විශේෂාංග

එනපොට හොඳ නෑ කොල්ලා ගෙට ගනින් අම්මේ

කෞතුකාගාරයක් කියූ පමණින් අප කාටත් මතකයට නැගෙන්නේ පෞරාණික භාණ්ඩය. එහෙත් බෙල්ජියමේ බ්‍රසල්ස්හි ඇති කෞතුකාගාරයත් ඊට බොහෝ සේ වෙනස්ය. මෙහි දැක බලා ගැනීමට ඇත්තේ හද කම්පා කරනු ලබන භාණ්ඩ එකතුවකි. ලිංගික අපහරණයට ලක්වූවන් ඒ මොහොතේදී ඇඳ සිටි ඇඳුම් ආයිත්තම්ය.

එසේ ලිංගික හිංසනයට ලක්වූවන් ඔවුන්ට ලිංගික හිංසනය වූ ආකාරය, එය කළේ කවුරුන්ද, කිනම් මොහොතකද යන්න පිළිබඳවත්, ඔවුන්ගේ ඇඳුම අසල සඳහන් කර තිබේ. තරුණියක දූෂණ වූ විට අපේ රටේ නිතර ඇසෙන ප්‍රශ්නයක් වන්නේ ඇය ඇඳ සිටියේ කොට ඇඳුමක්ද කියාය.

ඔවුන් එසේ විමසන්නේ ‘ඇඳුම’ නිසා කාන්තාවන් ලිංගික අපහරණයට ලක්වන බව පවසමිනි. ලංකාවේ පමණක් නොව වෙනත් රටවලද ඇති මතයක් වන්නේ කතුන් අතවරයට පත්වන්නේ ඔවුන්ගේ සිරුරු නිරාවරණය වන ලෙස ඇඳුම් ඇඳීම නිසා බවය.

එහෙත් බෙල්ජියමේ කෞතුකාගාරයෙන් කියැවෙන්නේ වෙනත් කතාවකි. මේ කෞතුකාගාරයේ ඇති ඇඳුම්වලින් කියැවෙන්නේ මෙම වින්දිතයන් අපහරණයට ලක්වන අවස්ථාවේදී හැඳ සිට ඇත්තේ මුළු ශරීරයම වැසෙන ඇඳුම් බවයි. මේ ඇඳුම් අතර ශාරීරික ව්‍යායාම් සිදුකරන ඇඳුම්, පාසල් නිල ඇඳුම්, දිගු ගවුම්, විශල කමිස සහ දිගු කලිසම් දකින්නට ලැබේ.

අද වන විට මෙම කෞතුකාගාර ලෝකය පුරාම දක්නට ඇත. දකුණු ආසියාවේ වැඩිම ලිංගික හිංසනයන් වාර්තා වන රටක් ලෙස ඉන්දියාවේද මෙවැනි කෞතුකාගාරයක් නිර්මාණය කර ඇත. ඒ ඉන්දියාවේ බැංගලෝර්හිදීය. මෙහි හිමිකාරිය වන්නේ සමාජ ක්‍රියාකාරනියක් වන ජස්මින් පතේජාය. ඇය මේ සඳහා යොදා ගෙන ඇත්තේ සිය නිවසේ කාමර කිහිපයකි.

මේ ආකාරයට ලොව පුරා ලිංගික හිංසනයන් වයස් භේදයක් නොමැතිව සිදුවන මොහොතක යුනිසෙෆ් සංවිධානය දෙදහස් විස්ස වසර ලෝකයේම ලිංගික හිංසනයන්ගේ වැඩිවීමක් දක්නට ලැබූ වසරක් ලෙස නම් කළේය. එයත් දෙදහස් විස්ස ආරම්භ වී මාස අටක් යෑමටත් පෙරය.

