කතුවැකි

එක මතයක් ඇති අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසිවැනි වරටත් සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුව ඊයේ සිය අනුමැතිය ලබා දුන්නේය. රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම එරටේ දේශපාලනයේ අනාගතය පිළිබඳ ඉතා තීරණාත්මක, වැදගත් කාරණයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය වූ පසු සාකච්ඡා කළ යුත්තේ එකී සංශෝධනය රටේ දේශපාලනයට, ජනතාවට බලපාන්නේ කුමන ආකාරයෙන්ද යන කාරණය සම්බන්ධයෙනි. එසේ වුවත් ඉතා උණුසුම් වාද විවාද මැද සම්මත වූ විසිවැනි සංශෝධනය සම්බන්ධයෙන් එලෙස සාකච්ඡා කළ යුතු යැයි අප සිතන්නේ නැත. මෙම සංශෝධනය යළි සංශෝධනය වන්නට නියමිත බව එය සම්මත වීමටත් පෙරම ප්‍රකාශ වී ඇති බැවිනි.

ලබන වසරේ නොවැම්බර් මාසයට යෙදෙන ජනාධිපතිවරයාගේ දෙවැනි පදවිප්‍රාප්ති සැමරුමට පෙර මුළුමනින්ම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බව ආණ්ඩුව ප්‍රකාශ කොට තිබේ. එහිදී විසිවැනි සංශෝධනයේ ඇතැම් කොටසද යළි සංශෝධනය කිරීමටද තීරණය වී තිබේ. මේ නිසා විසිවැනි සංශෝධනයේ අන්තර්ගතය පිළිබඳ සාකච්ඡා නොකළ ද එම සංශෝධන ක්‍රියාදාමය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේ ක්‍රියාදාමයට ඉතා වැදගත් වනු ඇතැයි අපි කල්පනා කරමු.

ආණ්ඩුව විසිවැනි සංශෝධනය ගෙනු එනු ලැබුවේ දහනව වැනි සංශෝධනයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මත ඇති කරන ලද විකෘතිය ප්‍රකෘතිමත් කිරීම සඳහා යැයි කියමිනි. එක් සංශෝධනයකින් කරන ලද වැරැද්දක් නිවැරදි කිරීම සඳහා යැයි මීට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශා්ධන ගෙනැවිත් නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු කිසිදා වෙනස් නොවිය හැකි ලේඛනයක් නොවන නමුත් එය වෙනස් විය යුත්තේ කාලීන, සමාජ, දේශපාලනික අවශ්‍යතාවන් මත පදනම්වය.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පමණක් නොව ආරම්භයේ සිටම අපගේ ව්‍යවස්ථාවට ගෙන එන ලද සංශෝධන සියල්ලම කර ඇත්තේ කාලීන අවශ්‍යතා සැලකිල්ලට ගැනීමට වඩා එක් පුද්ගලයකුගේ හෝ එක් කණ්ඩායමකගේ අවශ්‍යතා සපුරාලීම සඳහාය. විසිවැනි සංශෝධනය සම්බන්ධයෙන්ද එල්ල වූ චෝදනාව සම්පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයේදී එල්ල නොවන්නට වග බලා ගැනීම ආණ්ඩුවේ වගකීමකි.

මෙම සංශෝධනයට එරෙහිව විපක්ෂය විරෝධය පළ කළ නමුත් කැපී පෙනුණේ ආණ්ඩුවේම පිරිසකගේ හා ආණ්ඩුව පත් කර ගැනීමට කැපවී කටයුතු කළ භික්ෂූන් වහන්සේලා හා සමාජ සංවිධානවල විරෝධයයි. එවැන්නක්ද මීට පෙර සිදු වී නැත. ආණ්ඩු පක්ෂයේම විරෝධතාව නිසා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් තිබියදීත් අවසන් මොහොත දක්වාම තමන්ට අවශ්‍ය ආකාරයෙන්ම සම්මත කරගත හැකි වනු ඇතැයි ආණ්ඩුවට විශ්වාසයක් තිබුණේ නැත.

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ආණ්ඩු පක්ෂයේම පිරිසකගේ බලවත් විරෝධය එල්ල වූයේ එකී සංශෝධන ප්‍රසිද්ධියට පත් වූ පසුවය. ඉන් පෙනී යන්නේ එම සංශෝධන ඉදිරිපත් කිරීමට පෙර ආණ්ඩුවේ අභ්‍යන්තරයේ හෝ සාකච්ඡාවට ලක් වී නොමැති බවය. නැතහොත් ආණ්ඩුවේ එක් පාර්ශ්වයකගේ විරෝධය තිබියදී ඉදිරිපත් කර ඇති බවය.

