කතුවැකි

එන්නත් ගැනීම අනිවාර්යයි; එහෙත් එය ප්‍රමාණවත් නැත

අප කාගේත් අවධානයත්, සැලකිල්ලත් යොමු විය යුතු කාරණා කිහිපයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කර තිබේ. පළමු කාරණය නම් මේ දිනවල රෝහල්ගත කෙරෙන කොවිඩ් ආසාදිතයන් බහුතරයකට ඔක්සිජන් ලබාදීමට සිදුවන බවය. වැඩි දෙනකුට ඔක්සිජන් දිය යුතු යැයි කියන්නේ ආසාදිතයන් වැඩි දෙනකුගේ තත්ත්වය බරපතළ බවය. වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කර ඇති දෙවැනි කාරණය වන්නේ මේ දිනවල හමුවන ආසාදිතයන් වැඩි දෙනකු රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවය. මීට පෙර එසේ වූයේ නැත.

මේ අතර නවතම කොවිඩ් ප්‍රභේදය වන ඩෙල්ටා ප්‍රභේදය කොළඹ නගරයේ සියයට විස්සත්, තිහත් අතර ප්‍රමාණයකට ආසාදිත වී ඇතැයි කියැවේ. මේ අනුව දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල පරීක්ෂාවන් කර නැතත් රට පුරා ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්ත වීමක් තිබිය හැකි යැයිද වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කර තිබේ. මේ අතර රෝහල්වල කොවිඩ් ආසාදිතයන් සඳහා වෙන් කළ ඉඩ පහසුකම් ආසාදිතයන්ගෙන් පිරී ගොස් ඇතැයිද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයාගේ මෙම කරුණු දැක්වීම සමස්තයක් ලෙස ගත් විට අප තේරුම්ගත යුත්තේ කුමක්ද? කොවිඩ් අවදානම තවමත් පහ වී නැතුවා පමණක් නොව එය අප සිතා සිටිනවාට වඩා බරපතළ තත්ත්වයකට පැමිණ තිබෙන බවය. කනගාටුවට කාරණය වන්නේ අප තවමත් මේ ගැන තේරුම්ගෙන නොමැති බව පෙනී යෑමය.

කොවිඩ් අවදානම පහවී නැති බව තේරුම් ගැනීමට දෛනිකව වාර්තාවන ආසාදිතයන්ගේ හා මරණ සංඛ්‍යාව වුවත් ප්‍රමාණවත්ය. තවමත් දිනපතා එක්දහස් පන්සියයකට වැඩි ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තාවන අතර දෛනික මරණ සංඛ්‍යාව පනහක් පමණ වේ. එහෙත් මේ වන විට මෙම සංඛ්‍යාව සාමාන්‍ය ප්‍රවෘත්තියක් බවට පත්ව ඇති නිසා එය වැඩි දෙනකුගේ අවධානය ඊට යොමු වන්නේ නැත. කොවිඩ් පිළිබඳ අවදානම සැහැල්ලුවෙන් සලකන්නට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ එන්නත් කරණයයි. එන්නත් ලබාගැනීම නිසා කොවිඩ් වයිරස අවදානමෙන් තමන් නිදහස් බව බොහෝ දෙනා සිතන බවක් පෙනෙන්නට තිබේ. එහෙත් එන්නත් ලබා ගත්තේ වුවත් තවදුරටත් සමාජ දුරස්ථභාවය, මුවවැස්මක් පැලඳීම වැනි සෞඛ්‍ය ආරක්ෂණ පිළිවෙත් අනුගමනය කළ යුතු බව සෞඛ්‍ය විශේෂඥයන් මීට පෙරද පෙන්වා දී තිබේ.

කොවිඩ් වයිරසය මර්දනය කළ හැකි කිසිදු ඖෂධයක් තවමත් ලෝක මට්ටමෙන් හෝ නිපදවා නැත. ලෝක සෞඛ්‍ය සංවිධානය අනුගමනය කළ එන්නත් වර්ග හතරක් මේ වන විට භාවිත කෙරෙන නමුත් මෙම එන්නත් ඖෂධයක් නොව ආරක්ෂක පළිහක් පමණකි. යුද්ධයකදී සන්නාහකයක් (Body Armour) පැලඳි පමණින් මිය නොයන බව සහතික කළ නොහැකිය. එය පලඳින්නේ මරණීය තුවාල අවම කරගැනීම හා යුද්ධයට මුහුණ දීමට ධෛර්යය වඩවා ගැනීම පිණිසය. කොවිඩ් එන්නත් සැලකිය යුත්තේද යුද පිටියකදී පලඳින සන්නාහයක් ලෙසය.

එන්නත් මාත්‍රා දෙකම ලබාගත් අයද කොවිඩ් ආසාදිතව මියගිය අවස්ථා අප රටෙන් පමණක් නොව ලෝකයෙන්ද වාර්තා වී තිබේ. එහෙත් මේ නිසා එන්නත් ලබාගැනීම කිසිදු ඵලක් නොමැති ක්‍රියාවක් යැයි කල්පනා කළ නොහැකිය. එන්නත් ලබාගැනීම කොවිඩ් ආසාදිතයකු වීමේ මෙන්ම මරණය සිදුවීමේ සම්භාවිතාව අඩු කරන්නට හේතුවකි. එය කොවිඩ් තත්ත්වය මැද අපගේ එදිනෙදා කටයුතු බියකින් තොරව කරගෙන යන්නට කිසියම් විශ්වාසයක් හා ආරක්ෂක පළිහක් ලබා දෙන්නකි. එම ආරක්ෂාව පූර්ණ ආරක්ෂාවක් වනු ඇත්තේ තවදුරටත් සමාජ දුරස්තභාවය, දෑත් සේදීම, මුව වැස්ම පැලඳීම වැනි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම පිළිපැදීමෙන් පමණකි.

