විශේෂාංග

එජාපයේ ජනපතිවරණයට ලැබුණු සල්ලි මාටියා ගහපු හැටි!

ජනපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස පරාජයට පත්වී ඒ වන විටත් ගෙවී තිබුණේ පැය හැත්තෑ දෙකකි. සජිත් පිල නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ජයමහ ‘දෙබරයට ගලක් ගැසුවේය’ ඒ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

‘මැතිවරණ ව්‍යාපාරයේ අරමුදල් ගැන කතා කරද්දී සජිත් ප්‍රේමදාසට ප්‍රමාණවත් අරමුදල්​ නොතිබීම මැතිවරණ ව්‍යාපාරය ශක්තිමත් කිරීමට බරපතළ කාරණාවක් වුණා. පක්ෂයට ලැබුණු අරමුදල් කවුද මෙහෙය වූයේ, එම අරමුදල් නිසියාකාරව එකතු කරගත්තාද එම අරමුදල් මැතිවරණ ව්‍යාපාරයට යෙදෙව්වාද කියා ප්‍රශ්නයක් අපට තිබෙනවා.’ ඔහු ඒසේ කීවේ ජනපතිවරණයට එජාපයට ලැබුණු මුදල් මාටියා ගැසූ බවට චෝදනා කරමිනි.

නලීන් බණ්ඩාර මේ චෝදනාව එල්ල කරන්නේ විනිවිදභාවය වෙනුවෙන් දිවි දෙවැනි කොට පෙනී සිටින බවට සපථ කර බලයට පත්වූ තෙමේද සිටින ‘යහපාලන’ ආණ්ඩුවේ සිටි සිය සගයන්ටය. ඒ සගයන් අතර සිටින එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් සජිත් ප්‍රේමදාසගේ සියලු මැතිවරණ කටයුතු කෙරුණේ ඔහුගේ කාර්යාලයෙන් බව කියමින් පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයෙන් බෝලය වෝක්ෂෝල් විදියට පාස් කළේය.

සජිත්ගේ වෝක්ෂෝල් වීදියේ කාර්යාලයේ වැඩකටයුතු සිද්ධ කෙරුණේ සජිත්ගේ සහයට පැමිණි තිස්ස අත්තනායක හා ඉමිතියාස් බාකිර් මාකර්ගේ මෙහෙයවීමෙනි. එබැවින් තමන්ට එල්ල කර ගැසූ බෝලය තිස්ස අත්තනායක යළි සිරිකොතට හරවා යැව්වේ මෙසේ කියමිනි.
‘මැතිවරණය සඳහා මුදල් සම්පාදනය සම්බන්ධව මූල්‍ය කමිටුවක් පත්කර තිබුණි. මා එහි සාමාජිකයකු හෝ සම්බන්ධීකාරයකු හෝ වෙනත් අතරමැදියකු නොවේ. එම සියලු කටයුතු මෙහෙයවූයේ මලික් සමරවික්‍රමගේ මූලිකත්වයෙන් යුතු මුදල් කමිටුවකිනි. මැතිවරණය සඳහා මුදල් එකතු කිරීම හා වියදම් කිරීම කරනු ලැබුවේ එම මූල්‍ය කමිටුවෙන් මිස මා හෝ වෝක්ෂෝල් වීදියේ පිහිටි කාර්යාලයෙන් නොවේ. මෙම මැතිවරණ ව්‍යාපාරයට අවශ්‍ය මුදල් නිසිලෙස ලබාගැනීමට නොහැකි වූ බව අවසන් සතියේ හෙළි වූ බව මම දනිමි. විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාසට විවිධ පාර්ශ්වයන්ගෙන් ලැබුණු ආධාර මුදල් නිසිලෙස මැතිවරණ යාන්ත්‍රණය සඳහා නොලැබුණි.

තිස්ස අත්තනායකගේ මේ චෝදනාවට උත්තර දුන්නේ මලික් සමරවික්‍රමය. එජාප නායක රනිල් වික්‍රමසිංහගේ සමීප තවත් මිතුරකු වූ ඔහු ඇඟලුම් ක්ෂේත්‍රයේ ප්‍රකට කෝටිපති ව්‍යාපාරිකයකුද වේ.’

