කතුවැකි

එන්නතක් ලබා ගැනීම සමාජ වගකීමකි

කොවිඩ් වසංගතයේ ගොදුරක් නොවීම සඳහා මුළු ලෝකයටම ඇත්තේ ප්‍රධාන ක්‍රමවේදයන් දෙකක් පමණි. එකක් නම් සමාජ දුරස්ථභාවය රැකගෙන නිතර දෑත් සෝදමින් හැමවිටම මුව ආවරණ පැලඳීමය. අනෙක් පියවර නම් කුමන හෝ කොවිඩ් එන්නතක් ලබා ගැනීමය. කුමන හේතුවක් නිසා හෝ නිවසින් පිටව නොයා සිටිය හැකි නම් එන්නතක් ලබා ගැනීමේ අවශ්‍යතාවක් නැත. සංචරණය සීමා කළ හැකි නමුත් වසංගතය ලොවින් තුරන්වන තෙක් අප කිසිවකුටත් නිවාසවලටම වී සිටීමේ හැකියාවක් කිසිසේත්ම නැත. මේ නිසා අපගේ දෛනික කටයුතු කිසියම් මට්ටමකින් හෝ කරගෙන යෑමට මෙන්ම ජාතික මට්ටමෙන් කොවිඩ් පැතිරීම අඩපණ කිරීමට නම් සියලු දෙනාම එන්නතක් ලබා ගත යුතුය.

අප රටේද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉලක්කය වී ඇත්තේ ලබන මාසයේ මැද භාගය වන විට රටේ ජනගහනයෙන් හරි අඩකට එන්නත් මාත්‍රා දෙකම ලබාදී අවසන් කිරීමටය. ඊයේ (15) පෙරවරුව වන විට මෙරට ජනගහනයෙන් හරි අඩකටත් වඩා එනම් එක්කෝටි දහඅට ලක්ෂ පනස්දහසකට වැඩි පිරිසකට පළමු එන්නත් මාත්‍රාව ලබාදී තිබූ නමුත් ඒ අතරින් දෙවැනි මාත්‍රාව ලබා තිබුණේ හතළිස් පන්ලක්ෂයක පමණ පිරිසක් පමණකි.

එන්නතක් ලබාගත් පමණින් කොවිඩ් ආසාදනය නොවන බවට සහතිකයක් නැතත් මරණ සම්භාවිතාව අඩු කරන බව නම් සෞඛ්‍ය විද්‍යාත්මකව තහවුරු වී තිබේ. මේ අනුව එන්නතක් ලබා ගැනීම කොයිතරම් වැදගත් වුවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ එන්නත්කරණ ඉලක්කය එතරම් පහසු එකක් බව නම් පෙනෙන්නට නැත.

අප රටේ එන්නත්කරණ වැඩසටහන ආරම්භයේ සිටම පැවැති ප්‍රශ්නයක් වූයේ ප්‍රමාණවත් තරම් එන්නත් නොලැබීමය. දැන් අවශ්‍ය තරම් එන්නත් ලැබෙන විට එන්නත ලබා ගත යුතුම අය එය ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් උදාවී තිබේ. කොවිඩ් ආසාදනය වීමෙන් මේ දක්වා මිය ගිය පිරිසෙන් වැඩි දෙනා වයස අවුරුදු 60 ඉක්මවූවන්ය. මේ නිසා මෙම වයස් කාණ්ඩයන්ට එන්නත් ලබාදීමට ප්‍රමුඛතාවක් ලබාදී ඇතත් ඔවුන් බහුතරය එන්නතක් ලබා ගැනීම ප්‍රතික්ෂේප කරමින් සිටිති. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පසුගිය සතියේ ප්‍රකාශ කළ ආකාරයට වයස අවුරුදු 60ට වැඩි අයගෙන් සියයට අසූවක් (80%) තවමත් කිසිම එන්නතක් ලබා ගෙන නැත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා ඇති මේ කාරණය සුළුවෙන් තැකිය නොහැකි ඉතා භයානක කාරණයකි. එන්නත්කරණ වැඩසටහනේ කළමනාකරණයේ පැවැති අඩුපාඩු මෙන්ම ඇතැම් අන්තවාදී ආගමික අදහස්ද මෙම තත්ත්වයට හේතුවී තිබේ. හේතුව කුමක් වුවත් එන්නතක් ලබා ගැනීම සඳහා සුදුසු ශාරීරික යෝග්‍යතාවකින් සිටින සියලු දෙනා එන්නත් කිරීම සෞඛ්‍ය බලධාරීන්ගේ වගකීමකි.

වයස අවුරුදු 60ට වැඩි වයස් කාණ්ඩයේ නොවුණත් එන්නතක් ලබා ගන්නා ලෙස බලකිරීමට ආණ්ඩුවට අයිතියක් නැතැයි කියමින් එන්නත ප්‍රතික්ෂේප කරන බව කියන අයද සිටිති. අප කල්පනා කරන ආකාරයට නම් මෙය ඉතාමත් ‘‘ගොන්’’ තර්කයකි. එසේම එය එක්තරා ආකාරයකට සමාජ විරෝධී සිතුවිල්ලකි. ඕනෑම කෙනකුට ඕනෑම රෝගයක්, වයිරසයක් ශරීරගත කර ගැනීමට නිදහසක් ඇතත් කිසිවකුටත් දැන දැනම එම රෝගය පැතිරවීමට නිදහසක් තිබිය නොහැකිය. වසංගත තත්ත්වයකදී අප ඉන් ආරක්ෂා වීමට ඇති ක්‍රියාමාර්ග අනුගමනය කළ යුත්තේ අපගේ ආරක්ෂාවට පමණක් නොව සමස්ත සමාජයේම ආරක්ෂාවටය.

