඳුම් අන්දලා තිබුණා. සිර මැදිරි විසි දෙකක විසි හය දෙනකු රඳවලා තිබ්බා. අඩි හතේ හතරේ කාමරවල දාලා ඉබ්බෝ දාලා තිබුණා. මේ රහසිගත සිර මැදිරි තිබුණු තැන දන්නේ කොටි නායකයෝ කිහිප දෙනකු විතරයි. අපේ දහතුන් දෙනකුට ඒකේ වැඩවලට යොදවලා තිබුණා. අපේ නායක ප්‍රභාකරන්ගේ නියෝග මත ඒ පැත්තට කාටවත් එන්න දුන්නේ නැහැ. කැලෑව මැද රතුකුරුසයටත් හොරෙන් මේක තිබුණේ. කිළිනොච්චිවල සිරමැදිරියට රතුකුරුසෙන් ආවට මේකට ආවේ නැහැ. ගෝබි කියලා ලීඩර් කෙනෙක් වික්ටර් බේස් ඇති පළාත භාරව හිටියා. රත්නම් මාස්ටර් වරින් වර මෙතැනට ඇවිත් ගියා. 2009 ජනවාරි වෙද්දී කාලතුවක්කු වැටෙන සද්දේ අපිට ළඟ ළඟ ඇහුණා’ මේ ආරුමුගම් හෙළි කරන කතාවය.

මෙම සිර මැදිරිවල සිටි අය අතර නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරුන් තිදෙනකු ඇතුළු නාවික හමුදාවේ දහඅට දෙනකුත්, යුද හමුදා ලුතිනන් කර්නල්වරයකු ඇතුළු අට දෙනකුත් සිටි බවත්, හෙළි කරන්නේ අත්අඩංගුවට ගත් රත්නම් මාස්ටර්ගේ ගෝලයන් සිව් දෙනාය.

නාවික හමුදා බුද්ධි අංශය හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය නාවික හමුදාවේ සිටියදී යුද්ධයෙන් අතුරුදන් වූ සෙබළුන් හා නිලධාරින්ගේ ඡායාරූප පෙන්වද්දී ඉන් දාහතරදෙනකුවම ඔවුන් හඳුනා ගත්හ.

උතුරට හමුදා සෙබළුන් ප්‍රවාහනය කරන ‘පර්ල්කෘසර්’ නැවට ආරක්ෂාව සපයමින් ගිය ‘පී 416 ඩෝරා යාත්‍රාව’ට වෙත්තිලයිකර්නි මුහුදු තීරයේ දී 2006 මැයි 11 දා එල්ල වූ මුහුදු කොටි ප්‍රහාරයෙන් අතුරුදන් වූ ලුතිනන් කමාන්ඩර්වරයකුත් ඒ අතරේ හඳුනාගත් එක් නිලධාරියෙකි. ඩෙල්ෆ්ට් ප්‍රදේශයේදී පී. 413 ඩෝරා යාත්‍රාවට එල්ල වූ ප්‍රහාරයෙන් අතුරුදන් වූ ලුතිනන් කමාන්ඩර්වරයකුත්, තවත් මුහුදු ප්‍රහාරයකින් අතුරුදන් වූ ලුතිනන් කමාන්ඩර්වරයකුත් විය. මෙම නිලධාරින්ගේ නම්ගම් විස්තර පළ නොකිරීමට අප වග බලා ගන්නේ ඔවුන්ගේ පවුල්වල අයට යළි වේදනාවක් ඇති නොවන්නටය.

මේ වධකාගාර තුළ සැබැවින්ම ගෙවී ගියේ බොහෝම කටුක, දුක්බර ජීවිතයකි. එය කොතරම් දුක්බර එකක්ද යන්න වැටහෙන්නේ හමුදා නිලධාරින් හා සෙබළුන් සිරමැදිරිවල තැබූ සටහන්වලිනි.

‘‘මෙවන් දුකක් ලොව වෙන කිසිවකුටත් වෙන්න එපා’’
‘‘අපිට කවදා නිදහස් වෙන්න ලැබෙයිද?’’
‘‘සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා.’’
‘‘අම්මා බුදු වේවා’’ යන වදන් ඔවුන් බිත්තිවල ලියා තිබිණි. ඒවා ඉතිහාසයට ඉතිරි කළ සාක්ෂිය.

ඔවුන් ‘දින’ මතක තබාගෙන ඇත්තේ දිනපතාම ඇණයකින් බිත්තිය හූරා සලකුණු තැබීමෙනි. මේ ඇණය සිරමැදිරිය තුළ ඇඳුම් එල්ලීමට තිබුණු ඇණයකි. ඔවුන් බිත්තියෙහි දින සටහන් කිරීම නතරකර තිබුණේ 2009 වසරේ ජනවාරි 12, 13. 14 යන දවස්වලය.

