විශේෂාංග

රෙජීම් සහ ‘රෙජීම්’

රුසියාවේ ජනාධිපති වැලැඞ්මිර් පුටින්ගේ රහස් ඔත්තු සේවය නවීන තාක්ෂණය භාවිතා කරමින් ඇමරිකානු ජනාධිපතිවරණයට බලපැම් කළ බවට ප‍්‍රවෘත්තියක් ඇමරිකාවේ ජනාධිපතිිවරණය අවසන්වීමත් සමග ලොව පුරා ප‍්‍රචාරය කළේ සීිඑන්එන් ඇතුළු ඇමරිකාවේ ප‍්‍රධාන මාධ්‍ය කිහිපය විසිනි. ඇමරිකාවට සහ බටහිර යුරෝපයට වුවමනා ආකාරයට ලෝකයාගේ දේශපාලන දැනුම හැඩගසන මෙම මාධ්‍යයන්ට අවශ්‍ය වූයේ ඩිමොක‍්‍රටික් පක්ෂයේ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් ජයග‍්‍රහණය කරවීමටය. ඇමරිකාවේ උරුමක්කාරයින් තමන් යයි සිතා කටයුතු කරන සුදු ජාතික වැඩිහිටි ඡන්ද දායකයින් බහුතරයක් හිලරිට සහාය නොදී රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක ඩොනල්ඞ් ට‍්‍රම්ප් බලයට පත්කිරීමට මූලික වූහ.

ජනාධිපති ට‍්‍රම්ප්, බලය ලැබීමෙන් පසු පැවැති පළමු මාධ්‍ය හමුවේදීම හිලරිට කඬේ ගිය මාධ්‍ය ආයතන, ‘ෆේක් නිව්ස්’ (බොරු ප‍්‍රවෘත්ති සපයන්නන්) යයි නම් කළේය. ඇමරිකාවේ ජනාධිපති එසේ පැවසුවද ලංකාවේ දේශපාලනඥයින් සීඑන්එන්, බීබීසි වැනි බටහිර ප‍්‍රධාන මාධ්‍ය කෙරෙහි ඇත්තේ පුදුම විශ්වාසයකි. පසුගිය දිනක නිව්යෝක් ටයිම්ස් පුවත්පතෙහි පළවූ ප‍්‍රවෘත්තියක් අල්ලාගෙන නැටූ නැටිල්ල ඊට සාක්ෂියකි. ලංකාවේ දිනපතා පත්තරයක්වත් කියවන්නේ නැති ඇතැම් මන්ත‍්‍රීවරුන් පවා හැසිරුනේ දිනපතා නිව්යෝක් ටයිම්ස් කියවන්නන් ලෙසිනි.

ඇමරිකානු ජනාධිපති ට‍්‍රම්ප්, ප‍්‍රධාන මාධ්‍ය ආයතනයන්ට අකීකරුව හැසිරෙමින් උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ග් මුණ ගැසුණේය. අනතුරුව පුටින් හමුවී සාකච්ඡා කළේය. ප‍්‍රධාන මාධ්‍ය භයානක රාක්ෂයින් වශයෙන් ලෝකයට පෙන්වමින් සිටි මෙම නායකයින් දෙදෙනා තම රටවලට ඇල්මැති බුද්ධිමත් යහපත් පාලකයින් බව ප‍්‍රකාශ කිරීම ට‍්‍රම්ප් කළ තවත් අභීත ප‍්‍රකාශයකි. අවශ්‍ය නම් ඉරාන නායකයින් සමග සාකච්ඡා කිරීමට තමා සූදානම් බව ඔහු පසුගිය සතියේ ප‍්‍රකාශ කළේය. ඇමරිකාව ආඥාදායකයින් වශයෙන් හඳුන්වන මේ නායකයින් යහපත් පුද්ගලයින් යැයි කීම මහා පාවාදීමක් නොවේදැයි ලෝක මාධ්‍යයන්හි සේවය කරන ඇතැම් මාධ්‍යකරුවෝ බෙරිහන් දුන්හ. ට‍්‍රම්ප්ගේ හැසිරීම කෙරෙහි කෝපය පෙන්වන මාධ්‍ය ආයතන, ඇමරිකානු ප‍්‍රාන්ත මැතිවරණවලින් ට‍්‍රම්ප්ට පාඩමක් ඉගැන්වීමේ අරමුණින් ඔවුන්ගේ ප‍්‍රචාරක වැඩ අරඹා තිබේ. මොවුන් පවසන්නේ ඇමරිකාවට මිතුරන් සේම ප‍්‍රබල සතුරන් කණ්ඩායම් ද අවශ්‍ය බවයි. ඉන් අර්ථවත් වන්නේ සියලූම රටවල් ඇමරිකාවේ මිතුරු රටවල් වී සැමටම යුද්ධ කිරීමේ වුවමනාව නැතිවී ගියහොත් ආයුධ නිෂ්පාදනය නම්වූ ලෝකයේ ලොකුම කර්මාන්තය අවසන් වන බවයි.