ලංකාවේද ඉකුත් සති කීපය පුරාම අසන්නට ලැබුණේ ලිංගික අපචාර සිද්ධීන්ය. මීගමුවේ තරුණයකු වයස අවුරුදු එකහමාරක ළදැරියක දූෂණය කිරීම හේතුවෙන් ඇය මිය ගියාය. සිය මවගේ අනියම් සැමියා විසින් දූෂණය කරනු ලැබූ පුත්තලමේ දැරියක්ද මිය ගියාය. ඒ අතරේ පන්නිපිටියේ ඉංග්‍රීසි ගුරුවරයකු දරුවන්ට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල විය. ළමා රියැලිටි තරගවල පසුතල නිර්මාණ ශිල්පියකු ලෙස කටයුතු කර ඇති මේ පුද්ගලයා අතවර කර ඇති බව පැවසෙන්නේ වයස අවුරුදු 16 ට අඩු දරුවන්ටය. සමලිංගිකයකු බව කියන ඔහු ළමුන්ට තෑගි භෝග දී ඔවුන්ට මේ අපරාධය කර ඇති බව පොලිසිය සඳහන් කරයි. කෙසේ නමුදු මෙපමණ කලක් අපේ අම්මලා, තාත්තලා රැක්කේ දැරියන්ය. තම දියණිය පන්තියට​ ඇරලා ඇය එනතුරා පන්තිය අසල පැය ගණන් හිටගෙන සිටින මව්පියවරු කොතෙකුත් සිටිති. එසේ නැතිනම් තම දියණිය ට්‍රිප් එකක් යනවා නම් ඇය සමග යන අම්මලා සිටිති. එහෙත් අවාසනාවන්ත කතාව වන්නේ දුවලා ඇස් දෙක වගේ බලා ගන්නා අම්මලාට පුතාලා අමතක වීමය. ලංකාවේ ඇති වූ අලුත්ම කතාව වන්නේ දැරියට වඩා දරුවෝ ලිංගික අඩන්තේට්ටම්වලට ලක්වන බවය. අසල්වැසියන්, ඥාතීන්, පාසල් ගුරුවරු, ක්‍රීඩා පුහුණුකරුවන් මෙන්ම භික්ෂූන්, පියතුමන්ලා අතින් මෙම දරුවෝ වැඩි වශයෙන් අතවරයට ලක්වන බව සඳහන්ය.

මේ වසරේ පළමු දින පහළොව තුළදී පමණක් ස්ත්‍රී දූෂණ සිද්ධීන් එකසිය හතළිස් දෙකක්, බරපතළ ලිංගික අපයෝජන සිද්ධීන් හතළිස් දෙකක් සහ ළමා අපයෝජන සිද්ධීන් පනස් හතරක් රටේ විවිධ පෙලිස් කොට්ඨාසවලින් වාර්තා වී තිබිණි.

මේ පිළිබඳව ළමා හා කාන්තා අපචාර වැළැක්වීමේ කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බිම්ෂානි ජාසිංආරච්චි කීවේ ‘ලිංගික අපහරණ’ සිදුවීමක් වාර්තා වී ඇත්නම් එහි අපරාධ ස්ථානය ලෙස බොහෝ තැන්වල වාර්තා වූයේ වින්දිතයාගේ නිවස බවයි.

එපමණක් නොව මේ දරුවන් වැඩිපුරම අපහරණය වී ඇත්තේ නොදන්නා අයගෙන් නොව තමන් හොඳින්ම දන්නා පවුලේ සාමාජිකයන් අතිනි. මෙවැනි දරුවන් පිළිබඳව සොයා බැලීමේදී ඔවුන්ගේ දෙමාපියන්ගේ නොසැලකිල්ල මෙවැනි අපරාධවලට ‘පාර කැපූ’ බවත් ඇය කීවාය.

‘‘අද වෙනකොට ගැහැනු පිරිමි භේදයකින් තොරව පාසල් දරුවන් විවිධ අපහරණයන්ට ලක්වෙනවා. අපි හැම වෙලාවේම ගැහැනු දරුවන්ගේ ආරක්ෂාව ගැන තමයි හිතන්නේ. ඒත් අද වෙනකොට ගැහැනු දරුවන්ට වඩා පිරිමි දරුවන් ‘ලිංගික හිංසන’ වලට ලක්වීමේ අවදානමක් තියෙනවා. මෙවැනි අපචාර සිද්ධියක් දැනුම් දීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 ක්ෂණික දුරකථන ඇමතුම් අංකය ඇත්තේය.

මේ අංකයට 2019 වසරේදී ලැබුණ දුරකථන ඇමතුම් සංඛ්‍යාව අටදහස් පන්සීය පනස් අටකි. මෙසේ ලැබුණු පැමිණිලි අතර වැඩි වශයෙන් ඇත්තේ ‘ළමා හිංසනය’ සම්බන්ධ පැමිණිලිය. එහි ගණන දෙදහස් තුන්සිය හතළිස් දෙකකි. මේ අතර ‘ලිංගික අපහරණ’ සිදුවීම් පන්සිය අනූ හතරක්ද වාර්තා වී තිබිණි.

මේ ‘ළමා හිංසන’ සහ ‘ලිංගික අපහරණ’ සම්බන්ධ සිදුවීම් 2018 වසරට වඩා වැඩිය. එය 2010 වසරේ සිට බැලුවහොත් එහි වැඩිම සිදුව ඇත්තේ දෙගුණයක, තුන්ගුණයක තරම් අගයන්වලින් බව ළමා හිංසනයට තිත පදනමේ සභාපති වෛද්‍ය තුෂ් වික්‍රමනායක කීවාය.