මැතිවරණ සඳහා අරමුදල් එක්කිරීම සඳහා මා ඇතුළු තවත් බොහෝ අය වෙහෙසුණහ. එසේ එක් කෙරුණු සියලු අරමුදල් භාරගත්තේ වෝක්ෂෝල් වීදියේ කාර්යාලය මගිනි. මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් සියලු වියදම් කරනු ලැබුවේ එම කාර්යාලය මගිනි. මම හෝ කබීර් හෂීම් හෝ වොක්ෂෝල් වීදිය කාර්යාලයේ කිසිදු වගකීමක් දැරුවේ ද නොමැත.’
සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන බලකණු එකිනෙකට මෙසේ බෝලය පාස් කරමින් සිටියද ප්‍රශ්නයට කාගෙන්වත් හරිහමං උත්තරයක් නැත. ඇත්තටම එජාපයේ ඡන්ද ව්‍යාපාරයට ලැබුණු සල්ලිවලට වූයේ කුමක්ද?

ඒ ප්‍රශ්නයට උත්තර සෙවීමට පෙර දෙදහස් පහළොවේ ජනාධිපතිවරණයට එජාපයට සල්ලි ලැබුණු ක්‍රමයත් සොයා බැලීම වටී. දෙදහස් පහළොවේ ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂ පරාජය කිරීමට විදේශයන් කිහිපයකට වුවමනාව තිබූ බව ප්‍රසිද්ධ රහසකි. මෛත්‍රිපාලගේ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් බටහිර රටවල්වලින් ඩොලර් මිලියන ගණනක් ආධාර ලැබුණු බව සඳහන්ය. ඇතැම් මුදල් ලැබුණේ රාජපක්ෂ විරෝධී අරගල කළ රාජ්‍ය නොවන සංවිධානවලටය. එම ආධාර අතරතුරේ එජාපයට හිතැති කෝටිපති ව්‍යාපාරිකයෝද නොමසුරුව ආධාර කළෝය. එවැනි ආධාර ලැබෙන්නේ චෙක්පත් මගින් නොවේ. ඒවා ලැබෙන්නේ නෝට්ටු ලෙසය.

එසේ ව්‍යාපාරිකයන් මැතිවරණ කටයුතු සඳහා මුදල් දෙන්නේ ‘මීයක් කඩා අතලෙවකන්නට නොවන’ බව ප්‍රසිද්ධ රහසකි. පත්වන ආණ්ඩුවෙන් එම ව්‍යාපාරිකයෝ නොයෙකුත් වරප්‍රසාද බලාපොරොත්තු වෙති. ආණ්ඩුවේ ලොකුම සංවර්ධන ව්‍යාපෘතිවල කොන්ත්‍රාත් යන්නේ මෙවැනි ව්‍යාපාරිකයන්ටය. කෙසේ නමුදු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මහ බැංකුව බැඳුම්කර වංචාවකින් මහ දවාලේ කොල්ලකන්නට ව්‍යාපාරිකයකුට ඉඩ දැන්නේ සිය මැතිවරණ කටයුතු සඳහා එම ව්‍යාපාරිකයාගෙන් මූල්‍ය වාසි ගැනීමට බව ඉකුත් කාලයේ චෝදනා එල්ල විය.

එම චෝදනා තහවුරු වන්නේ එකී ව්‍යාපාරිකයා බැඳුම්කර වංචාවෙන් පසු අලුතෙන් ඇරඹුණු ව්‍යාපාරික ආයතනවල ඉලක්ක ගැන කල්පනා කරන විටය. ඔවුන්ගේ ඉලක්කය වූයේ රනිල් ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය පිම්බවීමය. එසේ පුම්බනු ලැබූ ව්‍යාපෘතියේ හුළං බැස්සේ බැඳුම්කර සිද්ධිය පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනපති කොමිසමෙන් හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කළ පරීක්ෂණවලදී හෙළි වූ තොරතුරු අනුවය.

කෙසේ නමුදු එකල දිගින් දිගටම චෝදනා කළේ බැඳුම්කරේ සල්ලි ගියේ එජාපයේ ප්‍රබලයකුට බවය. එම සල්ලි එළියට එන්න තිබුණේ 2019 ජනපතිවරණයේදීය. එනමුත් බැඳුම්කරයෙන් උපයාගත් මුදල් එජාප ප්‍රබලයාට දුන් බවට බැඳුම්කර ව්‍යාපාරිකයාගෙන් ලබා ගෙන තිබූ දිවුරුම් ප්‍රකාශයක් හේතුවෙන් තොණ්ඩුවට සිර වූ එජාප ප්‍රබලයා අවසානයේදී සිය ජනපති අපේක්ෂක සිහිනය අතහැරි බව සඳහන්ය.

