විශේෂාංග

එන්න මදනලේ සිංදුව නිසා තාත්තා රේඩියෝවත් අයින් කළා

එන්න මදනලේ සිංදුව නිසා තාත්තා රේඩියෝවත් අයින් කළා

ප්‍රවීණ නිවේදකයකු, ගී පද රචකයකු වූ කරුණාරත්න අබේසේකර මහතා ජීවිත රඟමඩළින් බැස ගියේ මීට වසර තිස්පහකට පෙරය. එවකට පනස්තුන් වැනි වියේ පසුවූ අබේසේකර මහතා ගුවන් විදුලියේ ළමාපිටිය , කාන්තා වැඩසටහන්, ඇතුළු වැඩසටහන් ගණනාවක් මෙහෙයවූ පසුබිම් කථනය ද කළ ජනප්‍රිය නිවේදකයෙකු විය. එමෙන්ම වෙළඳ දැන්වීම්වලට මුසු වූ ඔහුගේ හඬිනුත් සිය ගණනක් ළමා හා ගුවන් විදුලි, චිත්‍රපට ගීතත් තුළින් ද විශාල රසික ප්‍රසාදයක් දිනා සිටියේය. ඔහු වියෝවනවිට පුත් දිලීප අබේසේකරයන්ට වයස ඇවුරුදු දොළහකි. වසර 23 ක විවාහ ජීවිතයකින් පසු දිවි ගමනේ පුතු හා හුදකලා වූ ඉරානි අබේසේකර ඔහු හා ගෙවූ දිවිය මෙවර
ලියගුණවරුණේ ලියැවෙයි.

මේ ගෙවෙන්නේ ඔහු නැතුව කී වැනි වසරද ?

පහුවුණේ තිස්පස් වැනි අවුරුද්ද. එයා නැතිවුණේ 1988 අප්‍රේල් 20

ඒ යෝධ සවිය නැතුව දිවිමගේ මේ තරම් දුරක් ආවේ ?

කරූගේ අම්මා තාත්තා, සහෝදර සහෝදරියෝ මාත් එක්කම හිටියා. ඒ ගොල්ලො මාවයි පුතයි බලා ගත්තා.

ඔබට කොහොමද ඔහු හමුවුණේ ?

ඒක ටිකක් දිග කතාවක්. අපි හිටියෙ වැල්ලවත්තෙ. අම්මයි තාත්තයි, මල්ලිලා දෙන්නයි , මමයි. තාත්තා ව්‍යාපාරිකයෙක්. ඒ කාලේ අපේ ගෙදර හැමවෙලේම රේඩියෝ එක දාලා තිබුණේ. ඉස්කෝලෙන් වුණත් වචන උච්ඡාරණය ඉගෙනගන්න රේඩියෝ අහන්න කියලයි තිබ්බේ.

එහෙම වුණාම ?

මම මුලින් ගියේ බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට. ඊට පස්සෙ දේවි බාලිකාවට. හෝලි ෆැමිලි එකේ අපි යාළුවෝ හත් දෙනෙක් හිටියා. ඔය හැමෝමත් හොඳටම රේඩියෝ අහපු කට්ටිය. එක එක්කෙනා කැමැති වැඩසටහන් වගේම නිවේදකයොත් හිටියා.

තරුණ වයසනෙ නේද ?

මම කතා කරන හැම වෙලාවකම කියවෙන්නෙ කරූ ගැනයි එයාගෙ වැඩසටහන් ගැනයි. ඒක යාළුවෝ අල්ලගෙන ඒ ගොල්ලන්ට ඕන වුණා කරූව මට කොහොමහරි යාළු කරවන්න. එතකොට අපි හිටියෙ සාමාන්‍ය පෙළ පන්තියේ.

අද වගේම තමයි නේද මීට අවුරුදු පනහකට කලින් ගෑනු ළමයිගෙ වැඩත් ?

ඒක ඒ වයසනෙ.. අපේ කට්ටිය කරූ හම්බවෙන්නෙ කොහොමද කියලා ප්ලෑන් කර කර ඉන්නකොට තමයි චිත්‍රා සෝමපාලගෙ මඟුල් ගෙදර තියෙනවා කියලා පත්තරේ තිබ්බේ. ඒකට ඉතින් කරූලා කොහොමත් එනවා කියලා කට්ටිය දැනගෙන හිටියා.