එන්නතක් ලබා ගැනීම අවශ්‍ය බව දන්නා නමුත් එන්නත් ලබා ගැනීමට යෑම නිසා ආසාදිතයකු වනු ඇතැයි යන බිය නිසා ඊට යොමු නොවන පිරිස්ද සිටිති. ඇතැම් එන්නත් මධ්‍යස්ථානයක පවතින අපිළිවෙළ, අසංවිධානාත්මක බව දකින විට ඕනෑම කෙනකුට එවැනි බියක්, සැකයක් ඇතිවීම සාධාරණය. එන්නත්කරණ වැඩසටහන ආරම්භ වී මාස ගණනක් ගත වී ඇතත් ඇතැම් තැනක තවමත් ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් නැත. ජනතාවට පැය ගණන් පෝලිම්වල රස්තියාදු වන්නට සිදුව තිබෙන අතර මේ නිසා එවැනි තැන්වල පෝලිම්වලට වඩා ඇත්තේ මිනිස් පොකුරුය.

වයස අවුරුදු 12ත් 18ත් අතර දරුවන්ට ද සුදුසු එන්නත කුමක්ද යන්න ගැන තවමත් එකඟතාවක් ඇති කර ගැනීමට අපේ සෞඛ්‍ය අංශ අසමත් වී ඇතැයි කියන පුවතක් අද අපේ පත්‍රයේ පළවී ඇත. 12-18 අතර පමණක් නොව 18-30 අතර වයස් කාණ්ඩයේ පසුවන අයට එන්නත් කිරීම ගැනද තවමත් පැහැදිලි තීරණයක් දක්නට නැත. ඇතැම් තැනක මෙම වයස් කාණ්ඩයේ අයට එන්නත් ලබාදෙන නමුත් බොහෝ ප්‍රදේශවල එන්නත් දීමක් සිදුවන්නේ නැත.

එසේ වුවත් ඇතැම් විශ්වවිද්‍යාල තම සිසුන්ට දැනුම් දී ඇත්තේ එන්නත ලබා නොගෙන කිසිම විටෙක විශ්වවිද්‍යාලයට නොපැමිණෙන ලෙසය. මෙහිදී වඩාත්ම දුෂ්කරතාවට පත්ව සිටින්නේ විදේශ විශ්වවිද්‍යාල සිසුන්ය. විදේශ විශ්වවිද්‍යාල සිසුන්ට එනන්ත ලබා ගැනීම සඳහා ලියාපදිංචි වන ලෙස දැනුම් දී ඇතත් ලියාපදිංචි වූ ඇතැමෙකුට තවමත් එන්නත් ලබා දෙන දිනයක් ගැන කිසිම තොරතුරක් නැත.

ලැබෙන පළමු අවස්ථාවේම කුමන හෝ එන්නතක් ලබා ගන්නැයි වෛද්‍යවරුන් උපදෙස් දෙන නමුත් එන්නත් වර්ගවලට ඇති පිළිගැනීම මත ජනතාව එන්නත් ලබා ගැනීම ප්‍රමාද කිරීමට හේතුවක්වී තිබේ. චීනයේ නිෂ්පාදිත සිනොෆාම් එන්නත ලබා ගත් අයට තම රටට ඇතුළුවීමට අවසර නොමැති බව ප්‍රංශය දැනටමත් නිල වශයෙන් ප්‍රකාශ කර ඇත. මේ ආකාරයට නිල ප්‍රකාශ නැතත් යු​රෝපා රටවල් සිනොෆාම් එන්නත ලබා ගත් අයට තහංචි පනවනු ඇතැයි ජනතාව අතර මතයක් පැතිර ගොස් තිබේ. මෙම අර්බුදයට මූලික වශයෙන් මුහුණ දී සිටින්නේ රැකියා හා අධ්‍යාපන කටයුතු සඳහා විදේශගතවීමට සූදානමින් සිටින අයය. නමුත් තවමත් ආණ්ඩුව මේ සම්බන්ධයෙන් ජනතාවට කරුණු දක්වා නැත.

කොවිඩ් එන්නත් ලබා ගැනීමට ජනතාව උනන්දු නොවීම අප රටට පමණක් නොව ලෝක බලවතා යැයි කියන ඇමරිකාව මෙන්ම බ්‍රිතාන්‍ය වැනි රටවලටද අදටත් පවතින ප්‍රශ්නයකි. මේ නිසා ඇමරිකාවේ එක් ප්‍රාන්තයක්, එන්නත්කරණයට තරුණ පිරිස් කැඳවා ගත්තේ ඒ සඳහා ත්‍යාගයක් ලෙස ගංජා සුරුට්ටුවක් ප්‍රදානය කිරීමෙනි. තවත් තැනක එන්නත් ලබා ගන්නා අය අතර ලොතරැයි දිනුම් ඇද්දේය. බ්‍රිතාන්‍යයේ එන්නත් ලබා ගන්නා අයට ආපනශාලාවල නොමිලයේ හෝ වට්ටම් සහිතව ආහාර වේල් ලබා දුන්නේය.

එහෙත් අප රටේ එන්නත්කරණය සාර්ථක කර ගැනීමට එවැනි ‘සන්තෝෂම්’ දිය යුතු තරමට අපේ සමාජය නූගත් හෝ පසුගාමී ආකල්පවලින් යුක්ත යැයි අප සිතන්නේ නැත. අවශ්‍ය වන්නේ එන්නත්කරණ වැඩසටහනේ අවිධිමත් හා අපැහැදිලි තැන් නිවැරදි කොට නිවැරදිව ජනතාවට සන්නිවේදනය කිරීම පමණකි.