2009 වසරේ ජනවාරියේ රජයේ හමුදා සේනාංක කිලිනොච්චිය අත්පත් කර ගනිමින් ඉදිරියට ඇදී යද්දී පුදුකුඩිඉරිප්පු ඒ – 35 මාර්ගයේ බලයත් අහිමි වෙද්දී, වධකාගාරයේ සිටි හමුදා භටයන් ඝාතනය කරන්නට රත්නම් මාස්ටර් තීරණය කරන්නේය.

‘‘දැන් හමුදාව කිලිනොච්චි ටවුන් එකත් අල්ලලා තියෙන්නේ. දැන් අපි මෙහෙන් යන්න ඕනේ. හිරකාරයෝ එකා එකා අරගෙන එන්න’’ යැයි ගෝබි අණ දුන්නේ ආරුමුගම්ටය.

එදා 2009 ජනවාරි 16දා. දවල් කෑමෙන් පස්සේ මදිඅරසන් සුලක්ෂන් හෙවත් තමිල් අරසන් හා රාසතුරෙයි තිරිඅරවි හෙවත් පුරච්චි බයික් එකකින් පෝර බෑග් එකක කිලෝ තිස්පහක සීනි අරන් ආවා. කූඩුවලින් එළියට ගන්න අයගේ ඇස් බඳින්න තව දෙන්නෙක් හිටියා. ඇස් බැඳලා අඩි 150ක් විතර එහා කුස්සිය පැත්තට එයාලව තුන්දෙනා ගාණේ අරන් යන්න ගත්තා. ඒත් එක්කම වෙඩි ශබ්ද දැනුණා. එයාලා මරවිලාප දෙනවා ඇහුණා. වෙඩි සද්ද ඇහෙද්දි අනිත් අය බයවෙලා අපිව මරන්නද ගෙනියන්නේ කියලා ඇහුවා. මම කිලිනොච්චියේ සිරගෙදර ඉඳන් අරන් ආපු උමේෂ් චතුරංග, ගුණවර්ධන අරන් යන්න හදද්දි උමේෂ් අතේ එල්ලිලා ‘අනේ අයියේ මාව බේරගන්න’ කියලා හඬා වැටුණා’’ යැයි ආරුමුගම් වව්නියාව අධිකරණයේදී එය මතක් කළේත් හැඬූ කඳුළින්ය. කාලයක් තමා භාරයේ සිටි අයෙකුගේ මරණය ගැන කියද්දී ඔහු ඉබේම හඬා වැටුණු වග අධිකරණයේ සිටි අයටද පසක් විය.

පණ යන්නටත් මත්තෙන් මළ සිරුරු මත දර දමා, ඩීසල් සහ භූමිතෙල් දමා, සීනි ගෝනි දෙකක්ද හලා දමන්නේය. මළ සිරුරුවලට සීනි ගෝනි හලා දැමුවේ කාරණා දෙකක් සඳහාය. ඉන් එක් කාරණයක් වන්නේ සිරුරුවල ඇටකටු හොඳින් පිළිස්සී යන්නට සැලැස්වීමය. අනෙක මළ සිරුරුවල ඩී.එන්.ඒ. පරීක්ෂා ව්‍යර්ථ කිරීමය. මළ සිරුරු මත සීනි හලා පුළුස්සන්නැයි නියෝග කරන්නේද රත්නම් මාස්ටර්ය.

වෙඩි හඬ ඇහිලා විනාඩි 15කින් 20කින් විතර ගිහිල්ලා බලද්දි හමුදාවේ විසිහය දෙනාගේම මිනී ගොඩගහලා උඩට සෑයක් වගේ ලී දාලා තිබුණා. සීනි, ඩීසල්, භූමිතෙල් දාලා ඒවා ගිනි තියලා තිබුණා. රෑ එළිවෙනකන් මෙතැන ගින්දර පත්තු වුණා. සිර මැදිරිවල තිබුණු පැදුරු කොට්ටත් ඒ ගොඩටම දැම්මා.

මළ සිරුරු පිළිස්සීමෙන් පසුව ඒවායෙහි අළු වීල්බැරෝවක දමා ගෙනගොස් වධකාගාරයේ මුළුතැන්ගෙය අසල වළලා දැමූ තැන පෙන්වන්නේත් ආරුමුගම්ය.

මේ සියලු කාරණා සාක්ෂි සහිතව කරළියට එන්නේ වන්නි මානුෂීය මෙහෙයුමෙන් පසුව ත්‍රස්තවාදී බළකොටු සියල්ල මුදාගත් පසුව රජයේ පාලන ප්‍රදේශවලට සිවිල් වැසියන් මෙන් පැමිණ අවතැන් කඳවුරක සිටියදී අල්ලාගත්, රත්නම් මාස්ටර් යටතේ සේවය කළ ආරුමුගම් ඇතුළු කොටි ත්‍රස්තයන් සිව් දෙනකු බුද්ධි අංශ මගින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදීය.

