ගොසිප්

එයා මට මොඩ්ලින් කරන හැටි උගන්නන ගමන්, දරුවෙකුත් දුන්නා

මෙම ලිපි පෙළට අදාළව ලියැවුණු පසුගිය ලිපි තුනෙන් කියැවුණේ, විවිධ ආගමික සිද්ධස්ථානවලට සම්බන්ධව සිටින පූජ්‍ය හා පූජක පක්ෂයේ ‘කාමාතුරයන්’තුන්දෙනකු අතින් අතවරයට පත් වූ කාන්තාවන් තුන්දෙනකු ගැන ය. එමෙන් ම මෙවර අප සමග කතා බහට එක්වූයේ, ‘නිරූපණ ශිල්පියෙකු’ අතින් අතවරයට පත්ව, අට මස් ගැබක් දරා සිටින කාන්තාවකි.

සිංහල පියෙකුට දාව දෙමළ මවකගේ කුසින් බිහි වූ ඇය ‘සිංහල සිංදු කියන – නළලේ තිලක තියන’ කිරිල්ලියකි. උපන්නේ රත්නපුරයේ පසල් ගමක ය. කුඩා කාලයේදීම පියා ඇය හැර යන බැවින්, හැදී වැඩී ඇත්තේ මවත් සමග ය.

‘‘මගේ තාත්තා පුංචි කාලෙම අපිව දාලා ගියා… ඉතිං මට අම්මටයි, තාත්තටයි දෙන්නට ම හිටියෙ අම්මා විතරයි… අඩු වයසෙන් බැඳපු කෙනෙක් හින්දා, අම්මා තාමත් තරුණ යි… එයා ඇත්තට පෙනුමිනුත් මං වගේ ම යි…’’ සාරා ඇගේ කතාව කියන්නට පටන් ගත්තා ය.

‘‘මං ඉපදුණේ 2002 අවුරුද්දෙ… මට අවුරුදු 6 ක් විතර වෙද්දි, තාත්ත අපිව දාලා ගියපු හින්දා, අම්මා මාව කොළඹ ‘හෝම් එකකට’ භාර දුන්නා… ඒ එයාට රස්සාවක් කරන්න සිද්ධ වුණු හින්දා… ඒත් මට අවුරුදු 16 ක් විතර වෙනකොට මං ඒ ‘හෝම් එකෙන්’ පැනලා ඇවිත්, ගාලු පාරේ තියෙන ප්‍රසිද්ධ රෙදි කඩේක වැඩ කරන්න පටන්ගත්තා… මගේ පෙනුම හින්දම, මට හැමදාම හම්බ වුණේ, ‘මෙන්ස් වෙයා’ සෙක්ෂන් එක… ඉතිං ඊට පස්සෙ මම බෝඩිං වෙලා, රස්සාවකුත් කරගෙන ඉන්න විදිය ඉගෙන ගත්තා… අවුරුදු දෙකක් ම මම එතන ම යි වැඩ කළේ… නිවාඩු දවසට යාළුවොත් එක්ක ‘බීච්’ ගියා… ‘එම්.සී.’ ගියා… ඉඳල හිටල රත්නපුරේ ගිහින් අම්මවත් බලල ආපහු ඇවිත් වැඩ කළා…’’ ඇය ඇගේ ‘පියාපත් සවි වන්නට පටන් ගත් දවස්’ ගැන මෙනෙහි කළේ, සතුටිනි.

‘‘ඔහොම ඉන්න අතරෙ, අපෙන් ඇඳුම් ගන්න ආව ‘අයිය කෙනෙක්’ මාත් එක්ක හිතවත් වුණා… එයා ‘මොඩ්ලින්’ කරනවා… ඊට අමතරව ‘මොඩ්ලින්’ කරන්න අලුතින් එන අයව ‘ට්‍රේන්’ කරනවා… එයාගෙ පිංතූර පත්තර වලත් ගියා… මටත් ඉතිං එයා ‘ලොක්කෙක්’ වගේ පේන්න පටන්ගත්තා…’’ ඇය කීවා ය.

