අතන මෙතන

එජාප ඇමැතිවරුන් ජනාධිපති සමග රහස් කතා බහක

”දැන් ජනාධිපතිතුමා යටතේ පොලිසිය තියෙද්දි රත්ගම දෙන්නෙක් අතුරුදන් වීම ගැන වහාම කරුණු හොයන්න ඕනෑ. මොකද මේ ආණ්ඩුව යටතේ අතුරුදන් වූ පළවෙනි දෙන්න ඔවුනුයි. මේකට ආණ්ඩුවේ හෝ ඉස්සර වගේ සුදු වෑන්වල කිසිම සම්බන්ධයක් නෑ කියල ජනතාව දන්නවා” ගයන්ත කරුණාතිලක කීවේය.

”ව්‍යවස්ථාදායක සභාවට විරුද්ධව ජනාධිපතිතුමා කරපු කතාව රාජපක්ෂ නඩය ඇදන් යනවා. දැන් ජනාධිපතිතුමාට කොටි වල්ගෙ අල්ල ගත්ත වගේ වැඩක් වෙලා තියෙන්නෙ. එතුමාගෙ එකඟත්වයෙන් 19 වැනි සංශෝධනය යටතේ ඇතිකරපු ස්වාධීන කොමිෂන්වලට දිගටම පහර නොදුන්නොත් රාජපක්ෂලා තරහ වෙනවා. පහර දුන්නොත් 2015 වෙනස සඳහා හිටපු සිවිල් සංවිධාන ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන මේ රටේ බහුතර ජනතාව ජනාධිපතිතුමා එක්ක තරහ වෙනවා.” ලක්ෂ්මන් කිරිඇල්ලගෙ විග්‍රහය එය විය.

”ජනාධිපතිතුමා එක්ක ඇමතිවරුන්ට රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනුවක් තියනවා. ඒත් ඒ සීමාව ඉක්මවලා අපේ සමහරු එතුමා එක්ක රහස් ඩීල් දාන්න යන එක ආණ්ඩුවට ඉතා අවාසියි. මේ ගැන පක්ෂය ඇතුළේ යම් තීන්දුවක් ගන්න වෙනවා.” කිරිඇල්ල යළිත් කීවේය.

”අපේ කීපදෙනකුගෙ එහෙම සබඳතා තිබෙනවා කියල මටත් තොරතුරු තියනවා. ඒත් ඒවා පෞද්ගලික ගනුදෙනු මිසක් දේශපාලන ගනුදෙනු වුණොත් ඒක ලොකු අවුලක් වේවි. මොකද ජනාධිපතිතුමා අපි පත් කළාට එයා දැන් වෙනත් පක්ෂයක නායකයෙක් හා වෙනත් දේශපාලන න්‍යාය පත්‍රයක ඉන්න බව පේන කෙනෙක්.

ඒ නිසා පක්ෂයට හානි වෙන විදියටයි එජාප පාක්ෂිකයාගෙ හිත් වල සැක ඇතිවෙන විදියටයි වැඩ කරන්න ගියොත් අන්තිමට ඒ ඇමතිවරුම අමාරුවේ වැටේවි. මොකද මේක මැතිවරණ වර්ෂයක්” අගමැතිවරයා කළ විග්‍රහයට කාගේත් එකඟත්වය පළවිය.