ඇමරිකාව, ලෝකයේ රට රටවල මැතිවරණ කලඹවා අවුල් ඇති කර අකමැති පාලකයින් (රෙජිම්) මාරු කරන බවටත් කැමති පාලකයින් බලයට පත් කරන බවටත් අප‍්‍රමාණ සාක්ෂි තිබේ. ලෝකයේ ප‍්‍රධාන ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යය තමන් යයි ඇමරිකාව සිතීම ඊට එක් හේතුවකි. යටත් විජිත භාවයේ සිට නිදහස ලැබූ බොහෝ රටවල වැසියන් අඩු දේශපාලන දැනුමකින් යුතු නිසා බලයට පත් වන නරක පාලකයින් වෙනස් කර යහපත් පාලකයින් පත්කිරීම ඇමරිකාව ප‍්‍රධාන බටහිර රටවල වගකීමක් යයි ඔවුහු සිතති. ලංකාව වැනි රටවල දේශපාලනඥයෝ මීටත් එහා ගොස් රටේ ප‍්‍රශ්න ඇමරිකාව හෝ බි‍්‍රතාන්‍යය ලවා විසඳවා ගැනීමට වෑයම් දරති. ලංකාවේ ඉතිහාසය ගැන මෙලෝ දැනුමක් නැති රටවැසියෝ බොහෝය. බි‍්‍රතාන්‍යයන්, ලංකාව යටත් භාවයේ රඳවා ගැනීම පිණිස සිංහල ජනයා සංහාරය කිරීම, ජාති භේද වැපිරීම වැනි මහා අපරාධයන් කළ බව දන්නා පිරිසක් ද සිටිති. මේ සියල්ලෝම බි‍්‍රතාන්‍යයන් ලංකාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයක් දුන් බව පිළිගනිති. එසේ සිදුවන්නේ ආණ්ඩුව පරම්පරාවෙන් පරම්පරාවට ලංකාවේ පාසල්වලින් දරුවන්ට ලබා දෙන අධ්‍යාපනයට පල් බොරුවක් කලවම් වී ඇති බැවිනි. මේ පරගැති අධ්‍යාපන ක‍්‍රමයට බෞද්ධයන් කොටු වූයේ ඇමරිකාවේ සිට පැමිණි ඕල්කොට් හැදූ පරමවිඥානාර්ථ බෞද්ධ පාසැල්වලිනි. ඇමරිකාව, බි‍්‍රතාන්‍යය වැනි රටවල් අපේ ගැලවුම්කරුවන් යයි සිතීමට අනුබල දෙන අධ්‍යාපනයක් පවතින ඕනෑම රටක වැසියෝ තමන් අකමැති පාලකයින් පහ කර කැමති පාලකයින් පත්කර ගැනීමට ඇමරිකාව, බි‍්‍රතාන්‍යය, ප‍්‍රංශය ආදී රටවල මැදිහත්වීම පතති.
පසුගිය සතියේ සිම්බාබ්වේ ජනාධිපතිවරණය පැවැත්වූයේ 37 වසරක් ඒ රට පාලනය කළ රොබට් මුගාබේ හමුදා කුමන්ත‍්‍රණයක් මගින් බලයෙන් ඉවත් කළ එමර්සන් මිනන්ගාවා විසිනි. මුගාබේ ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙකු යයි බොහෝ දෙනකුට නොසිතේ. ඊට හේතුව ලෝක මාධ්‍ය මගින් කරන ප‍්‍රචාරයයි. රොබට් මුගාබේ බිහිවූයේ බටහිර යටත් විජිතවාදය නොරිස්සූ අප‍්‍රිකානු දේශපේ‍්‍රමියෙකු වශයෙනි. බලයට පත් වූ ඔහු බටහිරුන්ගේ වතුපිටි පවරාගෙන ඉඩම් නැති සිම්බාබ්වේ වැසියන්ට බෙදා දුන්නේය. ඉඩම් ප‍්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සමග මුගාබේ ‘නරක’ රාජ්‍ය පාලකයෙකු බවට පත් විණි. ඔහුගේ පාලනය දුර්වල කිරීමට ඉදිරිපත් වූ බටහිර රටවල් සිම්බාබ්වේ රටට නොයෙක් සම්බාධක පැනවූහ. අප‍්‍රිකාවේ ‘පාන් කූඩය’ (Breadbasket – ආහාර අතින් සමෘද්ධිමත් යයි දැක්වීමට භාවිතා කෙරෙන යෙදුමකි) යයි ප‍්‍රසිද්ධිය ලබා සිටි සිම්බාබ්වේ, ආර්ථික දුෂ්කරතාවලට මුහුණ පාන්නට වූයේය. තරුණයෝ රක්ෂා හිගයකට මුහුණ දුන්හ. මෙවිට රට ගලවා ගැනීමේ මුගාබේ ප‍්‍රතිපත්තිය වූයේ ආසියාව දෙසට හැරීම නොහොත් චීනයේ උපකාර සෙවීමයි. අධිරාජ්‍යයක් ගොඩනංවන චීනය සිම්බාබ්වේ වෙත ණය හා ආධාර සැපයුවාය. චීන ආයෝජකයෝ් එහි ගියහ. එවිට බටහිර බලවතුන් ඔවුන්ගේ මිතුරෙකු වූ වත්මන් සිම්බාබ්වේ පාලකයා ආධාරයෙන් මුගාවේ පහ කිරීමට කටයුතු කළහ. මීට සමාන දෙයක් මහින්ද රාජපක්ෂ පාලන සමයේදී සිදුවිය. යුද්ධ ජයග‍්‍රහණයෙන් පසුව රාජපක්ෂ රජය චීනයට සම්බන්ධ වීමෙන් සිදු වූයේ ඉන්දියාව කලබලයට පත්වීමයි.

මුගාබේ තමන්ගෙන් පසු රටේ නායකත්වය සඳහා භාර්යාව සූදානම් කළේය. රජයේ විවිධ ආයතනයන්හි පාලනයට නෑයින් හා හිතවතුන් යොදාගෙන සිටියේය. බලයෙන් උපරිම ප‍්‍රයෝජන ගත් මොවුහු නොයෙකුත් වංචා දූෂණයන්හි යෙදුනහ. මේ නිසා මුගාබේ පාලනය යටතේ අක‍්‍රමිකතා හා දුෂණ පවතින බවත් මුගාබේ ඥාති සංග‍්‍රහයේ යෙදෙන බවත් පිළිගැනීමට මහජනයාට සිදු විය. මුගාබේ සමග එකට සිටි එමර්සන් ම්නන්ගාවා හමුදා කුමන්ත‍්‍රණයක් මගින් මුගාබේ පහ කර රටේ බලය ගත්තේය. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරන ජනාධිපතිවරණයක් පැවැත්වීමට ම්නන්ගාවාට සිදු විය. එහිදී ම්නන්ගාවා පරදවා බටහිරට පක්ෂ පාලකයෙකු බිහිකිරීමට බටහිර රටවල් උනන්දු වූහ.

නෙල්සන් චැම්පා, ඒ සඳහා නායකත්වය දුන් හවුලේ (එම්ඞීසී) නායකයා වූයේය. චීන ආයෝජකයින් පැන්නීම, නාස්තිය දූෂණය නැතිකර යහපත් පාලනයක් ඇති කිරීම, බටහිර ආයෝජකයින් කැඳවීම රක්ෂා ප‍්‍රශ්නය විසඳීම ආදි මැතිවරණ පොරෙන්දු දුන් ඔහුගේ ආධාරයට බටහිර රටවලින් ඇතිතරම් මුදල් ලැබුණි. රාජ්‍ය නොවන සංවිධාන, මාධ්‍ය ආයතන, සංගීත කණ්ඩායම් හා මුහුණු පොත නිසා නාගරික තරුණ තරුණියන් විශාල පිරිසක් අතර ජනප‍්‍රිය වීමට චැම්පාට හැකියාව ලැබුණි. සිම්බාබ්වේ ජනාධිපතිවරණයෙන් චැම්පා ජයග‍්‍රහණය කරනු ඇතැයි බටහිර මාධ්‍ය මෙන්ම සිම්බාබ්වේ නාගරික තරුණ පෙරමුණද සිතුහ. මැතිවරණ ප‍්‍රතිපල ප‍්‍රමාද වන විට සංවිධානාත්මක කණ්ඩායම් නගර පුරා කැරලි කෝලහාල ආරම්භ කළහ. ම්නන්ගාවා දිගටම බලයේ රැඳී සිටීම සඳහා මැතිවරණ ප‍්‍රතිපල පමා කරමින් කුමන්ත‍්‍රණයක් කරන්නේ යයි ඔවුහු චෝදනා කළහ.

සිම්බාබ්වේ ජනාධිපතිවරණයෙන් ම්නන්ගාවා ජයගත්තේ ගෝත‍්‍රික නායකයින් ප‍්‍රධාන ගැමි වැඩිහිටි ජනතාවගේ ශක්තියෙනි. ජනාධිපතිවරණයට පෙර දින රාත‍්‍රියේ, එදා යටත් විජිතවාදයට විරුද්ධව කතා පැවැත්වූ මුගාබේ ප‍්‍රකාශයක් නිකුත් කරමින් ම්නන්ගාවාට ඡන්දය නොදෙන්නැයි රට වැසියන්ගෙන් ඉල්ලීමක් කළත් අතීත වීරයා මේ වනවිට බලූ වී සිටියේය. වෙනසක් ඉල්ලා කෑගැසූ නාගරික තරුණයින්ට ද සිම්බාබ්වේ ගැමි වැඩිහිටි ජනතාව අවනත නොවූහ. ඔවුහු ම්නන්ගාවා බලයට පත් කිරීමට ඡන්දය පාවිච්චි කළහ.

පසුගිය ජනාධිපතිවරණයේදී මෙවැනි දැනුමකින් හා වගකීමකින් ලංකාවේ සිංහල ගැමි නායකත්වය කටයුතු නොකළේය. ඊට ප‍්‍රධාන කාරණා කිහිපයකි. එකක් යුද්ධය ජයග‍්‍රහණය කළ නමුදු සිංහල බෞද්ධ ජනතාවගේ අයිතිවාසිකම් කිසිවක්ම නොලැබීයාමයි. සංස්කෘතිය හා ඉතිහාසය නොදත් කළු සුද්දන් පිරිසක් උපදේශකයින් ලෙසින් කටයුතු කිරීම නිසා පාලකයෝ සිංහල රජවරුන් අනුගමනය කළ ජාතියට බද්ධවීමේ ඉතිහාසය නොදන්නාවුන් සේ කටයුතු කළහ.

පසුගිය මාසය අවසානයේ පකිස්ථානයේ ජනාධිපතිවරණය ද පැවැත්වුණි. ඉන්දියානු මාධ්‍ය පැහැදිලි කළ ලෙසට, ඉන්දියාව සමග සාමයට අකමැති පකිස්ථාන හමුදාවට මෙහෙයවිය හැකි ඉම්රාන් ඛාන් ජයග‍්‍රහණය කිරීමෙන් පෙන්නුම් කරන්නේ පකිස්ථාන් හමුදාවේ බලයයි. ඊට තවත් හේතුවක් ද තිබේ. පකිස්ථානය සුන්නි මුස්ලිම් රටකි. සවුදි අරාබිය සුන්නි මුස්ලිම් රාජ්‍යයන්ගේ නායකයා වශයෙන් කටයුතු කරයි. ඇෆ්ගනිස්ථානයේ තලිබාන්වාදයට මූලික වූ වහබිවාදය ලොවට පතුරුවන්නේ සවුදිය විසිනි. පකිස්ථානයේ ජනගහණයෙන් විශාල පිරිසක් ඇෆ්ගාන් තලිබාන්වරුන්ට හිතෛශීභාවය දක්වති. ජනාධිපතිවරණයකදී මොවුන්ගේ ඡන්ද වැඩි ප‍්‍රමාණයක් තමන් කැමති අපේක්ෂකයෙකු වෙත දැක්කීමේ හැකියාවක් සවුදියට තිබේ. ඊශ‍්‍රායලය හැරුන විට ඇමරිකාවට මැද පෙරදිග සිටින හොඳම මිතුරා සවුදියයි. එම නිසා සුන්නි මුස්ලිම්වරුන් සිටින රටක පැවැත්වෙන ජනාධිපතිවරණයකදී ඇමරිකාවට පක්ෂ නායකයෙකු බිහි කිරීම පිණිස මුස්ලිම් ඡන්ද මෙහෙයවීමේ හැකියාවක් සවුදියට තිබේ. බටහිරට හිතැති දේශපාලන නායකයෝ මෙය දනිති. බටහිරුන් නොරුස්සුන නායකයින් මේ ඇත්ත නොදන්නා පුද්ගලයින් බවට පත් වන්නේ ඔවුන්ට උපදෙස් දෙන උපදේශකයින්ගේ හපන්කමිනි. මේ උපදේශකයින් බටහිරට සේවය කරන ඩබල්ගේම්කරුවන් වීමටද ඉඩ ඇත.

ඩේවිඩ් ඇන්තනී