විශේෂාංග

එදා අමුඩ ලේන්සුවක් ගන්නවත් තැනක් කිරිබත්ගොඩ තිබුණේ නැහැ

කොළඹ නුවර ප්‍රධාන පාරේ කැලණිය ඊරියවැටිය හන්දියේ සිට කිරිබත්ගොඩ ගාල හන්දිය තෙක් ඇති දුර ප්‍රමාණය කිලෝමීටරයකට වැඩි නොවේ. එහෙත් සෑම වසරකම අප්‍රේල් මාසයේ මුල් දෙසතිය තුළත් දෙසැම්බර් මාසයේ අවසන් දෙසතිය තුළත් කොළඹ නුවර පාරේ දිවෙන වාහනයකට මේ කිලෝමීටරය පසු කිරීමට ඇතැම් විට පැයකට ආසන්න කාලයක් බලා හිඳින්නට සිදුවෙයි. ඒ එම කාලවලදී කිරිබත්ගොඩ නගරය එකම හිස් ගොඩක් වන බැවිනි. එමෙන්ම ඒ ජනාකීර්ණ බවට පැහැදිලි හේතුවක් ද තිබේ.

ඒ ශ්‍රී ලංකාවේ මුල් පෙළේ රෙදි සාප්පු රජ දහනක් ලෙස කිරිබත්ගොඩ රට පුරා ප්‍රසිද්ධියට පත්ව තිබීමය.
නිමි ඇඟලුම් ඇතුළු වෙනත් සාප්පු බඩු සම්බන්ධයෙන් කිරිබත්ගොඩට හිමි ජනානන්දනීය බව කොතෙක්ද කිවහොත් දැන් දැන් කිලෝමීටර් සිය ගණන් දුර ගෙවා කිරිබත්ගොඩට සාප්පු සවාරි එන පිරිස්ද හිඟ නොවෙති. විශේෂයෙන් දක්ෂිණ අධිවේගී මාර්ගය කිරිබත්ගොඩට ආසන්න කඩවත දක්වා දීර්ඝ කිරී‍මෙන් පසුව වැඩිපුර අත මිට ඇති දකුණුකරයේ කාන්තාවෝද ගාල්ල මාතර ආදී ප්‍ර‍දේශවල සිට කිරිබත්ගොඩ සාප්පු සවාරි ඒමට පුරුදුව හිඳින බව අද වන විට ප්‍රසිද්ධ රහසකි. දිවයිනේ සෙසු බොහෝ නගරවලට සාපේක්ෂව නවීනතම ඇඳුම් විලාසිතා සාධාරණ මිලක් යටතේ කිරිබත්ගොඩ දී මිලදී ගත හැකිය යන විශ්වාසය මෙම ජන ප්‍රසාදයේ පදනම වී තිබේ.

නමුත් 1940 දශකයේ කිරිබත්ගොඩට ආසන්න දලුගම ප්‍රදේශයේ තම ළමා සහ යොවුන් විය ගෙවූ ගණේමුල්ල, හොරගොල්ලේ, පෙරේරාපුර පදිංචි එම් සේදිරිස් ප්‍රනාන්දු හෙවත් සේදිරිස් මාමා පවසනුයේ ඊට ඉඳුරාම වෙනස් කතාවකි. එනම් එක් දවස් නවසිය හතළිස් ගණන්වල ඇඳුම් පැලඳුම් තබා අඩුම තරමින් අමුඩ ලේන්සුවක්වත් ගැනීමට තැනක් කිරිබත්ගොඩ නොතිබූ බවය. 1929 වසරේ නොවැම්බර් මස විසි නව වැනිදා උපන් සේදිරිස් මාමාට වයස අවුරුදු අනූව සපිරීමට ඇත්තේ තව මාස හයක් පමණි.