කට්ටිය ඒ මඟුල් ගෙදර ගියා ?

ඒකට අපේ යාළුවෝ එක්කෙනෙකුටයි එයාගෙ අයියටයි ආරාධනාවක් තිබ්බා. ඒ ගොල්ලො එක්ක ඉතින් අපිත් ගියා. අද වගේ ලොකූ හෝටල් නෙවේනෙ ඒ කාලෙ තිබුණේ. පරණ ගෙයක් වගේ එකක්. අපේ යාළුවගෙ අයියා කරූ ආවම හොයා ගෙන ගිහින් කතා කරලා අඳුරගෙන අපි ඉඳගෙන හිටපු තැනට එක්ක ආවාම එතැනම ඉඳගෙන අපි එක්ක කතා කර කර හිටියා.

ඉතින් ඊට පස්සෙ ?

ඉතින් එදා මඟුල් ගෙදරදි කතා කර කර ඉඳලා ගෙදර ගිහින් යාළුවන්ගේ කීමටම මමත් ටෙලිෆෝන් එකෙන් කරූට කතා කළා. එයත් බලා හිටියා මං කතා කරනකල්. මුලදි අපිට කතා කරන්න දේකුත් නැති තරම්. ටිකක් කල් යද්දි අපි අතරෙ සම්බන්ධයක් ඇතිවෙනවා. එතකොට මං විභාගෙට ලියලා දේවි බාලිකා යනකාලේ. අම්මට තාත්තට නොදැනෙන්න තමයි ටෙලිෆෝන් කළෙත්, ඒත් කොහොමහරි තාත්තගෙ කනට මේ සම්බන්ධය යනවා.

තාත්තා දඬුවම් කළාද ?

දෙන්න පුළුවන් ලොකුම දඬුවම දුන්නා. අම්මා අකැමැති නිසා තාත්තත් කරූට අකැමැති වුණා. එයාව අමතක කරන්න කිව්වා. මාව ඉස්කෝලෙන් අස්කරලා නුවර ඉස්කෝලෙකට දාන්න හැදුවා. මං කැමැති වුණේ නෑ. එයාලට විශ්වාස කෙනෙකුට මිසක් මගේ යාළුවෙකුටවත් මාව හම්බවෙන්න දුන්නෙ නෑ.

ඔබව හිරකාරියක් කළා ?

කරූගෙ සම්බන්ධෙ නවත්තන්න කියලමයි එයාලා කිව්වේ. පුංචි හරි අවස්ථාවක් ආව ගමන් මං එයාට ටෙලිෆෝන් කළා. එයා මට පොරොන්දු වුණා බයවෙන්න එපා, මං ඔයාව කවදාවත් අමතක කරන්නෙ නෑ කියලා.

ඒ වචනෙ ඇති වුණාද ?

ඒ වචනෙ මට ඉර හඳවගේ විශ්වාස වුණා. එක දිගට සමහර දවස්වලට කිසිම තොරතුරක් නෑ. ඒත් රේඩියෝව ඇහෙනවා. ඒ අතරෙ නුවරින් ආත්තම්මත් ගෙනත් මගෙ තනියට නැවැත්තුවා.

ඉතින් එහෙම ඉන්න පුළුවන් වුණාද ?

ඉවසීම හා විශ්වාසය නිසා හිටියා. දවසක් රේඩියෝව අහගෙන ඉන්නකොට සිංදුවක් ඇහුණා තිලකසිරි ප්‍රනාන්දු ගැයුවේ. “එන්න මදනලේ ගොස් පවසන්න දුක මගේ.. යන්නට හැකි ඔබට පමණි සිරගෙයට ඇගේ…” කියලා. සිංදුව ලස්සන හින්දා කාගෙ හිතටත් ගීතය වැදුණා. ගීයෙ අවසානයට කිව්වා ගීපද රචනය කරුණාරත්න අබේසේකර කියලා.

ඔහු ලියූ ගීයක් ?