දේශපාලන සටකපටවලින් පිරුණු නූල් සූත්තරකාරයකු ලෙස ප්‍රකට ඔහුට අවසානයේදී ජනපති අපේක්ෂකත්ව සිහිනය අතහැර එය සජිත් ප්‍රේමදාසට දීමට සිද්ධ වූයේ මේ හේතුව නිසා බව පැවැසේ. කෙසේ නමුදු සජිත්ගේ පාර්ශ්වය චෝදනා කරන්නේ ඔහුට අපේක්ෂක්වය ලැබුණත් වැය කරන්නට සල්ලි නොලැබුණු බවය. එක්සත් ජාතික පක්ෂයේ ආරංචිමාර්ග අනුව මෙවර එජාපයට ගියවර මෙන් විදෙස් රාජ්‍යයන්ගෙන් සල්ලි ලැබී නැත. ඊට හේතුව බවට සඳහන් වන්නේ ජාත්‍යන්තර සබඳතා ඇති එජාප ප්‍රබලයකුගේ මැදිහත් වීමෙන් එම මුදල් දීම වැළැක්වීමය. එහෙත් දේශීය ව්‍යාපාරිකයන් රැසකගෙන් සජිත් ප්‍රේමදාසගේ ඡන්ද ව්‍යාපාරයට මුදල් ලැබුණි.

එජාපයේ ක්‍රමවේදය අනුව පක්ෂයට ලැබුණු මුදල් සිරිකොතේ ගණකාධිකාරිවරයාට දෙන්නේ පක්ෂ සභාපති හෝ ලේකම්වරයාගේ අනුමැතියට යටත්වය. එසේ දෙන්නේ පක්ෂයට නිල වශයෙන් ලැබුණු මුදල්ය. තිස්ස අත්තනායක චෝදනා කරන්නේ එසේ සිරිකොත පක්ෂ මූලස්ථානයට ලද මුදල් වැය කරන්නට තමන්ට නොලැබුණු බවය. කෙසේ නමුදු පක්ෂයට නිල වශයෙන් පමණක් නොව නොනිල වශයෙන්ද මුදල් ලැබී තිබේ.

ඒවා දීමට කෝටිපති ව්‍යාපාරිකයන් ප්‍රිය කරන්නේ පෞද්ගලිකවම හමුවීය. එවැනි ප්‍රකට ව්‍යාපාරිකයෝ ගනුදෙනු කරන්නේ පක්ෂය සමග නොව පක්ෂයේ ප්‍රබලයන් සමගය. ජනපතිවරණයේදී එජාපයට එසේ පෞද්ගලිකව නොනිල වශයෙන් මුදල් දුන් කෝටිපති ව්‍යාපාරිකයන් අතර මාර්ග හා ඉදිකිරීම් ක්​ෂේත්‍රයේ කෝටිපතියකු, වාහන ආනයනය කරන්නකු සිටින බවට සඳහන්ය. මාර්ග හා ඉදිකිරීමේ ක්ෂේත්‍රයේ ​කෝටිපති ව්‍යාපාරිකයා කලක් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ සමීපතමයකු ලෙස සිටි අයෙකු ලෙසද ප්‍රකටය. එමෙන්ම ජනපතිවරණය කටේ තිබියදී බාර් ලයිසන් දහයක් නිකුත් කර තිබේ.

එම ලයිසන් නිකුත් කිරීමට රජය පැන වූ විශාල බදු මුදල සාමාන්‍ය අයෙකුට ගෙවීමට නොහැකි බැවින් එය මිලදීගෙන ඇත්තේ ලංකාවේ ඉපැරණි සමාගමකි. එම සමාගමෙන්ද කෝටි ගණනක් අතයටින් ගෙන ඇත්තේ එජාප මැතිවරණ ගිණුමට බැර කරන බව කියමිනි. එහෙත් එම මුදල මාතර නිල්වලා ගඟේ ගියා දැයි කීමට එජාපයේ කිසිවෙක් නොදනිති. එජාප ආරංචිමාර්ග සඳහන් කරන්නේ නිල්වලා ගඟේ එම මුදල් නොගියානම් ඒ අසබඩ පදිංචි අයෙකුගේ සාක්කුවට එම මුදල් ගියාදැයි කවුරුත් නොදන්නා බවය. එහෙත් සජිත්ගේ මැතිවරණ ව්‍යාපාරය කළ අය එක් දෙයක් දනිති. ඒ ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට නිල හා නොනිල වශයෙන් ලද කෝටි ගණනක් මුදලෙන් වෝක්ෂෝල් වීදි​යේ කාර්යාලයට ලැබුණේ තඹ දොයිතුවක් බවය.