සේදිරිස් මාමා පවසන අන්දමට ඔහු ළමා වියේ දී කිරිබත්ගොඩට ආසන්න දලුගම පදිංචියට පැමිණ ඇත්තේ දෙවන ලෝක යුද්ධ සමයේ කොයි මොහොතක හෝ ජපනුන් කොළඹට බෝම්බ දමනු ඇතැයි යන විශ්වාසය නිසාය. ඒ වනවිට වත්තල, තුඩුවේගෙදර පදිංචිව සිටි සේදිරිස් මාමා තම මාපියන් සහ සොයුරු සොයුරියන් සමග දලුගම පදිංචියට එන විට ඔහුගේ වයස අවුරුදු දොළහකි. එවක සේදිරිස් මාමාගේ පියා දලුගම ජොනික්වත්ත නම් ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මහතාට අයත් වත්තක මුරකරුවකු ලෙස රැකියාව කොට තිබේ.

‘‘අපි හිතපු විදිහටම 1942 අප්‍රේල් පස් වෙනිදා ජපනා කොළඹට බෝම්බ දැම්මා. එදාත් හරියටම පාස්කු ඉරිදා ඒ විදිහට බලන කොට පාස්කු ඉරිදාවක එල්ල වුණු දෙවැනි බෝම්බ ප්‍රහාරේ තමයි මේ අවුරුද්දේ අප්‍රේල් විසි එක් වෙනිදා පාස්කු ඉරිදාවේ එල්ල වුණේ. මේකත් අද හුඟ දෙනෙක් නොදන්න කතාවක්. සේදිරිස් මාමා කියයි.

ඔහු වැඩිදුරටත් පවසන පරිදි ඉන් එක් බෝම්බ ප්‍රහාරයක් ඉලක්කය වැරදීමෙන් එවක කොළඹ පිහිටි මානසික රෝහලට වැටී ඇති අතර ඉන් මානසික රෝගීන් සැලකිය යුතු ප්‍රමාණයක් මියගොස් තිබේ. ඒ කෙසේ හෝ එම බෝම්බ ප්‍රහාරවලින් මිදී දලුගම පදිංචියට පැමිණ සේදිරිස් මාමලාට එකල බිය ගෙන දුන් තවත් කරුණක් විය.

ඒ දෙවන ලෝක සංග්‍රාමය සඳහා මෙරටට පැමිණි ඉංග්‍රීසි හමුදාව යටතේ සේවය කළ ‘‘මිනී කන’’ කාපිරි සෙබළුන්ය. ඔවුන්ගේ එම මිනීකෑම වළකාලනු පිණිස ඉංග්‍රීසීන් විසින් එම කාපිරි සෙබළුන්ගේ තොල්වලට ඉබි යතුරු දමා ඇති බවද එවක සමාජයේ ප්‍රචලිත විය. එහෙත් එය මුළුමනින්ම එවක පැතිර ගිය සමාජ මිථ්‍යාවකි. ඒවා එම සෙබළුන් පැලඳ සිටි ඔවුන්ගේ සාම්ප්‍රදායික තොල් ආභරණ මිස ඉබි යතුරු නොවේ. එමෙන්ම ඔවුන් මිනී මස් කෙසේ වෙතත් මයියොක්කා කෑමට රුසියන් බව කියනු ලැබේ.

‘‘කොහොම හරි ඔය කාලේ කිරිබත්ගොඩ හන්දිය කියන්නේ’’ වටේට පොල්අතු ගෙවල් කීපයක් තිබුණු පුංචි හන්දියක් විතරයි. ඔය කාලේ නුවර පාරත් අඩි දහයකට දොළහකට වඩා පළල් නැහැ. කිරිබත්ගොඩ මාකොළට හැරෙන හන්දියේ ලොකු ගස් තිබුණ.’’ සේදිරිස් මාමා පැරණි කිරිබන්ගොඩ මුල් කොට තම මතකය අවදි කළේ එලෙසිනි.