තාත්තා කිව්වා මේ සිංදුව නම් මෙයාටමයි ලියලා තියෙන්නේ.. මීට පස්සෙ රේඩියෝ එක එහෙම දාන්න බෑ කියලා රේඩියෝවත් වහලා අයින් කළා. ඊට පස්සේ ඉතින් ගෙදරට කවුරුම හරි විශ්වාසවන්ත කෙනෙක් ආවාම මං කොහොමහරි ලියුමක් ලියාගෙන ඉඳලා යවනවා. එයත් ඔය ගෙදරට බැලුන් කාරයෝ, පයිප්ප හදන අය වගේ එවලා මගේ තොරතුරු දැනගෙන තිබුණා.

ඔහොම ගිහින් අන්තිමට මොකද වුණේ ?

අවුරුදු දෙකහමාරක් විතර යද්දි තාත්තා හෘදයාබාධයක් හැදිලා නැතිවුණා. ඒත් අම්මා වෙනස් වුණේම නෑ. තවත් අවුරුදු දෙකහමාරක් විතර මං එහෙමම හිටියා. ඔය අතරෙ එයා මාස හයකට බීබීසී එකටත් ගිහින් තිබුණා. අන්තිමේ මට හුඟක් ආදරේ පුංචි අම්මායි, බාප්පයි අම්මත් එක්ක මේ ප්‍රශ්නෙ කතා කරලා බේරුමක් කරලා මාව නුවර එක්ක ගිහින් එහෙ තියාගෙන අපි දෙන්නව කසාද බන්දලා දුන්නා.

ඒ කාලේ කොහොමද ?

හරිම සතුටෙන් ගෙවුණා. අපි බැඳලා අවුරුදු දහයක් දරුවෝ නැතුව හිටියා. එහෙමයි කියලා අපි කා අතරෙවත් ප්‍රශ්නයක් ඇතිවුණේ නෑ. බැඳලා අවුරුදු දහයකින් තමයි දිලීප පුතා ලැබෙන්නේ. පුතාට දිලීප ජගදිශ් අබේසේකර නම දෙන්නෙත් කරූමයි.

එතකොට දිලීප පොඩි පුතු ගීතය ලියවෙන්නේ ?

පුතා ඉපදුනාම එයා කවි පන්තියක් ලිව්වා. ඒක පත්තරේක පළවුණාම දැකලා ක්ලැරන්ස් විජේවර්ධන ගෙදර ඇවිත් ගීතයක් කරන්න කතා කළා.

කරුණාරත්න අබේසේකර කියන්නෙ කොහේ කෙනෙක්ද ?

කරූ ඉපදිලා තියෙන්නෙ මාතර බඹරැන්දෙ. එයාට අවුරුදු හයක් විතර කාලේ තමයි පවුලේ අය කොළඹ ඇවිත් තියෙන්නේ. ඒ කාලේ මාළිගාකන්දෙ ඉස්කෝලෙට ගිහින් ඊටපස්සෙ තමයි නාලන්දා විද්‍යාලයට යන්න පටන් අරන් තියෙන්නේ.

ඒ කාලේ ඔහු කිව්ව දේවල් මතකද ?

කරූ පත්තරවලට කවි ලියනවා. ඇත්තටම එයාගෙ නම කරුණාරත්න අබේසේකර නෙවේ, කරුණාදාස අබේසේකරලු. දවසක් පත්තරේට කවියක් ලියලා කවියෙ යටින් නම ලියවිලා තියෙන්නේ කරුණාරත්න අබේසේකර කියලලු. ඒක පත්තරේ පළ වුණාට පස්සෙ දිගටම මෙයා ඒ නමින් කවි ලිව්වා කියනවා ඔය කාලේ තමයි ගුවන් විදුලියෙ ළමා මණ්ඩපයට සම්බන්ධ වෙලා තියෙන්නේ.

ඒ කොහොමද ?

සිරි අයියා වුණ ජී.ඇස්. පෙරේරා මහත්තයා ඒ කාලේ කොළඹ නාලන්දා විද්‍යාලයේ ගුරුවරයෙක්. ඔහු ගුවන්විදුලියේ ළමා මණ්ඩපය කළා. ඒ හරහා තමයි කරුත් ඒ කාලේ ළමා මණ්ඩපයට ගිහින් තියෙන්නේ, කවි ලියන්න, කවි කියන්න.

ඔහොම වෙද්දී ?

එයා එච්.එස්.සී විභාගෙට ලියලා විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගයට ලියන්න ඉන්න දවසෙම තමයි ගුවන් විදුලියේ නිවේදකයින් බඳවා ගැනීමට ඉල්ලපු එකේ සම්මුඛ පරීක්ෂණෙත් තිබිලා තියෙන්නේ. ඉතින් මෙයා විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගයට ගිහින් නෑ. ගුවන් විදුලියේ සම්මුඛ පරීක්ෂණේට ගිහිල්ලා.

ඉතින් ඊට පස්සෙ ?

එතන සම්මුඛ පරීක්ෂණ මණ්ඩලේ හිටපු අය ඇහුවලු ඇයි විශ්ව විද්‍යාලය තෝරා නොගෙන ගුවන් විදුලිය තෝරාගන්න හදන්නේ කියලා. කරූ කිව්වලු මම විශ්ව විද්‍යාලයට ගියොත් මම දියුණු වෙයි, හැබැයි මම මේ රස්සාවට ආවොත් මගේ මල්ලිලා, නංගිලා, අම්මලා හැමෝම බලාගන්න පුළුවන් කියලා.

ඔහු ගුවන් විදුලියට සම්බන්ධවෙන්නේ ?

1950 අවුරුද්දෙ. මට එයාව හම්බවෙන්නේ 1951 සැප්තැම්බර් මාසේ විතර. ඒ කාලේ කරූ ළමා පිටිය, අසන්නන්න්ගේ ඉල්ලීම්, වෙළෙඳ වැඩසටහන් වගේ වැඩසටහන් කළා. පස්සෙදි ප්‍රවෘත්ති කිව්වා. වෙළෙඳ දැන්වීම්වලට හඬත් දුන්නා. පසුබිම් කථනයත් කළා. ලංකාවේ පළවෙනි වතාවට ක්‍රිකට් ක්‍රීඩා විස්තර විචාරය කළෙත් කරූ.

එතකොට ගීත රචනා පැත්තට එන්නේ ?

චිත්‍රපට ගීත රචනාවලින් තමයි ගීත රචනයට එන්නෙ. එන්න මදනලේ, සුරැකීමට හෝ, මේ භවයෙදි, ටජ්මහලක්, සතුට සෝකේ, මා හද අසපුව, මේ ගී කාටදැයි, රාජවාසලේ, නීල ජලාසෙ, ඇස රැඳුන රැඳුන වැනි ගීත වගේම දැන් නිවාඩු කාලෙ, හිච්චි පිංචි හාවා, කියන්න සුළඟේ, මොනරො නුඹට, රිළා රාළහාමි, කළුමැණිකගෙ ගල්ලෑල්ල වගේ ළමා ගීතත් ඇතුළුව ගීත දෙදහසකට වඩා ලියලා තියෙනවා.

චිත්‍රපට කීයකට විතර ගී පබඳලා තියෙනවද ?

වරද කාගෙද, අශෝකා, ඩිංගිරි මැණිකා, සූරයා, සටන, සෝබා, සරදම, අංජලී, දෙයියන්ගෙ රටේ, සැණකෙළිය, පෙම් කතර, ඔන්න මාමේ කෙල්ලො පැනපි, සිකුරු තරුව, දීපසිඛා වගේ චිත්‍රපට සීයකට වඩා ගීත ලියලා තියෙනවා. චිත්‍රපට සීයකට සිංදු ලිව්ව හින්දා ස්වර්ණපද්ම උපහාරයත් ලැබුණා. එයාට අවස්ථා දෙකක හොඳම ගීත රචනයට හිමි සරසවි සම්මානය ලැබුණා.

ඒ කාලේ ගුවන් විදුලියේ විස්තර ඔහු ඔබත් එක්ක කියනවද ?

සමහර දේවල් කියනවා. ගුවන් විදුලියේ තිබ්බ කැපිලි කෙටිලි ගැන නම් මාත් එක්ක කියලා නෑ. එයා අස්වෙන්නෙත් ඒ වගේ හේතුවක් නිසානෙ.

ඇයි ඇත්තටම කරුණාරත්න අබේසේකර මහත්තයා ගුවන් විදුලියෙන් අස් වුණේ ?