කෙසේ වෙතත් එන්නත ලබා ගැනීමත් සමග මූලික සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම අමතක කිරීම හෝ නොතකා හැරීම සම්බන්ධයෙන් ජනතාවට එක එල්ලේම චෝදනා කළ නොහැක්කේ එන්නත්කරණය හුදෙක්ම ප්‍රතිකාරයක් නොව ආරක්ෂණ පියවරක් පමණක් බව අවධාරණය නොකිරීම නිසාය. එන්නත්කරණය ආරක්ෂක පියවරක් ලෙස ඉස්මතු වනවාට වඩා පෙනෙන්නට ඇත්තේ දේශපාලන අවියක් ලෙසය. ඉතා සාර්ථකව එන්නත්කරණය සිදුවන අතර, ලබන අගෝස්තු – සැප්තැම්බර් වන විට එන්නත ලබාගත හැකි සීමාවේ සිටින සියලු දෙනා එන්නත් කර අවසන් කිරීම ආණ්ඩුවේ ඉලක්කය වී තිබේ. ඇත්තෙන්ම මෙය ආණ්ඩුවේ ජයග්‍රහණයක් බවට සැකයක් නැත. එහෙත් ඒ සඳහා වන ජනතා ප්‍රසාදය නිරායාසයෙන් ලැබෙන තෙක් නොසිට ජනතාව තුළ එන්නත ගැන විශ්වාසයක් ඇති කරන්නට යෑම නිසා සිදුවන්නේ එන්නත්කරණයේ සැබෑ වටිනාකම ජනතාවගෙන් දුරස් වීමය.

ජනතාව සමාජ දුරස්ථභාවය ඇතුළු අනෙකුත් ප්‍රාථමික සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම නොතකා හැරීමට තවත් හේතුවක් වන්නේ නිරෝධායන නීතිය ඒකාකාරව ක්‍රියාත්මක නොවීමය. එක නීතියක්, එක රටක් යැයි කීවත් නිරෝධායන නීතිය ඇති හැකි, බල ඇති අය ළඟ නැවෙන ආකාරය මේ ඊයේ පෙරේදා ද දකින්නට හැකි විය. මෙවැනි අවස්ථා දකින විට සාමාන්‍ය ජනතාව නිරෝධායන නීතිවලට අනුගතව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කළ හැකිද? කොවිඩ් වයිරසය ආසාදනය වීමේදී රජා හෝ සිඟන්නා හෝ වෙනසක් නැත. එසේ නම් ඊට ප්‍රතිචාර දැක්වීමේදී අප අනුගමනය කළ යුත්තේද එම ප්‍රතිපත්තියම බව දැන්වත් අප තේරුම්ගත යුතුය.

කවුරු කෙසේ මොන පිස්සුව නැටුවත්, තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සලසා ගැනීමේ වගකීමක් සෑම පුද්ගලයකුටම තිබේ. කොවිඩ් වයිරසය මොනතරම් ව්‍යාප්ත වුවත්, තමන් ප්‍රවේශම් වුවහොත් තමන්ට ආරක්ෂාව සලසාගත හැකි නිසාය. කොවිඩ් යනු කොයිතරම් භයානක වයිරසයක් වුවත්, අලුතෙන් කුමන ප්‍රභේද පැමිණියත් අප එය සම්මුඛ නොවන තාක් අපට වින කරන්නට කුමන හෝ වයිරසයකට හැකියාවක් නැත.

උදා වී ඇත්තේ වසංගත කාලයකි. එවැනි කාලයකදී ජීවත් වීමට අවශ්‍ය මූලික දේ හැරෙන්නට අනෙකුත් සියලු දේ අකැමැත්තෙන් වුව අත හරින්නට හෝ කාලයකට අමතක කරන්නට අප දැන්වත් පුරුදු විය යුතුය. මරණයකදී, මඟුලකදී වේවා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ඇඟිල්ලෙන් ඇන කියන්නට ඉඩ නොතබා නිරෝධායන නීතියට අනුගත වීම වගකීමක් සහිත පුරවැසියන්ගේ යුතුකමකි. උද්ඝෝෂණයකදී ද මේ ගැන සිතිය යුතුය. අනෙක් අතට දෙකෝටියකට වැඩි ජනතාවක් සිටින රටක හැම පුරවැසියාගේම කටයුතු අධීක්ෂණය කරන්නට තුන්දහසකටත් අඩු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට තබා ලක්ෂ පහකට ආසන්නව සිටින හමුදා හා පොලිස් බල සේනාවට හෝ නොහැකිය. මේ කවුරු සිටියත් තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගැනීමේ පළමු වගකීම ඇත්තේ තමන්ටය. මෙය මෙවැනි කාලයක අප කවුරුත් වෙනදාට වඩා සිහියේ තබාගත යුතු කාරණයකි.