ඒ කාලේ කිරිබත්ගොඩ හන්දිය ප්‍රසිද්ධ වුණේ පොල්අතු බත් කඩයක් හින්දා. ඒ කඩේ බත් හරිම රසයි. බත් බාගයක් සත තුනයි. ඉසසර අපිත් ඒ කඩෙන් බත් කාලා තියෙනවා. කිරිබත්ගොඩ හන්දිය වටේට තව කඩ කීපයක් තිබුණා. හැබැයි ඒ සේරම පොල් අතු කඩ ඒවායේ තිබුණේ ඔය සිල්ලර බඩු වගේ දේවල්. ඒ කාලේ ඇඳුමක් පැලඳුමක් ගන්න නම් ඉතින් කොළඹට එන්න ඕනේ’’ හැබැයි ඔය කාලේ රිදීයප් කියලා කෑ ගහන රෙදි පොට්ටනි කරේ තියාගත්තු චීන්නු නම් කිරිබත්ගොඩට ආවා’’

සේදිරිස් මාමාගේ විස්තරය අනුව එවක කිරිබත්ගොඩ අවට ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වී ඇත්තේ වී ගොවිතැන සහ කොරටු බෝග වගාවය. ඔවුන්ගෙන් සමහරකු සෘජුවම කොළඹ තොටළඟ වෙළෙඳ මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් ඇති අතර තවත් පිරිස් ඒවා ගමේදීම අතරමැදියන්ට අලෙවි කොට තිබේ.

ඔය කාලේ නුවර පාරේ කොම්පැනි බස් කීපයක් වැඩ කළා. ඒවට කිව්වේ ‘‘කුකුළා බස්’’ කියලා. නමුත් කොළඹට වැඩිපුරම බඩු ඇද්දේ කරත්තවලින්. ඒ කාලේ කොළඹට එන කරත්ත රෑට නතර කරපු තැනට තමයි අදත් ‘‘ගාල හන්දිය’’ කියන්නේ.

කිරිබත්ගොඩ හරහා කොළඹ නුවර පාරේ දිවෙන ප්‍රාදේශීය බස් රථ අදටත් කිරිබත්ගොඩ තරුණ බෞද්ධ සමිතිය (YMBA) නැවතුමින් පසුව නතර කරනුයේ ‘‘ගාල හන්දිය’’ නමින් නාමමාත්‍රිකව හැඳින්වෙන ස්ථානයකය. එහෙත් අතීතයේ උස් ගස් වැල්වලින් සෙවණ වූ එය දිවයිනේ විවිධ ප්‍ර‍දේශවල සිට කොළඹ දක්වා දිවෙන ගැල් නතර කළ ගැල් ගවයන්ගේ සහ ගැල්කරුවන්ගේ විවේක ස්ථානයකි. එබැවින් එය එවකද රාත්‍රි කාලයේ තරමක ජනාකීර්ණ වී තිබේ.

මෙසේ කරත්ත දක්කගෙන පැමිණෙන ගැල්කරුවන් රාත්‍රියට ආහාර පිස ගැනීමට වුවමනා ආහාර ද්‍රව්‍ය, වළං පිඟන්, පිහි හිරමන ජලය ලබා ගැනීමට අවශ්‍ය බාල්දි ආදිය ද රැගෙන විත් ඒ අද්දර ගවයන් ගාල් කොට රාත්‍රියට එහි ආහාරපාන පිස අනුභව කොට එම කරත්තවල වූ ගෝනි පඩංගුවල නිදාගෙන තිබේ. එමෙන්ම එසේ නතරවෙන ගැල්කරුවන්ගේ අනේක විධ වූ යහපත් සේම අයහපත් අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් කැප වූ පුරුෂ සේම ස්ත්‍රී පාර්ශ්වයන්ද සැන්දෑ ඇඳිරියෙන් ඒ අවට ගැවසෙන්නට ඇත.

එවකට කිරිබත්ගොඩ ප්‍රදේශයේ නම් දරා සිටි පුද්ගලයන් අතර ඊරියවැටිය පාරේ ඇඩ්ඩින් අයියා සහ දලුගම පොඩි අප්පු හාමි සහ ඔහුගේ සහෝදරයන් හත් දෙනා ද වූ අතර ප්‍ර‍දේශයේ චණ්ඩින් වශයෙන් ප්‍රසිද්ධව සිටි ඔවුන් නිල නොලත් පොලිස් නිලධාරීන් සේ කටයුතු කළ බවද සේදිරිස් මාමා කියයි.