ආණ්ඩුව විසින් ගෙන එන ව්‍යවස්ථා සංශෝධනයකට පවා ආණ්ඩුවේ පිරිසක්ම ප්‍රසිද්ධියේ විරෝධය පළ කිරීම ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් යැයි කිව හැකි නමුත් කිසියම් කාරණයක් ජනතාව හමුවට ගෙන එන්නට පෙර සාකච්ඡා කොට එකඟතාවක් ඇතිකරගත හැකි වීම ඊටත් වඩා ප්‍රජාතාන්ත්‍රික බව කිව යුතුය.

නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමේදීත්, මෙවැනි තත්ත්වයක් ඇති වුවහොත් මීට පෙරද සිදුව ඇති විස්ස සම්මත කර ගැනීමේදීත් අනුගමනය කරන්නට සිදු වූ වරප්‍රසාද, වරදාන හා අල්ලස් වැඩපිළිවෙළ ඊටත් වඩා වැඩි පරිමාවකින් අනුගමනය කරන්නට සිදුවනු ඇත. එවැන්නක් සිදුවුවහොත් එය සැබෑ මහජන මතය යටපත් කිරීමක් වන අතර මේ ආණ්ඩුව යටතේ එවැනි මජර දේශපාලන ක්‍රම සහ විධි දකින්නට ජනතාව අපේක්ෂා නොකරන බවද සිහිපත් කළ යුතුය.

ව්‍යවස්ථා සම්පාදනයේදී පමණක් නොව ඕනෑම කාරණයකදී තමන්ට යම් අසාධාරණයක් සිදුවී ඇතැයි හැඟෙන අවස්ථාවක අධිකරණය හමුවට යන්නට මේ රටේ සියලු දෙනාට අයිතියක් තිබේ. එසේ වුවත් ව්‍යවස්ථා සම්පාදනයේදී අධිකරණය හමුවේ අභියෝගයට ලක් නොවන ලෙස කටයුතු කිරීමට කල්පනා නොකරන්නේ කුමක් නිසාද? ව්‍යවස්ථා සම්පාදනය කරන්නේ ඒ පිළිබඳ ප්‍රාමාණික දැනුමක් ඇත්තන් විසින් නම් අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්විය හැක්කේ කුමන කාරණයද යන්න සම්බන්ධයෙන් ඔවුනට අවබෝධයක් තිබිය යුතුය. නැතිනම් දැන දැනම රටේ පවතින මූලික නීතිය උල්ලංඝනය කළ හැකි දැයි ‘මුට්ටිය දමා’ බලනවාද යන සැකය ඇතිවීම වැළැක්විය නොහැකිය.

රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු රටේ සියලු දෙනා පාලනය වන මූලික නීතිය ඇතුළත් ලේඛනයයි. එසේ වුවත් මේ රටේ දෙවන ජනරජ ව්‍යවස්ථාව හෙවත් 1978 ව්‍යවස්ථාව පසුකාලීනව ඇතැම් රාජ්‍ය නායකයන් විසින් හඳුන්වනු ලැබුවේ ‘‘ජේ.ආර්.ගේ බහුබූත ව්‍යවස්ථාව’’ යන නමිනි.

78 ව්‍යවස්ථාව එලෙස හඳුන්වන්නට ප්‍රධාන හේතුව වූයේ විධායක ජනාධිපති ධුරය හඳුන්වා දීම මගින් රාජ්‍ය පාලනයේ බලතුලනය සංකීර්ණ කිරීම, සමානුපාතික නියෝජන ක්‍රමය ආදී කරුණු නිසාය. එම ව්‍යවස්ථාවේ ඇති තවත් බරපතළ ප්‍රශ්නකාරී කාරණයක් වන්නේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි. නව ව්‍යවස්ථාවක් සම්පාදනය කෙරෙන්නේ නම් මේ සියලු ප්‍රශ්නවලට විසඳුම් ඒ තුළ තිබිය යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු එක් පුද්ගලයකුගේ, පක්ෂයක හෝ කණ්ඩායමක අවශ්‍යතාව වෙනුවෙන් සම්මත කළ යුත්තක් නොව, රටේ සියලු දෙනාගේ හිතසුව පිණිස ගෙන ආ යුත්තකි. එසේම ව්‍යස්ථාවක් ගෙන ආ යුත්තේ අදට පමණක් නොව හෙටට ද ගැළපෙන පරිදිය. එසේම කා සමග හෝ ඇති ඇරියස් කවර් කිරීමට නොවන බවද සිහිපත් කළ යුතුය. ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අතීතයේ සිදු වූ මෙවැනි වැරදිවලින් තොර නොවුණහොත් එයද බහුබූත ව්‍යවස්ථාවක් වීම වැළැක්විය නොහැකි වනු ඇත.