එයා රැකියාවට අමතරව චිත්‍රපට ගී ලිවීම, වෙළෙඳ දැන්වීම්වල වැඩ, චිත්‍රපට දෙබස් රචනය, තොරන් කාලෙට තොරන් කවි එහෙම කළානෙ. ඒ කාලේ ගුවන්විදුලියේ නීතියක් ආවා රැකියාව ඇර පිටස්තර වැඩ කරන්න තහනම් කියලා. ඉතින් එයා අයින් වුණා.

අයින් වෙලා මොකද කළේ ?

රැකියාවෙන් අයින් වුණා කියලා ගෙදර ඉන්න වෙලාවක් තිබ්බෙ නෑ. එයාට හරියට වැඩ තිබුණා. ගුවන් විදුලියෙත් එයාගෙ වැඩසටහන් ගිහිල්ලා කරලා ආවා. ඒ අතරෙ ළමා පොතුත් කීපයක් කළා. ඒ කාලේ හිටපු හැම ගායක ගායිකාවක්ම අපේ ගෙදර ඇවිත් සිංදුත් ලියාගත්තා.

ඔහු තුළ විශේෂ පුරුදු එහෙම තිබුණද?

එයා ළා නිල්පාටට ආසයි. සැහැල්ලු ඇඳුම්වලට කැමැතියි. ඒ වගේමයි කරූ “බ්‍රිලියන් ටයින්” කියන ක්‍රීම් එක ගාන්න හුරුවෙලා හිටියා. ඒක හරි සුවඳයි. එක කෙස් ගහක්වත් ඉහිරෙන්නෙ නැතිවෙන්න ඒ ක්‍රීම් එක ගාලා යනකොට ඒ සුවඳින් හැමෝම දන්නවා එයා එනවා කියලා.

මීට අවුරුදු 35 කට කලින් අප්‍රේල් 20 මොකද වුණේ ?

ඒ කාලේ වෙනකොට කරූ සීනීවලට බෙහෙත් ගනිමින් හිටියෙ. ඒ වගේම එයාට වරින්වර ගෑස්ට්‍රයිටිස් තත්ත්වෙකුත් ආවා. එදා හවස ගුවන්විදුලියේ වැඩවගයකට ගිහින් හයට වගේ ගෙදර ආවා. ඒ එන ගමන් අපේ ගෙවල් ළඟ ඩොක්ටර් ළඟට ගිහිල්ලා ලෙඩ්ඩු නිසා ඇවිත් තිබුණා. ඩොක්ටර් රෑ 7 ට විතර එයා බලන්නත් ආවා. ලොකු විශේෂත්වයක් තිබ්බෙ නෑ.

ඊට පස්සේ ?

මම පුතාට කෑම කැව්වා. රේඩියෝව අහගෙන කරුත් කවිච්චියේ හිටියා. ඒ වෙලාවේ සිරිල් ඒ සීලවිමල සිංදු තෝරන වැඩසටහනක් ගියේ. එයා එන්න මදනලේ ගීතයත් තේරුවා අපි අහගෙන හිටියෙ.

ඒ කාලෙ ගෙවුණම ?

එයා උඩුමහලට නිදා ගන්න ගියා. මමත්, පුතයි පත්තරයි අරන් එයා එක්ක ගියා. ඒත් එයාට නින්ද යන්නෙ නෑ කිව්වා බඩේ අපහසුවක් තියෙනවා කියලා. එයා වරින්වර නැගිටිනවා. පරණ කතා කියනවා. මං එයාව ඇඳේ හාන්සි කරලා මමත් නිදාගත්තා.

එහෙම නිදාගත්තට පස්සෙ ?

මට නින්දක් ගිහින් නැගිටිනකොට එයා ඇඳේ නෑ, පහළට ගිහින්. මගෙන් දුම්වැටියක් ඉල්ලුවා. එයා කලිනුත් දුම්වැටියක් බිව්ව නිසා දැන් ඕන නෑ කියලා මං කිව්වා. මට මහන්සියි රාණි කියලා ඇඳේ ඉඳගත්තා. දයා මල්ලිට කතා කරලා ඩොක්ටර්ට එන්න කියන්න කිව්වා. අනිත් මල්ලිගෙත් නොම්මරේ දුන්නා කතා කරලා එන්න කියලා.

අසනීප තත්ත්වෙ වැඩිවෙලා ?