ඉන් අනතුරුව ඇය, ඇගේ හිතගත් ‘ජනකාන්ත නිරූපණ ශිල්පියාගේ’ ඡායාරූප කිහිපයක් ද අප වෙත පෙන්වූවා ය. ඔහුගේ ‘කඩවසම් බව’ මොනවට විදහා පාන එකී පිංතූර ඇල්බමය ඇගේ ජංගම දුරකථනයේ ‘වැඩි ඉඩක්’ ගෙන ඇති බව පෙනිණි.

‘‘දවසක් එයා මට කිව්වා, මාවත් ‘මොඩ්ලින්’ කරන්න ගැළපෙනවා කියලා… මගේ ඇඟේ ‘ෂේප් එක’ ගැන, ‘චොකලට් පාට ස්කින් කලර් එක’ ගැන හරියට වර්ණනා කළා…’’

ඇය කියන හැටියට මේ කියන ‘කපටි නරියා’ කර තිබෙන්නේ, ඇගේ ‘රුව වර්ණනාවෙන්’ පටන් ගෙන, අවසානයේදී ‘කේජු කෑල්ල’ ද ඩැහැගෙන පළා යාම ය.

‘‘එයා මාව එයාගෙ ‘මොඩ්ලින් පංති’ වලටත් ගත්තා… පොඩි පොඩි ‘මොඩ්ලින් වැඩ’ කීපෙකටත් ඇරියා… ඔය අතරෙ මට ආදරේ කරනවා කියලා, මාව අරං කාමර ගාණෙත් ගියා… ‘රෙදි සාප්පුවේ’ වැඩ කරලා හම්බ කරගෙන තිබුණු මගේ ‘ලක්ෂ 4 කටත්’ විද්දා…’’ ඇය කීවා ය.

අපේ රටේ විනෝදාස්වාදන කර්මාන්තයේ නමගිය මේ ‘නිරූපණ ශිල්පියා’ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු විමසා බැලීමේ දී, අපට දැනගන්නට ලැබුණේ, ‘සාරා‘ ඔහුගේ ‘පළමු‘ හෝ ‘එකම’ ගොදුර නොවූ බවය. එහෙයින් ඔහු ‘කර්මාන්තය’ තුළ ප්‍රචලිතව ඇත්තේ ද, නිරූපණ ශිල්පයේ ආනුභාවයෙන් ‘කතුන් දඩයම් කරන්නකු ලෙස ය. ඒ අනුව, ‘සාරා’ට ද අත් වී ඇත්තේ, ‘මොඩ්ලින්’ සඳහා ඔහුගෙන් අත්පොත් තැබූ තවත් කන්‍යාවන් හත් අට දෙනකුට ම අත් වූ ඉරණම ය.

‘‘එයාගෙන් මට දරුවෙක් ලැබෙන්න යනව කියල දැනගත්ත ගමන් ම එයා මාව මග ඇරියා… කාමරේට එන්නෙ නැතුවම හිටියා… මටත් එළියට බහින්න අමාරු තත්ත්වයක හිටියෙ… අතේ සල්ලිත් නෑ… අම්මට කියන්නත් බෑ… මං හරියට අසරණ වුණා… ඒ අසරණකම හින්දම මමත් හිතුවා, දරුවා නැති කරන්න… ඒත් ඒකට සල්ලි ඕන හින්දා, මම ටිකක් පස්ස ගැහුවා… මගෙන් ගත්තු ලක්ෂ 4 දෙන්න කියලා, මං එයාට කිව්වා… ඒත් එයා ඒක ගාණකටවත් ගත්තෙ නෑ… ‘‘ සාරා කියන්නී ය.

ඇය කියන හැටියට, ගැබට මාස 5 ක් පමණ පිරෙන තැන දී, ඔහු ඇය වෙනුවෙන් ‘බෙහෙත් පෙති’ අරන්දෙන්නට ඉදිරිපත් වන්නේ ය.

