කතුවැකි

එතෙර සිටින අපේම අය අමතකද?

මේ දිනවල රට හැමතැනම ඇත්තේ ජනාධිපතිවරණ උණුසුමයි. නගර නොව ගම් නියම්ගම්වල පවා ජනාධිපතිවරණය ඉලක්ක කරගත් රැස්වීම් පැවැත්වේ. පත්තරයක් බැලුවත්, රූපවාහිනිය බැලුවත් ජනාධිපති අපේක්ෂකයන්ගේ කතාය. ෆේස්බුක් වැනි සමාජ ජාලා පිරී ඇත්තේද ඊට අදාළ අදහස්වලිනි. ඇතැම් තැනක ජනාධිපති අපේක්ෂකයන්ගේ ආධාරකරුවෝ ගෙන් ගෙට යමින් තම අපේක්ෂකයා දිනවිය යුත්තේ මන්දැයි ඡන්දදායකයාට කරුණු පැහැදිලි කරමින් සිටිති.

එහෙත් මේ සියලුදෙනා ආමන්ත්‍රණය කරමින් සිටින්නේ මෙරට සිටින ඡන්දදායකයාව පමණය. මැතිවරණ කොමිසමේ නිල සංඛ්‍යා ලේඛනවලට අනුව මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට එක්කෝටි හැට ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් සුදුසුකම් ලබා සිටිති. එහෙත් මේ අතරින් අඩුම වශයෙන් ලක්ෂ 20ක් පමණ වෙසෙන්නේ විදේශයන්හීය. මේ අතරින් කිසියම් පිරිසක් මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා දිවයිනට පැමිණීමට සූදානමින් සිටින බව වාර්තා වී තිබේ. සැලකිය යුතු පිරිසක් එලෙස එන්නට සූදානමින් සිටියත් විදේශගත සමස්ත ශ්‍රී ලාංකිකයන් පිරිස සමග සසඳන විට එය තවමත් සුළු පිරිසකි.

එසේම ඡන්ද නාමලේඛනයට නම ඇතුළත් නොවන තවත් විශාල ශ්‍රී ලාංකිකයෝ පිරිසක්ද එතෙර වෙසෙති. නොවැම්බර් 17දාට මේ රටේ ජනාධිපතිවරයා වන්නට සිටින අපේක්ෂකයන් කිසිවකුත් තවමත් මේ පිරිස් ගැන අවධානයක් යොමුකර ඇති බවක් පෙනෙන්නට නැත. ඡන්දය දීමට සුදුසුකම් ඇතත් ඡන්දය දීමට නොඑන අයත් ඡන්ද සුදුසුකම නැති අයටත් තමන්ගේ ජයග්‍රහණයට බර තබන්නට හැකියාවක් නැතැයි ඔවුන් සිතනවා විය හැකිය. එය නම් බරපතළ වැරදීමක් බව කිව යුතුය. ඇතැම් විටෙක ජනාධිපතිවරණයේ ජයග්‍රහණය තීන්දු කරන තීරණාත්මක සාධකය මේ පිරිස විය හැකිය.

රැකියා සඳහා විදේශගතවූවන්, පදිංචිය සඳහා විදේශගතවුවන් හා සරණාගතයන් සියල්ල එකතුව ගත් විට විදේශයන්හී සිටින ශ්‍රී ලාංකිකයන් පිරිස ලක්ෂ 25කට ආසන්න වේ. මේ ලක්ෂ 25 විදේශයන්හී සිටියත් ඔවුන්ගේ දෙමව්පියන්, ඥාතීන්, බිරිඳ, දූ දරුවන් කවරෙකු හෝ තවමත් වෙසෙන්නේ ශ්‍රී ලංකාවේය.

රට හොඳින්ම පෙනෙන්නේත්, රට ගැන හොඳින්ම තේරුම් ගන්නේත් මේ පිරිස යැයි කිව හැකිය. කුමන හේතුවක් මත විදේශ ගත වුවත් ඒ හැමදෙනාම රට ගැන වැඩියෙන්ම හිතන්නට පටන් ගන්නේ රටෙන් බැහැර වූ පසුය. ඇත්තෙන්ම මේ දිනවල රටේ සිදුවන්නේ කුමක්දැයි වැඩියෙන්ම උනන්දුවන්නේත්, මෙරට සිටින අය නොව විදේශයන්හී සිටින අය යැයි සිතෙන තරමට ඔවුන්ගේ උනන්දුව තියුණුය.