එදා කුස්සිය ගාව මිනී පිච්චෙන නිසා අපි රෑට කෑවේ සිරමැදිරි ළඟ ඉඳලයි. අපි දහතුන් දෙනාම එතැන ඉඳන් කෑම කෑවා. රාසතුරේයි එතැනදි කිව්වා මම නම් හමුදාවේ විසිතුන් දෙනෙකුට වෙඩි තියලා මැරුවා කියලා. මමත් තුන්දෙනෙකුට වෙඩි තිබ්බා කියලා සුලක්ෂන් කිව්වා. එදා රෑ එළිවුණාම සුලක්ෂන් මාත් එක්ක අළු ටික එකතු කරලා දැම්මා. ඒ අතරේ කකුල්වලට දාපු දම්වැල් 26ත් තිබ්බා. අපි මේවා එකතු කරලා පුදුකුඩුඉරිප්පුවලට පහුවදා දවල්ම පිටත් වුණා. එතැනට කාටවත් එන්න දෙන්න එපා කියලා ප්‍රභාකරන්ම නියෝග දී තිබුණු නිසා සෝදියා බළකායේ කෙල්ලෝ පහළොවක කණ්ඩායමක් හමුදා ප්‍රහාරයකින් බේරිලා එන අතරේ කෑම්ප් එකට එදා උදේ එන්න ආවත් අපි එතැනට එන්නනොදී එළව ගත්තා.එදා හමුදා විරුවන්ට වෙඩි තැබූ කොටි ත්‍රස්තයාත්, සිරුරු ගිනි තැබීමට මුල් වූ ත්‍රස්තයාත්, අත්අඩංගුවට ගත් සිව්දෙනා අතර සිටියේය. පළවැනි විත්තිකරු රසාතුරෙයිය. දෙවැනියා සුලක්ෂණය.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරින්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ ආරුමුගම් සමග දෙදෙනකු රජයේ සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත් වන්නේ සියලු ම්ලේච්ඡ සිදුවීම් පාපොච්චාරණය කරමින්ය.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ එවකට අධ්‍යක්ෂව සිටි පොලිස් අධිකාරි අසංක කරවිට, අධිකරණ වෛද්‍ය නිලධාරින්, රස පරීක්ෂක දෙපාර්තමේන්තු නිලධාරින් සමග වල්ලිපුරම් වධකාගාරය මුල්වරට සොයාගෙන යන්නේ 2010 නොවැම්බර් 24 දාය.

එවකට කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය ආනන්ද සමරසේකර, මාතලේ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාධාරි විශේෂඥ වෛද්‍ය අජිත් ජයසේන, වෝහාරික දන්ත වෛද්‍ය විශේෂඥ ජයවි වීරරත්න, මහනුවර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය ඒ. බී. සෙනෙවිරත්න ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණයට දායක වූහ.

සෙබළුන් හා නිලධාරින් පුලුස්සා දැමූ තැන තිබී එක් රැස් කළ ගෝනි 24 ක තිබූ අළු හා පස් අතරේ මිනිස් ඇටකැබලි, හිස් පතරොම් හා පිළිස්සුණු රෙදි කැබලිද සොයා ගත්තේය.

මේ අනුව එක්රැස් කළ සියලු සාක්ෂි පදනම්කරගෙන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය එල්ටීටීඊයට එරෙහිව නඩු පවරන්නේ වව්නියාව අධිකරණයේය. නීතිපති දෙපාර්තමේන්තුව නඩු විභාගය වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ මාධව තෙන්නකෝන් ඉදිරිපත් කරන්නේ මෙය ජාත්‍යන්තරයට ගෙන යා හැකි එකම සාක්ෂිය නිසාය. මෙහිදී අධිකරණය හමුවට ඉදිරිපත් කළ ඝාතනයට සම්බන්ධ කොටි ත්‍රස්තයන් වෙනුවෙන් නීතිඥයන් අල්ලා තිබුණේ රාජ්‍ය නොවන සංවිධාන මගින් මුදල් ගෙවමිනි.

ආරුමුගම්ගේ සාක්ෂිය ප්‍රබල එකක් මෙන්ම එල්ටීටීඊය ජාත්‍යන්තරය හමුවේ දණ ගැස්සවීමට වූ ප්‍රබල අවියකි.

මේ නිසා එල්ටීටීඊ ජාත්‍යන්තර ජාලයේ ප්‍රබලම ඉලක්කය වූ ආරුමුගම්ව වෙනම ම රහසිගත තැන්වල රඳවා විශේෂ ආරක්ෂාව සපයන්නටත් සිදුව තිබේ.

ශ්‍රී ලංකා රජයට ජාත්‍යන්තර වශයෙන් ඔප්පු කරගත නොහැකි සාක්ෂිවලින් දැඩි බලපෑම් එල්ලකරන සියලු බලවේග දණ ගස්වන්නට හැකි මෙම සාක්ෂිය ජාත්‍යන්තරයට ගෙන යාම රජයේ වගකීමය.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා