brand logo

එන්නත ගෙන්වීම කඩිනම් කරන්නැයි ජනාධිපතිගෙන් උපදෙස්

07 May 2021

කොවිඩ් මර්ධන එන්නත ජනතාවට ලබාදීම සහ ගෙන්වීම කඩිනම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. මේ අනුව කෙටි කාලයක් තුළ හැකි උපරිමයෙන් එන්නත් ලබාදීම කළ යුතු බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත. ජනාධිපති කාර්යාලයේ දී අද (07) පෙරවරුවේ පැවති දෛනිකව රැස්වෙන කොවිඩ් කමිටුවේදී එම උපදෙස් ලබාදී ඇත. තවද රෝගය පැතිර යෑමට බොහෝ සෙයින් පාදක වන බස්නාහිර පළාත කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් බවද සඳහන් කර තිබේ. එම නිවේදනයේ මෙලෙස සඳහන් ය .... "රුසියාවේ නිෂ්පාදිත “ස්පුට්නික්” (Sputnik) එන්නත ලබාදීම ඊයේ (06) සිට ආරම්භ කෙරිණ. චීනයෙන් ලැබුණු “සයිනොෆාම්” එන්නත් ලක්ෂ 6ක් සෞඛ්‍ය අංශ සතුව ඇත. රටවල් 51ක මිලියන 55කට අධික පිරිසකට “සයිනොෆාම්” එන්නත සාර්ථකව ලබාදී තිබේ. එම රටවල සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡාකර එම එන්නත කඩිනමින් ලබාදීමට ඇති හැකියාව සොයා බලන්නැයි ජනාධිපතිතුමා විසින් උපදෙස්දෙනු ලැබිණ. පළමු එන්නත ලබාගත් පිරිසට “ඇස්ට්‍රාසෙනිකා” එන්නතෙහි දෙවන මාත්‍රාව දීම සිදු කෙරෙමින් පවතී. “ඇස්ට්‍රාසෙනිකා” එන්නත් අතිරික්තයක් ඇති රටවලින් එන්නත් ලබාගැනීමට අවශ්‍ය සාකච්ඡා මේ වන විටත් සිදු කර තිබේ.ආසාදිතයන් හඳුනාගත් ප්‍රදේශ වසාදමමින් සහ සීමා පනවමින් රෝගය පැතිර යාම වැළැක්වීමට උපරිම පියවර ගෙන ඇති බව නිලධාරීහු පෙන්වා දුන්හ. සියලු රෝහල්වල පහසුකම් අවශ්‍ය මට්ටමින් පවත්වාගෙන යාමට පියවර ගෙනතිබේ. රෝගය පැතිර යාම වැළැක්වීමට ගෙන ඇති පියවර සාර්ථක කර ගැනීමට ජනතාවගේ සහායද අත්‍යාවශ්‍ය බව නිලධාරීහු පැවසුහ."
 

More News..