වෙනදට එහෙම වෙන්නෙ නෑ. මල්ලි ඩොක්ටර් එක්ක එනකම් එයාට ඉන්න බෑ කාමරේ එහා මෙහා ඇවිදිනවා. මං එයාව ඇඳෙන් හාන්සි කළා. මගෙන් ඩොක්ටර් දුන්න බේත් පෙත්තක් ඉල්ලුවා. එයා අනිත් පැත්තට හැරිලා හාන්සිවෙලා හිටියෙ.

ඔහුගෙ හැසිරීම් ඔබට බයක් හිතුණද ?

ටිකක් වෙලා යනකොට සද්දයක් නෑ. මං එදා හිතුවා කරුට නින්ද යන්න ඇති කියලා. නින්ද ගියාම වගේ දෙපාරක් විතර හයියෙන් හුස්මත් ගත්තා. ඒත් එයාගෙ මූණ දිහා බැලුවම මට අමුත්තකුත් දැනුණා.ඒ හින්දා කතා කළා. මූණට මූණ ළංකරලා බැලුවා. පපුව දිහත් බැලුවා. හුස්ම වැටෙනවා වගේ මට පෙනුණා.

ඔහොම වෙනකොට ?

ඩොක්ටර් ආවා. දොර ළඟ නැවතිලා කරූගෙ මූණ දිහා බලා ඉඳලා ඇඳ ළඟට ආවේ. මං හිතුවා දැන් ඔක්කොම හරි කියලා. ඒ වෙලේ ගෙවල් ළඟ අනිත් ඩොක්ටත් ආවා. එයාලා හැමෝම කරූ බලලා අල්ලපු කාමරේට ගියා මට මොකුත් නොකියා. පස්සෙ දි මල්ලි තමයි මට කිව්වේ ” අයියට මොකුත්ම කරන්න බෑ කියනවනෙ ” කියලා.

ඔබට ඒ කී දේ තේරුණාද ?

මට ඇත්තටම එකපාරටම තේරුණේ නෑ. එයාට කරදරයක් වෙන්න මොකුත් ලෙඩක් තිබුණෙ නෑනේ. ඒත් ටිකක් වෙලා යද්දි මොකද්ද වෙලා තියෙන්නෙ කියලා මට තේරුණා. ඒ වෙලාවේ මට මොකද්ද වුණේ කියලා හිතාගන්න බැරිවුණා. මාව හිරවුණා. ඇඬුමක් තියා වචනයක්වත් කටට ආවේ නෑ. එයාට හදිසියේම ආව හෘදයාබාධයකින් නැතිවෙලා තියෙන්නේ.

ඔබ ඒ මොහොතේ ඒක දරා ගත්තේ ?

දරා ගන්න අමාරුවුණා. අවුරුදු දෙකක් විතර යනකල් මට එයාව මතක් වෙනකොට ඉන්න බෑ. එයා වෙනුවෙන් පින් කළා. සිල් ගත්තා. කාලයත් එක්ක හිත හැදුණා පවුලේ අනිත් අයගෙ ආදරෙත් එක්ක.

එතකොට පුතා ?

පුතාට තේරෙනවා. කරූ නැතිවෙනකොට අවුරුදු 12 ක් නෙ. කරූගෙ ලොකුම ඕනෑකම තිබ්බෙ පුතාට හොඳට උගන්න එක. ඒක පුතා දැන හිටියා.
එයා ඉගෙන ගත්තා. ඊට පස්සෙ කරූගෙ එක මල්ලි කෙනෙක් නයිජීරියා එක්ක ගිහින් ඉගැන්නුවා. අනිත් මල්ලි ජිනීවා එක්ක ගිහින් ඉගැන්නුවා. ඊට පස්සෙ ලංකාවට ඇවිත් දැන්වීම් හා ප්‍රචාරණ අංශයට සම්බන්ධ වුණා.

 ඔහු තාත්තගෙම අඩිපාරෙ ගියා ?

අද යාළුවෝ දෙන්නෙක් එක්ක තමන්ගෙම දැන්වීම් ප්‍රචාරක ආයතනයක් දාලා තියෙනවා “හීන්සැරේ” කියලා. දැන් ඉතින් මාවත් බලාගෙන ඉන්නවා.

බියංකා නානායක්කාර