‘‘ඔය අතරෙ එක දවසක් එයා මට කතා කරලා, මගේ ළඟ සල්ලි කීයක් තියෙනවද ඇහුවා… මම කිව්වා, ‘හතළිස් දාහක්’ තියෙනවා කියලා… ඊට පස්සෙ ඇවිල්ලා ඒ ‘හතළිස් දාහත්‘ ඉල්ලගෙන ගියා, ‘බෙහෙත්පෙති හතරක්’ ගෙනත් දෙන්නම් කියලා… ඒත් ඒ ගියා ගියාමයි, බෙහෙතුත් නෑ… සල්ලිත් නෑ…’’ සාරා කියන්නී, දරු ගැබක් දරන්නියකට නොතරම් වන කේන්තියෙනි.

‘‘අන්තිමේදි මට ‘බෙහෙතෙ නම’ එස්.එම්.එස්. කළා… ෆාමසියකින් ගන්න කිව්වා… ඒත් මං ඒක කරන්න ගියේ නෑ… එක අතකින් මට සල්ලි නැති හින්දා… අනෙක් අතින්, ‘ගබ්සා පෙති’ ගන්න ගිහින් පොලිසියට අහුවෙයි කියලත් හිතුණා…ඔය අස්සෙ ‘කොරෝනාවත්’ ආවා… ඒ කාලෙ මට කන්න බොන්න හරි දුන්නෙ, මගේ යාළුවො කීප දෙනෙක්…‘‘ සාරා කියන්නී ය.

මේ වන විටත් යන්තමින් අවුරුදු 18 සපිරුණු සාරා, මේ ආකාරයට සිය ජීවිත කාලයේ ‘වැඩිහිටි වියට’ පා තබන්නේ ම ‘දරු ගැබක’ බරකුත්, හදවතේ බුර බුරා පැහෙන ‘මහා යමහලකුත්’ දරාගෙන ය.

‘‘මං හිතුවා, මට කරන්න තියෙන්නෙ, ‘සියදිවි නසාගන්න එක විතරයි’ කියලා… ඉතිං මං මගෙ බඩත් උස්සගෙන වැල්ලවත්ත බීච් එකට ගියා… යද්දි අම්මට ‘ලියුමකුත්’ ලියල තියලයි ගියේ…’’ ඇය කියන්නී, ඇස් අගිස්සට උණන කඳුළු ද නොවළක්වා ම ය.

‘‘එතනදි මම දැක්කා, කපල් එකක්, පුංචි දුවෙකුත් එක්ක ඇවිත් වැල්ලෙ සෙල්ලම් කරනවා… අරයත් එක්ක ‘ඒ වගේ පවුලක්’ හදන්න මමත් ආසාවෙන් හිටි හින්දා, මට කෑ ගැස්සිලා ඇඬුණා… මම මැරුණු ආරංචිය අම්මට ගියාම, එයා ඒක දරාගන්නෙ කොහොමද කියලත් හිතුණා… ඔය විදියට මගේ හිතේ තිබුණු ඔක්කොම ප්‍රශ්න එක්ක මට හොඳටම ඇඬුණා… අර ‘කපල් එකේ’ ගෑනු කෙනා වැල්ලේ කොනකට වෙලා හයියෙන් අඬන මා ගාවට ආවෙ එතකොට… එයා මට කතා කළා… මගේ හිතේ තිබුණු වේදනාව වැඩි කමට, මං ඒ ගෑනු කෙනත් බදාගෙන තව තවත් ඇඬුවා… මෙතනට ආවෙ ‘මුහුදට පැනල මැරෙන්න’ කියලත් කිව්වා… ඊට පස්සෙ ඒ ‘කපල් එකම’ මාත් එක්ක කතා කරලා, ‘මැරෙන්නැතුව, අපේ ගෙදර යං’ කිව්වා… මමත් ගියා…‘‘ ඇය කීවේ, අප ඉදිරියේ නැඟුණු ‘අලුත් කඳුළුත්’ පිස ගනිමිනි.

මේ ආකාරයට, අහම්බෙන් හමු වූ ‘අදිසි පණිවුඩකරුවන්’ යුවළ නිසා ‘සාරාගේ’ මෙන් ම ඇගේ කුස හොත් ව සිටි බිලිඳාගේ ද ජීවිත මරණයෙන් ගැළවුණේය.

‘‘ඊට පස්සෙ මට මොකක්ද කරන්නෙ කියලා, ඒ ‘අක්කයි අයියයි’ එයාගෙ යාළුවන්ගෙනුත් අහලා බලලා තිබුණා… එතනදි තමයි ‘csc nation lanka‘ කියන ආයතනය ගැන දැනගෙන තියෙන්නෙ… අම්මලාට හදාගන්න බැරි ළමයි, එතනින් භාරගන්නවා කියල තිබුණා… ඉතිං මං අර අක්කටයි, අයියටයි පින් සිද්ධ වෙන්න, ඒ ආයතනයට ගියා… එයාලා මටත්, බබාටත් ඕන කරන හැමදේම දෙනවා… ලබන මාසෙ තමයි මගේ ‘ඩිලිවරි ඩේට්’ එක… උපදින්න ඉන්න ‘පුතා’ භාරගන්න ගුරුවර ජෝඩුවක් දැනටමත් කැමති වෙලා ඉන්නෙ…‘‘ සාරා කියන්නී, නෙරා ඉදිරියට අවුත් තිබෙන බඩවත, දකුණතින් පිරිමදිමිනි.

‘‘දරුවා දෙන්න ලෝබයි වගෙත් නේද…?’’ අපි ඇසුවෙමු.

‘‘නැහැ… එහෙම දැනෙන්නෙත් නැහැ… මං දන්නවා, මාත් තාම දරුවෙක්… මට තාම ‘දරුවෙක් හදා වඩා ගන්න තරම්’ හයියක් නෑ… මේ දරුවා කියන්නෙ, මට මගේ ජීවිතේ වෙච්චි ලොකුම වැරදීම… මම දැන් හිතන්නෙ, ආපහු මේ වගේ ‘වරදක් නොවෙන්න’ වග බලාගන්න එක ගැන යි, බබා ලැබිලා ටික කාලෙකින් ‘අම්මා’ බලන්න යන විදිය ගැන යි විතරයි… හිතුණොත් ගිහින් අම්මට ‘මුළු විස්තරේම’ කියනවා… එහෙම නැති වුණොත්, ඒ සිදුවීම්වල හැම මතකයක් ම කොළඹ ම වළ දාලා යනවා… දරුවා භාරගන්න ඉන්න ‘ටීච’ බොහොම හොඳ කෙනෙක්… එයාට නං පුළුවන් ‘හොඳ අම්මෙක්’ වෙන්න… ඒ අතින් බැලුවමත්, මම දරුවා තියාගන්න හැදුවොත්, ඒක ඒ දරුවට කරන අසාධාරණයක්… ඉතිං මං හිතනවා, මං ගත්තු තීරණේ හරි කියලා… ඔයාලට මොකද හිතෙන්නෙ…?’’

සාරා ‘අපෙන්’ ද ප්‍රශ්නයක් ඇසුවේ, කුඩා දරුවෙකු ‘වැඩිහිටියෙකුගෙන්’ විමසන ආකාරයෙනි.

‘‘ඔයා ගත්තු තීරණේ හරි…’’ අපි ද කීවෙමු.

‘‘දරුවා ලැබුණායින් පස්සෙ, මට පුළුවන් ආපහු මගේ ජීවිතේ පටන්ගන්න… ‘මොඩ්ලින්’ වලට නං යන්නෙ නෑ… රෙදි කඩ රස්සාව ඊට වඩා දහස්ගුණයක් ආරක්ෂිතයි… හිතුණොත් අම්මවත් කොළඹ ගෙන්නගන්නවා… මගේ කාමරේම නවත්ත ගන්නවා…’’ සාරා කියන්නී ය.