එසේ නම් ජනපතිවරණය වෙනුවෙන් එජාපයට ලද කෝටි ගණනක් මුදල්වලට වූයේ කුමක්ද? එජාප ආරංචිමාර්ග සඳහන් කරන්නේ නොනිල වශයෙන් ලද මුදල් පාලනය කෙරුණේ ආර්යාවක් වීමට පෙරුම් පුරමින් සිටි අයෙකු බවය. එසේ නම් ජනපතිවරණයට ලද එහෙත් වියදම් නොකළ මුදල් තිබිය යුත්තේ ඇගේ සේප්පුවකය. මක් නිසාද මෙවැනි නොනිල වශයෙන් ලද මුදල් බැංකු ගත කරන්නේ නැති බැවිනි. එවැනි මුදල් ඇත්තේ දේශපාලනඥයන්ගේ රහස් සේප්පුවලය.

කෙසේ නමුදු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන්‘ මට වඩා අරූ කළු යැයි’ එකිනෙකාට ඇඟිල්ල දිගු කිරීමේ සිද්ධියක් සමග තවත් කතාවක් එළියට පැමිණ ඇත්තේය.
ඒ දේශපාලනඥයන්ට ඡන්දයට ලැබෙන මුදල් හා වියදම් ගැනය. එය එක්සත් ජාතික පක්ෂයට පමණක් ලඝු කර හැකි ප්‍රශ්නයක් නොවේ. ලංකාවේ කිසිදු ප්‍රධාන පක්ෂයක් මැතිවරණයට තමන්ට ලද මුදල් හා එය වියදම් කළ ආකාරය ගැන විනිවිදභාවයකින් කටයුතු කරන්නේ නැත. එම පක්ෂ වාර්ෂිකව මැතිවරණ කොමිසමට දෙන සිය පක්ෂවල අයවැය වාර්තාවල සඳහන්ව ඇත්තේ සිය ගිණුම්වල ඇත්තේ ලක්ෂ පහ දහය බවය. එහෙත් ප්‍රාදේශීය සභා ඡන්දයට තරග කරන අපේක්ෂකයකු පවා ඊට වඩා මුදලක් වැය කරන බව කවුරුත් දනිති. එසේ නම් ජනපති අපේක්ෂකයකුට ලැබෙන ආධාර මුදල් කොතරම්දැයි සිතා ගැනීමටත් නොහැකිය.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය කියන්නේ එජාපයේ මේ අරමුදල් කතාවත් සමග ප්‍රශ්න කෙරෙන්නේ පක්ෂවල මුදල් ලැබෙන වැයකරන ආකාරය ගැන බවය. එබැවින් මෙම මුදල් ලැබෙන හා වැයකරන ආකාරය විනිවිදභාවයෙන් කිරීමට නීති සම්පාදනය කළ යුතු බව මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල අදහසය.

එවැනි නීති අලුතෙන් හදන්නට වුවමනා නැත. එක්දහස් නවසිය හැත්තෑ අටේ ජේ.ආර්.ගේ ව්‍යවස්ථාවට පෙර එවැනි නීතියක් තිබුණි. සෑම අපේක්ෂකයකුම මැතිවරණයට වියදම් කළ මුදල් ඇතුළත් අයවැය ලේඛනයක් සමාදාන විනිශ්චයකාරවරයකුගේ සහතකිය සමග ඡන්දය අවසන් වී මසක් ගත වීමට පෙර මැතිවරණ කොමසාරිස්වරයාට ඉදිරිපත් කළ යුතුව තිබුණි.

ඊට හොඳම කතාව එක්දහස් නවසිය හතළිස් අටේ මහනුවර අතුරු මැතිවරණයෙන් ජය ගත් ටී.බී. ඉලංගරත්නට පරාජිත අපේක්ෂක එෆ්.ඊ. ද සිල්වා පැවරු නඩුවය. එම නඩුවෙන් ඉලංගරත්නට මන්ත්‍රී ධුරය අහිමි වූසේම එෆ්.ඊ.ද සිල්වාගේ ප්‍රජා අයිතියද තෙවසරකට තහනම් කෙරුණි. ඊට හේතුව වූයේ ඔහුගේ මැතිවරණ ප්‍රකාශයක් දෙමළ භාෂාවට පරිවර්තනය කිරීමට ගනේෂන් නමැති අයකුට චෙක්පතකින් ගෙවන ලද රුපියල් විසිපහක මුදල එෆ්.ඊ.ද සිල්වාගේ මැතිවරණ වැය ලැයිස්තුවට ඇතුළත් කර නොතිබීමය.

වසර හැත්තෑ එකකට පෙර ලංකාවේ දේශපාලනය පැවැතියේ එතරම් විනිවිදභාවයකිනි. එහෙත් දැන් අප සිටින්නේ ජනපතිවරණයට ලැබෙන කෝටි ප්‍රකෝටි මුදල් ගිලින දේශපාලනඥයන්ද ආර්යාවන්ද සිටින රටකය.

මිහිරි ​ෆොන්සේකා