කොහොමත් ඒ කාලේ අද තරම් මිනීමැරුම් මංකොල්ලකෑම් ස්ත්‍රී දූෂණ වගේ අපරාධ සිද්ධ වුණේ නැහැ. ඉස්සර කිරිබත්ගොඩ මිනිස්සු රෑ හුළුඅතු බැඳගෙන කෝච්චියට නගින්න කැලණි ඉස්ටේෂමට ගිය හැටි මට හොඳට මතකයි. නමුත් ලොකු මංකොල්ලයක් ස්ත්‍රී දූෂණයක් වගේ දෙයක් ගැන නම් මෙම අහලා තිබුණේ නැහැ.

ඒ කෙසේ හෝ එවක වනගතව පැවැති කිරිබත්ගොඩ නාගරික ජනාවාසයක් කරවීමේ සමාරම්භය සටහන් කොට ඇත්තේ 1954දීය. ඒ එවක කැලණිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය, මුදල් අමාත්‍ය පදවිය හෙබවූ ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් කිරිබත්ගොඩ ජාතික නිවාස ක්‍රමය ඇරඹීමත් සමගිනි. ජාතික නිවාස එකසිය පහක් සහ සමුපකාර එකසිය පහක් වශයෙන් නිර්මාණය කොට තිබූ එම නිවාස යෝජනා ක්‍රමය මගින් කිරිබත්ගොඩට විවිධ ප්‍රදේශවලින් සංක්‍රමණය වූවන්ගෙන් සැදුම් ලත් නව මධ්‍යම පාන්තික සමාජයක් ස්ථාපිත විය.

කිරිබත්ගොඩ නිවාස යෝජනා ක්‍රමයට කලිනුත් කිරිබත්ගොඩ ප්‍රභූ පවුල් කීපයක්ම ජීවත් වුණා. සිංහල උළු සෙවෙලි කළ ගෙවල්වල ජීවත් වුණු අය අතරින් කබ්රාල් පරම්පරාව විශේෂ බව සේදිරිස් මාමා කියයි.

එක්දහස් නවසිය පනහේ දශකයේ ගුවන් විදුලිය මගින් අතිශය ජනප්‍රියත්වයට පත් ‘‘ආදරේ ඇයි පොඩි හඳ මාමේ’’ ගීතයත් සංගීතඥ ඩී.ඩී. ඩැනී සමග ගයන ‘‘වේවා ඔබ මගෙ සුදු අයියා’’ ගීතයක් ගායනා කළ චන්ද්‍රා කබ්රාල් නම් ළමා ගායිකාව අපගේ වැඩිහිටි පරපුරේ බොහෝ දෙනකුට තවමත් මතකය.

ඇයද සේදිරිස් මාමා සඳහන් කරන කිරිබත්ගොඩ කබ්රාල් පරපුරේ සාමාජිකාවකි. එවක කිරිබත්ගොඩ ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරික ජෝෂප් කබ්රාල් ඇගේ පියා වූ අතර කිරිබත්ගොඩ නගරයේ සිනමාහලක් සහ ඉන්ධන පිරවුම්හලක් පිහිටුවීමේ ගෞරවය ඔහුට හිමිවනු ඇත. ජේ.ආර්. ජයවර්ධනයන්ගේ මැදිහත් වීමෙන් කිරිබත්ගොඩ ස්ථාපිත කළ නව මධ්‍යම පාන්තික සමාජය සඳහා විහාර මහා දේවි බාලිකා විද්‍යාලය වැනි ජනප්‍රිය පාසල් ඇතුළු පොදු පහසුකම් ස්ථාපනය කෙරුණද ඇඟලුම් අලෙවිය සම්බන්ධයෙන් කිරිබත්ගොඩ ප්‍රසිද්ධියට පත්වන ලද්දේ අසූව දශකයේ මැද භාගයේ සිටය.