ඔවුන්ගේ මේ උනන්දුව මෙරට සිටින තම ඥාතීන්ගේ, හිතවතුන්ගේ තීරණයට බලපෑමක් නොවන්නේ යැයි කිව හැකිද? ඡන්දයට එන්න නොහැකි පිරිසෙන් ලක්ෂ 10ක් එක් අයකු අඩුම වශයෙන් මෙරට සිටින දෙදෙනකුට වශයෙන් බලපෑමක් කළහොත් මෙරට ලක්ෂ 20කගේ ජනාධිපතිවරණ තීන්දුව වෙනස් වන්නට හෝ ඔවුන්ගෙන ඇති තීන්දුව ස්ථිර කරන්නට හේතුවේ. විදේශගතව සිටින්නේ පවුලේ ආදායම් උපයන්නා නම්, ඔහුගේ තීරණය පවුලේ සෙසු සාමාජිකයන්ගේ තීරණය කෙරෙහි බලපැවැත්වීමට ඉහළ සම්භාවිතාවක් තිබේ.

විදේස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් බහුතරය වෙසෙන්නේ මැදපෙරදිගය. ඇතැම් දේශපාලන පක්ෂයන් යුරෝපයේ සහ ජපානය හා කොරියාව වැනි රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් අමතන්නට පියවරගෙන ඇතත් මැදපෙරදිග සිටින පිරිස ගැන අවධානයක් යොමුකර ඇති බවක් දක්නට නැත.

මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ හැම එකක්ම පාහේ විශේෂයෙන්ම යුරෝපා රටවල තම පක්ෂ ශාඛා පිහිටුවා තිබේ. ඒ හරහා ඔවුන් උත්සාහ කරන්නේ තම තමන්ගේ ශක්තිය ප්‍රදර්ශනය කිරීමටය. එසේම මේ පක්ෂ කල්පනා කරන්නේ විදෙස් ශාඛා යනු ඒ ඒ පක්ෂවල අරමුදල් තර කරන සංවිධාන පමණක් බව පෙනේ.

ජනාධිපති අපේක්ෂකයන්ද, ඔවුන් නියෝජනය කරන දේශපාලන පක්ෂද විදේශගත ශ්‍රී ලාංකිකයන් කෙරෙහි අවධානය යොමු කළ යුතු තවත් කාරණයක් තිබේ. එනම් මේ රටට වැඩිම විදේශ විනිමය ගෙන එන්නේ විදේශයන්හී රැකියාවල නියුතු පිරිස වීමය. ඔවුන් සාමාන්‍යයෙන් වසරකට උපයන විදේශ විනිමය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන හත්දහසක් පමණ වේ. අප රටේ භාණ්ඩ ආනයනය සහ අපනයනය අතර හිඟය පියවා ගන්නා ප්‍රධාන ආදායම් මූලයක් වන්නේ විදේශගත ශ්‍රමිකයන් රටට එවන මේ මුදලය.

තමන් වෙනුවෙන් රැකියාවක් කළත්, මේ අය රටට එවන මුදල් සම්භාරය රටේ ආර්ථිකයට හයියක් වී ඇත්තේ එසේය. රටේ ආර්ථිකයට එතරම් ශක්තියක් දෙන විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් ඔවුන්ගේ ඡන්දය ලැබුණත් නැතත් යමක් කිරීම රටේ නායකත්වයේ වගකීමක් හා යුතුකමක්ද වේ යැයි අපි සිතමු.

එනිසා හෙට අනිද්දාම එළිදකින්නට නියමිත ඩමි අපේක්ෂකයන් නොවන අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයන්හී විදේශගත ශ්‍රී ලාංකිකයන්ට සැලකිය යුතු ඉඩක් වෙන්ව තිබෙනු ඇතැයි අපේක්ෂා කරමු. එහෙත් ඒ ඉඩ ප්‍රතිපත්ති ප්‍රකාශය සරසන සැරසිල්ලක් පමණක් නොව නොවැම්බර් 17දායින් පසු යථාර්ථයක් වන්නක් විය යුතුය.