එක් අතකට ඇගේ කතාව, ‘චිත්‍රපට කතා සාරාංශයක්’ වැනි ය. උත්ප්‍රාසය නම්, වතාවක් ඔහු ඇයට ‘චිත්‍රපටයක රඟපෑමට’ අවස්ථාවක් දෙන බවට ‘පොරොන්දුවක්’ ද දී තිබීම ය. අවසානයේ ඔහු ඇයට ලබා දී තිබුණේ ‘චිත්‍රපටයක රඟපෑමක්’ නොව ‘චිත්‍රපට තිර පිටපතක්’ ලියන ආකාරයෙන්, ‘ඇගේ ජීවිතයේ ඉරණම’ ලියා අවසන් කළා වැනි ය. කෙසේවෙතත්, ඇගේ ‘පෙර පිනකට’ මෙන්, ‘අවසාන ජවනිකාව’ පමණක්වත් වෙනස් කරගැනීමට හැකි වීම භාග්‍යයකි.

කෙසේවෙතත් ‘මොඩ්ලින් ලෝකේ’ කපටි රජා යන විරුදාවලියෙන් ද හැඳින්වූවාට වරදක් නැති, මේ කියන ‘නිරූපණ ශිල්පියාට’ ගොදුරු වූ සාරාගේ ජීවිතය අන්තිමේදී, ‘පෙර කී ආයතනය’ නිසා බේරුණි. එහෙත් ඒ ‘හැඩකාර වැඩකාර ශිල්පියා’ තවදුරටත් සිටින්නේ එළිමහනේ ය. එහෙයින් ‘මේ ලිපිය’ උදක් ම ඔය කියන ‘නිරූපණ ක්ෂේත්‍රයේ’ ශිල්පිණියන්ගේ ද ඇසෙහි ගැටෙන්නේ නම් ‘යහපත්’ යැයි සිතේ. අඩුම තරමින්, එය ඔවුන්ට ‘ඔහු ගැන දැනගන්නටවත්’ උපකාරයක් විය හැකි බැවිනි.

‘මධු සමේ මධුර කටු අතරේ’ පිපී වැනෙන සුරූපිනියනි, ප්‍රවේසමෙන්…!

‘‘සාරා කියන්නෙ ඇත්තටම තාම ළමයෙක්… ඊයෙ පෙරේදනෙ යන්තම් 18 පිරුණෙත්… ඉතිං එයා දරුවත් නැති නොකරගෙන, තමන්ගෙ ජීවිතෙත් මරණයෙන් කෙළවර නොකරගෙන, අපි ළඟට ආපු එක බොහොම හොඳ දෙයක්… ඇත්තෙන්ම එයාට අර ‘වැල්ලවත්ත බීච්’ එකේදි හමුවුණු දෙන්නා නොවෙන්න, මේ කතාව මීට වඩා බොහොම නරක අවසානයක් තියෙන කතාවක් වෙන්නත් තිබුණා… අපි කියන්නෙ, මේ වගේ ගැහැනු දරුවො, නූපන්න බිලිඳු දරුවො රැකගන්න රජයේ වැඩපිළිවෙළකුත් තියෙනව නම් හොඳයි කියලා… ඇත්තෙන්ම රජයට පුළුවන් අපට උදව් කරන්නත්… මේ ගැන ජනාධිපතිතුමාගේ, අගමැතිතුමාගේ, කාන්තා හා ළමා කටයුතු ඇමතිතුමාගේ අවධානයත් ලැබෙනව නම් විශිෂ්ටයි… මේ කතන්දර පෙළ ‘අරුණ පත්තරේ’ පළවෙන්න පටන්ගත්තට පස්සෙ දවසකට අපට ලැබෙන ඇමතුම් ප්‍රමාණයත් වැඩි වෙලා තියෙනවා… මේ දරුවන්ව ඉපදුණායින් පස්සෙ භාරගන්න ඉදිරිපත්වෙන, දරුවන් නොමැති යුවළ ගාණත් එන්න එන්නම වැඩිවෙනවා… මට හිතෙන්නෙ දැන් මේක ‘ජාතික ප්‍රශ්නයක්’ හැටියට භාරගත්තත් වරදක් නෑ කියලා…’’ csc nation lanka ආයතනයේ ප්‍රධානී මංජුල උක්වත්ත මහතා ‘අරුණ’ට කීවේ ය.

(නම්ගම් මන:කල්පිතය)

සුරේඛා සමරසේන