ඊට ප්‍රධානතම හේතුවක් වූයේ බෙල්ල කපාපු හන්දිය ආදී ස්ථාන නාමවලින් යුතුව අවට වැසියන්ට සැබවින්ම බිය ගෙන දුන් ගමක් වූ බියගම රඹුටන් වතු ඉවත් කොට 1986 වසරේ ශ්‍රී ලංකාවේ දෙවන නිදහස් වෙළෙඳ කලාපය ස්ථාපිත කරවීමය. එහි රැකියා අවස්ථා සඳහා ශ්‍රී ලංකාවේ විවධ ප්‍රදේශවලින් තරුණියන් දහස් ගණන් බියගමට සංක්‍රමණය වූයේ තවදුරටත් එය බිය ගෙන දෙන ගමක් නොවන බව කාටත් පසක් කරමිනි. එමෙන්ම එම බියගම ආසන්නයේ වූ සපුගස්කන්ද කර්මාන්ත පුරයද එම ප්‍රදේශ තවත් ජනාකීර්ණ වීමට හේතු වූ බව පෙනෙයි.

එමෙන්ම අසූව දශකයේ අග භාගය පමණ වන විට ‘‘ස්ත්‍රී පුරයක්’‘ ලෙසින් ප්‍රකට වූ බියගම නිදහස් වෙළෙඳ කලාපයේ යුවතියන්ගේ ඇඟලුම් අවශ්‍යතා මුල් කොට සාප්පු පුරවරයක් සේ කෙමෙන් ප්‍රසිද්ධියට පත් කිරිබත්ගොඩ මහා පරිමාණ කම්හල්වල ඇඟලුම් නිෂ්පාදන අඩු මිලට ගත හැකි නගරයක් ලෙස එවක ප්‍රසිද්ධියට පත් විය. මෙම තත්ත්වය යටතේ කිරිබත්ගොඩ මුලින් ඇරඹි කුඩා පරිමාණයේ සාප්පු කිහිපයක් අද වනවිට මහා පරිමාණයේ රෙදි පිළි අලෙවිහල් බවට පත්ව තිබේ.

සේදිරිස් මාමා කිරිබත්ගොඩ ප්‍රභූ පරපුරක් වශයෙන් හැඳින්වූ කබ්රාල් පරපුරද අයත් ක්‍රිස්ටි කබ්රාල් සහ වයලට් පෙරේරා මාපියනට දාව එක් දහස් නවසිය හැට එකේ ජූලි මස පළමු වැනිදා උපන් දරුවකු ‘‘ජූඩ්’’ යන කිතුනු සාන්තුවර නාමයෙන් හැඳින්වෙන්නට වූයේ ඔවුන් ජන්මයෙන් රෝමානු කතෝලිකයන් වූ බැවිනි. කෙසේ හෝ පසුව මෙම පවුල සිය ජන්ම ආගම අතහැර බුදු දහම වැලඳ ගත් අතර ඔවුන්ගේ ජුඩ් පුතු ද කුඩා කල සිටම බුදු දහම කෙරෙහි විශේෂ ඇල්මක් පළ කරන්නට විය. ඔහු තුළ වූ එම ඇල්ම ජීවිතයේ නව යොවුන්වියේ දී කෙතරම් උණුසුම්ව පැන නැගී තිබුණේද යත් තම උපන් ගම වන කිරිබත්ගොඩ නාමයද සිය නාමයට එක්කර ගත් ඔහු වයස අවුරුදු දාහතේදී එනම් 1979 මාර්තු 29 දා පැවිදි බිමට පත්විය.

අද වන තම උපන් ගමේ නාමය මෙරට ජනයාගේ මුවින් මුව රැව් දෙන අන්දමට ලක්දිව බුදු සසුන තුළ ආන්දෝලනාත්මක භූමිකාවක් ඉටු කරන එම යතිවරයාණන් අන් කිසිවකු නොව පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේය.

තිලක් සේනාසිංහ