‘‘අද වෙනකොට වෙනදාටත් වඩා වැඩියෙන් ‘ළමා හිංසන’ සහ ‘ලිංගික අපහරණ’ සම්බන්ධ සිදුවීම් අපට වාර්තා වෙනවා. මේ වාර්තා අතර 2010 වසරේදී ලංකාවෙන්ම ලැබුණේ පැමිණිලි තුන්දහස් අටසිය අනූ තුනකි. ඒ අතර ‘ළමා හිංසන’ සම්බන්ධ සිදුවීම් නවසිය පහක්ද, ‘ලිංගික අපහරණ’ සම්බන්ධ සිදුවීම් තුන්සිය ගණනක් වාර්තා වෙනවා. අද වෙනකොට මේ තත්ත්වය දෙගුණයකින්, තුන්ගුණයකින් වැඩිවෙලා තියෙන්නේ. මේක ඇත්තටම සමාජීය වශයෙන් ගත්තොත් භයානක තත්ත්වයක්. මේ ආකාරයට හිටි හැටියේ ‘ළමා හිංසන’ සහ ‘ලිංගික අපහරණ’ සම්බන්ධ සිදුවීම් වැඩි වශයෙන් වාර්තාවීමට පටන් ගත්තේ ඇයිදැයි අප අැයගෙන් විමසුවාය. එහිදී ඇය කීවේ නොසිතූ ලෙස ‘ළමා හිංසන’ සහ ‘ලිංගික අපහරණ’ සම්බන්ධ සිදුවීම් වැඩිවීමට කොරෝනා තත්ත්වයත් බලපාන්නට ඇතැයි කියාය. එපමණක් නොව මාස තුනකට අධික කාලයක් නිවසටම කොටුවී සිටි දරුවන්ට තමන්ගේ අපහසුකම් කතා කිරීමට හෝ උදව් ලබා ගැනීමට කිසිවකුත් නොසිටීම මෙය වර්ධනය වීමට හේතුවක් වී තිබිණි.

‘ලිංගික අපචාරයක්’ සිදුකළ පුද්ගලයකුට දණ්ඩ නීති සංග්‍රහයට අනුව වසර පහක සිර දඬුවමක්ද, ස්ත්‍රී දූෂණයක් සම්බන්ධව වසර විස්සකට වැඩි සිර දඬුවම්ද, අනෙක් සියලුම ‘ලිංගික හිංසන’ සම්බන්ධ වසර දහයක සිර දඬුවම්ද දිය හැකිය. නමුත්, මෙම දඬුවම් එක් එක් වරදේ ස්වභාවය අනුව වෙනස් විය හැකිය. දඬුවම පමණක් නොව වින්දිත දැරියට හෝ දරුවාට වන්දියක් ගෙවීමට නියම කිරීමට විනිසුරුට හැකිය.දෙදහස් දාහත වසර අවසානය වන විටත් නීතිපති දෙපාර්තමේන්තුවේ වසර දහයකට වඩා කල් ගත වූ ළමා අපයෝජන සිද්ධීන් දාහත් දහසකට වැඩි ප්‍රමාණයක් ගොඩ ගැසී තිබිණි. මෙම අගය දෙදහස් දහඅට වසර වනවිට විසි දහස ඉක්මවා ගොස් ඇත්තේය.

අපචාර සිද්ධීන් පිළිබඳ නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට නඩු පැවැරිය යුත්තේ මහාධිකරණයේය. නඩු පවරන තුරු නඩු වාර්තා ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුවේ නඩු පෝලිමේය. බොහෝ විට දරුවකු අතවරයට පත් වූ සිද්ධියකට නඩු පවරන විට එම දරුවා විවාහ වීත් අවසන්ය. එවැනි අවස්ථාවලදී ඔවුන් සාක්ෂි දීමට මැළි වන්නේ තම සැමියාට සිය යටගියාව හෙළිවෙතැයි බියට පත්වීම නිසාය.

එක් අතකින් එය ඔවුන්ගේ පවුල් ජීවිතයට බලපාන මානුෂික ප්‍රශ්නයකි. මේ නිසා අද ඔවුන්ට සිදුව ඇත්තේ කිසිදු විනිශ්චයක් නොමැතිව අමිහිරි මතකයන්වලින් පමණක් ජීවත් වීමටය. එමනිසා උසාවි පද්ධතිය කාර්යක්ෂම කොට මේවාට සම්බන්ධ විත්තිකරුවන්ට දඬුවම් ලබා දීම ඉක්මන් කරන බව හැමදෙනාම කීවත් දූැමදාම ඇහෙන්නේ පරණ තැටියමය.

හර්ෂනී දිසානායක